'මම ලියන හැටි': සුමුදු නිරාගී සෙනෙවිරත්න

මම සාමාන්‍යයෙන් ලියන්නේ රෑට. මට පාන්දර ඇහැරිලා ලියන්න පුලුවන් කෙනෙක් නෙමෙයි. මගෙ පළවෙනි නවකතාව ගත්තොත් මම ඒකෙ භාගයක් විතර එක දිගට ලියාගෙන ගියා. දවසකට පැය තුනක් විතර අඩුවැඩි වශයෙන් මාස හයක් හතක් මම එක දිගට වැඩ කළා.

ඡායාරූප මූලාශ්‍රය, PROVIDED

ඡායාරූප ශීර්ෂ වැකිය, "මම සාමාන්‍යයෙන් ලියන්නේ රෑට. මට පාන්දර ඇහැරිලා ලියන්න පුලුවන් කෙනෙක් නෙමෙයි. මගෙ පළවෙනි නවකතාව ගත්තොත් මම ඒකෙ භාගයක් විතර එක දිගට ලියාගෙන ගියා. දවසකට පැය තුනක් විතර අඩුවැඩි වශයෙන් මාස හයක් හතක් මම එක දිගට වැඩ කළා."
    • Author, කෞශල්‍ය කුමාරසිංහ
    • Role, ලේඛක

සුමුදු නිරාගී සෙනෙවිරත්න මේ වන විට ලියා ඇත්තේ 'දූල්වල ආලංකාරේ' නවකතාව පමණක් වුවද එයින් පාඨක විචාරක අවධානය තමන් වෙත යොමු කර ගැනීමට ඇය සමත් වූවාය.

ඇගේ කෙටිකතා සංග්‍රහ වන 'සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්' සහ 'ගිහින් එන්න කානිවල්' කෘති ඔස්සේ ඇය විවිධ තේමාත්මක හා භාෂාත්මක කලාපයන්හි සැරිසරමින් සංකීර්ණ අත්දැකීම් පාඨකයා වෙත නැවුම් විලාසයන්ගෙන් රැගෙන ඒමේ ශක්‍යතාව ප්‍රකට කර ඇත.

ඈ මෙතෙක් පළ කල සාහිත්‍ය කෘති තුනම විවිධ සාහිත්‍ය සම්මානයන්ට පාත්‍ර වී ඇති බව ද සිහිපත් කළ යුතුය.

මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඇයටම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය.

මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති 'නිම්නාගේ ඉතිහාසය' (2019) සහ 'මේ රහස් කවුලුවෙන් එබෙන්න' (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවා ය.

හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියටය.

මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය.

කෞශල්‍ය : පුරුදු විදිහටම සංවාදය පටන්ගන්න මං කැමතියි අහන්න ලිවීමේ සමාරම්භක මොහොත ගැන. ඔබ නවකතාවක පළමු වාක්‍යය හෝ වාක්‍යය කිහිපය ලියන හැටි ගැන සිහිපත් කරමුද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සුමුදු: හිතට යම් කිසි අදහසක් ආවට පස්සෙ ඒකත් එක්ක මං යම් කිසි කාලයක් ගත කරනවා. ඒ කාලය ඇතුලේ තමයි අදහස කතාවක් ලෙස යම් තාක් දුරට ගොඩනැගෙන්නේ. මේ කාලය තුළ අවශ්‍ය නම් මං ඒ කතාව දිගහැරෙන ස්ථාන හෝ ප්‍රදේශ වලට පවා යනවා. මේක මම කරල තියනවා කෙටිකතා වලදි. මගේ 'දූල්වල අලංකාරේ' නවකතාව ගත්තොත් ඒක ඓතිහාසික පසුබිමක යන නවකතාවක්නේ, මම ලියන්න වාඩි වෙන්න කලින් ඒකේ චරිත වල නම් සහ ඒ චරිත නවකතාව තුළ සිදුකරන වැඩ කොටස ගැන කටුසටහන් අරගෙන තිබුණා. මේ තරම් විස්තරාත්මකව නොවුණත් මම කෙටිකතා ලියද්දිත් මේ කටුසටහන් ගැනීම කරනවා. මම මේ දේවල් කරන්නේ ලිවීම පටන් ගන්න එකට සූදානම් වෙන්න. මොකද පළමු වාක්‍යය කිහිපය ලිවීම කියන්නෙ අතිශය අසීරු දෙයක්. ඒ වගේම මම ඉතාම පරිස්සමෙන් කරන දෙයක්. මේ විදිහට චරිත සහ සිදුවීම් වලට අදාළ තොරතුරු එකතු කරමින් ඉන්න අතරේ එක්තරා මොහොතකදි දැනෙනවා දැන් ලියන්න පටන් ගන්න පුලුවන් කියන එක. මේ වෙනකොට කතාවෙ සිදුවීම් වල අනුපිළිවෙල ගැන අදහසක් තියනවානෙ. දැන් 'දූල්වල අලංකාරේ' නවකතාව ගත්තොත්, මම දැනගෙන හිටියා කතාව පටන් ගන්නෙ සුරේන්දර නයිදේ ගෙ චරිතයෙන් කියල, ඔහු දකිනවා අර සුදු ජාතික වැවිලිකරුගේ බිරිඳ අශ්වයා පිටේ එනවා. දැන් එතකොට මම පටන් ගන්න දර්ශනය දන්න නිසා මට දැන් තියෙන අභියෝගය වෙන්නෙ ඒක ගැලපෙනම ආකාරයට වාක්‍ය බවට පත් කරන එක. මට මතකයි මම ඒ වාක්‍යය කිහිප වරක් ලිව්වා.

කෞශල්‍ය : ඒ කියන්නේ මේ ආකාරයට ඔබ ලිවීම ආරම්භ කරන මොහොතෙදි ලියන්න යන නවකතාව ගැන සැළකිය යුතු තරම් ඔබ දැනුවත් කියන එකද?

සුමුදු: මං හිතන්නෙ අඩු තරමෙ මං සියයට පනහක් විතර දන්නවා. කලින් කිව්ව වගේ ප්‍රධාන චරිත සහ ඒ චරිත නවකතාව තුළ පිහිටන හැටි වගේම සිදුවීම් පෙළ ගැහෙන හැටි ගැනත් සැලකිය යුතු අවබෝධයක් තියනවා. නමුත් ලිවීමේ ක්‍රියාවලිය තුළ යම් වෙනස්කම් සිද්ධ වෙනවා. ඒක නවත්තන්න බැහැ. මොනතරම් දේවල් සැලසුම් කලත් අපේ සැලසුමට පිටතින් දේවල් සිදුවීමේ හැකියාව තියනවා. උදාහරණයක් හැටියට මගේ කටුසටහන් වල නැති චරිතයක් කතාවට එකතු වෙලා වැදගත් භූමිකාවක් කතාව තුළ ඉටුකරන්න පුළුවන්. ඒ වගේම තමයි නවකතාව අවසන් වන ආකාරය ගැන මම දන්නෙ නැහැ. ඒක කතාව විසින්ම තමයි තීරණය කරන්නේ.

කෞශල්‍ය : ඔබ කියන විදිහට නවකතාවක් ලිවීමට පෙර ඔබ එහි චරිත හා සිදුවීම් ගැන කටුසටහන් තබා ගන්නා කෙනෙක්. ඊට අමතරව නවකතාව ගොඩනැගීමට ඔබ කරන ශාස්ත්‍රීය හැදෑරීම මොනවගේ එකක්ද? මං මේක අහන්නෙ ඔබේ 'දූල්වල අලංකාරේ' නවකතාවෙ තියෙන සුවිශේෂී ඓතිහාසික පසුබිම නිසයි.

සුමුදු: ඇත්තටම 'දූල්වල අලංකාරේ' නවකතාවේ අදහස මගෙ හිතට එන්නේ හරිම අහඹු විදිහට. මං කරමින් හිටිය ශාස්ත්‍රීය කටයුත්තකට අදාළව තමයි මං නුවර යුගයේ චිත්‍ර කලාව ගැන කියවමින් හිටියේ. ඒ සම්බන්ධයෙන් ලියවුණු ශාස්ත්‍රීය පොත් හා ලිපි ගණනාවක් මං කියෙව්වා. ඔය අතරෙදි මගෙ යාලුවෙක් ශාස්ත්‍රාලයීය නූතන චිත්‍ර කලාව ගැන එයා ලියපු පොතක් මට පෲෆ් බලන්න කියල දුන්න. මේ දෙකම එකවර සිද්ධ වුණේ . මං නුවර යුගයේ චිත්‍ර කලාව ගැන කියවමින් ඉන්න අතරෙ ඒ යුගයෙන් පස්සෙ ලංකාවෙ ප්‍රචලිත වෙන චිත්‍ර කලාව ගැන පොතක් තමයි මට මගෙ යාලුව දෙන්නේ. මෙතෙන්දි මට පේන්න ගත්ත මේ දෙක අතර තියන සම්බන්ධය. අපේ සාම්ප්‍රදායික චිත්‍ර කලාව කොහොමද නූතන චිත්‍ර කලාව දෙසට හැඩගැහුණේ කියන එක. එතකොට තමයි මට හිතුණේ මෙතන ලස්සන කතාවක් තියනවා කියල. නවකතාවක් වුනත් ලියන්න පුලුවන් විදිහෙ සිද්ධි මාලාවක් මෙතන තියෙනවා කියන එක වැටහෙන්න ගත්තෙ මේ විදිහටයි. ඊට පස්සෙ මං කල්පනා කළා මේක නවකතාවකට නඟනවා නං කොහොමද ඒක කරන්නේ කියන එක. එතෙන්දි මම ඒ කාලයේ අපේ රටේ සමාජ පසුබිම ගැන හදාරන්න පටන් ගන්නවා. ඇත්තටම චරිත සහ සිදුවීම් ගැන ලියපු කටුසටහන් වලට වඩා වැඩි ප්‍රමාණයක් තියනවා මම මේ නවකතාවට අදාළව ලියපු සහ එකතු කරපු ශාස්ත්‍රීය සටහන්. ඒවගේම මේ යුගයේ භාෂාව ගැන වෙනම අධ්‍යයනයක් කරන්න සිද්ධ වුණා . එතෙන්දි මට ගොඩක් වැදගත් වුනා මහාචාර්ය ජේ.බී දිසානායකගේ උඩරට සිංහලය වගේ පොත්. මේවා ඔස්සේ විවිධ ව්‍යවහාරයන් ගැන දැනුවත් වෙමින් ඒ කාලේ පාවිච්චි වෙන්න ඇත්තේ කුමන ආකාරයේ භාෂාවක් ද කියන එක අනුමාන කරන්න සිද්ධ වුණා.

කෞශල්‍ය :මේක ටිකක් සිත්ගන්නාසුළු දෙයක්. නවකතාවක මූලික අදහස ආවට පස්සේ කරන හැදෑරීම තමයි සාමාන්‍යයෙන් අපිට වැඩිපුර මුණගැසෙන්නේ. මෙතෙන්දි වෙන්නේ නවකතාවෙ අදහස ශාස්ත්‍රීය ව්‍යායාමයක් අතරේ පැමිණීම.

සුමුදු: ඔව්. මේක මට කෙටිකතා වලදිත් වෙලා තියෙන දෙයක්. ඒ වගේම තමයි මේකෙ අනිත් පැත්ත, ඒ කියන්නෙ මුලින් කතාවේ බීජය හිතට ඇවිත් ඉන්පසුව ඒ ගැන කරන හැදෑරීම, ඒකත් මම කරන දෙයක්. මම දැනට ලිවීම ආරම්භ කරල තියන මගෙ දෙවෙනි නවකතාවෙදි වුණේ ඒක.

කෞශල්‍ය: ටිකක් කියන්න පුළුවන්ද ලිවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන හැටි ගැන?

සුමුදු: මම සාමාන්‍යයෙන් ලියන්නේ රෑට. මට පාන්දර ඇහැරිලා ලියන්න පුලුවන් කෙනෙක් නෙමෙයි. මගෙ පළවෙනි නවකතාව ගත්තොත් මම ඒකෙ භාගයක් විතර එක දිගට ලියාගෙන ගියා. දවසකට පැය තුනක් විතර අඩුවැඩි වශයෙන් මාස හයක් හතක් මම එක දිගට වැඩ කළා. අදහස් එනකොට ඒව ඒ වෙලාවේ ලිව්වෙ නැත්තං ආයෙමත් ඒවා ඒ විදිහට එන්නේ නැහැ. ඉතින් මං වෙන වැඩක් කරමින් ඉන්න වෙලාවක වුණත් හැම වෙලේම පුංචි නෝට් බුක් එකක් තියාගෙන ඉන්නේ නවකතාවට හෝ ලියමින් ඉන්න කෙටිකතාවකට අදාළ අදහසක් ආවම ඒක සටහන් කරල තියාගන්න. එතකොට කම්පියුටර් එක ඉස්සරහ වාඩි වුණා ම මට ඒක ලියන්න පුළුවන් වෙනවා. මම සාමාන්‍යයෙන් ස්ටඩි කරන ටේබල් එකේම තමයි ලියන්නේ.

කෞශල්‍ය: මේ ලිවීම එහෙමත් නැත්තං මේ ලියන කාලය ඔබ විඳින හැටි ගැන යමක් කියන්න පුළුවන් ද?

සුමුදු: ලිවීම වින්දනය කරන එක ලියන අතරෙත් වෙනවා ලිව්වට පස්සෙත් වෙනවා. ලියන අතරෙම මං කලින් ලියපු දේවල් නැවත නැවත කියවනවා. ලියල අවසන් කළ කොටසේ තියන මං කැමති වාක්‍ය මං කැමති සිද්ධි වගේ ඒවා යළි යළිත් කියවල රසවිඳින්න මං හරි ආසයි. මේ විඳීම සඳහා නැවත නැවත කියවීමත් එක්ක මේ ලේඛනය ඔප වැටෙන ගතියකුත් තියනවා. මොකද ඒ කියවන වෙලාවට දැනෙනවානෙ මේක තව ලස්සනයි මෙහෙම වුනානං කියල. එතකොට පොලිෂ් වෙනවා.

කෞශල්‍ය: නවකතාවක් ලියල අවසන් වුණා ම දැනෙන දේ ගැනත් යමක් කියන්න?

සුමුදු: මුලින්ම දැනෙන්නේ සැහැල්ලුවක්. හැබැයි අවසන් වුණා කියල සම්පූර්ණයෙන් ඒකෙන් මිදෙන්නේ නැහැ. ඒක නැවත නැවත කියවනවා. මං මගෙ අම්මට තමයි සාමාන්‍යයෙන් මුලින්ම කියවන්න දෙන්නේ.

සුමුදු නිරාගී සෙනෙවිරත්න

ඡායාරූප මූලාශ්‍රය, PROVIDED

ඡායාරූප ශීර්ෂ වැකිය, සුමුදු නිරාගී සෙනෙවිරත්න

කෞශල්‍ය: ඔබේ අම්මා පද්මිණී සෙනෙවිරත්ත කියන්නෙත් පාඨක විචාරක ආදරයට පාත්‍ර වුණු නවකතාකාරියක්. ලියන අතරතුර ඔබ ලියන දේවල් ඇයට පෙන්නන්නේ නැද්ද?

සුමුදු: නැහැ. මම ලියල ඉවර වෙනකන් කාටවත් පෙන්නන්නේ නැහැ. මොකද කවුරුහරි මට එකඟ වෙන්න බැරි දෙයක් කිව්වොත් එහෙම මාව බ්ලොක් වෙනවා. මට එහෙම වෙලා තියෙනවා. ඒ නිසා දැන් මම කාටවත් සම්පූර්ණයෙන් ලියල අවසන් වෙනතුරු කියවන්න දෙන්නෙ නැහැ. අම්ම නං එයා ලියන ඒවා ඒ ඒ වෙලාවල් වල ලියන හැටියට කියවන්න දෙනවා. අම්මගෙ පළවෙනි පාඨකයා මම. මගෙ මුල්ම පාඨකයා අම්මා. හැබැයි එයාට ඒ වගේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මට ඒක කරන්න බැහැ.

කෞශල්‍ය: සාමාන්‍යයෙන් ඔබේ ලිවීම් සංස්කරණය කිරීම සිද්ධ වෙන්නේ කොහොමද?

සුමුදු: සංස්කරණය කියන එක ලියන එක වගේම හෝ ඊටත් වඩා වැදගත් දෙයක් මට නං. මම සාමාන්‍යයෙන් සංස්කරණය පටන් ගන්නේ සම්පූර්ණයෙන් ලියල ඉවර වුණාට පස්සේ. ලියල ඉවර වුණාට පස්සෙ මම සති තුනක් විතර ඒක පැත්තකටම දාල වෙන වැඩ කරමින් ඉන්නේ. ඊට පස්සෙ තමයි සංස්කරණය කරන්න පටන් ගන්නේ. ලිවීම අවසන් වුණු ගමන් කියෙව්වට ගොඩක් දේවල් අහු වෙන්නෙ නැහැ. ඒ වෙලාවට මට හිතෙන්නේ ලියපු හැමදෙයක්ම අවශ්‍යයි කියල. නමුත් යම් බ්රේක් එකකින් පස්සේ නැවත කියවනකොට ඉවත් කළ යුතු තැන්, අනවශ්‍ය තැන්, නැවත ලිවිය යුතු තැන් වගේ දේවල් පේන්න ගන්නවා. දැන් 'දූල්වල අලංකාරේ' ගත්තොත් ඒකෙ තියෙන්නේ නුවර යුගයේ භාෂාවනේ. එතකොට මම භාෂාව ගැන විතරක් සැළකිලිමත් වෙමින් මේක කීප සැරයක් කියෙව්ව. එහෙම කියවද්දි සමහර වෙලාවට අහුවෙනවා වර්තමාන භාෂාවේ වචන අහම්බෙන් කතාවට ඇතුල් වෙලා තියෙනවා. එවැනි වෙලාවට ඒ වචන ඉවත් කරල ඒ යුගයේ තියෙන්න ඇති කියල හිතන වචන ඒ තැනට ආදේශ කලා. විශේෂයෙන්ම දෙබස් වලදි තමයි මේවගේ දේවල් වෙන්නේ. ඒ වගේම මේ සංස්කරණ ක්‍රියාවලියෙදි නවකතාවෙ අවසානය මම කීප සැරයක් වෙනස් කළා. වෙනස් කළා කියන එකෙන් අදහස් කළේ සම්පූර්ණ වෙනසක් කියන එක නෙමේ. ඒක කියන විදිහ, ස්ටයිල් එක. මේ නිසා ලිවීම අවසන් කළාට පස්සේ සිදුවන සංස්කරණය කියන්නේ මට නං අතිශය වැදගත් දෙයක්.

මේ ආකාරයට සුමුදු නිරාගී සෙනෙවිරත්න ලේඛිකාවගේ ලිවීමේ භාවිතය සහ ඒ සමඟ බැඳුණු හැඟීම් අප වෙත නිරාවරණය වීම ඇගේ කෘති කියවීමට අලුත් ආලෝකයක් සපයන්නට ඉඩ ඇත.

ඇය සේම මේ සංවාද මාලාව තුළ තම ලිවීමේ අත්දැකීම් හෙළිදරව් කරන ලේඛක ලේඛිකාවන් නවකතාකරණයට උනන්දු නමුත් තවමත් එය ඇරඹීමට පෙරුම් පුරන අනාගත නවකතාකරුවන්ට අනුප්‍රාණය සපයන්නේ නම් එය අපට සතුටකි.

මේ වෙනුවෙන් ලබන සතියේ අප හා එක් වන්නේ මොහාන් රාජ් මඩවල නවකතාකරුවාය.

බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි.

ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි.