'මම ලියන හැටි': සුරත් ද මැල්

ඡායාරූප මූලාශ්‍රය, Provided
- Author, කෞශල්‍ය කුමාරසිංහ
- Role, ලේඛක
සුරත් ද මැල් සිය පළමු නවකතාවෙන් ම පාඨක ආදරය දිනා ගැනීමට සමත් වූ ලේඛකයෙකි.‘තී හා තා’ කෘතියෙන් ඇරඹී ‘සී ප්ලස්’ හා ‘ඩුඕ’ හරහා දිගහැරෙන සුරත් ගේ නවකතාකරණය අද වන විට ‘ලමුතු අමයා’ දක්වා පැමිණ ඇත.
ඔහුගේ සාහිත්‍යයේ එක් සුවිශේෂීත්වයක් වන්නේ එය සමකාලීන ලාංකීය තාරුණ්‍යයේ සහ ගැටවරවියේ සංකීර්ණතා නැවුම් රචනා ශෛලීන් ඔස්සේ නිරූපණය කිරීමට සමත් වීම ය.
මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඔහුට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය.
මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය.
හැම ලේඛකයෙක් ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේ ම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි.ලියන තැන,ලියන විදිහ,ලියන විට බොන කෝපි කෝප්ප ගණන, ලිවීම තමන් ම විඳින හැටි, වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය.
මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය.
කෞශල්‍ය : මං කැමතියි මේ කතාබහ පටන් ගන්න ඔබේ නවකතා ආරම්භ වන පළවෙනි වාක්‍ය වලින්.ඒවා ඉතා ම සිත්ගන්නාසුළු ඒවා.අපි මේ කියවන පළමු වාක්‍ය ද ඔබ මේ නවකතා ලියන්න පටන් ගන්න කොට ලිව්වෙ?
සුරත් :අපෝ නැහැ.ඒ ලියපු පළවෙනි වාක්‍ය මොකද්ද කියල දැන් මට මතකවත් නැහැ. මං අසාමාන්‍ය විදිහට සංස්කරණය කරන කෙනෙක්.උදාහරණයක් හැටියට ‘තී හා තා’ මුල් පිටපත ලියල ඉවර වෙන කොට ඒක පිටු දාහකටත් වැඩියි.හැබැයි මුද්‍රණය වුන පොතේ තියෙන්නේ පිටු හාරසිය ගානයි.මං සංස්කරණයේදි මුලින් ම කළේ පිටු අටසිය ගානක් කපල අයින් කරපු එක.ඊට පස්සෙ තව පිටු දෙසීයක් විතර අලුතෙන් ලිව්වා.මගෙ දෙවෙනි පොත ‘සී ප්ලස්’ මම දහ සැරයක් විතර නැවත නැවත ලිව්වා.මුල් පිටපතේ තියෙන්නෙ පිටු දෙසීයක් විතර,මුද්‍රණයට යනකොට පිටු හාරසිය ගාණක් තිබුණා. තුන්වෙනි පොතේ මුලින් ලියල ඉවර වෙන කොට තිබුනෙ එක කතාවයි.නමුත් මුද්‍රණය කරන වෙලාව වෙනකොට ඒක කතා දෙකක් වෙලා තිබුණා. ඉතින් පැහැදිලියි නේ,ඔබ කියවන පලමු වාක්‍ය මම මේ සංස්කරණ වලදි නැවත ලියපු එකක් මිස ඒ ඒ පොත් ලිවීම පටන් ගනිද්දි මම ලියපු එක නෙමෙයි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කෞශල්‍ය : ඔබ දැන් නවකතාවක් ලියන්න පටන්ගන්න යන්නෙ කියන එක කොහොම ද දැනෙන්නෙ? ඒක ඔබ ඉතා දැනුවත්ව කරන දෙයක් ද?
සුරත් : දැන් ‘තී හා තා’ ගත්තොත් එහෙම මං මේ නවකතාවක් ලියන්න යන්නෙ කියන එක තිබුණේ නැහැ.මං ඒක පටන් ගන්නෙ මගෙ ප්‍රේම සම්බන්ධයක් බිඳවැටුනට පස්සෙ මට ඇතිවුන පශ්චාත්තාපයෙන් ගැලවෙන්න.ඒ පොතේ තියෙන්නෙ මගෙ කතාව.මේක පිටු දාහක් විතර ලියවෙන්නෙ ඒකයි.මේ ගැන දන්න මගෙ යාලුවෙක් මට කියපු දෙයක් තමයි ඒ සම්බන්ධයෙ බිඳ වැටීමෙන් මට ඇතිවුන ඩිප්‍රෙෂන් එකෙන් ගැලවෙන හීලිං ප්‍රොසෙස් එක තමයි මේ ලිවීම කියල.ඒක ඇත්ත. මට පිටු දාහක් නෙමේ විසිදාහක් වුනත් ඒක ලියන්න තිබුනා.නමුත් ඒ ලිවීම විසින් මාව ඒ මානසික ආතතියෙන් ගැලෙව්වට පස්සෙ මේක පොතක් හැටියට ප්‍රින්ට් කරන්න ඕනෙ කියල හිතන කොට මට තේරුණා මිනිස්සුන්ට පිස්සු නෑ පිටු දාහක් මේක කියවන්න කියල.කොටින්ම පිටු සීයක් විතර ඒකෙ තිබුනා මමයි මගෙ පෙම්වතියයි හුවමාරු කර ගත්ත ඇත්තම ලියුම්.ඉතින් සංස්කරණයෙදි තමයි මේ දේවල් අයින් වෙලා මේක නවකතාවක් වෙන්නෙ.හැබැයි ප්‍රධාන චරිත දෙකේ චරිත ස්වභාවයන් වෙනස් වුණේ නැහැ.මට ඒ නවකතාවෙ ඕනෙ වුනේ ඇත්ත ලියන්න. දෙවෙනි පොත ලියන්න ගනිද්දි මං දැනං හිටිය මං මේ නවකතාවක් ලියන්න යන්නෙ කියන එක. ආදරේට පස්සෙ ජීවිතේ තිබුණ අනිත් බරපතලම දේ මිත්‍රත්වයන්.ඉතින් දෙවෙනි එක හැටියට මට ඕනෙ වුනේ මිත්‍රත්වයන් ගැන නවකතාවක් ලියන්න.
කෞශල්‍ය :ඔබ ලියන්න පටන් ගනිද්දි ඔබ ලියන්න යන නවකතාව ගැන මොනතරම් දැනුවත් ද?
සුරත්: ලියන්න යන නවකතාවෙ අදහස ගැන ගැඹුරු අවබෝධයක් තියනවා. නමුත් ලියන්න යන කතාව ගැන හරියටම දන්නෙ නැහැ.ලියාගෙන යද්දි තමයි ඒක හැදෙන්නෙ. ඒ කියන්නෙ කතාවෙ සිදුවීම් පෙළගැහෙන හැටි චරිත වර්ධනය වෙන හැටි මේවා තීරණය වෙන්නෙ ලිවීමේ ක්‍රියාවලිය ඇතුළේ.මගෙ තුන්වෙනි පොත, ‘ඩුඕ’, ඒකෙ කතා දෙකක් තියනවා,ඒකෙ දෙවෙනි කතාව ලියද්දි මං කටුසටහන් ගහල පරිච්ඡේද වල සාරාංශ පවා ලියල තමයි පටන් ගත්තෙ. ඒත් පළවෙනි පරිච්ඡේදෙන් පස්සෙ මං සැලසුම් කරපු කතාව වෙනස් වුණා.කතාව වෙන ම දිශාවකට යන්න ගත්ත. මං හිතන්නෙ ඒක මං සැලසුම් කලාට වඩා හොඳ දිශාවක්.හැමවිටම මෙහෙම තමයි, අපි පටන් ගන්න කොට ලියන්න යන චරිත ගැන දන්නව වුණ ත් ඒ චරිත වලට නිදහසේ හැසිරෙන්න දුන්න ම ඒවා අපි අපේක්ෂා නොකළ අන්තයන්ට ගමන් කරනවා.මගෙ පළවෙනි හා දෙවෙනි නවකතා වල මට වැඩිපුරම ඕනෙ වුනේ චරිත වල මානසික ලෝකය හැසිරෙන විදිහ පෙන්නන්න මිසක් කතාවකට මුල් තැන දෙන්න නෙමේ.චරිත වල සිතුම් පැතුම් හැඟීම් එළියට එනකොට කතාව යන්නෙ ඒකට අනුව.මට නං කතාවක් නිශ්චිතව ගොඩනැගෙන්නෙ ලිවීමේ ක්‍රියාවලිය ඇතුළෙමයි.අපි පරිකල්පනය නොකළ දේවල් ලියන ක්‍රියාවලිය ඇතුළේ ලියවෙනවා. ලිව්වට පස්සෙ කියවල බලද්දි හිතෙනවා කොහොමද මං මේක ලිව්වෙ කියල.ලිවීමේ පරමානන්දය තියෙන්නෙත් එතන මං හිතන විදිහට.

ඡායාරූප මූලාශ්‍රය, Provided
කෞශල්‍ය :ඔබ කිව්ව පළවෙනි නවකතාවෙ තියෙන්නෙ ඔබේ ම කතාව කියල. තමන්ගෙම අත්දැකීමක් නවකතාවක් බවට පත්වෙන කොට ලේඛකයෙක් අත්විඳින දේවල් ගැන ටිකක් කියන්න පුලුවන් ද?
සුරත් :පළවෙනි එක විතරක් නෙමේ දෙවෙනි එක ගත්තත් එහෙමයි.මම දැනට ලියල තියන දේවල් වලින් හතරෙන් තුනකටත් වඩා තියෙන්නෙ මගෙ අත්දැකීම්.මේ ගොඩක් චරිත මං පුද්ගලිකව දන්න අය.නමුත් ලිවීමේදි ඇත්තට මං දන්න චරිතයේ ගති ලක්ෂණ තවත් චරිත වලට කාන්දු වෙන්න පුලුවන්.මගෙ මිත්‍රයන් අතරින් චරිත තුනක් මගෙ කතාවකට ආවොත් ඒ අයට සම්බන්ධ ඇත්ත ලෝකෙ ඉන්න තවත් අයගෙ ගුණයන් මේ චරිත වලට එන්නත් පුලුවන්.ඒ වගේම මේ හැම චරිතයකට ම මගේ චරිතයේ ස්වභාවය විවිධ පරිමාවන්ගෙන් ඇතුළු වෙනවා.ඒ නිසා කවදාවත් මට පූර්ණ ලෙස යහපත් චරිතයක් නං ලියන්න වෙන්නෙම නැහැ.මේ විදිහට තමයි සැබෑ ජීවිතය ප්‍රබන්ධ ලෝකයට ඇතුළු වෙන්නෙ. ඒ නිසා අත්දැකීම නවකතාවක් බවට පත්වෙද්දි ඒක යටත් වෙන්නෙ ප්‍රබන්ධයේ තර්කනයට,මොකද දැන් මේ අත්දැකීම් එන්නෙ මගෙ මතකයෙන් නවකතාවක් ලිවීමේ ක්‍රියාවලිය ඇතුළේ.හැබැයි පළවෙනි නවකතාවෙදි නං ඇත්තට ම මේ ප්‍රධාන චරිත දෙකේ ස්වභාවයන් ඇත්ත චරිත වල වගේම,ඒ කියන්නෙ ඒ අත්දැකීමට මුහුණ දුන්න මං සහ එවකට මගේ පෙම්වතියගේ ස්වරූපයට ආසන්නයෙන් තිබුණා.මොකද ඒක ලියවුණු ක්‍රියාවලිය වෙනස් මං මුලින් පැහැදිලි කරපු විදිහට.
කෞශල්‍ය :ඔබ කලින් කිව්ව ඔබ ලියන දේවල් සෑහෙන තරම් සංස්කරණය කරනව කියල. මේ සංස්කරණ ක්‍රියාවලිය සිද්ධ වෙන විදිහ ටිකක් පැහැදිලි කරන්න පුලුවන් ද?
සුරත්: ඇත්තට ම කිව්වොත් මං සෑහෙන තරම් නෙමේ නොසෑහෙන තරම් සංස්කරණය කරනව කියල තමයි කියන්න වෙන්නෙ.මොකද මං පළවෙනි ඩ්‍රාෆ්ට් එක හරි වේගෙන් ලියනවා. ඒකෙදි මට ඕනෙ මගෙ හිතේ තියන හැඟීම පුලුවන් තරං ඉක්මනින් පිට කරන්න. මං කොහොමත් නොඉවසිලිවන්ත කෙනෙක්.ඒ නිසා මේ පළවෙනි ලිවීම මට හරි වදයක්.හරි පීඩනයක්.හැකි ඉක්මනින් මගෙ හිතේ තියෙන දේ ලියල ඉවර වුනා ම මට හරි සහනක් දැනෙනවා.ඊට පස්සෙ ඒක සංස්කරණය කරන්න පටන්ගන්න තැන ඉඳල තමයි මං ලිවීම එන්ජෝයි කරන්න පටන් ගන්නෙ. ඇත්තටම කතාව ගොඩනැගෙන්න පටන් ගන්නෙ මේ ක්‍රියාවලිය ඇතුළේ.මෙතෙන්දි මම සමහර දේවල් නැවත ලියනවා වගේම ගොඩක් දේවල් අලුතෙන්මත් ලියනවා. මම පරිච්ඡේදෙන් පරිච්ඡේදෙ අරගෙන මුලු පොතම එක වරක් මේ විදිහට සංස්කරණය කළා ට පස්සෙ මම ඒකෙ ප්‍රින්ට්අවුට් එකක් අරගන්නවා ඒ 5 සයිස් එකට, ඒ කියන්නෙ පොතක ප්‍රමාණයට ම.ඊට පස්සෙ ඒක කියවමින් දෙවෙනි සංස්කරණය පටන් ගන්නවා.මේ විදිහට මේක පොතක් හැටියට මුද්‍රණය කරන්න මං සෑහීමට පත් වෙනකං මේ ක්‍රියාවලිය යනවා. මං කලින් කිව්වෙ,දෙවෙනි පොතේ දි දහ පාරක් මම මේක කළා.මං හිතන්නෙ සංස්කරණය කියන දේ කරන්න බැරි නං මං ලේඛකයෙක් වෙන එකක් නැහැ.
කෞශල්‍ය:මේ සංවාදය අවසන් කරන්න පෙර මට කියන්න ඔබ ලියන්නෙ මොන වෙලාවටද? ඔබ වැඩිපුරම ලියන තැන මොකද්ද?
සුරත්: මම පාන්දර හතරට නැගිටිනවා.හතරට නැගිටින්නෙ ලියන්න ඕනෙ හින්ද ම නෙමේ මට ඊට පස්සෙ නින්ද යන්නෑ.මම කොහොමත් ටිකක් ඩිප්‍රෙස්ඩ්. ඊට පස්සෙ පුතා නැගිටිනතුරු හය විතර වෙනකං වැඩ කරනවා.මං සිංගල් පේරන්ට් කෙනෙක් නේ.ඉතිං පුතා ඉස්කෝලෙ යනකං එයාගෙ වැඩ තියනවා.එයා ඉස්කෝලෙ යැව්වට පස්සෙ මං පැය එකහමාරක විතර වෝක් එකක් දානවා.ඒක මේ ව්‍යායාම අරමුණින් කරන එකක් නෙමේ,රිලැක්ස් වෙන්න කරන එකක්.මං ඇවිදින්නෙ පාරෙ මිනිස්සු දිහා බල බල. ඊට පස්සෙ ආපහු පුතා ගෙදර එනකං මං ලියනවා.මං මුලින් ලිව්වෙ සාමාන්‍ය විදිහට මේසෙ, පුටුවක වාඩි වෙලා.පෑනෙන් තමයි ලිව්වෙ.මං ලියන්නෙ කොලේට නැමිල, මගෙ මූණ තියෙන්නෙ පෑනට උඩින් අල්ලන කැමරාවක් වගේ. මෙහෙම ටික කාලයක් වැඩ කලාට පස්සෙ මට කොන්දේ අමාරුවක් ආවා.දැන් ලියන විදිහ තමයි ඔය ෆොටෝ එකේ තියෙන්නෙ.ටැබ් එකෙන් තමයි ලියන්නෙ.මට දැන් මේක මෙසෙ ලියනවාට වඩා ගොඩක් පහසුයි.තවත් දෙයක් කියන්න ඕනෙ,මං දැන් පූර්ණකාලීන ලේඛකයෙක්.මට වෙන රස්සාවක් නැහැ.
මේ කෙටි සංවාදය තුළ මා උත්සාහ කළේ සුරත් ද මැල් නවකතාකරුවෙකු ලෙස පවතින ආකාරය අත්දැකීමට ය.තම පොත් මත සමරු අත්සන් යොදන විට සිටින පුද්ගලයාට හෝ තම පොත් ගැන සම්මුඛ සාකච්ඡා වලට මුහුණ දෙන පුද්ගලයාට වෙනස්ව එම පොත් ලියන විට සිටින පුද්ගලයා කෙවැනිදැයි සොයා බැලීම මේ සාකච්ඡා මාලාවේ අරමුණ යි.
ලියන විට සිටින පුද්ගලයාගේ හැඟීම්,වතාවත් හා තාක්ෂණයන් හෙළිදරව් කිරීම මෙහි අපේක්ෂාවයි. දැන් සුරත් ද මැල් නැමැති නවකතාකරුවා ගේ නවකතාවක් කියවන ඔබට මදකට දෑස් වසාගෙන ඔහු එහි එක් එක් වාක්‍යය ලියන විට අත්විඳි වේදනාවන් හා ආනන්දයන් පරිකල්පනය කළ හැකිය.
සංවාද මාලාවේ ඉදිරි මුණගැසීම කත්‍යානා අමරසිංහ සමඟ සිදුවන්නේ ද එම අපේක්ෂාවෙනි.
බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි.
ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි.














