ලිංගික ආශාව නැවත ඇති කර ගැනීමට ටෙස්ටොස්ටෙරෝන් එන්නත උපකාරී වේ ද?

A woman and a man sleeping in bed back to back, top view
ලිංගික ආශාව නැවත ඇති කර ගැනීමට ටෙස්ටොස්ටෙරෝන් එන්නත උපකාරී වේ ද?
    • Author, රූත් ක්ලෙග්
    • Role, ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය වාර්තාකරු
  • කියවීමේ කාලය: මිනිත්තු 12

1990 ගණන්වලදී, ඇලන් රීව්ස් නිරන්තරයෙන් වේදිකා රංගනයේ නිරත වූ අතර The Dreamboys නම් පිරිමි නර්තන කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ඔහු දහස් ගණනක් ඉදිරියේ ඇඳුම් උනා දමමින් රංගන‍යේ නිරත විය. ඔහු කොතරම් ජනප්‍රිය වූවා ද යන්න පවසන්නේ නම්, ඔහු සහ ඔහුගේ පිරිමි නර්තන ශිල්පීන් කණ්ඩායම ස්පයිස් ගර්ල්ස් චිත්‍රපටයක් වන ස්පයිස් වර්ල්ඩ්හි පවා පෙනී සිටියහ.

එවකට 24 හැවිරිදි වියේ පසු වූ ඔහුට, ඔහුගේ ම වචනවලින් කිවහොත් ''හොඳ පෙනුමක්" තිබිණි.

නමුත් රීව්ස් වයස අවුරුදු 30 ගණන්වල පසු වන විට ඔහු බෙහෙවින් වෙනස් තත්ත්වයකට පත්විය - ඔහුගේ මානසික ශක්තිය අඩු වූ අතර ඔහුගේ ලිංගික ආශාව පවා අතුරුදන් විය.

''මට හරි දැනීමක් තිබුණේ නැහැ'' ඔහු පවසයි.

මේ වන විට 52 හැවිරිදි වියේ පසු වන රීව්ස් පවසන්නේ, සිය ලිංගික ආශාව අඩුවීම දිගුකාලීන සම්බන්ධතාවකට දැඩි බලපෑමක් එල්ල කිරීමට පටන් ගත් බව ය.

"අපි මාස තුන, හතරක් තරම් කාලයක් ලිංගික සම්බන්ධතා නොමැතිව හිටියා. මට ඒකට කිසි ම ආසාවක් තිබුණේ නැහැ" ඔහු පවසයි. ''මේ වගේ දෙයක් දෙදෙනෙක් වෙන් වෙන්න හේතුවක් වෙන්නත් පුළුවන්."

Geri Halliwell and Alan Reeves in the Spice Girls film

ඡායාරූප මූලාශ්‍රය, Fragile Films/ Icon Entertainment International/ Polygram Filmed Entertainment

ඡායාරූප ශීර්ෂ වැකිය, ස්පයිස් ගර්ල්ස් චිත්‍රපටය වන ස්පයිස් වර්ල්ඩ්හි ගෙරී හැලිවෙල් සහ ඇලන් රීව්ස්

දැන් ලන්ඩනයේ පදිංචි යෝග්‍යතා සහ ජීවන රටා පුහුණුකරුවෙකු වන රීව්ස්, ටෙස්ටොස්ටෙරෝන් ප්‍රතිස්ථාපන චිකිත්සාව (TRT) ආරම්භ කළ අතර, ඔහු පවසන්නේ ''කෝපාවිෂ්ට මහලු මිනිසෙකුගේ'' සිට වයස අවුරුදු විසිගණන්වල පසු වන තරුණයෙකු යැයි හැඟෙන අයුරින් එය ඔහුට ඔහුගේ ලිංගික ආශාව නැවත ලබා දී ඇති බව ය. එය "විස්මිත බව දැනුණා" ඔහු පවසයි.

කාන්තාවෝ ද ටෙස්ටොස්ටෙරෝන් භාවිතයට යොමුවෙමින් සිටිති.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

37 හැවිරිදි වියේ පසුවන ආර්තවහරණය පිළිබඳ බ්ලොග්කරුවෙකු වන රේචල් මේසන් පවසන්නේ, හෝර්මෝනය ඇගේ ශක්ති මට්ටම්, අවධානය සහ ලිංගික සම්බන්ධතා සඳහා "අපූරු" ලෙස උපකාරී වී ඇති බව ය.

ටෙස්ටොස්ටෙරෝන් ලබාගැනීම සඳහා නිකුත් කරන බෙහෙත් වට්ටෝරු ඉහළ ගොස් ඇත. සත්කාර තත්ත්ව කොමිසම විසින් සම්පාදනය කරන ලද ජාතික සෞඛ්‍ය සේවා ව්‍යාපාර අධිකාරියේ නවතම දත්තවලින් පෙනී යන්නේ, 2021 සහ 2024 අතර කාලය තුළ බෙහෙත් වට්ටෝරු නිකුත් කිරීම 135% කින් ඉහළ ගොස් ඇති බව ය.

මෙම වැඩිවීම සිදුවන්නේ, එක්සත් රාජධානිය පුරා ලිංගික සම්බන්ධතා සඳහා පවතින ආශාව අඩුවෙමින් පවතින කාලයකදී ය. මෙම වසර අගදී නව දත්ත නිකුත් කිරීමට නියමිත සෑම වසර දහයකට වරක් ම 10,000කට අධික පිරිසකගෙන් ඔවුන්ගේ ලිංගික ජීවිතය පිළිබඳ විමසන ලිංගික ආකල්ප සහ ජීවන රටා පිළිබඳ ජාතික සමීක්ෂණයට (Natsal) අනුව පුද්ගලයින් ලිංගික සම්බන්ධතා පවත්වන අවස්ථා ගණන ක්‍රමානුකූලව අඩු වී ඇත.

1990දී, අවුරුදු 16 සිට 44 දක්වා වයස් කාණ්ඩයේ පසුවන පුද්ගලයින් මාසයකට සාමාන්‍යයෙන් අවස්ථා පහකදී ලිංගික සම්බන්ධතා පැවැත්වූ බව වාර්තා විය. 2000 වන විට එය අවස්ථා හතරකට අඩු වී, 2010 වන විට අවස්ථා 03 ක් දක්වා පහත වැටිණි. මීළඟ ප්‍රතිඵල කාණ්ඩය මෙම වසර අගදී නිකුත් කිරීමට නියමිත අතර, පර්යේෂකයන් අපේක්ෂා කරන්නේ පහත වැටීමේ ප්‍රවණතාව අඛණ්ඩව පවතිනු ඇති බවයි. නමුත් ඔවුහු එම පහත වැටීමට බලපාන එක් හේතුවක් හෝ සඳහන් නොකරති.

මෙම පසුබිමට එරෙහිව, විවාදයක් වේගයෙන් ගොඩනැගෙමින් පවතී. ටෙස්ටොස්ටෙරෝන් වැඩි කිරීමෙන් ලිංගික සම්බන්ධතා සඳහා පවතින ආශාව වැඩි දියුණු කළ හැකි ද, නැතහොත් බොහෝ අවධානය යොමු වන්නේ අතිශයෝක්තිය, ලාභය සහ ප්ලේසෙබෝ සඳහා පමණක් ද?

ලිංගික සබඳතා සඳහා පවතින ආශාව අඩුවීම

පර්යේෂකයන් පවසන පරිදි ඇලන් රීව්ස්ගේ ලිංගික ආශාව අඩුවීම පිළිබඳ අත්දැකීම ඉහළ යමින් පවතින ප්‍රවණතාවක එක උදාහරණයක් පමණි.

"වසර ගණනාවක් පුරාවට, සෑම ජන කණ්ඩායමක ම පහත වැටීමක් අපි දැකලා තියෙනවා" නට්සාල් අධ්‍යයන අධ්‍යක්ෂ සොසිග් ක්ලිෆ්ටන් පවසයි.

"1990 දශකයට සාපේක්ෂව එකට ජීවත් වන අඹුසැමියන් සංඛ්‍යාව දැන් අඩු යි. එය ලිංගික ආශාව අඩුවීම පැහැදිලි කිරීමට උදව්වක් වෙන්න පුළුවන්. නමුත් අපි ඒ කණ්ඩායම විශේෂයෙන් පරීක්ෂා කළත් එහි ද පහත වැටීමක් තිබ්බා,"

සැබැවින් ම, ලිංගික සම්බන්ධතා පවත්වන පුද්ගලයින් සංඛ්‍යාවේ තියුණු පහත වැටීමක් දක්නට ලැබුණේ වයස්ගත, විවාහ වූ හෝ අඹුසැමියන් ලෙස ජීවත් වන පිරිස අතර ය.

ලිංගික ආශාව අඩුවෙමින් පවතින්නේ ඇයි ද යන්න නිශ්චිතව පැවසීම අපහසු බව ක්ලිෆ්ටන් පවසයි.

"දැනට අපි ළඟ තිබෙන දත්ත මත පදනම් වෙලා ජනගහනයක් ලෙස අපි දැන් පෙර වසරවලට වඩා ලිංගික සම්බන්ධතා අඩු වශයෙන් පැවැත්වීමට නිශ්චිත හේතුව මොකක් ද කියන එක විශ්වාසයෙන් කියන්න බැහැ," ඇය පවසයි.

මෙයට හේතු සොයා බලන අධ්‍යයන කිහිපයක් පවතින අතර ඩිජිටල් ලෝකය විශාල හේතුවක් බව ඉස්මතු කරයි. එය අක්‍රීය කිරීමට අපහසු වන අතර ක්‍රියාකාරකම් සඳහා වැඩි විකල්ප ලබා දෙයි.

අපගේ ආතති මට්ටම් සාමාන්‍යයෙන් වසර 30කට පෙර තිබූ මට්ටමට වඩා ඉහළ මට්ටමක පවතින අතර එය සාධකයක් විය හැකි බව වෛද්‍යවරයෙකු සහ ලිංගික චිකිත්සකවරයෙකු වන වෛද්‍ය බෙන් ඩේවිස් පවසයි.

"මිනිස්සු හරිම කාර්යබහුලයි," ඔහු පැහැදිලි කරයි. "තාක්ෂණය තියෙනවා, නමුත් ආතතිය, මානසික අවපීඩනය, හුදෙකලාභාවය ද වැඩි වෙලා තියෙනවා. මේ හැම දෙයක් ම ලිංගික සම්බන්ධතා සඳහා පවතින ආශාව අඩුවීමට හේතුවක් වෙන්න පුළුවන්."

තවද ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩුවීම ලිංගික ආශාවන්ට බලපෑමක් ඇති කළ හැකි බව පෙන්වා දෙමින් ඉන්ටර්නෙට් තුළ විශාල උනන්දුවක් ජනනය කර විශාල ව්‍යාපාරයක් බවට පත් කිරීමේ හැකියාවක් ද තිබේ.

"පිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම නිසැකව ම අඩු වෙමින් පවතිනවා," බ්‍රිතාන්‍ය ලිංගික වෛද්‍ය සංගමයේ (BSSM) සාමාජික සහ උපදේශක මෞත්‍ර විද්‍යාඥ මහාචාර්ය ජෙෆ්රි හැකට් පවසයි.

"ස්ථූලතාව වැඩිවීම, දෙවන වර්ගයේ දියවැඩියාව, වැඩිපුර උදාසීන ජීවිත ගත කරන පුද්ගලයින්ගේ සංඛ්‍යාව වැඩිවීම යන මේ සියල්ල ම ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩු කරනවා. ටෙස්ටොස්ටෙරෝන් මට්ටම පහත වැටීම අපගේ ලිංගික ආශාව අඩු වීමට සාධකයක් වෙන්න පුළුවන්."

පසුගිය වසර 20 තුළ පිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම් මැන බැලූ මහා පරිමාණ පර්යේෂණ කිහිපයක් යෝජනා කරන්නේ එම මට්ටම් අඩුවී ඇති බව ය. නමුත් හැකට් අවධාරණය කරන්නේ, මෙය සරල කාරණයක් නොවන බව ය. අඩු ටෙස්ටොස්ටෙරෝන් තිබීම ලිංගික ආශාව අඩුවීමේ අවදානම වැඩි කළ ද, එයින් අදහස් කරන්නේ අඩු ටෙස්ටොස්ටෙරෝන් ඇති සෑම කෙනෙකුට ම අඩු ලිංගික ආශාවක් ඇති බව නොවේ.

මෙම සංකීර්ණත්වය තිබියදීත්, දුම්රිය ස්ථාන, බස් නැවතුම් පොළවල් සහ සමාජ මාධ්‍ය සංග්‍රහ දැන් වෙළඳ දැන්වීම් වලින් පිරී පවතී: "ලිංගික ආශාව අඩු ද? මතකය පැහැදිලි නැද්ද? වෙහෙසට පත්ව සිටී ද? මේ ටෙස්ටොස්ටෙරෝන් පරීක්ෂාවක් සිදු කර ගැනීමට කාලය යි! ඔබේ ස්වාමි පුරුෂයාගේ උද්යෝගය අඩුවී ඇත් ද? ඒ, ඔහුගේ හෝමෝන නිසා විය හැකි ය!

ඉතිං, ටෙස්ටොස්ටෙරෝන් ප්‍රතිස්ථාපන චිකිත්සාවට ඇත්තට ම ලිංගික ආශාව අඩුවීමේ ගැටලුව සඳහා සම්පූර්ණ විසඳුමක් ලබා දිය හැකි ද?

ටෙස්ටොස්ටෙරෝන් "මගේ ජීවිතය නැවත දුන්නා"

මෙලිසා ග්‍රීන් වසරකට ආසන්න කාලයක් පුරාවට ටෙස්ටොස්ටෙරෝන් ලබා ගනිමින් සිටියි. ඇය පවසන්නේ, එය ඇයට "ජීවිතයේ උද්යෝගය" නැවත ලබා දුන්නා පමණක් නොව, ඇගේ විවාහය ද ආරක්ෂා කර තිබේ.

43 හැවිරිදි ඇය පවසන්නේ, ලිංගික සබඳතා සඳහා පවතින ආශාව අඩුවීම ඔවුන්ගේ සම්බන්ධතාවයට විශාල බලපෑමක් ඇති කරමින් පැවැති බව ය.

ආර්තවහරණයට පෙර අවධියේ සිටි ඇයට ඇගේ වෛද්‍යවරයා ඒ වන විටත් හෝමෝන ප්‍රතිස්ථාපන චිකිත්සාව හරහා ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් නියම කර තිබිණි. නමුත් ග්‍රීන් පවසන්නේ එම අමතර හෝමෝනය අවශ්‍ය නොවන බව පවසමින් වෛද්‍යවරයා ඇගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම පරීක්ෂා නොකළ බව ය.

කාන්තාවන්ගේ ශරීරය තුළ කුඩා ප්‍රමාණයක් නිපදවන අතර ජාතික සෞඛ්‍ය සේවයේ මාර්ගෝපදේශයේ සඳහන් වන්නේ, කාන්තාවන්ට ලිංගික ආශාව අඩුවීම හෝ නොමැති වීමේ තත්ත්වයක් පවතින්නේ නම් ටෙස්ටොස්ටෙරෝන් නියම කළ හැකි බව ය. මෙය කාන්තාවන්ට ඕනෑ ම වයසකදී බලපා හැකි නමුත්, සාමාන්‍යයෙන් ආර්ථවහරණ අවධියේදී ඉහළ යයි.

අවසානයේදී ග්‍රීන් පෞද්ගලික සායනයකට ගොස් ඇති අතර රුධිර පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව ඇගේ මට්ටම් අඩු බව ඇයට දැනුම් දී තිබිණි. ඇගේ ප්‍රතිඵල නැවත ඇගේ වෛද්‍යවරයා වෙත රැගෙන යාමෙන් අනතුරුව දැන්, ඇය ජාතික සෞඛ්‍ය සේවයෙන් ටෙස්ටොස්ටෙරෝන් ලබා ගන්නා අතර පෞද්ගලික වෛද්‍යවරයෙකුගෙන් තවත් වැඩිපුර ලබා ගනී.

"එය මට මගේ ජීවිතය නැවත ලබා දුන්නා. සමහර වෙලාවට මට හිතෙනවා මම තාම ඉන්නේ අවුරුදු විසි ගණන්වල කියලා," ඇය පවසයි. "මට වැඩි ශක්තියක් තියෙනවා, මට තියුණු ලෙස හිතන්න පුළුවන් සහ මගේ ලිංගික ආශාව නැවත ලැබුණා."

Melissa Green (right) and her husband Marcus (left)

ඡායාරූප මූලාශ්‍රය, Melissa Green

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙලිසා ග්‍රීන් සහ ඇගේ සැමියා වන මාකස්

ඇතැම් පුද්ගලයින් ටෙස්ටොස්ටෙරෝන් ලිංගික සබඳතා සඳහා පවතින ආශාව කෙරෙහි ඇති කරන බලපෑම ගැන උද්දාමයට පත්වන අතරතුර තවත් පිරිසක් පවසන්නේ එය අනවශ්‍ය බලපෑම් ද ඇති කර තිබෙන බව ය.

චෙරිල් ඔ'මැලි වසරක කාලයක් පුරාවට ටෙස්ටොස්ටෙරෝන් භාවිත කළා ය. ඇය පවසන්නේ එය ආර්තවහරණයේදී ඇයට අහිමි වූ ශක්තියෙන් යම් ප්‍රමාණයක් නැවත ලබා දීමට උපකාරී වන්නට ඇති නමුත්, එය ඇගේ ලිංගික ආශාව ප්‍රමාණය ඉක්මවා ඉහළ දැමූ අතර දැඩි කෝපයක් ඇති කළ බව ය.

"මම දැඩි ලිංගික ආශාවෙන් සිටියේ. මට මගේ සැමියා සමග ලිංගිකව සම්බන්ධ වීමට අවශ්‍ය වුණා, ඒ සමග ම මට ඔහු ගැන වෛරයක් ඇති වුණා.''

"ඒ වෙලාවේ තමයි දන්නේ මේක ඉන්න ඕන හොඳ තත්ත්වයක් නොවෙයි කියලා. මේ මම නෙමෙයි. මට මාව පාලනය කරගන්න බැරි වුණා.''

රේචල් මේසන් පවසන්නේ, ඇය ටෙස්ටොස්ටෙරෝන් ප්‍රතිස්ථාපන චිකිත්සාව පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන විට ඇය සොයා ගත්තේ, "බොහෝ කාන්තාවන් ටෙස්ටොස්ටෙරෝන් ලබා ගැනීම ආරම්භ කිරීමට බිය වෙලා ඉන්නවා. ඔවුන්ට බය යි ඔවුන් පිරිමි වගේ වෙයි ද කියලා, මුහුණේ රැවුල වැවෙයි ද, තමන්ගේ ස්වභාවය නැති වෙයි ද කියලා."

Rachel Mason

ඡායාරූප මූලාශ්‍රය, Rachel Mason @raysecommunity

ඡායාරූප ශීර්ෂ වැකිය, රේචල් මේසන් පවසන්නේ ටෙස්ටොස්ටෙරෝන් ඇයට "පුදුමසහගත" ලෙස ප්‍රතිඵලදායක වූ බව ය

මේසන් පවසන්නේ, ඇය දිනපතා ටෙස්ටොස්ටෙරෝන් ජෙල් ආලේප කරන ඇගේ මැණික් කටුවේ "විශේෂයෙන් රෝම සහිත කොටසක්" ඇති බවයි. නමුත් හෝමෝනයෙන් ඇයට ලැබෙන ප්‍රතිලාභ වටින බව ඇය පවසයි.

ශරීරයේ රෝම වර්ධනය වැඩිවීම සමඟ ටෙස්ටොස්ටෙරෝන් ප්‍රතිස්ථාපන චිකිත්සාව හේතුවෙන් වෙනත් අතුරු ආබාධ කිහිපයක් ද ඇති විය හැක. කාන්තාවන් සඳහා, වඩාත් පොදු බලපෑම් වන්නේ ශරීරයේ රෝම අධික ලෙස වර්ධනය වීම, කුරුලෑ හට ගැනීම සහ බර වැඩිවීමයි, ඒවා සාමාන්‍යයෙන් මාත්‍රාව අඩු කිරීමෙන් හෝ අත්හිටුවීමෙන් යළි සකසා ගත හැකි වේ. ටෙස්ටොස්ටෙරෝන් ප්‍රතිස්ථාපනය සමඟ ඇලෝපසියා (හිසකෙස් ගැලවී යාමේ තත්ත්වය) සහ කටහඬ ගැඹුරු වීම කලාතුරකින් සිදුවේ.

පිරිමි පාර්ශවය සඳහා, බර වැඩිවීම, ශිෂ්ණයේ වේදනාකාරී සහ දිගු ප්‍රාණවත්වීම්, තට්ටය පෑදීම සහ මනෝභාව වෙනස්වීම් වැනි අතුරු ආබාධ ඇති විය හැක. එය ශුක්‍රාණු නිෂ්පාදනය අඩු කිරීමට ද හේතු විය හැකි අතර සරුභාවය කෙරෙහි බලපෑම් කළ හැකිය. මේ සඳහා උපකාර කළ හැකි ප්‍රතිකාර තිබෙන නමුත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

ඒක ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක්

ජාතික සෞඛ්‍ය සේවයේ ඇතැම් වෛද්‍යවරුන් සහ ද්විතීයික සත්කාරක උපදේශකයින් බීබීසී වෙත පවසා ඇත්තේ, සංකීර්ණ ගැටලුවකට ඉක්මන් විසඳුමක් ලෙස ටෙස්ටොස්ටෙරෝන් ප්‍රතිස්ථාපන චිකිත්සා ක්‍රම අලෙවියෙන් පෞද්ගලික සායන ලාභ ලබන බව ය.

ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ ජාතික සෞඛ්‍ය සේවයේ උපදේශකවරියක වන වෛද්‍ය පෝලා බ්‍රිග්ස් එය පහසුවෙන් මුදල් ඉපැයිය හැකි ක්‍රමයක් ලෙස විස්තර කරන අතර, එහිදී මිනිසුන්ට අවශ්‍ය නොවන දෙයක් සඳහා විශාල මුදලක් ගෙවීමට සිදුවේ.

"ඒක පාලනයෙන් තොර වෙලා තියෙනවා," ඇය පවසයි. "යහපැවැත්ම අරමුණු කරගත් කර්මාන්ත වෙළෙඳපොළ තුළ මෙම පරතරය නිර්මාණය කරලා ඒක තමන්ගේ තමන්ගේ වාසියට භාවිත කරමින් ඉන්නවා.''

''මේක අයුතු දෙයක්''

කෙසේ වෙතත්, පෞද්ගලික සායන පවසන්නේ ජාතික සෞඛ්‍ය සේවය ලබා දීමට අසමත් වූ සේවාවක් සපයමින් තමන් ජනතාවගේ ජීවිතවල ගුණාත්මකභාවය වැඩිදියුණු කරන බවයි.

පුරුෂ පාර්ශවයේ සෞඛ්‍යය පිළිබඳ විශේෂිත වූ, පවුම් මිලියන ගණනක සායනයක් වන Voy හි ජාතික සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරයෙකු සහ වෛද්‍ය අධ්‍යක්ෂ ජෙෆ් ෆොස්ටර් පවසන්නේ පෞද්ගලික අංශය සෞඛ්‍ය සේවයේ හිඩැසක් පුරවමින් සිටින බවයි.

"දැනට, ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණය අඩු විය හැකි දහස් ගණනක් පිරිමින් හඳුනා ගැනීමට හෝ ප්‍රතිකාර කිරීමට ජාතික සෞඛ්‍ය සේවය තවමත් සූදානම් නැහැ.''

මයිකල් කොක්සිස් 2016 වසරේ සිට ඔහුට අයත් සමාගම වන Balance My Hormones හරහා ටෙස්ටොස්ටෙරෝන් ප්‍රතිස්ථාපන චිකිත්සාව සපයමින් සිටියි. පසුගිය වසර කිහිපය තුළ ඉල්ලුම "අතිශය වේගයෙන්" වර්ධනය වී ඇති බව දැක ඇතැයි ඔහු පවසයි.

කොක්සිස් පවසන්නේ ඔහු වෙත පැමිණි ඇතැම් රෝගීන් ජාතික සෞඛ්‍ය සේවය ඔස්සේ පරීක්ෂා කිරීම් සඳහා යොමු වී තිබුණ ද ඔවුන්ට අඩු ටෙස්ටොස්ටෙරෝන් මට්ටම් නොමැති බව එහිදී පවසා ඇති බැවින් ඔවුහු පෞද්ගලික සායන වෙත යොමුවීමට තීරණය කර තිබූ බවයි.

"ඔවුන්ගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ජාතික සෞඛ්‍ය සේවය නියම කර ඇති සීමාවට වඩා ටිකක් ඉහළින් තිබුණත්, එයින් අදහස් කරන්නේ ඔවුන්ට ටෙස්ටොස්ටෙරෝන් ප්‍රතිස්ථාපන චිකිත්සාව ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ කියන එක නෙමෙයි.''

''ඒක සරල දෙයක් නෙමෙයි. ඒක ඊට වඩා හරි ම සංකීර්ණ දෙයක්.''

An advert for an at-home test for low testosterone levels in men, is pictured at Liverpool Street Underground station in London

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "මේ වන විට, ටෙස්ටොස්ටෙරෝන් අඩු විය හැකි දහස් ගණනක් පිරිමින් හඳුනා ගැනීමට හෝ ප්‍රතිකාර කිරීමට NHS ආයතනයට හැකියාවක් නොමැත," Voyහි වෛද්‍ය අධ්‍යක්ෂ ජෙෆ් ෆොස්ටර් පවසයි

පුරුෂයන් සඳහා, වයස අවුරුදු 30 සිට 40 අතර කාලයේදී ටෙස්ටොස්ටෙරෝන් මට්ටම 1% කින් අඩුවීම ආරම්භ වේ. ජාතික සෞඛ්‍ය සේවයේ උපදෙස් අනුව, මෙය වයස්ගත වීමේ සාමාන්‍ය ක්‍රියාවලියක් වන අතර ලිංගික ආශාව කෙරෙහි දැඩි බලපෑමක් ඇති කිරීමට හැකියාවක් නොමැත.

ඇලන් රීව්ස් පළමු වරට ටෙස්ටොස්ටෙරෝන් ප්‍රතිස්ථාපන චිකිත්සාව ලබා ගත්තේ ජාතික සෞඛ්‍ය සේවය මගින් ය. පරීක්ෂණ දෙකකින් 10nmol/L (ලීටරයකට නැනෝමෝල) සහ 12nmol/L මට්ටම් පෙන්නුම් කළ අතර, ඔහුට සති තුනක පරතරයකින් එන්නත් හතරක් ලබා දුන්නේය. නමුත් ඔහුගේ සිව්වන ප්‍රතිකාරයෙන් අනතුරුව, ''වැඩි පැහැදිලි කිරීමක් නොමැතිව" එය තවදුරටත් කරගෙන යා නොහැකි බව රීව්ස් වෙත දැනුම් දී ඇත.

"මම ආයෙත් මුල් තත්ත්වයට ම ආවා," ඔහු පැහැදිලි කරයි. "එම අවස්ථාවේදී මම පෞද්ගලික අංශයට යොමුවීමට තීරණය කළා."

Two images of Alan Reeves

ඡායාරූප මූලාශ්‍රය, Alan Reeves @coachalreeves

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇලන් රීව්ස් දැන් යෝග්‍යතා සහ ජීවන රටා පුහුණුකරුවෙකි

එසේනම් පුරුෂයන් සඳහා සෞඛ්‍ය සම්පන්න ටෙස්ටොස්ටෙරෝන් මට්ටම කීයද? මෙය ඔබ ඒ පිළිබඳ විමසන සංවිධානය සහ ඔබ කියවන පර්යේෂණය මත රඳා පවතී.

ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර අධ්‍යයන මත පදනම්ව සකස් කර තිබෙන British Society for Sexual Medicine (BSSM) මාර්ගෝපදේශ අනුව, 12 nmol/L ට වඩා අඩු ටෙස්ටොස්ටෙරෝන් මට්ටම් ඇති පිරිමි පුද්ගලයින් ටෙස්ටොස්ටෙරෝන් ප්‍රතිස්ථාපන චිකිත්සාව සඳහා සලකා බැලිය යුතු අතර එවැනි පුද්ගලයන්ට වෘෂණ මගින් මෙම වැදගත් ලිංගික හෝමෝනය ප්‍රමාණවත් ලෙස නිෂ්පාදනය නොකිරීමේ තත්ත්වය වන හයිපොගොනාඩිස්මය නමැති තත්ත්වයේ ලක්ෂණ පෙන්නුම් කරයි.

ජාතික සෞඛ්‍ය සේවයේ මාර්ගෝපදේශ විවිධ රෝහල් අතර වෙනස් වුවද එහි සඳහන් වන්නේ 6 සිට 8nmol/L දක්වා මට්ටම් ඇති පිරිමියෙකුට ටෙස්ටොස්ටෙරෝන් ඌනතාවයක් තිබිය හැකි බවයි.

කාන්තාවන් සඳහා, වයස අවුරුදු 20 සිට 40 අතර කාලයේදී ටෙස්ටොස්ටෙරෝන් මට්ටම් පහළ යාම ආරම්භ වන අතර, ආර්ථවහරණ අවධියට පැමිණීමත් සමඟ එය ස්ථාවර වේ. මට්ටම් අඩුවීම සාමාන්‍ය වුවද ප්‍රශ්නය වන්නේ එම අඩුවීම ලිංගික ආශාවට සහ සමස්ත යහපැවැත්මට කොපමණ බලපෑමක් ඇති කරයිද යන්නයි.

පරීක්ෂණ තිබුණද, නිවැරදි ප්‍රතිඵල ලබා ගැනීම අපහසුය. ඊට හේතුව වන්නේ ටෙස්ටොස්ටෙරෝන් කාන්තාවන්ටද වැදගත් වුවත්, අවශ්‍ය ප්‍රමාණය ඉතා අඩු වීමයි. එය නියම කර තිබුණ ද ජාතික සෞඛ්‍ය සේවය තුළ කාන්තාවන් සඳහා අනුමත ප්‍රතිකාර නොමැති බැවින් එය 'ලේබලයෙන් බැහැර' ආකාරයෙන් ලබා දිය යුතුය.

ටෙස්ටොස්ටෙරෝන් ප්‍රතිස්ථාපන චිකිත්සාව වටා ඇති කතාබහ පිළිබඳ බ්‍රිග්ස් සැලකිලිමත් වේ. ඇය පවසන්නේ ලිංගික ආශාව අඩු සහ ලිංගික සබඳතා සඳහා තවදුරටත් කැමැත්තක් නොමැති බව හැඟෙන නිසා තමන්ට ටෙස්ටොස්ටෙරෝන් අවශ්‍ය බව පවසන රෝගීන්ගේ විශාල වැඩිවීමක් දැක ඇති බවයි.

''ඔවුන් මට කියනවා ඔවුන් ඔවුන්ගේම පර්යේෂණ කරලා තියෙනවා කියලා. බොහෝ වෙලාවට එයින් අදහස් කරන්නේ මෙම හෝමෝනය ජීවිතය වෙනස් කරමින් බලපෑම් කළ බව පවසමින් කෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරපු පෝස්ට් එකක් දැකලා තියෙනවා කියන එක."

''ඒකෙන් අදහස් කරන්නේ ඒක ප්‍රසිද්ධ පුද්ගලයෙකුට වැඩ කළා කියලා, සාමාන්‍ය ජනතාවටත් ඒ වගේම වැඩ කරනවා කියන එකම නෙවෙයි."

ඇය පවසන්නේ ඇය සිටින ප්‍රදේශය වන චෙෂයර් සහ මර්සිසයිඩ් හි සිටින වෛද්‍යවරුන් වෙත ටෙස්ටොස්ටෙරෝන් පරීක්ෂා කිරීම සඳහා ඉල්ලීම් කරන රෝගීන් විශාල පිරිසක් පැමිණෙන බවයි. බොහෝ දෙනෙකු ටෙස්ටොස්ටෙරෝන් ප්‍රතිස්ථාපන චිකිත්සාව සඳහා අදාළ ඖෂධ වට්ටෝරුවක් රැගෙන පිටව යන්නේ මාස කිහිපයකට පසුව ආපසු පැමිණ එය විශාල බලපෑමක් එල්ල නොකළ බව පවසමින් නැවත පැමිණීමට බවද ඇය සඳහන් කරයි.

ඇය පවසන්නේ ටෙස්ටොස්ටෙරෝන් ප්‍රතිස්ථාපන චිකිත්සාව කිහිප දෙනෙකුට උපකාරීවුවද, ටෙස්ටොස්ටෙරෝන් අවශ්‍ය බව පවසන පුද්ගලයින් අතරින් එයින් සත්‍ය වශයෙන් ප්‍රයෝජන ලබන්නේ ඉතා සුළු පිරිසක් බවයි. කාන්තාවන් සම්බන්ධයෙන් මේ දක්වා ඇති වෛද්‍ය සාක්ෂි අනුව, ටෙස්ටොස්ටෙරෝන් ප්‍රතිස්ථාපන චිකිත්සාව ප්‍රධාන වශයෙන් ප්‍රයෝජනවත් වන්නේ ආර්තවහරණයෙන් පසු සහ ලිංගික ආශාව අඩු කාන්තාවන් සඳහා පමණි.

බ්‍රිග්ස් පවසන්නේ පෞද්ගලික සායන මගින් සිදුකරමින් සිටින ප්‍රචාරණය කිරීම්වලදී "සියල්ල ප්‍රමාණය ඉක්මවා පෙන්නුම් කර ඇති" බවයි.

''අවශ්‍ය වේලාවට ටෙස්ටොස්ටෙරෝන් ප්‍රතිස්ථාපන චිකිත්සාව ලබා ගන්න එකට මම විරුද්ධ නැහැ. මම විරුද්ධ වෙන්නේ ඒක අතිශෝක්තියෙන් ප්‍රවර්ධනය කරන එකටයි,"

වෛද්‍ය බෙන් ඩේවිස් ද අනතුරු අඟවන්නේ ටෙස්ටොස්ටෙරෝන් ප්‍රතිස්ථාපන චිකිත්සාව ප්ලේසෙබෝ බලපෑමක් ඇති කළ හැකි බවයි, එවිට ඇතැම් අවස්ථාවලදී රෝගීන්ට අවශ්‍ය නොවන ඖෂධයක් පෞද්ගලිකව මිලදී ගැනීමට සහ මුදල් වියදම් කිරීමට සිදුවේ.

චෙරිල් ඕ'මැලී ටෙස්ටොස්ටෙරෝන් ලබා ගැනීම නවතා දමා ඇත. ඇය පවසන්නේ ප්‍රතිකාර කාලය තුළ ඇය අත්විඳි දැඩි කෝපය සහ ඉහළ ලිංගික උද්දීපනය දැන් අඩු වී ඇති අතර, ඇයගේ ලිංගික ආශාව තමන්ට සුවපහසු මට්ටමකට නැවත පැමිණ ඇති බවයි.

"මට මාරම සහනයක් දැනෙනවා, මම ඒක ගන්න එක නැවැත්තුවා," ඇය පවසයි.

'ඒක හොඳ විසඳුමක් නෙමෙයි'

"සමහර අයට, ඖෂධය ජීවිතයම වෙනස් කරන දෙයක් වෙන්න පුළුවන්'' ඩේවිස් පවසයි, නමුත් එය ඖෂධයක් පමණක් ලබා දීමෙන් අවසන් වෙන දෙයක් නෙමෙයි."

"රෝගියෙකු සමඟ ඔවුන්ගේ ලිංගික ආශාව අඩුවීම පිටුපස තිබෙන්නේ කුමක්ද කියන දේ සාකච්ඡා කරන්න වෛද්‍යවරුන්ට කාලය නොමැති වෙන්න පුළුවන්, එය ඔවුන්ගේ සහකරු සමඟ ඇති සම්බන්ධතාවය විය හැකිද, ඔවුන් තමන් දෙස බලන ආකාරය විය හැකිද, ඔවුන් දැනට පවත්වන ලිංගිකත්වය දිගු කලක් ඔවුන්ව ආකර්ෂණය කර ගැනීම ද විය හැකිද?"

ඔහු පවසන්නේ ලිංගික ආශාව අඩුවීමට බලපාන සාධක බොහෝ ඇති අතර, ටෙස්ටොස්ටෙරෝන් එකම පිළිතුර නොවන බවයි.

Cheryl O'Malley

ඡායාරූප මූලාශ්‍රය, Cheryl O'Malley

ඡායාරූප ශීර්ෂ වැකිය, "මම ඒවා [ටෙස්ටොස්ටෙරෝන්] ගැනීම නැවැත්වූ විට මට මහත් සහනයක් දැනෙනවා," චෙරිල් ඕ'මැලී පවසයි

කෙසේ වෙතත්, ඇලන් රීව්ස් දැන් වසර හතක් පුරාවට ටෙස්ටොස්ටෙරෝන් ප්‍රතිස්ථාපන චිකිත්සාව ලබාගෙන ඇති අතර, පුද්ගලික සායනයක් වන Balance My Hormones මගින් ඔහුට ටෙස්ටොස්ටෙරෝන් නියම කර ඇත. ඔහු පවසන්නේ තම ජීවිතය පුදුමසහගත ලෙස වැඩිදියුණු වී ඇති බවයි.

"මගේ ලිංගික ආශාව ආපසු ආවා. මුල් කාලයේදී තරමටම, මට දවස් 10ක් පුරාවට සෑම රාත්‍රියකම ලිංගික සම්බන්ධතාවය අවශ්‍ය වුණා."

''නමුත් දැන් ඒක සන්සුන් වෙලා දැන් මම හොඳ තත්ත්වයක ඉන්නවා."

කෙසේවෙටත් රීව්ස් විශ්වාස කරන්නේ "මේක හොඳ දෙයක් නෙමෙයි" යන්නයි. ජීවන රටාවේ වෙනස්කම් සිදු නොකර ටෙස්ටොස්ටෙරෝන් පමණක් ලබා ගැනීමෙන් ප්‍රයෝජනයක් නොමැති බව ඔහු පවසයි.

එමෙන්ම ඔහු පවසන්නේ එය පැරණි, නඩත්තු නොකළ මෝටර් රථයකට Ferrari එන්ජිමක් සවි කිරීමක් වැනි දෙයක් බවයි.

''මම දැන් ඍජුව ඉන්නවා, බාගයක් ටෙස්ටොස්ටෙරෝන් නිසා, බාගයක් මගේ උත්සාහය නිසා.''

අතිරේක වාර්තාකරණය: නැට් රයිට්

ඡායාරූප: Getty Images