වසර 3ක් තුළ ඇමෙරිකානු ඩොලරය එහි පහළ ම අගයකට වැටේ: එය ට්‍රම්ප්ට හොඳ වන්නේ ඇයි?

A replica of a $100 bill featuring Donald Trump is seen during the Conservative Political Action Conference (CPAC) in National Harbor, Maryland on 2 March 2023 - Photographer: Al Drago/Bloomberg via Getty Images.

ඡායාරූප මූලාශ්‍රය, Bloomberg via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කොන්සර්වේටිව් දේශපාලන ක්‍රියාකාරී සමුළුවකදී ඩොනල්ඩ් ට්‍රම්ප් භාවිත කළ ඩොලර් 100 මුදල් නෝට්ටුවක අනුරුවක්
    • Author, සිසීලියා බරීයා
    • Role, බීබීසී පුවත් මුන්ඩෝ, මයෑමි

ඇමෙරිකානු ඩොලරයේ වටිනාකම අඛණ්ඩව පහත වැටෙමින් තිබේ.

ජනවාරි මාසයේදී ධවල මන්දිරයට නැවත පැමිණීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් ඇති කළ වෙළෙඳ යුද්ධය හේතුවෙන් ඉහළ යන ආතතීන් මධ්‍යයේ, එක්සත් ජනපද මුදල් ඒකකය ඇත්තේ දුර්වල වෙමිනි.

මෙම සතියේ, යුරෝ, ජපන් යෙන් සහ බ්‍රිතාන්‍ය පවුම වැනි ප්‍රධාන මුදල් ඒකකවලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ අගය වසර 3ක් තුළ එහි අවම අගයන්ගෙන් එකකට පහත වැටුණේ එක්සත් ජනපද කර්මාන්තශාලා සහ ව්‍යාපාර ක්‍රියාකාරකම් මැයි මාසයේදී අඛණ්ඩව තුන්වන මාසයටත් දුර්වල වූ බැවිනි.

මෙය ඇමෙරිකානුවන්ට හෝ තම ආර්ථිකය ඇමෙරිකානු ඩොලරයට ගැලපුම් කරන රටවලට පමණක් නොව, පුළුල් ජාත්‍යන්තර ආර්ථිකයට ද වැදගත් වේ.

ට්‍රම්ප්ගේ වෙළෙඳ යුද්ධය උත්සන්න වීම සහ ලෝකයේ විශාලතම ආර්ථිකය දුර්වල වීමට ඇති ඉඩකඩ මධ්‍යයේ ඩොලරයේ අගය තවදුරටත් අවප්‍රමාණය වනු ඇතැයි මෝගන් ස්ටැන්ලි, ජේපී මෝගන් සහ ගෝල්ඩ්මන් සැක්ස් වැනි ඇතැම් ආයෝජන බැංකු අනාවැකි පළ කරති.

A cargo container and cranes on docks at dusk in the Port of Jacksonville, Florida

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොලරය දුර්වල වූ විට විදේශීය ගැනුම්කරුවන් සඳහා එක්සත් ජනපද අපනයන පිරිවැය අඩු වන නමුත් දේශීය පාරිභෝගිකයින් සඳහා විදේශ භාණ්ඩවල මිල ඉහළ යයි

"ට්‍රම්ප්ගේ ආරක්ෂණවාදී සහ අක්‍රමවත් ප්‍රතිපත්ති නිසා තමයි ඩොලරය පහත වැටුණේ. ඒක එක්සත් ජනපදයේ කීර්ති නාමය විනාශ කරනවා," මෙක්සිකෝවේ පිහිටි BASE මූල්‍ය සමූහයේ ආර්ථික විශ්ලේෂණ අධ්‍යක්ෂිකා ගේබ්‍රියෙලා සිලර් බීබීසී වෙත පැවසුවා ය.

සිලර්ට අනුව, ජනාධිපතිවරයාගේ තීරණ එක්සත් ජනපදයේ අනාගත දියුණුවට බලපාන අතර ස්ථාවර මූල්‍ය ඒකකයක් ලෙස ඩොලරය භාවිත කරන අනෙකුත් රටවලට එහි තත්ත්වය පිළිබඳව සැකයක් ඇති කරයි.

ඩොලරය දුර්වල වීමේ ඍජු බලපෑමක් නම්, විදේශීය ගැනුම්කරුවන්ට ඇමෙරිකානු අපනයන ලාභදායී වන බැවින්, ඒවා ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ වඩාත් තරගකාරී වීමයි.

අනෙක් අතට, එක්සත් ජනපදයට ඇතුළු වන ආනයනික භාණ්ඩවල මිල ඉහළ යයි.

පොළී අනුපාත

සාමාන්‍යයෙන්, ඇමෙරිකා එක්සත් ජනපදය පොළී අනුපාත පහත දමන විට ආයෝජකයින් සහ බැංකුවල මුදල් ඉතිරි කරන පුද්ගලයින්ට ඩොලර් සඳහා ඇති ආකර්ෂණය අඩු වන බැවින් එහි වටිනාකම පහළ යා හැක.

එබැවින්, ඩොලරය දුර්වල වීම, එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුව (අනෙකුත් රටවල මහ බැංකුවලට සමාන) පොළී අනුපාත පහත දැමීමට මැලි වීමට හේතු විය හැක.

පොළී අනුපාත ඉහළ නැංවීම බොහෝ විට මහ බැංකුවල උද්ධමනය මැඩපැවැත්වීමට අනුගමනය කරන මාර්ගයකි. මන්ද මෙම ක්‍රියාව මගින් වෙළඳසැල්වල සහ වෙනත් තැන්වලදී අඩුවෙන් මුදල් වැය කිරීමට ජනතාව පෙළඹෙන නිසා ය.

ට්‍රම්ප් ෆෙඩරල් සංචිත බැංකුවෙන් පොළී අනුපාත පහත දමන ලෙසට ඉල්ලා තිබේ.

නමුත්, පොළී අනුපාත ස්ථාවරව තබා ගැනීමෙන් ඩොලරයට සහය වීමට ෆෙඩරල් සංචිත බැංකුව තීරණය කරන්නේ නම්, එහි තීරණය ඇත්ත වශයෙන් ම එක්සත් ජනපදයේ උද්ධමනය සීමා කිරීමට උපකාරී වන අතර එක්සත් ජනපද ඩොලරය තවදුරටත් පහත වැටීම වළක්වයි.

විශ්වාසය බිඳ වැටීම

පුළුල් දෘෂ්ටිකෝණයකින් බැලූ කල, බොහෝ ආර්ථික විද්‍යාඥයින් කනස්සල්ලට පත්ව සිටින්නේ, මෑත කාලීන ඩොලරයේ පහත වැටීම වඩාත් ගැටලුකාරී යමක් පිළිබිඹු කරන බවයි. එනම්, එක්සත් ජනපදය කෙරෙහි තබා ඇති විශ්වාසය නැතිවීම ය.

"ඩොලරය මත තියෙන ගෝලීය විශ්වාසය සහ යැපීම අඩ සියවසකට හෝ ඊට වැඩි කාලයක් ගොඩනැගුණු දෙයක්," අප්‍රේල් අග භාගයේදී බර්ක්ලිහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ බැරී අයිකන්ග්‍රීන් පැවසීය. "නමුත් ඒවා ඇසිපිය හෙළන සැණින් නැති වෙලා යන්න පුළුවන්."

Donald Trump in front of a microphone

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද නිෂ්පාදනය පුනර්ජීවනය කිරීමට පොරොන්දු වී තිබේ

ට්‍රම්ප්ට දුර්වල ඩොලරයක් අවශ්‍ය විය හැක්කේ ඇයි?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

දශක ගණනාවක් තිස්සේ එක්සත් ජනපද පරිපාලනය ශක්තිමත් ඩොලරයක් වෙනුවෙන් දිරිගැන්වීම් කර ඇත.

එය රටේ ණය ගැනීමේ පිරිවැය අඩු මට්ටමක තබා ගැනීමට උපකාරී වන අතර, වඩාත් භූ දේශපාලනික දෘෂ්ටිකෝණයකින් ගත් කළ එක්සත් ජනපදයට විදේශයන් වෙත තම බලය පිළිබඳ ප්‍රතිරූපයක් ප්‍රක්ෂේපණය කිරීමට ඉඩ සලසයි.

එය ඉරානය, රුසියාව සහ වෙනිසුවෙලාව වැනි මිත්‍ර පාක්ෂික නොවන රටවලට එක්සත් ජනපද මුදල් වෙත ඇති ප්‍රවේශය සීමා කිරීමෙන් පීඩනය යෙදීමට ද උපකාරී වේ.

එක්සත් ජනපදයේ ආර්ථික අර්බුද අතරතුර පවා ඩොලර් සඳහා ඉල්ලුම ශක්තිමත්ව පැවතිණි.

නමුත් ඇතැම් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ට්‍රම්ප් පරිපාලනය දේවල් වෙනස් ලෙස දකින බවයි.

ඔවුන්ට අනුව, ජනාධිපතිවරයා ඩොලරය (ග්‍රීන්බැක්හි) ශක්තිමත් වීම සලකන්නේ ඔහුට දිරිමත් කිරීමට කැමැත්තක් දක්වන එක්සත් ජනපද නිෂ්පාදන විප්ලවයට බාධාවක් ලෙසය.

ට්‍රම්ප්ගේ දෘෂ්ටිකෝණයෙන් බැලූ කල, ඩොලරය දුර්වල වීම නිෂ්පාදන අංශයේ කීර්තිය යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වනු ඇති අතර, ඔහුගේ ආධාරකරුවන් එක්සත් ජනපදයේ "ස්වර්ණමය යුගය" ලෙස සලකන දෙයට නැවත පැමිණෙනු ඇත.

"ආනයන වැඩි කරන නිසා ට්‍රම්ප්ට ශක්තිමත් ඩොලරයක් අවශ්‍ය නැහැ," සිලර් පවසයි.

A worker stands at a production line in a factory in the US

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොලරයේ අගය දුර්වල වීම, සමාගම් වැඩි ගණනක් එක්සත් ජනපදයේ නිපැයුම් නිෂ්පාදනය කිරීමට දිරිගැන්වීම සඳහා ධනාත්මක සාධකයක් බව ට්‍රම්ප් පරිපාලනය විශ්වාස කරන බව විශ්ලේෂකයෝ පවසති

මෙම න්‍යායට අනුව, දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට, කර්මාන්තශාලාවල රැකියා යථා තත්ත්වයට පත් කිරීමට, අපනයන වැඩි කිරීමට සහ රටේ දැවැන්ත හා වර්ධනය වන වෙළෙඳ පරතරය අඩු කිරීමට උපකාරී වීමට දුර්වල ඩොලරයක් රටට අවශ්‍ය වේ.

ඩොලරය දුර්වල කිරීම සඳහා ට්‍රම්ප්ගේ ආර්ථික උපදේශක කවුන්සිලයේ සභාපති ස්ටීවන් මිරාන් විසින් යෝජනා කරන ලද "Mar-a-Lago Accord (මර්-අ-ලාගෝ ගිවිසුම)" ලෙස හැඳින්වෙන සැලැස්මක් ඇති බව ඇමෙරිකානු මාධ්‍ය සහ ඇතැම් ආර්ථික විද්‍යාඥයින් වාර්තා කර තිබේ.

Stephen Miran, chairman of Donald Trump's Council of Economic Advisers speaks to anothermanwhile sitting near US flags during the Hill and Valley forum at the US Capitol in Washington on 30 April 2025

ඡායාරූප මූලාශ්‍රය, Bloomberg via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ස්ටීවන් මිරාන් දුර්වල ඩොලරයකට පක්ෂව කටයුතු කරන බව වාර්තා වේ

සංචිත මුදල් ඒකක ගැන සැකයක්

සංචිත මුදල් ඒකකයක් යනු රටක මහ බැංකු හෝ නිලධාරීන් වෙනත් රටවල මුදල්වලින් ඔවුන්ගේ ඉතිරිකිරීම්වල කොටසක් ලෙස තබා ගන්නා සහ භාවිත කරන මුදල් වේ. එය ජාත්‍යන්තර ගනුදෙනු, ආයෝජන සහ ණය ගෙවීම සඳහා යොදා ගනී.

ලෝකයේ ප්‍රධාන සංචිත මුදල් ඒකකය ලෙස ඩොලරයේ තත්ත්වය වරප්‍රසාදයක් නොව, එක්සත් ජනපදයේ කාර්මිකකරණය අඩපණ කිරීමට හේතු වූ මිල අධික බරක් යන අදහස මත "මර්-අ-ලාගෝ ගිවිසුම" පදනම් වී ඇතැයි කියනු ලැබේ.

මෙම තර්කයට අනුව, ඩොලර් සඳහා ඇති ගෝලීය ඉල්ලුම ඒවායේ වටිනාකම ඉහළ නංවන අතර, එක්සත් ජනපදයේ නිෂ්පාදිත නිෂ්පාදනවල මිල ඉහළ දමයි.

මෙය අනෙක් අතට වෙළෙඳ පරතරයන් ජනනය කරන අතර වැටුප් හා අමුද්‍රව්‍ය සඳහා වන පිරිවැය අඩු කිරීමට නිෂ්පාදන කටයුතු විදේශගත කිරීමට ඇමෙරිකානු නිෂ්පාදකයින්ට හේතු සපයයි.

"මිරාන්ගේ සැලැස්ම, කොතරම් දක්ෂ ලෙස පෙනුනත්, ඒක වැරදි අවබෝධයක් මත පදනම් වෙලා තියෙන්නේ," හාවඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ මහජන ප්‍රතිපත්ති පිළිබඳ මහාචාර්ය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ කෙනත් රොගොෆ්, Project Syndicateහි ලිවීය.

Person at the market

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොලරයේ පහත වැටීම ඇමෙරිකා එක්සත් ජනපදය කෙරෙහි ආයෝජකයින් තබා ඇති විශ්වාසය නැතිවීම සමග සම්බන්ධ වී ඇති බවට ආර්ථික විද්‍යාඥයෝ අනතුරු අඟවති

ලෝකයේ ප්‍රාථමික සංචිත මුදල් ඒකකය ලෙස ඩොලරයේ භූමිකාව එහි කාර්යභාරය ඉටු කරන අතරතුර, "එය ඇමෙරිකාවේ අඛණ්ඩ වෙළෙඳ පරතරයන්ට දායක වන බොහෝ සාධකවලින් එකක් පමණක්" වන බව ද මෙම ආර්ථික විද්‍යාඥයා පවසයි.

වෙළෙඳ පරතරයට බොහෝ හේතු තිබේ නම්, තීරුබදු සියල්ලට පිළියමක් විය හැකි බවට ඇති අදහස සැක සහිත බව ඔහු තවදුරටත් පවසයි.

ඩොලරයේ වටිනාකම වෙනස් වන බැවින්, න්‍යායාත්මකව කිසිදු එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු අනෙකුත් මුදල් වර්ගවලට සාපේක්ෂව එහි වටිනාකම පාලනය නොකරන බව සැලකිල්ලට ගැනීම වැදගත් ය.

විශාල ගෝලීය මුදල් වෙළෙඳපොළක් මගින් එහි වටිනාකම තීරණය වන අතර, විශාල ආයෝජකයින් ඔවුන්ගේ අපේක්ෂාවන්ට අනුව ඩොලර් මිල දී ගැනීම හෝ විකිණීම සිදු කරන බැවින්, වොෂින්ටනයේ නීති සම්පාදකයින්ට මෙම මුදල් ඒකකය ඉහළ යාම හෝ පහත වැටීම සඳහා ඍජුව ම මැදිහත් විය නොහැක.

කෙසේ වෙතත්, එක්සත් ජනපද රජයේ ආර්ථික ප්‍රතිපත්තිය වෙළෙඳපොළට සංඥා ලබා දෙන අතර, මෙය ඩොලරයේ වටිනාකමේ පරිණාමය සහ පොළී අනුපාත වැනි අනෙකුත් ප්‍රධාන සාධක කෙරෙහි බලපෑම් ඇති කරයි.

සියුම් කොටසක්

මේ සියල්ල සියුම් කොටසක් මෙන් ක්‍රියා කරන අතර, එක් කොටසක චලනය අනෙක් ඒවාට බලපායි.

අප්‍රේල් මාසයේදී තීරුබදු පිළිබඳව ට්‍රම්ප්ගේ පෙර සහ පසු නිවේදනත් සමග සිදු වූයේ මෙයයි. එය ආයෝජකයින්ගේ විශ්වාසය නැති කර ගැනීමට හේතු වූ අතර එක්සත් ජනපද රජයේ බැඳුම්කරවල (මුදල් රැස් කිරීමට භාවිත කරන) වටිනාකම අහිමි වීමට හේතු විය.

One hundred-dollar bills being handed from one person to anothyer with other notes stacked nearby

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොලරයට විකල්පයක් තිබේ ද?

විශ්වාසය අහිමි වීම ඩොලරය කෙරෙහි විශ්වාසයට යහපත් නොවිණි. නමුත් ඇතැම් විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ, එය දිගු කාලීන වීමට වඩා තාවකාලික බව ය.

"[චීන] යුවාන්, බිට්කොයින් [ක්‍රිප්ටෝ මුදල්] හෝ රත්තරන් වැනි වෙනත් කිසිදු මුදල් ඒකකයක් හෝ වත්කමක් ඉල්ලුම සපුරාලීමට තරම් විශාල නැහැ," Mizuho Financialහි ආර්ථික විද්‍යාඥයෙකු වන ස්ටීව් රිචූටෝ AP ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය. දැනට, විකල්පයක් නැහැ."

තීරුබදු සහ ඩොලරයේ පහත වැටීම යන දෙක ම හේතුවෙන් ආනයනික භාණ්ඩ සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවන බැවින්, උද්ධමනය ඉහළ යාමේ හැකියාව පිළිබඳව ඇමෙරිකානු පාරිභෝගිකයෝ බියෙන් පසුවෙති.

ජීවන වියදම් අඩු කරන බවට වූ ට්‍රම්ප්ගේ මැතිවරණ පොරොන්දුව ද ඔවුන්ගේ මතකයට නැගෙනු ඇත.

ට්‍රම්ප්ගේ වෙළෙඳ යුද්ධය, ඔහුගේ යෝජිත අයවැය සහ බදු කප්පාදු (දැනට කැපිටල් හිල්හි සාකච්ඡා කෙරෙමින් පවතී), උද්ධමනය, පොළී අනුපාත සහ මේ සියල්ල ඩොලරයේ වටිනාකමට බලපාන ආකාරය වැනි සාධක රාශියක් ක්‍රියාත්මක වේ.

දැනට, පිළිතුරුවලට වඩා ප්‍රශ්න ඇති බව පෙනේ. නමුත් වෝල් වීදියේ ප්‍රක්ෂේපණවලින් පෙනී යන්නේ ඩොලරය යළි ශක්තිමත් වීම බොහෝ දුර ඇති බව ය.