රස්තියාදු නොවී ජාතික හැඳුනුම්පත ලබා ගන්නේ මෙහෙමයි

National Identity Card

වර්තමානයේ මෙන් දියුණු තාක්ෂණයක් නොතිබුණු අතීතයේ, මෙරට විසූ බොහෝ දෙනෙකු මුල් වරට ඡායාරූපක් සඳහා පෙනී සිට ඇත්තේ සිය හැඳුනුම්පත සකස් කිරීමට වන අතර එය ඔවුන්ගේ ජීවිත කාලය පුරාවට ම ඡායාරූපයක් ලබා ගත් එක ම අවස්ථාව වී තිබේ.

මෙරට අවුරුදු 18ට වැඩි පුරවැසියන්ට අනන්‍යතාව තහවුරු කර ගැනීමට ලබා දෙන නිල සහතිකය ජාතික හැඳුනුම් පත යි.

මුල් වරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම හැරුණු විට යම් සංශෝධනයක් සිදු කරන ලද අවස්ථාවකදී හෝ හැඳුනුම්පත නැතිවූ අවස්ථාවකදී යළි හැඳුනුම්පතක් ලබා ගැනීමේ හැකියාව පවතී.

'අවුරුදු 16ට කලින් හැම කෙනෙක් ම ඇප්ලිකේෂන් එක දාන්න ඕනේ'

මෙම සෑම අවස්ථාවකදී ම ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට අවශ්‍ය ලිපි ලේඛන සහ අනෙකුත් විස්තර මෙන් ම ඒ සම්බන්ධ පවතින තත්ත්වය පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් (මෙහෙයුම්) නදීකා ගම්ලත් බීබීසි සිංහල සේවය පැහැදිලි කළා ය.

"අවුරුදු 15 සම්පූර්ණ වෙච්ච ගමන් හැඳුනුම්පත ඉල්ලන්න පුළුවන්. ඒක පනත අනුව අනිවාර්යෙන් ම කරන්න ඕන එකක්. අවුරුදු 16ට කලින් හැම කෙනෙක් ම ඇප්ලිකේෂන් එක දාන්න ඕනේ අයි.ඩී. එක ගන්න. මොකක් හරි විදිහට අවුරුදු 16 පහු වුණොත් ඒක පනත අනුව වැරැද්දක්. එතකොට දඩ මුදලකටත් යටත් වෙනවා රුපියල් 2,500ක."

අනිවාර්යෙන් ම අවශ්‍ය ලේඛන මොනවා ද?

ජාතික හැඳුනුම්පත ඉල්ලුම් කිරීමේ අයැදුම් පත්‍රය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවියෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් මෙන් ම ග්‍රාම නිලධාරීන්ගෙන් ලබා ගත හැකිය.

  • සම්පූර්ණ කරන ලද අයැදුම්පත
  • උප්පැන්න සහතිකයේ සහතික කරන ලද මුල් පිටපතක්
  • පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි වී ඇති ඡායාරූප ශාලාවකින් ඡායාරූප ලබා ගෙන එම ඡයාරූප පද්ධතියට ඇතුළත් කිරීමෙන් පසුව ලබා දෙන ඡායාරූප පත්‍රිකාව

ඉහත අවශ්‍යතා තුන සඳහා ම ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට අත්‍යවශය වේ.

මුල් වරට හැඳුනුම්පත ගන්නේ කොහොම ද?

"ඔය ටික අරගෙන තමන් පදිංචි කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී ගාවට යන්න අවශ්‍යයි. මුල් ම වතාවට ගන්න කෙනෙක් නම් රුපියල් 200ක ඇප්ලිකේෂන් ගාස්තුවක් අය කරනවා. අයි.ඩී. හදලා ලියාපදිංචි තැපෑලෙන් යවන්න ඒ ගාස්තුව විදියට රුපියල් 120ක් ගන්නවා, ඔක්කොම රුපියල් 320ක මුදලක් එයා ග්‍රාම නිලධාරීට ගෙවන්න ඕන. එහෙම කරලා සමාන්‍ය සේවය යටතේ අයිඩෙන්ටි එක හදන්න භාර දෙන්න පුළුවන්.

එක් දින සේවයේ නම්, ග්‍රාම නිලධාරී ගාවට ගිහින් ඒ අවශ්‍ය ටික සම්පූර්ණ කරගෙන, ඇප්ලිකේෂන් එකයි පොටෝ ස්ලිප් එකයි සහතික කරලා, ඔය ඇප්ලිකේෂන් ටික සීල් කරලා දෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න. හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ම අපේ යුනිට් එකක් තියෙනවා. එයාලා ඇප්ලිකේෂන් එක තවදුරටත් පරීක්ෂා කරලා බලලා ප්‍රාදේශීය ලේකම්ගේ අනු අත්සන් යොදනවා. එතනදී එයාට එක් දින සේවයෙන් ලබා ගන්න දිනයක් වෙන් කරලා දෙනවා. ඒක අරගෙන අපේ ප්‍රධාන කාර්යාලයට හරි ගාල්ලේ හෝ නුවරඑළියේ තියෙන පළාත් කාර්යාලයකට එන්න ඕනේ."

එක් දින සේවය යටතේ ජාතික හැඳුනුම්පත ලබා දීමට අයැදුම්පත් ගාස්තුවට අමතරව රුපියල් 2,000ක ගාස්තුවක් අය කරනු ලබයි.

මුල් වතාවට ජාතික හැඳුනුම්පත ලබා ගන්නා පාසල් දරුවන්ට හෝ පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂුන්ට පාසැල් හා පිරිවෙන් හරහා අයැදුම් කිරීමේ විශේෂ අවස්ථාවක් ලබා දී ඇති බව ද කොමසාරිස්වරිය කියා සිටියා ය.

සංශෝධන සහිත හැඳුනුම්පතක් හදාගෙන්නේ මෙහෙයි

නම, ලිපිනය සංශෝධනය කිරිමක් හෝ පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ පනත අනුව තොරතුරු අපහැදිලි නම් හෝ වත්මන් තත්ත්වයට තොරතුරු නොගැළපෙනවා නම් හෝ හැඳුනුම්පත පළුඳු වී ඇති අවස්ථාවලදී නව හැඳුනුම්පතක් ලබා ගත යුතු අතර ඒ සඳහා ද ඉහත සඳහන් කරන ලද ලේඛන අවශ්‍ය වේ.

එහිදී ද ලිපි ලේඛන ග්‍රාම නිලධාරි වෙත ඉදිරිපත් කර ඉහතින් සඳහන් කරන ලද ක්‍රමය ඔස්සේ ම සාමාන්‍ය සේවය හෝ එක් දින සේවය ලබා ගත හැකි බව කොමසාරිස්වරිය සඳහන් කළා ය.

අදාළ සංශෝධන සහිත උප්පැන්නය, විවාහ සහතිකය හෝ වෙනත් ලේඛනයක් නම් සෑම අවස්ථාවකදී ම එකී සහතිකවල මුල් පිටපත් ඉදිරිපත් කිරීම මෙන් ම දැනට භාවිත කරන ජාතික හැඳුනුම්පත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව වෙත ලබාදීම අනිවාර්ය වේ.

එහිදී ජාතික හැඳුනුම්පත අලුත් කිරීමට රුපියල් 500ක මුදලක් සමග රුපියල් 120ක තැපැල් ගාස්තුවක් අය කරනු ලබන අතර එක් දින සේවාව යටතේ ලබා ගන්නේ නම් රුපියල් 2,000ක ගාස්තුවක් අය කරගනු ලැබේ.

නැති වුණු හැඳුනුම්පත සංශෝධන සහිතව හදාගන්න පුළුවන් ද?

ජාතික හැඳුනුම්පත නැති වූ හෝ අස්ථානගත වූ අවස්ථාවේ දී මුලින් සඳහන් කළ ලේඛනවලට අමතරව පොලිසිය වෙත පැමිණිලි කර එහි සහතික පිටපතක් ලබා දිය යුතු බව ද කොමසාරිස් නදීකා ගම්ලත් පැවසුවා ය.

"නැති වෙච්ච එකේ තොරතුරු ම ඊළඟ එකට ගන්න ඕනේ කියලා එකක් නැහැ. එතනදීත් නම, ලිපිනය වගේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒවාට අදාළවත්, අදාළ ලේඛනවල මුල් පිටපත් දීලා සංශෝධනය කරලා ගන්න පුළුවන්කම තියෙනවා."

නැති වූ හෝ අස්ථානගත වූ හැඳුනුම්පතක් ලබා ගැනීමට රුපියල් 1,000ක මුදලක් හා තැපැල් ගාස්තු වශයෙන් රුපියල් 120ක් මෙන් ම එක් දින සේවය ඔස්සේ රුපියල් 2,000ක මුදලක් දෙපාර්තුමේන්තුව විසින් අය කරනු ලබයි.

හැඳුනුම්පත ලැබෙන්න යන කාලය

එක් දිනය සේවය යටතේ දිනකදී මෙන් ම සමාන්‍ය සේවය යටතේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව වෙත අයැදුම් පත්‍රය ඇතුළු ලිපි ලේඛන ලැබී මාසයක පමණ කාලයකදී ජාතික හැඳුනුම්පත ලබා ගැනීමේ හැකියාව පවතී.

"විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් දෙන්න හදන නිසා මේ දවස්වල පොඩි ප්‍රමාදයක් තියෙනවා. අපි තොරතුරු තහවුරු කිරීමේ ලිපියක් දීලා අයිඩෙන්ටි එක පොඩ්ඩක් ප්‍රමාද කරනවා අලුත් එක ම දෙන්න හින්දා," යැයි කොමසාරිස්වරිය පැහැදිලි කළා ය.

පරණ අංකය අලුත් එකටත් ලැබෙනවා ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

දැනට හැඳුනුම්පතක් භාවිත කරන අයෙකු නව හැඳුනුම්පතක් ලබා ගැනීමේ දී එහි අංකය වෙනස් වෙන අවස්ථා මෙන් ම අලුතින් අංකයක් ලැබෙන අවස්ථා ගැන ද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් (මෙහෙයුම්) නදීකා ගම්ලත්ගෙන් බීබීසි සිංහල සේවය විමසී ය.

එහිදී ඇය සඳහන් කළේ, අංක දහයකින් යුත් පැරණි හැඳුනුම්පතක්, නැවත අලුතින් ලබා ගැනීමේදී දැනට පවතින ක්‍රමය අනුව ඊට ගැළපෙන අංක 12කින් යුත් අංකයක් ලබා දෙන බව ත් එය බාධාවකින් තොරව භාවිත කළ හැකි බව ත් ය.

ලිංගික දිශානතිය වෙනස් වූ අවස්ථාවකදී හෝ යම් දෝෂයක් මත වැරදි අංකයක් ලබා දී ඇත්නම් එය වෙනස් වන අවස්ථාවේදී නව අංකයක් ලබා දීමට කටයුතු කරන බව කොමසාරිස්වරිය කියා සිටියා ය.

"අංකය වෙනස් අවස්ථාවක් නම් අනිවාර්යෙන් එයාට අපි ලියුමක් දෙනවා කලින් ඔයාගේ තිබුණ අංකය මේකයි, දැන් අංකය මේකයි, මෙතන ඉඳන් මේ අලුත් අංකය තමයි පාවිච්චි කරන්න ඕන කියලා. එතකොට ඕන තැනකට අයිඩෙන්ටි එකත් එක්ක ලියුම අරන් යන්න පුළුවන්.

"මට මාව තව කෙනෙක්ට හඳුන්වලා දෙන්න වගේ ම, තව කෙනෙකුට මම කවුද කියලා හඳුනා ගන්නත් තියෙන ප්‍රධාන ම ලියවිල්ල [හැඳුනුම්පත]. එක ම ලියවිල්ල කිව්වත් ප්‍රශ්නයක් නැහැ," යැයි ඇය වැඩිදුරටත් කියා සිටියාය.