'මම ලියන හැටි' : කීර්ති වැලිසරගේ

ඡායාරූප මූලාශ්‍රය, Provided
- Author, කෞශල්‍ය කුමාරසිංහ
- Role, ලේඛක
කීර්ති වැලිසරගේ යනු සමකාලීන සිංහල සාහිත්‍යයේ මඟහැරයා නොහැකි නවකතාකරුවෙකි.
1999 වසරේ පළවන 'දුර්යෝගය' නවකතාවෙන් ඇරඹෙන ඔහුගේ නවකතාකරණය උණු දූවිලි, මායා තීර්ථ, දැදුරු ගිරිකුළු, කාල සර්ප, ගරුඬ මුහුර්තය, දෛව, සන්ධ්‍යානන්දය, උත්පත්ති යන විශිෂ්ට නවකතා සිංහල සාහිත්‍යයට දායක කර ඇත.
නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඔහුට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් මම ඔහු සමග කතාබහක යෙදුනෙමි.
මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළ කර ඇති නිම්නාගේ ඉතිහාසය (2019) සහ මේ රහස් කවුලුවෙන් එබෙන්න (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවා ය.
හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි.
ලියන තැන, ලියන විදිහ, ලියන විට බොන කෝපි කෝප්ප ගණන, ලිවීම තමන්ම විඳින හැටි, වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය.
මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය.
කෞශල්‍ය: මේ සංවාද මාලාවේ සුපුරුදු සමාරම්භක ප්‍රශ්නයම මං ඔබෙනුත් අහන්නම්. ඔබේ නවකතාවල පළමු වාක්‍යය ලියවෙන හැටි ගැන යමක් කියන්න පුළුවන්ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කීර්තිඃ මම නවකතාවක් ලියන්න තීරණය කරන්නේ වස්තු බීජය සැලකිය යුතු කාලයක් හිතේ තැන්පත් වෙලා තිබුණට පස්සේ. ඒක සමහර වෙලාවට අවුරුදු ගණනක් හිතේ තිබිච්ච අදහසක් වෙන්න පුළුවන්. එතකොට මේසෙක වාඩි වෙලා කොළ ටිකක් ලං කරගෙන ලියනවයි කියන එකට කලින් පෙර වැඩ විශාල සංඛ්‍යාවක් මගෙ අතින් සිද්ද වෙනවා. ඇත්ත වශයෙන්ම නවකතාව ලිවීම ආරම්භ වෙනවා කියන්නේ ඒ වැඩ ආරම්භ වීමයි කියල තමයි මට දැනෙන්නේ. බොහෝ වෙලාවට මගෙ නවකතාවල නිශ්චිත සමාජ දේශපාලන ආර්ථික පසුබිමක් එක්ක තමයි මගෙ නවකතා ලියවෙන්නේ. අපි ජීවත් වෙන තත්කාලීන සමාජය වෙන්නත් පුලුවන්. ඒ වගේම සමහරක් වෙලාවට ඓතිහාසිකව මේ පරිසරය හා එවක පැවති දේශපාලනයත් අදාළ වෙනව. එවැනි ආකාරයක භෞතික සමාජ දේශාපාලන පසුබිමක් නැතුව මගේ පැත්තෙන් ගත්තොත් නවකතාවකට අවශ්‍ය ප්‍රවේශය ගන්න බැරි වෙනවා. ඒ වගේම චරිත, අවස්ථා, සිද්ධි, ඒ කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය එකම නවකතාවේ වර්තමානයත් අතීතයත් යන ආකාර දෙකටම ගමන් කරන්න පුළුවන්. මේක මගෙ නවකතා දිහා බැලුවම පේන්න තියනවා. ඒ නිසා ලිවීමට කලින් මට විශාල පෙර වැඩ ප්‍රමාණයක් කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්තං අවශ්‍ය පරිදි මට නිරූපණ ක්ෂේත්‍රය ගොඩනගන්න බැරි වෙනවා. මම මේ පෙර වැඩ වල ස්වභාවය ඉදිරි ප්‍රශ්න එක්ක කතා කරන්නම්. ඉතින් මේ පළමු වාක්‍යය ලිවීමට මම මුහුණ දෙන්නේ මේ විශාල කාලයක් ගත වෙන පූර්ව සූදානමෙන් පසුවයි. මම මොනතරම් කාලයක් මම ලියන්න යන මගේ චරිතත් එක්ක ගත කර තිබුණත් ඒ සිදුවීම් පසුබිම ගැන දැන සිටියත් මේ පළමු වාක්‍ය ලිවීම කියන්නේ අතිශය අසීරු දෙයක්. මම කරන්නේ මේ පෙර සූදානමෙන් පසු ඒ වාක්‍යය එනතුරු බලා ඉන්න එක. ඒක කොයි වෙලේ එනවද දන්නෙ නැහැ. යම් වෙලාවක මේ ඔක්කොම සමෝධානය වෙලා ඒ වාක්‍යය එනවා, ඒක උදේද දවාලෙද රෑද දන්නේ නැහැ. නිශ්චිත තැනකුත් නැහැ. සමහර විට මං වෙන වැඩක් කරමින් ඉන්න වෙලාවක වෙන්නත් පුලුවන්. එතකොට මං කරන්නේ අතට අහුවෙන කොළයක් අරගෙන නවකතාව ලියන්න පටන් ගන්න එක.
කෞශල්‍ය: ඔබ කියන ආකාරයට පළමු වාක්‍යය ලියන මොහොත වෙන විට ඔබ ලියන්න යන නවකතාව ගැන ඉතා හොඳින් දන්නවා. අපි ටිකක් කතා කරමුද මේ දැනුවත් භාවය ඔබ ලබා ගන්නා ආකාරය ගැන.
කීර්තිඃ ඔව් ඇත්තටම මේ ක්‍රියාවලිය අවුරුදු කීපයක් ගත වෙන එකක්. මුලින්ම නවකතාව ගැන මූලික අදහස එනවා. ඒකත් එක්ක මගෙ හිතේ යම් චරිත සිදුවීම් සමුදායක් ගොඩනැගෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මම කරන්නෙ මේ චරිත පිහිටන පරිසරය සහ සමාජ ආර්ථික දේශපාලන ඓතිහාසික පසුබිම අධ්‍යයනය කරන්න පටන් ගන්න එක. මේ අධ්‍යයනය තුළ තමයි කිසියම් විදිහකට චරිත පූර්ණත්වයට පත් වෙන්නේ. ඒ වගේම අවශේෂ චරිත බිහිවෙන්නෙත්. ඉතින් මේ චරිත පිහිටන භූගෝලීය පරිසරය මට හුරුපුරුදු එකක් නෙමේ නම් එහෙමත් නැත්තම් මං කෙටි කාලයකට පමණක් දන්නා එකක් නම් මං මුලින්ම කරන්නෙ මේ ප්‍රදේශ කරා ගමන් කරන එක. එහෙම ගිහින් ඒ පැත්තෙ මිනිස්සු යම් විදිහකට ඇසුරු කරන එක. මෙතෙන්දි තව දෙයක් කියන්න ඕන මගෙ නවකතා වල නිතරම ඓතිහාසික කාලයන් දෙකක් හෝ කිහිපයක් තුළ කතාව ගමන් කරනවා. උදාහරණයකට මගේ 'මායා තීර්ථ' නවකතාව ගත්තොත් ඒකට 19 වන සියවසේ අගභාගයත් 20 වෙනි සියවසේ මැද භාගයත් කියන දෙකම ඇතුලත් වෙනවා. එතකොට මේ වගේ නවකතාවක් වෙනුවෙන් මගේ අධ්‍යයනය කරද්දි එක පැත්තකින් මං උත්සාහ කරනවා මේ කාලය තුළ ජීවත් වෙච්ච පරපුර දැන් ජීවතුන් අතර නැත්තම් ඔවුන්ගෙන් ඒ අත්දැකීම් අසා දැනගත් ඊලඟ පරපුර ඇසුරු කරමින් මේ කාලය ගැන තොරතුරු සටහන් කර ගන්න. ඒ වගේම 1890 ගණන් නිර්මාණය කිරීමට මට පුරාකතා, පුරාණෝක්ති වැනි දේත් ජාතික ලේඛනාගාරය වැනි තැන් වල තියෙන විවිධ ලේඛනත් අතිශය වැදගත් වෙනවා. මම හැමවිටම කරන දෙයක් තමයි මේ යුගයන් ගැන සාමාන්‍ය මිනිසුන්ගේ කතා වල එන සිදුවීම් සහ කාලයන් මේ ලේඛනාගාරයේ තියෙන ලේඛන සමග සන්සන්දනය කර නිරවද්‍යතාව පරීක්ෂා කරන එක. මේ විදිහට සෑහෙන කාලයක් මම සටහන් තබා ගනිමින් මේ හැදෑරීම කරනවා. යම් වෙලාවකට පස්සේ මම කරන මට පුරුදු වුණු තවත් දෙයක් තියනවා. මේක මට ආවේනික දෙයක්ද නැත්තං තවත් ලේඛකයන් කරන දෙයක්ද කියන්න මම හරියටම දන්නේ නැහැ. මම මේ එකතු කර ගත්ත සටහන් ඇසුරෙන් ස්කෙච් එකක් ගහනවා. මේකට මට බ්‍රිසල් බෝඩ් එකක් තරම් ලොකු එකක් ඕන. නවකතාවට පසුබිම් වන සමස්තය මම මේ බ්‍රිසල් බෝඩ් එකට ගන්න උත්සාහ කරනවා. එක පැත්තකින් ඒක සිතියමක්. භෞතික පරිසරය සිතියමක් හැටියට අර බ්‍රිසල් බෝඩ් එකට අරගන්නවා. ඒ වගේ බ්‍රිසල් බෝඩ් රෝල් ගණනාවක් ගෙදර තියනවා එක් එක් නවකතාවට ගහපු. දැන් මේකේ තියනවා ඒ ප්‍රදේශයට ආවේණික ශාක, සත්තු වගේ දේවල්. සමහර කලින් තිබුණු ශාක හෝ හිටිය කියල කියන සතුන් දැන් නැත්තං මං මිනිසුන්ගේ විස්තර කිරීම් ඇසුරෙන් මෙතන ඒවා නිර්මාණය කරනවා. එතකොට මේ ස්කෙච් එකේ පැත්තක් වෙන් වෙනවා පාරවල් වල පිහිටුම, ගඟ ගලන්නේ කොතනින්ද, අදාළ චරිත වල ගෙවල් පිහිටල තියෙන්නෙ කොතනද වගේ දේවල් සිතියම් ගත කරන්න. මෙතෙක් කාලයක් මං සටහන් ගත්තු නොට් පොත් ටිකත් ලං කර ගෙන තමයි මං මේක ස්කෙච් එක ගහන්නේ . ඊට පස්සෙ මං ලියන තැන මේ ස්කෙච් එක තියා ගන්නවා. මට ඒක අවශ්‍යමයි. තවත් දෙයක් කියන්න ඕන, මම මේ ස්කෙච් එකේ එක කොටසක් හිස්ව තියා ගන්නවා. ඒක පිරවෙන්නෙ නවකතාව ලියන අතරෙයි. ඒක චරිත පිළිබඳ රුක් සටහනක් සහ කාලානුක්‍රමණය දැක්වෙන සටහනක්. ඒ කියන්නේ ඒ චරිත මොන වකවානුවක ද ජීවත් වෙන්නෙ කියන එක. සමහර නවකතා වල කාලානුක්‍රමණය ගොඩක් දීර්ඝයිනේ. අවුරුදු 150 ක් විතර යන වෙලාවල් තියනවා. ඒ වගේ අවස්ථාවල මේ රුක් සටහනේ අපිට පේනවා කොහොමද ප්‍රධාන චරිත, අතුරු චරිත සහ අලුතෙන් එකතු වෙන චරිත මේ කාලය ඔස්සේ පැතිරෙන්නේ කියල. ඇත්තටම නවකතාවකට චරිත පනහක් සීයක් එනකොට තමයි ඔය වගේ දෙයක වැදගත් කම හොඳටම පේන්න ගන්නේ. ඒ වගේ වෙලාවට නවකතාව ලියන කෙනාට මේ වගේ රුක් සටහනක්, ධාරා සටහනක් හරිම පහසුවක් වෙනවා.

ඡායාරූප මූලාශ්‍රය, Provided
කෞශල්‍ය: ඇත්තටම මේක හරිම වැදගත් දෙයක්. විශාල අධ්‍යයනයක් ඇතුලේ එකතු කර ගත්ත සටහන් මේ තනි ස්කෙච් එකක් ඇතුලට ගන්න එකත් ඇත්තටම සුවිශේෂ විධික්‍රමයක්. දැන් මේ විදිහට නවකතාව ගැන පැහැදිලි අවබෝධයකින් ඔබ ලියන්න වාඩි වුනාට පස්සෙ ඔබ මේ සැලසුම් කරපු ආකාරයටම ඔබේ චරිත හැසිරෙනවද?
කීර්ති: හැමවිටම එහෙම වෙන්නෙ නැහැ. චරිත වල සංකීර්ණතාවයත් එක්ක ඒ අය මං කලින් අපේක්ෂා නොකළ දිශාවන්ට ගමන් කරන අවස්ථා තියනවා. මං කලින් නොහිතපු සම්බන්ධතාවයන් ඇති කර ගන්නා වෙලාවල් තියනවා. උදාහරණයකට දැන් මගෙ 'ගරුඬ මුහුර්තය' නවකතාවෙ සරනා කියන චරිතය ගත්තොත් එයාගේ බිරිඳ කුසුඹි මම කලින් සැලසුම් කරපු ආකාරයටම ඉදිරියට ගියා. නමුත් කුසුඹිගේ නංගි කපුරු සහ සරනා අතර ඇති වෙන සම්බන්ධය නවකතාව ලියාගෙන යද්දි ඇති වුන එකක්. මනුෂ්‍ය ස්වභාවයත් එක්ක එන ඒ ඉල්ලීමට ඉඩ නොදී ඉන්න විදිහක් නෑ ඒ වෙලාවට. චරිත වල සම්බන්ධතා සංකීර්ණ වෙන ආකාරය අනුව චරිත වල හැසිරීමට මම ඉඩ දෙනවා නමුත් හැම වෙලාවකම කතාවේ තේමාත්මක ගැඹුරට හානියක් වෙන දේවල් වලින් වැලකී සිටීමට වගබලා ගන්නවා.
කෞශල්‍යඃ ඔබ ලියන හැටි ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද? ඔබේ නවකතා වල උදාහරණත් එක්කම මේ ලියන කාලයේ අත්දැකීම් දැන ගන්න අපි කැමතියි.
කීර්තිඃ ඇත්තටම මං අර කලින් කියපු ඔක්කොම වැඩ අවසන් වෙන්න සමහර වෙලාවට අවුරුදු පහක් විතර ගත වෙන්නත් පුලුවන්. හැබැයි ඊට පස්සේ ලියන්න පටන් ගත්තම දීර්ඝ කාලයක් ගත වෙන්නෙ නැහැ. දැන් මගේ 'ගරුඬ මුහුර්තය' වගේ නවකතාවක් ගත්තොත් මම ඒක ලිවීම සඳහා ගත වුණ කාලය මාස අටක් වගේ. මම දිනකට මෙච්චර කාලයක් ලියනවා වගේ එකක් මට නැහැ. නමුත් මම ලියන්න ගත්තම පැය හත අටක් වුණත් එක දිගට ලියන්න පුලුවන් ආහාර ගැනීම පවා ප්‍රමාද කරමින්. එහෙම ලිව්වට පස්සෙ මම දවසක් හමාරක් විවේකයක් ගන්නවා නැවත ලිවීමට පෙලඹවීම එනතුරු. සාමාන්‍යයෙන් නවකතාව ඉදිරියට යන්න යන්න මේ පෙළඹවීම වැඩි වෙන්න ගන්නවා. මං සාමාන්‍යයෙන් ලියන තැන් තුනක් තියනවා. එකක් මගෙ නිදන කාමරයේ තියන මේසය, අනික සාලෙ කෑම මේසය, ඒ වගේම මගෙ පුස්තකාල කාමරයේ මේසය. මේ කොතන ලිව්වත් මට අවශ්‍යම දේ තමයි කොන්ද කෙලින් තියන පුටුවක්. මං ලියන්නෙ බෝල් පොයින්ට් පෑනෙන් හාෆ් ෂීට් කොළ වල. ලිවීමේ අත්දැකීම ගැන හිතද්දි මට මතක් වෙන එකක් තමයි මගෙ 'මායා තීර්ථ' නවකතාව. ඒකට වැඩි කාලයක් ගත වුණා . මොකද මම මාස හයක් විතර මුලින් ලිව්ව පරිච්ඡේද පහක්. ඉන් පස්සෙ මට ඒක නවත්තන්න සිද්ධ වුණා. මම ඒක නවත්තල අවුරුද්දක් විතර ගත වුණාට පස්සෙ දවසක හැන්දෑවක මං ආරියවංශ රණවීර මහත්මයා මුණගැහුණා . ඔහු දැනගෙන හිටිය මම මේ නවකතාව ලියන බව. ඔහු මගෙන් ඇහුවා කොහොමද ලියන නවකතාව කියල. මං එතකොට කිව්ව මං ඒක ලියන එක නවැත්තුව, මට ඒක තවදුරටත් ලියන්න බැහැ කියල. එතකොට ඔහු මගෙන් හේතු විමසුවා. එතකොට මං ඔහුට කියපු දේ තමයි මේ නවකතාවෙ පස් වෙනි පරිච්ඡේදයේ තියනව අතිශය කෲර මිනීමැරුමක්. 19 වන සියවසේ සිද්ධ වෙන කාන්තාවක් ඝාතනය කිරීම. මේක රචනා කිරීමෙන් පස්සේ මම දරුණු මානසික කම්පනයකට පත් වුණා . නැවත මට මේ නවකතාව ලියන්න බැහැ කියල. එවිට ඔහු මට කිව්ව මෙතෙක් ලියපු දේවල් කට වචනයෙන් ඔහුට කියන්න කියල. මම එහෙම කළාට පස්සේ ඔහු මට තදින් කියා සිටියා ඔබ මේ නවකතාව අවසන් කළ යුතුමයි කියල. මම හිතන්නේ රණවීර මහතාගේ ඒ වචන වලින් මට ශක්තියක් ලැබුණා නැවතත් එය ආරම්භ කරන්න. එහෙම තමයි 'මායා තීර්ථ' නවකතාව මම ලියා අවසන් කළේ . නමුත් තවමත් මට එය ලියද්දි ඇති වූ ඒ මානසික කම්පනය නම් සම්පූර්ණයෙන් දුරු වෙලා නැහැ. ඇත්තටම ලේඛකයෙක් හැටියට ලිවීමේදී මම මුහුණ දුන්න අසීරුම මොහොත තමයි ඒක.
කෞශල්‍ය: මං හිතන්නේ පාඨකයන් ඒ කෘතියෙන් ඒ තරම් කම්පනයට පත් වීමට හේතුව මෙතන තියනවා. මං දැන් කැමතියි දැන ගන්න ඔබ නවකතාවක අවසානයට මුහුණ දෙන ආකාරය ගැන?
කීර්තිඃ මං හිතන්නේ නවකතාවකට නිශ්චිත අවසානයක් නැහැ කියල. නමුත් හරියට අර රේඛා සමුදායක් නැත්තං ආලෝක කිරණ සමුදායක් එක තැනකදි ඡේදනය වෙලා නැවතත් ගමන් කරනවා වගේ මේ චරිත සිදුවීම් එකට ඡේදනය වන ලක්ෂ්‍යයක් වගේ තැනක් අපිට හමුවෙනවා. එතෙන්දි අපිට නවකතාව අවසන් කළ හැකියි. නමුත් එතනින් පස්සෙත් නවකතාව ඉදිරියට යනවා. උදාහරණයකට 'ගම්පෙරළිය' නවකතාව ගත්තොත් ඒක අවසන් ඒක අවසන් වෙන්නේ ඒ විදිහෙ අවස්ථා චරිත ඡේදනය වන තැනකදි නමුත් ඊට පස්සෙත් ඒ නවකතාව 'කලියුගය' සහ 'යුගාන්තයේදී' තවදුරටත් ඉදිරියට යනවා. මේ නිසා නවකතාවක දි නිමි කියල දාන එකට මම එකඟ නැහැ.
කෞශල්‍ය: නවකතාවක් ලියා අවසන් වුණාට පස්සෙ සංස්කරණය සිද්ධ වෙන ආකාරය මොන වගේද?
කීර්ති: මං ලියන මුල් පිටපත සාමාන්‍යයෙන් අවසන් එකට වඩා කෙටියි. අවසානයේ පිටු තුන්සීයක නවකතාවක් නම් පළමු පිටපත වෙන්නෙ පිටු දෙසීයක් වගේ. මේක ලියල අවසන් වුන ගමන් මං නැවත කියවන්නෙ නැහැ. කෙටි විවේකයක් අරගෙන දෙවන පිටපත ලියන්න ගන්නවා මේකෙ වර්ධනය කළ යුතු තැන් වර්ධනය කරමින්. සමහර තැන් වල අතර මැද පරිච්ඡේදයක් වුණත් එන වෙලාවල් තියනවා. සම්පූර්ණ නවකතාව ලියවෙන්නේ මේ දෙවෙනි පිටපතේ දි. නමුත් මං ඒකෙනුත් සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඒක බලාගෙන නැවත තුන් වෙනි පිටපතකුත් ලියනවා. මේ පිටපත් තුනම මුල සිට අගට අලුතෙන්ම ලියවෙනවා. මේක තමයි සංස්කරණ ක්‍රියාවලිය.
කෞශල්‍ය: නවකතාවක් ලියල අවසන් වුණ හම දැනෙන්නෙ මොන වගේ හැඟීමක් ද?
කීර්ති: හරිම සැහැල්ලුවක් දැනෙනවා. එතකොට ඉතින් ලියන කාලෙ අතපසු වෙච්ච වැඩ එහෙම කරන්න ගන්නවා. මේ වෙන කොට වත්ත එහෙම වල් බිහි වෙලා තියෙන්නෙ ඒ නිසා වත්ත එලිපෙහෙළි කරන්න මල් පැලයක් හිටවන්න වගේ දේවල් කරමින් සැහැල්ලුවෙන් ඉන්න තමයි බලන්නෙ.
කෞශල්‍ය: ලියන එක ඔබ විඳින හැටි ගැන යමක් කියන්න පුළුවන්ද?
කීර්ති: ලිවීම සිද්ධ වෙන්නේ ලොකු භාව කම්පනයක් එක්ක. ඒ නිසයි අවසන් වුනහම විශාල සැහැල්ලුවක් දැනෙන්නෙ. මං අර කලින් කියපු 'මායා තීර්ථ' ලියද්දි මුහුණ දුන්න අත්දැකීමෙන් පේන්නෙ ඒක තමයි. හැම නවකතාවක්ම ලියද්දිම විවිධ තීව්‍රතාවයන්ගෙන් මේ භාව කම්පනය තියනවා. මොකද චරිත මුහුණ දෙන ඒ අවස්ථාවන් මුලින්ම අත්විඳින්නෙ මමනේ. ඒ නිසා මට මේකට තෘප්තිය කියන වචනය යොදා ගන්න බැහැ. නවකතාවක් මුද්‍රණයෙන් පළ වුනාට පස්සෙ මං කවදාවත් මගේ තෘප්තියට කියල කියවන්නෙත් නැහැ. ඇත්තටම පොඩි අතෘප්තියක් තියනවා මට කියන්න ඕන දේ හරියට කියවුණා ද කියල.
කීර්ති වැලිසරගේ නවකතාකරුවා සිය නවකතා පිටුපස ගත කරන ජීවිතයේ ස්වභාවය, ඒවා ලියන විට ඔහු අත්විඳින හැඟීම් සහ ඔහුටම අනන්‍ය වූ තාක්ෂණයන් ගැන කරන ලද මෙම කතා බහ නවකතා ලිවීමට ආශාවෙන් සිටින අනාගත ලේඛකයන්ට බොහෝ දේ කියා දෙනු ඇත. එසේම ඔහුගේ නවකතා කියවන විට ඒවායේ ඇති චරිත, සිදුවීම් දෙස පෙර නොදුටු මානයකින් බලන්නටද සමහර විට මේ කතාබහ දායක වනු ඇත.
ලබන සතියේ අප හා එක් වන ශාන්ති දිසානායක යනු සමාකාලීන සිංහල සාහිත්‍යයේ සුවිශාල ජනාදරයකට පත් වූ නවකතාකාරියකි.
බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි.
ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි.














