'මම ලියන හැටි': ශමෙල් ජයකොඩි

සිය මුල් ම නවකතාව වන 'යළි උපන් ගැහැණිය' 2008 වසරේ ප්‍රකාශයට පත් කරන ශමෙල් ජයකොඩි 2023 වසරේ දී 'කොස්මොපොලිටන් ජීවිත' නවකතාව ප්‍රකාශයට පත් කරන විට ඇගේ නමට යටින් එක් වන නවකතා ගණන දාහතක් බවට පත් වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Provided

    • Author, කෞශල්‍ය කුමාරසිංහ
    • Role, ලේඛක

සිය මුල් ම නවකතාව වන 'යළි උපන් ගැහැණිය' 2008 වසරේ ප්‍රකාශයට පත් කරන ශමෙල් ජයකොඩි 2023 වසරේ දී 'කොස්මොපොලිටන් ජීවිත' නවකතාව ප්‍රකාශයට පත් කරන විට ඇගේ නමට යටින් එක් වන නවකතා ගණන දාහතක් බවට පත් වෙයි.

බලපොරොත්තු සහගත අනාගතයක් වෙත හැරුණු ඇගේ නවකතා පාඨකයන් අතර සේ ම විචාරකයන් සහ සාහිත්‍ය විනිශ්චය මණ්ඩල තුළ ද නිරන්තර සම්භාවනාව ට පාත්‍ර වී ඇත.

මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමග බැඳුණු ඇයට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය.

මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති 'නිම්නාගේ ඉතිහාසය' (2019) සහ 'මේ රහස් කවුළුවෙන් එබෙන්න' (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය.

හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේ ම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන,ලියන විදිහ,ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය.

කෞශල්‍ය : මෙතෙක් මේ සංවාද මාලාවේ සිද්ධ වුණු විදිහට ම මම ඔබගෙනුත් මුලින්ම අහන්නෙ ඔබ නවකතාවක පළවෙනි වාක්‍යය ලියන හැටි ගැන. අපි ඔබේ පොත් වල දකින මේ පළමු වාක්‍යයම ද ඔබ ඒ නවකතා ලියන්න පටන් ගනිද්දි ලිව්වේ?

ශමෙල්: ඇත්තෙන්ම ලේඛකයෙකුට නවකතාවක් ලිවීම ආරම්භයේදී ම තමන්ට අවශ්‍ය පළමු වාක්‍යය ලියවෙනවා නම් ඒ අය ගොඩක් වාසනාවන්තයි. හැබැයි මගෙ කතාව ඊට වඩා වෙනස්. පිටු විස්සක් තිහක් සමහර විට පිටු පනහක් විතර ලිව්වට පස්සෙ තමයි මං හරියටම පොතට ඇතුල් වෙලා කතාව විකාශනය වන හැටි, චරිත මොනවගේද වගේ දේවල් තේරුම් ගන්නෙ. කතාව කොහොමද කියන්න ඕන කියන එක වුණත් මම තේරුම් ගන්නෙ එහෙමයි. මම උදාහරණයක් කියන්නම්. මගෙ ‘වීනස්ගේ උපත’ නවකතාව ගත්තොත්, ඒක තරුණියක් ගැන කතාවක්. නමුත් මේ කතාව කියන්න වඩාත්ම හොඳ ක්‍රමය ඒ කතාවෙ එන පවුලෙ ඉන්න බාලම පිරිමි දරුවා හරහා මේක කියන එක කියල මම තේරුම් ගන්නෙ පිටු ටිකක් ලිව්වට පස්සේ. ඊට පස්සෙ මං ඒ කෝණයෙන් කතාව කියන්න පටන් ගන්නවා. එතකොට මම කරන්නේ කතාව අලුතෙන් සංවිධානය වුන ආකාරයට අනුව පළමු වාක්‍යය නැවත සකස් කරන එක. ඇත්තෙන්ම කියන්න ඕන පළවෙනි වාක්‍යය ගැන මං ඉතා ම සැළකිලිමත්. සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි පළමු වාක්‍යයෙන් කතාව ගැන කිසියම් පෙර දැනුම් දීමක් කරනවා කියන එක. නමුත් මට නං අවශ්‍ය වෙන්නේ පාඨකයන් කුල්මත් කරමින් කතාවට ප්‍රවේශ වෙන්න.

කෞශල්‍ය : දැන් මේ විදිහට ඔබ කතාවට ඇතුල් වෙලා කතාව කියන කෝණය ආදී දේවල් පිළිබඳ වටහා ගන්නා මොහොත වෙන කොට ඔබ පිටු විස්සක් තිහක් ලියලයි තියෙන්නෙ. කතාව පිළිබඳ අලුත් වටහා ගැනීමත් එක්ක ඒ ලියපු දේවල් වලට මොකද්ද වෙන්නේ?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ශමෙල්: මෙහෙමයි, මම ලියන්න පටන් ගන්නකොට මම දන්න දේවල් ටිකක් තියනවා. එකක් කතාවේ අවසානය ගැන මට දළ අදහසක් තියනවා. මම වැඩ කරන්න යන චරිත කිහිපයක් ගැන අදහසක් තියනවා.මේ චරිත විකාශනය වන යුගය ගැන, සමාජය ගැන අවබෝධයක් තියනවා. ඒ වගේම මේ තුළ තියන මානුෂික සබඳතාවල මූලික ස්වරූපය කවරාකාර ද කියන එක, ඒ කියන්නේ දරුවෙක් සහ දෙමාපියන් අතර සම්බන්ධයක් වගේ දෙයක් ද කියන එක. වෙන විදිහකට කිව්වොත් කතාවේ තේමාව මම දන්නවා. ඒ නිසා මම අර ලියපු දේවල් වලට විශාල වෙනස්කම් කරන්න වෙන්නෙ නැහැ. මොකද මේ හැමවෙලාවක ම කතාවේ තේමාව තුළ තමයි මම ඉන්නෙ. පිටු විස්සක් තිහක් ගියාට පස්සෙ බොහෝ විට සිද්ධ වෙන්නෙ මේ කතාව කියන්න ඕන ආකාරය මම සොයා ගැනීම. කොහොමටත් මම අර කලින් කියපු මගෙ හිතේ තියන අවසානයට මේ චරිත කොහොමද යන්නෙ කියන එක ගැන මේ වෙනකොටත් සම්පූර්ණයෙන් දන්නෙ නැහැ. ඒක තමයි මට තියන අභියෝගය. මං හිතන්නෙ මේ අභියෝගය ම තමයි එක අතකින් නවකතා ලියන්න මට ආශාව ඇති කරන්නේ.

කෞශල්‍ය : මේ කතා තේමාවන් හිතට එන විදිහ ගැන යමක් කියන්න පුලුවන්ද?

ශමෙල්: මේ හැම එකක්ම මගෙ අත්දැකීමක් එක්ක සම්බන්ධයි. සමහර විට කිසියම් අත්දැකීමක් හරහා මීට අවුරුදු දහයකට පහළවකට කළින් මගෙ හිතේ පැලපදියම් වෙච්ච අදහසක් වෙන්න පුලුවන්. මං කිව්වනෙ අවුරුදු දහයක් පහළවක් කියල, මං හිතන්නෙ ඊට පස්සෙ මේ කාලය තුළ මම අහන දේවල් දකින දේවල් මගෙ හිතේ කොහෙහරි තැනක තැන්පත් වෙනවා. ඒක මම හිතල කරන දෙයක් නෙමේ. ඒ දේවල් වලින් අර හිතේ පැලපදියම් වුණු අදහස පෝෂණය වෙනව. මං ලියන්න ගන්න වෙලාවට මට ඒ දේවල් හැම එකක්ම ආවර්ජනය කරන්න පුලුවන්. මං උදාහරණයක් ගත්තොත්, මගෙ අලුත්ම පොත 'කොස්මොපොලිටන් ජීවිත'. ඒ පොතේ කතා වෙන්නෙ නිව්යෝක් නුවරට ඇවිත් වසර ගාණක් ජීවත් වෙච්ච පවුලක් ළඟට සිංහල තරුණයෙක් නවතින්න යනව. ඔහු සිසුවෙක් විදිහට ඇවිල්ල ඉන්නෙ. දැන් මේ හැමෝම යුද්ධයක් පැවතුණු රටක ජීවත් වුණු අය. දැන් මට මේක අත්විඳින්න වුණේ මීට අවුරුදු විස්සකට කලින්. මොකද මං කැනඩාවට එන්නේ මීට අවුරුදු විස්සකට කලින් එතකොට මට මෙහෙ ජීවත් වෙන්න වෙනවා ලංකාවෙ දෙමළ ප්‍රජාවත් එක්ක. මේ අත්දැකීම විඳින වෙලාවෙ මං මේක නවකතාවකට ලියන්න ඕනෙ කියල හිතල තිබුණේ නැහැ. ඒක නවකතාවක තේමාවක් බවට පත්වෙන්නේ දැන් අවුරුදු විස්සකට පස්සෙ. මෙහෙම තමයි අත්දැකීම් නවකතා බවට පත්වෙන්නේ. අනිත් එක මං කියන්න ඕන අත්දැකීමක් වේදනාබර නං තමයි ඒක නවකතාවක් ලියන්න තල්ලුවක් වෙන්නෙ. කිසිම සතුටුදායක අත්දැකීමක් මෙතෙක් එහෙම වෙලා නැහැ. මට නවකතා ලියන්න හැමවිටම උදව් කරල තියෙන්නෙ වේදනාකාරී අත්දැකීම් තමයි. මගෙ හැම නවකතාවක් දිහාම දැන් හැරිල බලන කොට මට පුලුවන් ඒ නවකතා පදනම් වෙච්ච අත්දැකීම, එහෙමත් නැත්තං ඒ මතකය සොයාගන්න.

ශමෙල් ජයකොඩි

ඡායාරූප මූලාශ්‍රය, provided

ඡායාරූප ශීර්ෂ වැකිය, ශමෙල් ජයකොඩි

කෞශල්‍ය :එහෙමනං දැන් අපි ටිකක් කතා කතාකරමුද මේ අත්දැකීම ප්‍රබන්ධයක් බවට පත් වෙන හැටි ගැන? කොහොමද මේව ඔබේ පරිකල්පනය තුළ වෙනස් වෙන්නේ?

ශමෙල්: මෙහෙමයි, නවකතාවක් ලියන්න යම්කිසි තේමාවක් ආවම මං මුලින්ම කරන්නේ ප්‍රබන්ධ ලෝකයක් හදාගන්න එක. ඒ කියන්නෙ චරිත, ඒ චරිත පිහිටන සමාජය සහ යුගය මේ දේවල් සහිත කතා රාමුවක්. උදාහරණයක් හැටියට මගේ චිකාගෝ හදවත නවකතාවෙ ලංකාවෙ ඉඳන් යුවලක් චිකාගෝවට එනව කෘත්‍රිම දරු පිළිසිඳගැනීමකට. නමුත් ඒක අසාර්ථක වෙලා ඔවුන් ලංකාවට ගිහින් දරුවෙක් අරගෙන නැවත චිකාගෝවට එනවා ඒ දරුව ඇතිදැඩි කරන්න. දැන් මේක තමයි මගේ ප්‍රබන්ධ ලෝකය. දැන් මේක තුළ මං කතාව ගොතන විදිහෙ යම්කිසි නිදහස් චලනයක් තියෙනවා. අන්න එතෙන්දි මං මගෙ අත්දැකීම් එකතු කරන්න ගන්නවා. එතකොට තමයි කතාවට ජීවයක් එකතු වෙන්නේ. මං හිතනවා මං මගේම දේවල් ඇතුල් කරන්න කරන්න කතාවට විශ්වසනීය බවක් ලැබෙනවා කියලත්. මං හිතන්නෙ පාඨකයත් අපිත් එක්ක බැඳෙන්නෙ අපිට කිට්ටු ම දේවල් ලියනකොට. අනිත් එක මං මෙතෙන්දි කියන්නෙ මගෙ පරණ අත්දැකීම් විතරක් නෙමේ. හිතන්න, මං අද ලියන්න වාඩි වුණාම වහින්න ගත්තොත් මගෙ කතාවෙ වැස්සක් තියෙන්න පුලුවන්. මං ලියන තැනට කුරුල්ලෝ කෑගහනව ඇහෙනවා නං මගෙ කතාවට කුරුල්ලෝ සම්බන්ධ වෙන්න පුලුවන්.

කෞශල්‍ය :අපි තව ටිකක් කතා කරමුද මේ ලිවිමේ ක්‍රියාවලිය ගැන. ඔබ කතාව ආරම්භයේ ගොඩනගන චරිත හැමවිටම ඔබට අවශ්‍ය ආකාරයට ම හැසිරෙනවද නැත්තං ඔබ අපේක්ෂා නොකළ දේවල් සිද්ධවෙලා තියනවාද?

ශමෙල්: මේක මට ඇත්තට ම ඉතාම වැදගත් දෙයක්. මගෙ කතා වල හැමවිට ම චරිත වලට විශාල වැදගත්කමක් ලැබෙනවා. කතාව සම්පූර්ණයෙන් ම පදනම් වෙන්නේ මේ චරිත වල විකාශනය මත. මං මුලින් කිව්ව වගේ මං ලියන්න ගන්නකොට මගෙ හිතේ තියෙන්නෙ චරිත ටිකක් සහ අවසානයක්. ඉතින් මේ චරිත ඒ අවසානයට යන්නෙ කොහොමද කියන එක මං දන්නෙ නැහැ. ඒක වෙන්නෙ ලියන ක්‍රියාවලිය ඇතුළේ. එතෙන්දි සමහර චරිත උඩට එනවා සමහර චරිත යට යනවා. මං මුලදි නොහිතන දේවල් ගොඩක් වෙනවා. මෙතන්දි මට කියන්න පොඩි රහසක් තියනවා. මං හිතන්නෙ චරිත එක්ක මං මගේම ජීවිතය ගලපගන්නවා, එතෙන්දි මට කරන්න බැරි දේවල් මං මේ චරිත වලට කරන්න ඉඩ හරිනවා. ඒකෙන් මම ලොකු සතුටක් විඳිනවා. මේ චරිත මම වගේ නෙමෙයි. මට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නෙ. මට වඩා කටකාරයි, මට වඩා නිර්භීතයි, මට කියන්න බැරි දේවල් කෑගහල කියනවා, ආදරය ප්‍රකාශ කරනවා. මට හිතෙන්නෙ මං මේ චරිත මට නොදැනීම එක්කං යනවා මට හැකියාවක් නැති ප්‍රදේශයකට. එතෙන්දි මගෙ යටි හිතේ තිබුනු කැමැත්තවල් මේ චරිත වලට ආරෝපනය වෙනවා. ඒ නිසා මගෙ කතා වල චරිත මං හිතුවට වඩා වෙනස් මාර්ග වල යනවා, චරිත වල ස්වභාවය වෙනස් වෙනවා, හිතපු නැති පැති වලට මාවත් ඇදගෙන යන වෙලාවල් තියනවා මගෙ විඥ්ඥානයෙන් තොරව. නමුත් ඔවුන් කතාවෙ තේමාව තුළ රැඳෙනවා.

කෞශල්‍ය: ඔබ කලින් කිව්ව ලියන්න පටන් ගනිද්දි ම ඔබට මේ චරිත ගමන් කරන අවසානය ගැන අදහසක් තියනවා කියල. ඉතින් හැමවිටම ඔබට අවශ්‍ය වෙච්ච අවසානයට ඔබ ළඟා වෙලා තියනව ද මේ චරිත ත් එක්ක?

ශමෙල්: ඔව් බොහෝ විට එහෙම තමයි. මොකද මගෙ පොත් වල පැහැදිලි අවසානයක් මම දෙන්නෙ නැහැ හැම විටම තියෙන්නෙ විවෘත අවසානයන්. ජීවිතය වගේම තමයි. චරිත වලට බලාපොරොත්තු සහගත අනාගතයක් තියනවා. මේක එක්තරා විදිහට මගෙ ඇබ්බැහියක්, ඒකෙන් මිදෙන්න බැරිකමකුත් තියනවා. අනික මං කැමතියි පාඨකයාට තමන් ගැනම ගැඹුරු ආවර්ජනයක් ඇති කරන්න. ඉතින් මේකට යන්න මට ඒ තරම් අසීරු නැහැ. ඔන්න චරිතයක් මැරෙනවා නං එහෙම ඒක තරමක් බරපතල දෙයක්. කොහොමද එතෙන්ට යන්නෙ කියන එක සැලසුම් කරන්න වෙනවා. නමුත් මගේ අවසානයන් ඊට වෙනස්. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ පහසුයි කියන එක. සමහර අවස්ථා වල විශාල වෙහෙසක් දරන්න වෙලත් තියනවා. පාඨකයාගෙත් හිත හැදෙන විදිහට මගෙ හිතේ තියන දේ කියාගන්නෙ කොහොමද කියන එකට. මට මතකයි ‘කුමර කොබෙයි’ නවකතාවෙදි ඒකෙ ප්‍රකාශකයා මගේ අත්පිටපත කියවල මට යෝජනාවක් කළා ‘ශමෙල් ඔයාගෙ පොතේ මෙන්න මේ තැනින් නැවැත්තුවොත් මොකද කියල’ ඒ වෙලාවෙ මං ඒ කියපු දේ ඒ ආකාරයෙන් ම පිළිගත්තා. මම සාමාන්‍යයෙන් එහෙම යෝජනා වලට නම්‍යශීලී කෙනෙක්.

කෞශල්‍ය: සාමාන්‍යයෙන් ඔබ නවකතාවක් ලියන්න පටන් ගත්තට පස්සෙ දිනපතා ලියනව ද? ලියන්න කලින් එදිනෙදා ලියන්න යන දේ ගැන සැලසුම් කරනව ද? මං මෙහෙම අහන්නම්කෝ , මේ ලියන කාලෙට ඔබේ හැසිරීම මොනවගේ ද?

ශමෙල්: ලියන කාලෙට මං සාහිත්‍යයෙන් ඈත්වෙලා තමයි ඉන්නෙ. මොකද මගෙ අවට නැහැ සාහිත්‍ය ගැන උනන්දු අය. ඒක මට ලොකු පහසුවක්. ඒ කාලෙට මං කැමතියි බස් එකේ කෝච්චියෙ යන්න, මොකද මට මගෙ චරිතත් එක්ක ඉන්න පුලුවන් නිසා. ඒ වගේම මං කාර්යබහුල වෙන තරමට මගෙ චරිත වල ගොඩනැංවීම මට පහසු වෙනවා. මං යන එන හැම තැනකදි ම මං මේ චරිත ත් ලෝකයට විවෘත කරනවා. ඇත්තට ම මට ලිවීමට වඩා වැදගත් දේ වෙන්නෙ මෙන්න මේ පරිකල්පනීය කාලය තුළ.ලියන එක මට මගෙ පරිගණකය විවෘත කර ගන්න පුලුවන් වෙන ඕනෙම වෙලාවක කරන්න පුලුවන්. ඒත් මේ චරිත වල විකාශනය පරිකල්පනය කරන කාලය ඊට වඩා ගොඩක් වැදගත්. හැබැයි මේ පරිකල්පනය සිද්ධ වෙන්නෙ මගෙ ඔළුවේ ඇතුළේ විතරක් නෙමෙයි. මං අර කිව්ව වගේ මගේ එදිනෙදා ජීවිතයෙ අහන දකින දේවල් වලට මේ චරිත ත් නිරාවරණය වෙනවා. මං උදාහරණයක් කියන්නං, මට ඉන්නවා ලොකු යෙහෙළියො පිරිසක්, මේ සමහරු සමාජයේ ඉතා ම ඉහළ තල වල ඉන්න අය, සමහරුගෙ ජීවිත වල විශාල අර්බුද තියන අය, ඉතින් මේ අය මට නිතරම ඒගොල්ලන්ගෙ ජීවිත වල සිදුවීම් කියනවා. ඒ අය දන්නෙ නැහැ මං නවකතාවක් ලියමින් ඉන්න බව. මේ කවුරුවත් සාහිත්‍යට කලාවට සම්බන්ධ අය නෙමේ. බොහෝ අය පොත් කියවන්නෙවත් නැහැ. ඉතින් මේ විශාල පරාසයක මිනිසුන් ඇසුරු කිරීම මගෙ චරිත වල පරාසය ලොකු කරන්න බලපානවා. ඒකයි මං කිව්වෙ ලිවීම ට මට වඩා මට මෙන්න මේ ක්‍රියාවලිය හරි වැදගත් කියල. මං ඇත්තට ම එහෙම පිළිවෙලකට දිනපතා මේ තරම් වෙලාවක් ලියනවා කියල ලියන කෙනෙක් නෙමේ. මොකක් හරි ලියන්න දෙයක් ආවොත් උයමින් හිටියත් දුවගෙන ගිහින් ඒක ලියල එනවා සමහර වෙලාවට. ගොඩක් වෙලාවට පරිකල්පනය මට තවදුරටත් දරාගෙන ඉන්න බැරි තැනදි මං ලියනවා. බොහෝ විට පිටු තුනක් විතර තමයි. සමහර දවසට එක පිටුවක්වත් ලියවෙන්නේ නැති දවස් තියනවා. කොහොම වුනත් පැයකට වඩා නං දවසකට ලියල නැහැ. ලියන්න විශේෂ තැනක් කියල එකකුත් නෑ. ඉස්සර නං මං රැකියාව කරපු තැන ලිව්වේ. දැන් නං කෑම මේසෙ ඉස්සරහ වාඩි වෙලා තමයි ලියන්නෙ. හැබැයි සීත කාලෙට තියනවා සීත අඩුතැනක්. රස්නේ කාලෙටත් තියෙනවා රස්නේ අඩු තැනක්.

කෞශල්‍ය: ඔබේ නවකතාවල සංස්කරණ ක්‍රියාවලිය මොනවගේ එකක්ද?

ශමෙල්: මං සාමාන්‍යයෙන් අවසන් වාක්‍යය ලියල ඉවර වෙනකන් ඉන්නව සංස්කරණය පටන් ගන්න. මුලින්ම ප්‍රින්ට් අවුට් එකක් අරගෙන මේක නැවත නැවත කියවනවා. නවකතාවේ ගලායාම සහ කටහඬ තේරුම් ගන්න. චරිතවල කටහඬ නෙමෙයි නවකතාවේ කටහඬ. මම දන්නෙ නැහැ මේකද නිවැරදි වචනෙ කියල. නමුත් මගෙ හිතේ ඒ අදහස වෙනුවෙන් මං තියං ඉන්නෙ ඔය වචනෙ. ඉතින් මේ දේවල් වල රිද්මය හරියාකාරව ඇවිත් තියනවද කියන එක තමයි මම බලන්නෙ. මොකද කතාව විශ්වසනීය දෙයක් බවට පත්වෙන්නෙ මේ රිද්මයෙන් කියල මම හිතනවා. ඉතින්, මේ කාලෙට ගමනක් ගිය ත් මේ ප්‍රින්ට් අවුට්ස් ටික අරගෙන තමයි යන්නෙ. මේක එක ආකාරයක සංස්කරණයක්. තවත් ආකාරයක සංස්කරණයක් මම කරනවා. ඒ තමයි පොත ලියල ඉවර වුනාට පස්සෙ ඒක අමතක කරල මාස දෙකක් විතර වෙනත් වැඩ කරමින් ඉඳල නැවත එන එක. මේ කෙටි දුරස් වීමෙන් පස්සේ මට වඩා පැහැදිලිව පොතේ ගැටලු පේන්න ගන්නවා. මෙතෙන්දි මං උනන්දු වෙනවා විශේෂයෙන් චරිත වල ගතිස්වභාවයන්ට අදාළ නොවන දේවල් ඒ චරිත අතින් කියවෙනවද කියන එක ගැන. සමහර කාරණයක් කියවිය යුතුව තියෙන්නෙ ඒ චරිතය අතින් නෙමේ වෙනත් චරිතයක් අතින් වෙන්න පුලුවන්. අනිත් එක මගේ අදහස් ඒ චරිත වල ස්වභාවය ඉක්මවමින් ඇතුල් වෙලා තියනවාද කියන එක. ඒ වගේම යම් යම් අදහස් උවමනාවට වඩා නැවත නැවත කියවිලා තියනවද කියන එක ගැනත් මම බලනවා. මේ සංස්කරණ ක්‍රියාවලියෙදි මම සමහර කොටස් කපා ඉවත් කරනවා සහ සමහර දේවල් අලුතෙන් ඇතුල් කරනවා. නමුත් ලියන ලද වාක්‍ය වල භාෂාත්මක සංස්කරණ සිද්ධ වෙනවා අඩුයි. මොකද මම හිතනවා ඒ සමහර වාක්‍ය මුලින්ම ලියවුනු ආකාරය තමයි හොඳම ආකාරය කියල.

කෞශල්‍ය: ඉතින් මේ කතාබහ අවසන් කරන්න මං කැමතියි අහන්න ඔබ කොහොමද මේ ලිවීම විඳින්නෙ කියන එක?

ශමෙල්: මට දෙන්න තියන උත්තරේ ටිකක් පරස්පර ව්‍යාකූල එකක්. එක පැත්තකින් මේ ලිවීම ලොකු දුකක්. ඒක මගෙ ජීවිතේ වේදනාකාරී අත්දැකීම් සහ මතක එක්ක පැටලිලා තියෙන්නෙ. ලියන කාලය තුළ මම ඉන්නෙ මගේ ම ප්‍රතිබිම්බ වගේ චරිත ටිකක් එක්ක හීන ලෝකයක් ඇතුළේ. ඉතින් ලිවීම අවසන් වුන ත් එකපාරම එතනින් ගැලවෙන්නත් අමාරුයි. සමහර වෙලාවට එකපාරට හිතෙනවා දැන් මගෙ චරිත මොනවා කරනව ඇතිද කියල. මේක එක්තරා විදිහක පිස්සුවක්. අනිත් අතින් මට කියන්න ඕන දේවල් ලියන කොට දැනෙන සතුටක් තියනවා. ඒත් ඔයා මගෙන් ඇහුවොත් මේ දෙකෙන් මොකද්ද වැඩි කියල මට කියන්න වෙන්නෙ දුක තමයි වැඩි කියල.

ඔබ ශමෙල් ජයකොඩි ගේ නවකතා කියවන විට පවා ඇයගේ පරිකල්පනීය සිහින ලෝකය තුළ එම නවකතා වල චරිත තවදුරටත් ජීවත් වෙමින් වෙනස් වෙමින් සිටිනවා විය හැකිය.

ලිවීම විසින් ලේඛකයා ආක්‍රමණය කරන හැටි තවත් කවුළුවකින් දකින්නට ලබන සතියේ අප මුණගැසෙන්නේ ප්‍රවීන ලේඛකයෙකු වන ජයතිලක කම්මැල්ලවීර යි.

බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි.

ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි.