'මම ලියන හැටි': මොහාන් රාජ් මඩවල

ඡායාරූප මූලාශ්‍රය, Provided
- Author, කෞශල්‍ය කුමාරසිංහ
- Role, ලේඛක
'මාගම් සෝලිය' නවකතාවෙන් සිය නවකතාකරණය අරඹන මොහාන් රාජ් මඩවල මේ වන විට 'ලොවීනා', 'ආදරණීය වික්ටෝරියා', 'කලම්බෝ', 'අයි ඩී' , 'නිල්කට්රොල්' සහ 'රැජින' යන නවකතා ප්‍රකාශයට පත් කරමින් පාඨකයන් දැඩි ලෙස සිය සාහිත්‍යයේ ග්‍රහණයට නතු කර ගැනීමට සමත් වී ඇත.
මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුනු ඔහුටම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය.
මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළ කර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවා ය.
හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි.
ලියන තැන, ලියන විදිහ, ලිවීම තමන්ම විඳින හැටි, වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය.
මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය.
කෞශල්‍ය : මීට පෙර සංවාද වගේම මේ සංවාදයටත් මුලපුරන්න මම කැමැතියි ලිවීමේ සමාරම්භක මොහොත සිහිපත් කරමින්. ඔබ ලියපු නවකතා ගැන හිතුවොත් මේ නවකතා වල පළමු වාක්‍යය ලියවුණු හැටි ගැන යමක් කියන්න පුළුවන්ද?
මොහාන්: මං දන්නෙ නැහැ මට මේකට නිශ්චිත උත්තරයක් දෙන්න පුළුවන්ද කියල. හැබැයි මේ එළඹුම ලියන එක තමයි අසීරුම දේ. මං සාමාන්‍යයෙන් ප්ලොට් එකක මාව ෂොක් කරන මොහොත එනකං ඒක ලියන්න පටන් ගන්නෙ නැහැ. එතකං මං ඒකත් එක්ක ජීවත් වෙනවා. ඒකත් එක්ක හිතනවා ඒවගේම සාමාන්‍ය ජීවිතය ගත කරනවා. මම එක දිගට ලියන කෙනෙක් නෙමෙයි. මම සාමාන්‍යයෙන් නවකතාවක් ලියන එක සලකන්නෙ ප්‍රොජෙක්ට් එකක් හැටියට. ඒක ඇතුලේ මම මූලික සංකල්පයත් එක්ක ගත කරන කාලයට අමතරව විවිධ ආකාරයේ රිසර්ච් තියනවා. මෙහෙම ඒකත් එක්ක ඉන්නකොට එක වෙලාවක මටම වාව් කියල හිතෙන තැනක් එනවා. මොකද මම දන්නවා මට එහෙම හිතෙන්නෙ නැත්තං පාඨකයන්ට එහෙම හිතෙයි කියල බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා ලිවීම ඇරඹෙන තැන එන්නේ ප්ලොට් එකේ මටම විස්මය දැනෙන මොහොතත් එක්ක.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කෞශල්‍ය : දැන් අපි සාමාන්‍යයෙන් ඔබේ නවකතා වල කියවන පළමු වාක්‍යය ඔබ ඒ නවකතා ලිවීම අරඹන විට ලියපු පළමු වාක්‍යයද?
මොහාන්: බොහෝ දුරට ඔව්. මම සංස්කරණය ගොඩක් විශ්වාස කරන කෙනෙක් වගේම මුලින්ම සිද්ධ වෙන ඉමෝෂනල් රයිටින් එක ගැනත් තදින් විශ්වාස කරන කෙනෙක්. ඒ හැඟීම් එක්ක ඉඳිමින් අපි අතින් ලියවෙන දේවල් වල කිසියම් නිර්ව්‍යාජත්වයක් තියනව කියන එක මම ගොඩක් පිළිගන්න කෙනෙක්. මේ නිසා මම බොහෝ විට උත්සාහ කරනවා ඒ එකවර ලියවෙන කොටස් ඒ ආකාරයෙන් කෘතිය තුළ තියන්න.
කෞශල්‍ය : ඔබ නවකතාවක් ලියන්න පටන් ගන්න විට ඒ ලියන්න යන නවකතාව ගැන මොනතරම් දැනුවත්ද?
මොහාන්: මෙහෙම යන්න ඕන කියල පොඩි ස්කෙච් එකක් තියනවා. අවසානය මෙහෙම හැඩයක් ගනියි කියල අදහසක් තියනවා. නමුත් ලියාගෙන යද්දි ඒක වෙනස් වෙන්න පුළුවන්. අතුරුකතා, අතුරු චරිත, සිදුවීම් එක්ක ඔළුවේ තියන සැකිල්ල වෙනස් වෙන්න තියන ඉඩ වැඩියි. සමස්ත නිර්මාණය කියන්නේ සීයක් කියල ගත්තොත් මම ඒ සීයෙන් හැටක් හැත්තෑවක් දෙන්නේ පරිකල්පනයට. ඉතින් පරිකල්පනය කියන්නේ අපිට කලින් ප්ලෑන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. අපි ඔළුවේ හදාගෙන එන සැලුසුම් වෙනස් කරන්න පරිකල්පනයට හැකියාව තියනවා.
කෞශල්‍ය: දැන් එතකොට මේ ලිවීම ආරම්භ කරන්න කලින් තියන ස්කෙච් එක තියෙන්නෙ ඔළුවේ විතරද නැත්තං කොහෙහරි සටහන් කරල තියෙනවද?
මොහාන්: නෑ, බොහෝ දුරට තියෙන්නේ ඔළුවේ තමයි. හැබැයි ලියාගෙන යද්දි මම තව ස්කෙච් එකක් ගහනවා මම ලියල අවසන් කරපු කොටස් සම්බන්ධයෙන්. මොකද මම යම්තාක් දුරට ලිව්වට පස්සේ එදිනෙදා ලිවීම පටන් ගන්නකොට කියවන්නේ අන්තිමයට ලියපු චැප්ටර් එක විතරයි. ඒ නිසා මම ලියපු දේවල් වල ස්කෙච් එකක් ලියල තියාගන්නව මගේ පැහැදිලිතාවය වෙනුවෙන්. ඒ ඇරුනහම ලිවීම ආරම්භ කරන්න කලින් කතාව ගැන තියන සැකිල්ල තියෙන්නෙ බොහෝ දුරට මගෙ හිතේ.
කෞශල්‍ය: දැන් ඔබ පසුගිය කාලයේ වැඩිපුරම වැඩ කලේ ඉතිහාස කතා පාදක කරගෙන. ඒවා හැම විටම තරමක් විශේෂ හැදෑරීමක් ඉල්ලා හිටිනවා. නවකතා ලිවීම සහ මේ හැදෑරීම කොහොමද එකට සම්බන්ධ වෙන්නේ?
මොහාන් : දැන් මගෙ නවකතා වලින් උදාහරණ අරගත්තොත් මට ලොවිනා නවකතාව ලියන අදහස එන්නෙ මගෙ හිතවතෙක් එක්ක කරපු කතාබහකින් පස්සේ. ඊට පස්සෙ මම මේ ගැන හොයන්න පටන් ගන්නවා. දැන් මවුන්ට් ලැවීනියා හෝටලේ වෙබ්සයිට් එකට ගියොත් ඒකෙ තියනවා, තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා සහ මේ ලොවීනා කියන රොඩී තරුණිය අතර තදබල ප්‍රේම සම්බන්ධයක් තිබුණා කියන කතාව. නමුත් මං මේ ගැන තවදුරටත් හොයන කොට මට පේන්න ගන්නවා මේක ප්‍රේම සම්බන්ධයකට වඩා බලය දේශපාලනය සහ ලිංගිකත්වය එකට එකතු වුණු වෙනත් යමක් කියන එක. අන්න එතකොට තමයි මට මේක නවකතාවකට ගේන්න ඕන කියන එක එන්නෙ. අපි සාමාන්‍යයෙන් දන්නා ඉතිහාසයේ නොපෙනෙන තැනක් මට අහුවෙනකන් මට ඒ ඉතිහාස කතාවෙන් නවකතාවක් ලියන්න ඕන කියන එක එන්නේ නැහැ. දැන් රැජින නවකතාව ගත්තොත් අනුලා බිසවගේ කතාවෙන් නවකතාවක් ලියන්න ඕන කියන එක මට කලින් තිබුණු අදහසක් නෙමේ. නමුත් යම් වෙලාවක මට වැටහෙනවා අනුලා ලංකාවේ රජ කරන කාලයේ ම තමයි ඊජිප්තුවේ ක්ලියෝපැට්රා පාලනය කරන්නේ කියන එක. අන්න ඒ මොහොත තමයි මාව මේ කතාව නවකතාවක් කරන්න ඕන කියන තැනට ඇදගෙන යන්නේ. මේක දැනගත්තට පස්සෙ මං ඊජිප්තුවෙ සංචාරයකුත් යනවා. කවුරුත් දන්නේ නැහැ මං මේ නවකතාවක් හිතේ තියාගෙනයි ගියේ කියල. ඒ වගේ තමයි, ඉතිහාස කතාවක් නවකතාවක් බවට පත් කරන්න ඕන කියන තැනට මාව තල්ලු වෙන්නේ මගේ සොයා බැලීම් එක්ක අපි දන්න කතාවේ නොදන්නා අමුතු තැනක් මට අහුවෙන වෙලාවෙදි.
කෞශල්‍ය: ඔබේ නවකතා වල අවසානය ගැන ඔබ දරන අදහස මොන වගේ එකක්ද?
මොහාන්: මම හිතන්නේ මගේ නවකතා වල තියෙන්නෙ විවෘත අවසානයන්. මම කැමතියි පාඨකයාට අර්ථකථනය කළ හැකි අවසානයන් ඉතුරු කරන්න. මං හිතන්නෙ නැහැ නිශ්චිත අවසානයන් කලා කෘතියකට වැදගත් කියල. ජීවිතයත් එහෙමයි නේ.
කෞශල්‍ය: මේ විදිහට අවසන් වෙන ඔබේ නවකතා සංස්කරණය වීම සිද්ධ වෙන්නේ මොන විදිහටද?
මොහාන්: ඇත්තටම මම ලියන විට කලින් ලියපු කොටස් කියවන කොට ඒ අතරේ තමයි සංස්කරණය සිද්ධ වෙන්නෙ. මං කලින් කිව්ව විදිහට මුලින් ලියවෙන දේවල් වලට මගෙ විශේෂ ලව් එකක් තියනවා. ඒ නිසා මං සංස්කරණය කරන්නේ මම කියන දේ කියවන්නාට ව්‍යාකූලයි කියල හිතෙනවා නං විතරයි. ලියල ඉවර වුනාට පස්සෙ මුද්‍රණයට පෙර මං මගේ පොත් කියවන්න දෙන පහළවක විස්සක විතර පිරිසක් ඉන්නවා. මේ අය විවිධ මට්ටම් වල අය. සමහරු සාහිත්‍ය හා කලාව සංකීර්ණ දැනුමක් තියෙන අය තවත් සමහරු සාමාන්‍ය පාඨකයන් මට මේ අයගෙන් ලැබෙන අදහස් මත මම සමහර වෙනස්කම් කරල තියෙනවා. මේකත් මගෙ සංස්කරණයේ එක් ආකාරයක්.
කෞශල්‍ය: නවකතාවක් ලියල අවසන් වුනාම දැනෙන්නෙ මොන වගේ හැඟීමක්ද?
මොහාන්: ඇත්තටම නවකතාවක් ලියල ඉවර වුනාට පස්සේ දැනෙන්නේ මාර හිස් කමක්. මගෙ ඇතුලේ තිබුණු සියල්ල මේකට දුන්නට පස්සෙ පට්ට හිස් කමක් දැනෙනවා. නැවත මාව පිරෙනකන් කිසිදෙයක් ලියන්න බැහැ. ඒකයි මම එක දිගට ලියන්නෙ නැත්තේ. මං දන්නවා නවකතාවක් ලියල අවසන් වුනාට පස්සෙ මං මා සතුව තිබුණු සියලු දේ ඒකට දුන්නට පස්සේ නැවත නවකතාවක් පටන් ගන්න මට කාලයක් ගන්න වෙනවා. එතකොට මං කරන්නෙ මාව නැවත පිරෙන්න අවශ්‍ය දේවල් කරන එක. ට්‍රැවල් කරනවා, රස්තියාදු ගහනවා, විවිධාකාරයේ මිනිස්සු ආශ්‍රය කරනවා, විවිධ වර්ගයේ පොත් පත් කියවනවා, මෙහෙම ඉන්න කොට තමයි කොහෙ හරි තැනක් ආයෙමත් ස්පාර්ක් වෙන්නේ. ඒ නිසා ඒකට අනිවාර්යෙන්ම අවුරුද්දක දෙකක කාලයක් අවශ්‍යයි.
කෞශල්‍ය: අවසාන වශයෙන් ඔබ ලියන ආකාරය සහ මේ ලිවීම විඳින හැටි ගැන යමක් කියන්න
මොහාන්: මට මං ලියන එක හොඳින්ම විඳින්න පුලුවන් පෑනෙන් ලියන කොට. කම්පියුටර් එකෙන් ලියන්න මං ට්‍රයි කරල තියනවා. නමුත් මගේ පරිකල්පනයේ රිද්මයත් එක්ක හරියටම ගැලපෙන්නේ පෑනෙන් ලිවීම තමයි. ඒ වාක්‍ය වල රහ මට දැනෙන්නෙ පෑනෙන් ලියන කොට. මං වාක්‍ය වල සවුන්ඩ් එක ගැන රිද්මය ගැන හරියට උනන්දු වන කෙනෙක්. මගෙ හිත ඇතුලෙන් වාක්‍ය නැවත නැවත කියවමින් තමයි ලියන්නේ. මට ලියන තැන ගැන එතරම් ලොකු විශේෂයක් නැහැ. නමුත් මං වැඩිපුර ලියන්නේ ගෙදර පුස්තකාලය තියන කාමරේ. වඩා වැදගත් වෙන්නේ තැනට වඩා ඩිස්ටර්බන්ස් නැති එක තමයි. මොකද ලිවීමේ මූලිකම දේ වෙන්නේ පරිකල්පනය. ඒකට අවශ්‍ය නිදහස තියෙන්න ඕන. එච්චරයි, ඒ ඇරුනම මං නවකතාවක් ලියමින්ද ඉන්නෙ නැද්ද කියන එක දැන ගන්න මාව හම්බෙන අයට අසීරුයි. මොකද මං සාමාන්‍ය විදිහට මගෙ අනික් වැඩ කරන අතර තමයි ලියන එකත් කරන්නේ.
මොහාන් රාජ් මඩවලගේ නවකතා භාවිතය හා ඒ සමඟ බැඳුණු හැඟීම් අපට ඔහුගේ නවකතා කියවීමට අලුත් කවුළුවක් විවර කරන්නට ඉඩ ඇතුවා සේම නවකතාකරණයට උනන්දුවන්නන්ට එයට ප්‍රවේශ වීමට තල්ලුවක් සපයන්නට ඉඩ ඇත.
ලබන සතියේ අප සුනේත්‍රා රාජකරුණානායක නවකතාකාරිණිය මුණගැසෙන්නේ ද මේ මූලික අරමුණු දෙක සිහි තබා ගෙනය. එනම් අදාළ ලේඛකයාගේ හෝ ලේඛිකාවගේ සාහිත්‍යය විඳ ගැනීමට නැවුම් ප්‍රවේශයක් සහ ලිවීමට ආශා කරන්නන්ට අනුප්‍රාණයක් යන්නයි.
බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි.
ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි.














