BV: 'යෝනි මාර්ගයේ බැක්ටීරියා වල සමතුලිතතාවයේ වෙනසක් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් (STI) විය හැකියි'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, මිෂෙල් රොබට්ස්
- Role, ඩිජිටල් සෞඛ්‍ය සංස්කාරක, බීබීසී ප්‍රවෘත්ති
පර්යේෂකයන්ට අනුව, යෝනිමාර්ග ප්‍රදාහය හෙවත් බැක්ටීරියා වජිනෝසිස් (BV) සැබෑ ලෙසම ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් (STI) විය හැකිය.
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය (NHS) දැනට පවසන්නේ එය ලිංගිකව එක්වීම නිසා ඇති විය හැකි වුව ද BV ඇති වන්නේ, " ඔබේ යෝනි මාර්ගයේ බැක්ටීරියා වල ස්වාභාවික සමතුලිතතාවයේ වෙනසක් නිසා වන අතර එය ලිංගාශ්‍රිත ආසාදනයක් නොවේ" යනුවෙනි.
කෙසේ වෙතත්, අධ්‍යයනයට අනුව, ලොව පුරා කාන්තාවන්ගෙන් තුනෙන් එකකට පමණ බලපාන සහ වඳභාවයට, නොමේරූ දරු උපත් සහ අලුත උපන් බිළිඳු මරණවලට හේතු විය හැකි BV - ලිංගික සංසර්ගය අතරතුර පැතිරෙන අතර එය ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STI) පිළිබඳ අර්ථ දැක්වීම සමග ගැලපේ.
නිව් ඉංග්ලන්ඩ් වෛද්‍ය සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද ඔස්ට්‍රේලියානු අත්හදා බැලීමෙන් හෙළි වූයේ ආසාදනය ඉවත් කිරීම සඳහා රෝගියාට පමණක් නොව ලිංගික සහකරුවන්ට ප්‍රතිකාර කිරීම ද අත්‍යවශ්‍ය විය හැකි බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
BV යනු දැඩි පිළි ගඳක් (දුර්ගන්ධයක්) සහිත අසාමාන්‍ය යෝනි ශ්‍රාවයකට බලපාන පොදු හේතුවකි.
එම ශ්‍රාවයේ වර්ණය හා පවතින ස්වභාවය ද වෙනස් විය හැකිය, නිදසුනක් ලෙස එය අළු/සුදු පැහැයට හුරු මෙන්ම තුනී සහ වතුර මෙන් විය හැකිය.
කෙසේ වෙතත්, යෝනිමාර්ග ප්‍රදාහය (BV) ඇති කාන්තාවන්ගෙන් අඩකට කිසිදු රෝග ලක්ෂණයක් නොමැත.
යෝනිමාර්ග ප්‍රදාහය සාමාන්‍යයෙන් කිසිදු වේදනාවක් හෝ කැසීමක් ඇති නොකරයි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඊට ප්‍රතිජීවක පෙති හෝ ජෙල් හෝ ක්‍රීම් යොදා ගනිමින් ප්‍රතිකාර කළ හැකිය.
BV ආසාදිත යුවල 164ක් යොදාගෙන කරන ලද අත්හදා බැලීමකදී, පර්යේෂකයන් ඉහළ සුවවීමේ අනුපාතයක් ලබා ගනු ලැබුවේ BV ලිංගාශ්‍රිත ආසාදනයක් ලෙස සලකා, කාන්තාවන්ට පමණක් නොව ලිංගික සහකරුවන් දෙදෙනාට ම ප්‍රතිජීවක ලබා දීමෙනි.
මෙම ප්‍රවේශය තුළින් BV නැවත නැවත ඇතිවීමේ ප්‍රවණතාව අඩකින් අඩු වූ බව පැහැදිලි වූ විට වෛද්‍යවරු අධ්‍යයනය කලින්ම නතර කළහ.
ප්‍රධාන පර්යේෂකාවක වන මහාචාර්ය කැට්‍රියෝනා බ්‍රැඩ්ෂෝ මෙසේ පැවසුවාය: "අපගේ අත්හදා බැලීමෙන් පෙන්නුම් කරලා තියෙන්නේ සහකරුවන්ගෙන් නැවත ආසාදනය වීම, කාන්තාවන්ට BV නැවත නැවත ඇතිවීමේ අත්දැකීම්වලට හේතු වනවා කියලා, ඒ නිසා ඇත්ත වශයෙන්ම BV ලිංගාශ්‍රිත ආසාදනයක් බවට සාක්ෂි සපයනවා."
"BV ලිංගිකව සම්ප්‍රේෂණය වෙනවද කියලා කියන්න දුෂ්කරතාවයක් වන්නේ, ඊට බලපාන්නෙ කුමන බැක්ටීරියාව ද කියලා අපි තවමත් නිශ්චිතව ම දන්නේ නැහැ, නමුත් ජානමය විශ්ලේෂණයේ දියුණුව ඒ අභිරහස හෙළිකර ගන්න අපට උපකාරී වෙනවා," ඇය තවදුරටත් පැවසුවාය.
මොනෑෂ් විශ්වවිද්‍යාලය සහ මෙල්බර්න් ලිංගික සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ඇල්ෆ්‍රඩ් සෞඛ්‍ය පර්යේෂකයින් විසින් මෙහෙයවන ලද මෙම අධ්‍යයනයේදී, පිරිමින්ගෙන් අඩකට සතියක් සඳහා මුඛ ප්‍රතිජීවකයක් සහ සම මත ආලේප කිරීම සඳහා දේශීය ප්‍රතිජීවක ක්‍රීම් එකක් ලබා දුන් අතර, පිරිමින්ගේ පාලන කණ්ඩායමට කිසිදු ප්‍රතිකාරයක් ලබා දී නොමැත.
සොයාගැනීම් අනුව, සායනය දැන් ලිංගික සහකරුවන් දෙදෙනාට ම නිතිපතා ප්‍රතිකාර කිරීම සඳහා එහි සායනික පිළිවෙත වෙනස් කර තිබේ.
"බොහෝ කලක සිට සැක කරපු විදියට-විශේෂයෙන් නිතර නිතර ආසාදන වලින් අත්විඳින අයට, BV ආශ්‍රිත බැක්ටීරියාව ලිංගිකව සම්ප්‍රේෂණය විය හැකි බවට - වටිනා සාක්ෂි මෙම සොයා ගැනීම් වලින් සපයනවා." ලිංගික සෞඛ්‍ය සහ HIV සඳහා වූ බ්‍රිතාන්‍ය සංගමය පැවසීය.
"මෙම පර්යේෂණයෙන් BV ගැන තියෙන අපේ අවබෝධය වැඩි දියුණු කරනවා. ආසාදන සුව නොවන අවස්ථාවන්වල දී ප්‍රතිකාර ප්‍රවේශයන් මෙහෙය වන්න බලාපොරොත්තු සහගත අවබෝධයක් ලබා දෙනවා," ප්‍රකාශකයෙක් පැවසීය.
*ඔබට STI ලක්ෂණ හෝ BV පිළිබඳ ගැටලු තිබේ නම්, ඔබේ වෛද්‍යවරයා හෝ දේශීය ලිංගික සෞඛ්‍ය සායනයක් වෙත යොමුවන්න.














