ඇමෙරිකාවේ පුරවැසිභාවය: ග්‍රීන් කාඩ් වෙනුවට දෙන ගෝල්ඩ් කාඩ් එක ලබා ගන්නේ කෙසේ ද?

US President Donald Trump wearing a navy suit, a blue tie, and a US flag pin

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නව වීසා බලපත්‍රය සඳහා රැකියා උත්පාදන අවශ්‍යතා කිසිවක් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ නොමැත: "එය මුදල් ඇති අය සඳහා යි," ඔහු පැවසීය.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධනවත් විදේශීය පුරවැසියන්ට ඩොලර් මිලියන 5ක් වැය කර, ඇමෙරිකාවේ ස්ථිර පදිංචිය සහ පුරවැසිභාවයට ඉඩ සලසන "ගෝල්ඩ් කාඩ්" වීසා ක්‍රමයක් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ.

"ඒ අය ධනවත් වෙයි, ඔවුන් සාර්ථක වෙයි, ඔවුන් විශාල මුදලක් වියදම් කරයි, ගොඩක් බදු ගෙවයි, සහ විශාල පිරිසකට රැකියා ලබා දෙයි. ඉතින් මේක අතිශයින් සාර්ථක වෙයි කියලා අපි හිතනවා," ට්‍රම්ප් අඟහරුවාදා ඕවල් කාර්යාලයේදී පැවසීය.

එක්සත් ජනපද වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් පැවසුවේ, විදේශීය ආයෝජකයින්ට වීසා ලබා දෙන වත්මන් EB-5 ආයෝජක වීසා යෝජනා ක්‍රමය වෙනුවට යෝජිත "ගෝල්ඩ් කාඩ්පත" හඳුන්වා දෙන බව ය.

ට්‍රම්ප් යෝජනා කරන්නේ කුමක්ද?

ජනපති ට්‍රම්ප් නව වීසා බලපත්‍රය සඳහා රැකියා උත්පාදන අවශ්‍යතා කිසිවක් සඳහන් කර නොමැත, "එක මුදල් ඇති අය සඳහා යැයි," ඔහු පැවසීය.

EB-5 වීසා බලපත්‍ර සංඛ්‍යාව සීමා කර ඇති අතර, අයවැය හිඟය අඩු කර ගැනීම සඳහා ෆෙඩරල් රජයට "ගෝල්ඩ් කාඩ්" මිලියන 10 ක් අලෙවි කළ හැකි බව ට්‍රම්ප් යෝජනා කළේය. ඔහු පැවසුවේ මෙය "විශිෂ්ට සහ ඇතැම් විට අපූරු ක්‍රියාවක් "වනු ඇති බවයි.

"මෙය පුරවැසිභාවය සඳහා මාර්ගයක්, විශේෂයෙන් ම ධනවත් පුද්ගලයින්ට හෝ විශිෂ්ට දක්ෂතා ඇති පුද්ගලයින්ට, ධනය ඇති පුද්ගලයින්ට දක්ෂතා ඇති පුද්ගලයින් වෙනුවෙන් මුදල් ගෙවා මීට ඇතුළත් වෙන්න පුළුවන්. පුද්ගලයින්ට දිගු කාලීනව වාසය කිරීම සඳහා රටට ඇතුළු වීමට සහ රට තුළ දිගු කාලයක් රැඳී සිටීම සඳහා ගෙවීම් කරන්න පුළුවන්," ඔහු පැවසීය.

ධනවත් රුසියානුවන් මීට සුදුසුකම් ලැබිය හැකි ද යන්න මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී ට්‍රම්ප් මෙසේ පිළිතුරු දුන්නේ ය: "ඔව්, සමහර විට. මම දන්නවා සමහර ධනවත් රුසියානු ව්‍යාපාරික නායකයින්. ඔවුන් ඉතා හොඳ මිනිස්සු."

කෙසේ වෙතත්, ලුට්නික් ප්‍රකාශ කළේ සියලු ම අයැදුම්කරුවන් "පුදුමසහගත, ලෝක මට්ටමේ ගෝලීය පුරවැසියන්" බව සහතික කර ගැනීම සඳහා ගැඹුරු පරීක්ෂණයකට භාජනය වන බව ය.

ගෝල්ඩ් කාඩ් වීසා හිමියන්ට පුරවැසිභාවය සඳහා කොපමණ කාලයක් බලා සිටීමට සිදුවේ ද යන්න ද පැහැදිලි නොමැත. ග්‍රීන් කාඩ් හිමියන් - වත්මන් EB-5 වීසා වැඩසටහනේ ප්‍රතිලාභීන් ඇතුළුව - පුරවැසිභාවය සඳහා සාමාන්‍යයෙන් සුදුසුකම් ලැබීමට පෙර එක්සත් ජනපදයේ නීත්‍යනුකූල ස්ථිර පදිංචිකරුවන් වසර පහක් ජීවත් විය යුතු ය.

එක්සත් ජනපද පුරවැසිභාවය සඳහා වන සුදුසුකම් ඇමෙරිකානු කොංග්‍රසය විසින් තීරණය කරනු ලබයි. නමුත් ට්‍රම්ප් කියා සිටියේ, "ගෝල්ඩ් කාඩ්" සඳහා කොංග්‍රස් අනුමැතිය අවශ්‍ය නොවන බව ය.

නව සැලැස්ම පිළිබඳ විස්තර සති දෙකකින් නිකුත් කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

EB-5 යෝජනා ක්‍රමය වෙනස් කරන්නේ ඇයි?

US Commerce Secretary Howard Lutnick

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජනපද වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් පවසන්නේ, ට්‍රම්ප්ගේ "ගෝල්ඩ් වීසා" ක්‍රමවේදය වසර 35ක් පැරණි EB-5 ආයෝජක වීසා යෝජනා ක්‍රමය වෙනුවට හඳුන්වා දීමට නියමිත බව ය.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ලුට්නික්ට අනුව, "EB-5 වැඩසටහන... මවා පෑම්, වංචා සහ විකාරවලින් පිරිච්ච එකක්. ඒක අඩු මිලකට ග්‍රීන් කාඩ්පතක් ලබා ගන්න මාර්ගයක්. ඒ නිසා තමා ජනාධිපතිවරයා කිව්වේ, මෙවැනි විහිළුසහගත EB-5 වැඩසටහනක් තියා ගැනීමට වඩා, අපි EB-5 වැඩසටහන අවසන් කරනවා කියලා".

විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා එක්සත් ජනපද කොංග්‍රසය විසින් 1990 දී EB-5 යෝජනා ක්‍රමය ස්ථාපනය කරන ලදී. අවම වශයෙන් රැකියා 10ක් නිර්මාණය කරන ව්‍යාපාරයක ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1ක් ආයෝජනය කිරීමෙන් පුද්ගලයන්ට ඒ සඳහා සුදුසුකම් ලැබීමට ඉඩ සලසයි.

මෙම වැඩසටහන යටතේ, ආයෝජකයින්ට ඔවුන්ගේ ආයෝජනය වෙනුවෙන් වහාම ග්‍රීන් කාඩ් හිමි වෙයි - අවසාන වශයෙන් එය පුරවැසිභාවය සඳහා මාර්ගයකි. නමුත් ඊට පරස්පර වශයෙන්, බොහෝ ග්‍රීන් කාඩ්පත් අයැදුම්කරුවන් ස්ථිර පදිංචිය (PR) හිමි කර ගැනීම සඳහා මාස කිහිපයක සිට වසර කිහිපයක් දක්වා පොරොත්තු කාල සීමාවකට මුහුණ දෙයි.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, EB-5 වීසා වැඩසටහන වසරකට වීසා 10,000කට සීමා කර ඇති අතර ඉන් 3,000ක් විරැකියාව ඉහළ ප්‍රදේශවල ආයෝජනය කරන, ආයෝජකයින් වෙනුවෙන් වෙන් කර ඇත. මෙහි අරමුණ වන්නේ, "විදේශීය ආයෝජකයින් විසින් රැකියා උත්පාදනය සහ ප්‍රාග්ධන ආයෝජන හරහා එක්සත් ජනපද ආර්ථිකය උත්තේජනය කිරීම" යැයි, එක්සත් ජනපද පුරවැසිභාවය සහ සංක්‍රමණ සේවාව පවසයි.

ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නවතම සංක්‍රමණ සංඛ්‍යා ලේඛන ඇතුළත් වාර්ෂික පොතට අනුව, 2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස 12ක කාලය තුළ පුද්ගලයන් 8,000ක් පමණ ආයෝජක වීසා ලබාගෙන ඇත.

මීට අමතරව, 2021 දී, එක්සත් ජනපද කොංග්‍රස් පර්යේෂණ සේවය විසින් අනෙකුත් සංක්‍රමණ වීසා සමග සසඳන විට EB-5 වීසා බලපත්‍ර මගින් "වංචා පිළිබඳ අතිරේක අවදානමක්" ඇතැයි සොයා ගන්නා ලදී.

"එවැනි අවදානම් ආයෝජකයින්ගේ අරමුදල් නීත්‍යනුකූලව ලබාගෙන ඇති බව තහවුරු කර ගැනීමේ දුෂ්කරතා සමග සම්බන්ධ යි. එමගින් ආයෝජකයින්ගෙන් වාසි ලබා ගැනීමට සහ වීසා බලපත්‍රය අනුග්‍රාහකත්වයේ ස්වභාවයට ගොදුරු විය හැකි බව වාර්තාවේ සඳහන් වේ.

වෙනත් රටවල සමාන යෝජනා ක්‍රම ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?

A blue and a burgundy passport on a map with pins

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගෝල්ඩ් වීසා සහ රන් විදේශ ගමන් බලපත්‍ර ධනවත් පුද්ගලයන් අතර ජනප්‍රිය ය.

මීට සමාන යෝජනා ක්‍රමය ලොව පුරා ම පාහේ බහුල වේ.

"ගෝල්ඩ් වීසා" යෝජනා ක්‍රම මගින් ධනවත් විදේශිකයන්ට විශාල ආයෝජනයකට ප්‍රතිලාභයක් වශයෙන් වෙනත් රටක ජීවත් වීමට සහ වැඩ කිරීමට අයිතිය ලබා දේ.

ඇතැම් කැරිබියානු රටවල ජනප්‍රිය "ගෝල්ඩ් පාස්පෝට්" යෝජනා ක්‍රම ද ඇත, ඒ හරහා ධනවත් පුද්ගලයන් පුරවැසියන්ගේ සියලු අයිතිවාසිකම් සහ නිදහස ලබා ගනී, එනම් ඔවුන්ට අදාළ රටෙහි වැඩ කිරීමේ සහ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ද ඇත.

එක්සත් රාජධානිය පදනම් කර ගත් උපදේශක සමාගමක් වන Henley & Partners, වාර්තා කරන අන්දමට, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය, ග්‍රීසිය, මෝල්ටාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව සහ ඉතාලිය ඇතුළු රටවල් 100කට වඩා ධනවත් පුද්ගලයින්ට "ගෝල්ඩන් වීසා" ලබා දෙයි.

කෙසේ වෙතත්, මෙම වැඩසටහන් දැඩි විවේචනයට සහ විමර්ශනයන්ට ලක්ව ඇත.

2023 දී ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව, "[ඔවුන්] විදේශ සෘජු ආයෝජන හරහා ආර්ථික වර්ධනයට උපකාර කළ හැකි නමුත් යුක්තිය මග හැරීමට සහ අපරාධවලින් ලැබෙන ආදායම ඩොලර් බිලියන ගණනින් විශුද්ධ කිරීමට උත්සාහ කරන අපරාධකරුවන්ට සහ දූෂිත නිලධාරීන් ද ආකර්ෂණීය විය හැකි ය.

රටවල් 100කට වැඩි සංඛ්‍යාවක දූෂණයට එරෙහිව ක්‍රියා කරන ගෝලීය රාජ්‍ය නොවන සංවිධානයක් වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් අනතුරු අඟවා සිටියේ, යුරෝපා සංගමයේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන්නේ "සැබෑ ආයෝජන හෝ සංක්‍රමණ ලෙස නොව - දූෂිත අභිලාෂයන් වෙනුවෙන් සේවය කිරීමට" බවට යි.

මේ සම්බන්ධයෙන් යුරෝපා සංගමයට අයත් විවිධ ආයතන ද විවේචන එල්ල කර ඇත. 2022 දී, සිවිල් නිදහස, යුක්තිය සහ ස්වදේශ කටයුතු පිළිබඳ යුරෝපා සංගම් කමිටුව ගෝල්ඩ් පාස්පෝට් තහනම් කිරීමට ඡන්දය දුන් අතර ගෝල්ඩ් පාස්පෝට් යෝජනා ක්‍රම අවසන් කරන ලෙස යුරෝපා සංගමයට වීසා රහිත ප්‍රවේශය ඇති තුන්වන රටවලින් ඉල්ලා සිටියේය.

මෙම තත්ත්වය මෑත වසරවලදී එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය සහ ග්‍රීසිය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක් ඔවුන්ගේ ගෝල්ඩ් වීසා වැඩසටහන් නතර කිරීමට හේතු විය.

නිදසුනක් වශයෙන්, ස්පාඤ්ඤය විසින්, 2013 දී නිර්මාණය කරන ලද "ගෝල්ඩන් වීසා" වැඩසටහන කපා හරින ලදී. මෙම ක්‍රමය යටතේ යුරෝ 500,000 ($ 525,000) හෝ ඊට වැඩි වටිනාකමක් ඇති දේපළ මිලදී ගන්නා ආයෝජකයින්ට වීසා ලබා දී ඇත. මේ සඳහා අවසාන අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2025 අප්‍රේල් 03 වන දා ය.

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙඩ්රෝ සැන්ටීස් පසුගිය වසරේ ප්‍රකාශ කළේ, මෙම යෝජනා ක්‍රමය අහෝසි කිරීමේ තම ආණ්ඩුවේ අභිප්‍රාය "නිවාස හිමිකම අයිතියක් බව සහතික කිරීම මිස හුදෙක් ව්‍යාපාරික ලාභ ලැබීමේ ක්‍රමවේදයක් නොවන" බව ය.

එක්සත් රාජධානියේ ලන්ඩන් ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යා පාසල සහ එක්සත් ජනපදයේ හාවඩ් විශ්ව විද්‍යාලය විසින් කළ අධ්‍යයනයක් මගින් ද යුරෝපා සංගමයේ (EU) ගෝල්ඩ් වීසා යෝජනා ක්‍රමවල ආර්ථික තාර්කිකත්වය ප්‍රශ්න කරන ලද අතර, ඒවා "නොසලකා හැරිය හැකි තරම්" ආර්ථික බලපෑමක් සහිත විදේශ ආයෝජනවල "සුළු" අනුපාතයක් පමණක් නියෝජනය කරන බව නිගමනය කළේ ය.

2023 ඔක්තෝබර් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ගෝලීය ජාලයක් වන සංවිධානාත්මක අපරාධ සහ දූෂණ වාර්තාකරණ ව්‍යාපෘතිය විසින් කරන ලද පරීක්ෂණයකින් හෙළි වූයේ, යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ හිටපු ලිබියානු කර්නල්වරයෙකුට සහ තුර්කියේ සිර දඬුවම් නියම වූ තුර්කි ව්‍යාපාරිකයෙකුට මෙම යෝජනා ක්‍රම හරහා ඩොමිනිකන් විදේශ ගමන් බලපත්‍රයක් මිල දී ගැනීමට හැකි වූ බව ය.