'මම ලියන හැටි' : රූපා ශ්‍රියානි ඒකනායක

ඡායාරූප මූලාශ්‍රය, Prrovided
- Author, කෞශල්‍ය කුමාරසිංහ
- Role, ලේඛක
රූපා ශ්‍රියානි ඒකනායක යනු සිංහල සාහිත්‍යය තුළ සුවිශේෂ පාඨක විචාරක ආදරයකට පාත්‍ර වූ නවකතාකාරියකි.
ඇය අතින් විජයයි කුවේණියයි, සෙංකඩගල මහබිසෝ, සෝබන මාලිගා, දුටිමි නෙතින් කසුප් නිරින්ද් වැනි ඓතිහාසික නවකතා ද බැද්දේ කුලවමිය, සිටුවර පුවත, භේරුණ්ඩ කැදැල්ල වැනි සමකාලීන සමාජය පරිකල්පනය කරන නවකතා ද උන්මාද තොටමුණ වැනි අනාගතය පුරෝකථනය කරන නවකතා ද ලිය වී ඇත.
මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඇයට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය.
මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවා ය.
හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේ ම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි.
ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලිවීම විඳින හැටි වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය.
කෞශල්‍ය: සුපුරුදු පරිදි මුලින්ම මම ඔබගෙනුත් අහන්නේ නවකතාවක සමාරම්භක මොහොත ගැන. ඔබේ නවකතාවල පළමු වාක්‍යය ලියවෙන හැටි ගැන යමක් කියන්න පුළුවන් ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
රූපා: පළවෙනි වාක්‍යය නවකතාවකට ඉතාම වැදගත්, මොකද නවකතාවට පිවිසුම් දොරටුව වගේ පාඨකයාට හැඟෙන්නේ පළවෙනි වාක්‍යයෙන් තමයි. සමහර වෙලාවට නවකතාවක පළවෙනි වාක්‍යය ඩයලොග් එකක් වෙන්නත් පුළුවන්. දැන් මගෙ සමහර පොත් වල එහෙම ඩයලොග්ස් වලින් පටන් අරන් තියනවා. නමුත් ඒ දෙබස් කණ්ඩය නවකතාව හකුළුවා දක්වන එකක් වුණොත් තමයි ඒක ආරම්භයට ගැලපෙන ප්‍රාණවත් එකක් වෙන්නේ. දැන් ලෝක සාහිත්‍යයේ වුණත් නවකතා ගත්තොත් ඒ සමහර පළමු වාක්‍යය අපිට දැනටත් මතකයට එනවා. මට මතකයි ජෝර්ජ් ඔවෙල්ගේ 1984 නවකතාව පටන් ගන්නේ "It was bright cold day in April, and the clocks were striking thirteen" කියලා. දැන් සාමාන්‍යයෙන් ඔරලෝසුවේ දහතුන වදිනව කියන එකත් එක්ක කියවන්නාට ඇතිවෙනවා අමුත්තක්. ඇත්තටම මම නවකතා ලිවීම ආරම්භ කරන කාලේ මට මේක ගොඩක් වැදගත් දෙයක් හැටියට හිතුණේ නැහැ. නමුත් පසුකාලීනව මම මේක පාඨකයා ඇදබැඳ ගැනීමට මොනතරම් වැදගත් ද කියන එක තේරුම් ගන්නවා. හැබැයි මම ලියන පළමු වාක්‍යය නිතරම වෙනස් වෙනවා. ලියාගෙන යද්දි හිතෙනවා ලියපු ඡේදේ වෙනුවට මේ ඡේදේ පළවෙනියට දැම්ම නම් හොඳයි මේ වාක්‍යය පළවෙනියට දැම්ම නං හොඳයි වගේ කියල. කොහොමවුණත් ඒක තීරණය වෙන්නේ අදාළ වාක්‍යය මොනතරම් දුරට මේ නවකතාවට ප්‍රවේශ වීමේ මොහොතට මොන තරම් සාර්ථක ද කියන එක මත. මට තව දෙයක් කියන්න ඕන, අපි දැකල තියනවා ලෝක සාහිත්‍ය සංවාද වල මේ පළමු වාක්‍යයේ වැදගත්කම ගැන කතා කරනවා නිතරම. නමුත් මම මොනතරම් ලංකාවෙ සම්මුඛ සාකච්ඡා වලට ගියත් මේ ප්‍රශ්නය මගෙන් පළමු වතාවට අහන්නේ ඔයා. ඒකට ස්තුතියි. මොකද නවකතා ලිවීමට උනන්දු වන අයට වගේම විචාරකයන්ටත් මේක අතිශය වැදගත් තැනක්. නවකතාකරුවාගේ පැත්තෙන් හිතුවොත් මට නං මේක හරිම චැලෙන්ජින් දෙයක්. මේ පළමු වාක්‍යය ලියන එක. හැබැයි ඒක ලිව්වට පස්සේ අනෙක් වාක්‍යය ඉතා පහසුවෙන් ගලාගෙන එනවා.
කෞශල්‍ය: දැන් මේ පළමු වාක්‍යය ලියන අවස්ථාවේ දි ලියන්න යන නවකතාව ගැන මොනතරම් දුරට දැනුවත් ද?
රූපා: සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ තමයි මම ලියන්න යන නවකතාව මේක තමයි පරිසරය මෙහෙම චරිත තමයි ඉන්නේ, මේ තේමාව වටා තමයි ගමන් කරන්නේ කියන දේවල් වලින් හැදිච්ච පොඩි සංක්ෂිප්ත විස්තරයක් ඔළුවෙ කැරකෙනවා. ඒකත් එක්ක තමයි මම ලියන්න වාඩි වෙන්නෙ. සිද්ධි දාමයක් ඔළුවෙ කැරකෙනවා. ඒක ලිවීම ඇතුළේ ගොඩක් වෙලාවට වෙනස් වෙන්න ඉඩ තියනවා. දැන් මම ඓතිහාසික නවකතා ලියල තියනවනේ. විජයයි කුවේණියයි, සෙංකඩගල මහබිසෝ, සෝබන මාලිගා වගේ ඒවා. එතනදි ඉතින් ඉතිහාසෙ ලියවිලා තියන කතාවක් අරගෙනම තමයි මම වාඩි වෙන්නේ. චරිත විකාශනයෙදි ඒ ඉතිහාසේ ඉන්න චරිතයම නෙමෙයි අපි විකාශනය කරන්නේ. නමුත් ඓතිහාසික විස්තරයක් අපේ ඔළුවෙ සටහන් වෙලා තියනවා. දැන් පරිකල්පනය එක්ක ලියන සමාජ නවකතා, ඔය සිටුවර පුවත, භේරුණ්ඩ කැදැල්ල වගේ ඒවා ගත්තොත් ඒවයේදිත් මම මෙන්න මේ චරිත එක්ක තමයි මේ නවකතාවෙ ජීවත් වෙන්නෙ කියල ලියන්න පටන් ගන්න කලින් දන්නවා. දැන් මීට අමතරව මම ලිව්ව 'උන්දමාද තොටමුණ' කියල නවකතාවක් මේක ලිව්වෙ අනාගතය ගැන. 2033 දි ලංකාව මොන වගේ වෙයිද කියන එක පිළිබඳ පුරෝකථනයක්. මම මූලිකව ගත්තේ තාක්ෂණය, රොබෝ ටෙක්නොලොජි එක. අපි ලෝකයේ සිද්ධ වෙන තාක්ෂණික වර්ධනයන් එක්ක 2033 දි මොනවගේ තැනකට යයි ද කියන එක ගැනයි ඒකෙදි කියන්න උත්සාහ කළේ. මේකෙදි ලියන්න කලින් හිතේ ගොඩනැඟුණු දේවල් ලියද්දි සෑහෙන්න චැලේන්ජ් වුණා.
කෞශල්‍ය: දැන් එතකොට මේ දේවල් හිතේ විතර ද තියෙන්නේ ලිවීමට පෙර ගහගන්න කටු සටහන් වගේ දෙයක් තියනව ද?
රූපා: ඇත්තටම ලියන්න පටන් ගන්න කලින් මම කිසිම ස්කෙච් එකක් හෝ සටහනක් තියා ගන්නේ නැහැ. ඔක්කොම තියෙන්නේ හිතේ. නමුත් ලියන්න පටන් ගත්තට පස්සෙ, අපි ලියන්නේ අනෙකුත් වැඩ අතරෙනේ, එතකොට මතක් වෙනවා මෙන්න මේ සිද්ධිය මෙතෙන්ට ආවොත් හොඳයි වගේ කියල. සමහර වෙලාවට ඒ ඒ චරිත වල දෙබස් හිතට එනවා. ඒ වෙලාවට සටහන් තියා ගන්නවා. මොකද එහෙම එන දේවල් ආයෙ කවදාවත් එන්නේ නැහැ. නමුත් නවකතාව ලියන්න පටන් ගන්න කලින් කිසිම ස්කෙච් එකක් ගහන්නේ නැහැ. දැන් ඓතිහාසික නවකතා ලියද්දි ලිවීමට පෙර ලොකු හැදෑරීමක් කරන්න වෙනවා. එතෙන්දි කියවපු පොත් වල අදාළ තැන් වල බුක් මාක් තියල ලියන අතර තුර නැවත පරිශීලනයට සූදානම් කිරීමක් සිද්ධ වෙනවා. සමහර වෙලාවට කෙටි සටහන් ගැනීමක් කරනවා. නමුත් එතෙන්දි වුණත් ලොකුවට ලියන නවකතාවට අදාළ කටුසටහනක් හැදෙන්නේ නැහැ.
කෞශල්‍ය: ලිවීම පටන් ගනිද්දි නවකතාව අවසන් වෙන්නේ කොහොමද කියන එක ගැන දැනුවත් ද?
රූපා: ලිවීම ආරම්භ කරද්දි යන්නෙ කොහෙටද කියන එක ගැන දැනුවත්. හැබැයි ලියාගෙන යනකොට ඒ යන්න හිතපු තැන නැහැ යන්නෙ වෙනත් දිශාවන් වල. අපි පොඩි චරිත හැටියට ගන්න ඒවා ප්‍රබල චරිත බවට පත් වෙනවා. අපි කේන්ද්‍රීය චරිත හැටියට ගන්න ඒවා දුර්වල චරිත බවට පත් වෙනවා. දැන් උදාහරණයකට බැද්දේ කුලවමිය නවකතාව ගත්තොත් මම ෆෝකස් කළේ 'චංචලා' කියන ගැමි යුවතියගෙ චරිතයට. නමුත් ලියාගෙන යනකොට චංචලාගෙ මහත්තයගෙ අම්මගෙ චරිතය, 'කුමාරි මැණිකේ' ගේ චරිතය ඉතාම ප්‍රබල වෙලා. හුඟක් අය පොත කියවල මගෙන් ඇහුවා 'බැද්දේ කුලවමිය' කියන්නෙ චංචලා ද නැත්තං එයාගෙ නැන්දම්මද කියල. මේ විදිහට අපි ප්‍රධාන චරිතයක් හැටියට ගන්න අය වෙනත් චරිත විසින් යටපත් කරන අවස්ථා තියනවා. ඔයත් දන්නවනෙ අපිට චරිත හසුරුවන්න බැහැ. චරිත විසින් අපිව හසුරුවනවා. මං අහල තියනවා කවුරුහරි ලියෝ ටෝල්ස්ටෝයි ගෙන් අහනවා ඇයි ඇනා කැරනිනාව කෝච්චියට පැන්නුවේ ඒක හරිම ඛේදනීයයි නේ කියල. එතකොට ටෝල්ස්ටෝයි කියල තියනවා, මම දන්නෙත් නැහැ ඇනා කැරනිනා කෝච්චියට පැනල කියල. අන්න ඒ වගේ. මම හිතනවා මේ විදිහට චරිත වලට නිදැල්ලේ යන්න ඉඩ දෙන එක හොඳ දෙයක් කියල. නමුත් එතකොට අපි ලියන්න කලින් හිතපු අවසානය වෙනුවට නවකතාව වෙනත් ගමනාන්තයක් හොයාගෙන ගිහිල්ල අපි දන්නෙත් නැහැ.
කෞශල්‍ය: අපි ටිකක් කතා කරමුද ඔබ ලියන හැටි ගැන. දැන් නවකතාවක පළමු වාක්‍යය ලිව්වට පස්සෙ මේකත් එක්ක කාලය ගත වෙන්නේ කොහොමද?
රූපා: ඒක නවකතාවෙන් නවකතාවට වෙනස් වෙන්න පුළුවන්. දැන් ඓතිහාසික නවකතා ගත්තොත් ඒකට ටිකක් වෙලා යනවා. ඒකෙදි ඒ ඓතිහාසික පරිසරය ඒ චරිත ඒ වගේම මේ මැද්දට අපි දානව පරිකල්පිත චරිත. එතකොට ඓතිහාසික සැබෑ චරිත එක්ක මේ චරිතත් ඝට්ටනය වෙනවා. මේව එක්ක ගනුදෙනු කිරීමේදී ගත කරන්න සිද්ධ වෙන කාලය වැඩියි. දැන් මම අනගාරික ධර්මපාල තුමාගේ චරිතය කේන්ද්‍ර කරගෙන ලියපු සෝබන මාලිගා කියන නවකතාවේ මම යන්ග් කපල් එකක් දානවා ඒ ගොල්ලො තමයි මේ කතාව කියන්නේ. දැන් මෙතෙනදි සමීපව හදාරන්න වෙනවා අපි මේ කරන දේවල් හරිද කියන එක ගැන. දෙබස් වුණත්, ඒ ගොල්ලෝ යන එන තැන්, ඒ ගොල්ලන්ගේ චර්යා රටා මේ හැම දෙයක්ම ගැන හරි සියුම්ව බලන්න වෙනවා. ඒ හින්ද කතාවත් එක්කම ජීවත් වෙන්න වෙනවා. දැන් මම කිව්වෙ මම අර අනාගතය පුරෝකථනය කරල නවකතාවක් ලිව්ව කියල. ඒවගේ ලිවීම් වලදි ඉතින් ඉන්නේ මා නොවන මම තමයි. හරිම ඔබ්සෙස්ඩ්. ඒකත් එක්කම කාලය ගත කරන්න තමයි ඕනෙ. වෙන වැඩ එනකොට සමහර වෙලාවට තරහත් යනවා. මම හිතපු දේවල් ගිලිහෙයිද කියල හිතෙනවා. ඕනෙම නවකතාවක් ලියද්දි මං හිතන්නෙ මං ලෝක දෙකක ජීවත් වෙනවා. සමහර වෙලාවට නවකතාව කියන කුටුම්බයට හරි චේම්බර් එකට හරි කොටු වෙලා ඒ සිහින ලෝකෙ ඉන්නවා. ඒ අතර අපේ එදිනෙදා පැවැත්මටත් එනවා. එතකොට යම්තාක් දුරට අර සිතිවිලි වෙනස් වෙනවා. මෙන්න මේ දෙක අතර දෝලනය වෙමින් තමයි ඉන්නේ. මං හිතන්නේ නවකතාවක් ලියල ඉවර වුනාම දැනෙන මහා සැහැල්ලුව එන්නේ ඒක නිසයි. අන්ධකාර ගුහාවක ගැඹුරු කල්පනා ලෝකයක ඉඳල දියඇල්ලක් පේන කඳු මුඳුනකට ගිහින් අවට ලෝකය බලනවා වගේ නිදහස් ගතියක් එනවා නවකතාවක් අවසන් කළා ම. දැන් ඔය ලේඛකයන්ට එක එක පුරුදු තියෙන්නෙත් ඒ නිසා නෙ. මං අහල තියනවා මායා ඇන්ගලෝව් වගේ කෙනෙක් ලියන්න කලින් බාත් ටබ් එකට බැහැල ඉන්නවා කියල. තව කවුරුහරි ලේඛකයෙක් එයාගෙ බල්ලගෙ මැක්කෝ අහුලනවා කියල ලියන්න කලින්. දැන් සමහරුන්ට 'ස්මෝකින්' තියනවා. දැන් මහගමසේකර, සයිමන් නවගත්තේගම වගේ අය එහෙමයි. මේ වගේ හැබිට්ස් එන්නෙත් මං හිතන්නේ ලිවීම එක්ක ජීවත් වෙන්න ඕන නිසා. මම ලියන්න ගත කරන කාලය පැත්තෙන් බැලුවොත් මං වැඩිපුරම ලියන්නේ බ්රෙක්ෆස්ට් එකෙන් පස්සේ ලන්ච් එක වෙනකන් වගේ තමයි. හවස එහෙම මං වැඩිය ලියන්න යන්නෙ නැහැ. ඔය කියවන ඒව එහෙම තමයි හවස් වරුවට කෙරෙන්නේ. මං නිදිමරාගෙන ලියල නැහැ කවදාවත්. මං හුඟක් ස්ලෝ රයිටර් කෙනෙක්. ඒ වගේම මං ලියන විදිහ ගැන කියද්දි කියන්න ඕන දෙයක් තමයි මං මුල ඉඳන්ම ලිව්වෙ පරිගණකයෙන්.
කෞශල්‍ය: අපි ටිකක් කතා කරමු ද සංස්කරණය ගැන?
රූපා: මං ලියන්න වාඩි වෙන කොට හුඟක් වෙලාවට කලින් ලියපු දේවල් මගෙ අතින් එඩිට් වෙනවා. මේක ටිකක් එක්සෙසිව් විදිහට වෙනවා. හැබැයි මට ප්‍රෆෙෂනල් එඩිටර් කෙනෙක් නැහැ. ලංකාවේ කොහොමත් එහෙම අය අඩුයිනේ. ඒත් සමහරු සාහිත්‍යය ගැන අවබෝධයක් තියන හිතවත් අයට තමන්ගෙ කෘති දීල එඩිට් කරනවා. මං එහෙම කරන්නේ නැහැ. නවකතාවෙ ආත්මයට අදාළ දේවල් ඒ විදිහට වෙනස් කරන්න මං කැමති නැහැ. මගෙ සමහර කෘති මං මගෙ හස්බන්ඩ්ට දෙනවා කියවන්න. එහෙම දුන්නම සමහර වෙලාවට වැරදි එහෙම අහුවෙනවා. ඔය නම් වගේ දේවල් වරද්දල ලියපු දේවල් එහෙම. මුල නම නෙමේ අගට යද්දි තියෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම කියවන එක වැදගත්. කොහොම වුණත් මං කියන්න ඕන මගෙ හස්බන්ඩ්ගෙන් මගෙ ලිවීමට ලොකු සහයක් ලැබෙනවා. ලියන්නේ නැතුව ඉන්න කොට සමහර වෙලාවට අහනවා ලියන්නෙ නැද්ද කියල. ඉතින් සංස්කරණය ගැන නැවත කිව්වොත් ලියල ඉවර වුණාට පස්සෙත් පෲෆ් රීඩර් ට දීල ප්‍රින්ට් එකට යවන මොහොත දක්වාම පොත මගෙ අතින් විවිධ මට්ටම් වලින් වෙනස් වෙනවා. අලුත් පරිච්ඡේද පවා එකතු වෙනවා.
කෞශල්‍ය: ලිවීම ඔබ විඳින හැටි ගැන යමක් කියන්න පුළුවන් ද?
රූපා: ඇත්තටම කියන්න ඕන මං මගේ ලිවීම් රසවිඳිනවා. මං හිතන්නේ පාඨකයන්ට වින්දනය කරන්න කලින් මං ලියන දේවල් මට වින්දනය කරන්න පුළුවන් වෙන්න ඕන. මගෙ අතින් හොඳට ලියවිලා තියනවා කියල මට හැඟෙන දේවල් කියවීමෙන් ලොකු සංතෘප්තියක් දැනෙනවා. මං හිතනවා නවකතාකාරයෙක් වෙන්න, මං කියන්නේ ලියන්න හිතෙන්න ලොකු වාසනා ගුණයක් තියෙන්න ඕන. මං කියන්නේ ලියන්න පුළුවන් වීම නෙමෙයි. මං හිතන්නේ ගොඩාක් අයට ලියන්න පුළුවන්. ලියන්නේ නැතුවා මිසක්. ඒ නිසා ලියන්න හිතෙන එක තමයි වැදගත්ම දේ. ඒක ලොකු වාසනා ගුණයක්. පොත් ලිව්ව ඇති කියල මට හිතෙන්නේ නැහැ. ඒ නවකතා ලෝකය තුළ ඒ ජීවිත ත් එක්ක දිගටම ඉන්න ආසයි.
දශක දෙකකට වැඩි කාලයක් ලිවීම සිය පැවැත්මේ අත්‍යන්ත අංගයක් කරගත් නවකතාකාරියකගේ අදහස් අපට ලිවීමට අනුප්‍රාණය සපයනු ඇතුවා සේම ඇයගේ කෘතීන් දෙස අලුත් ඇසකින් බැලීමට ද අපට ඉඩක් විවර කරනු ඇත.
ලබන සතියේ අප හා එක් වන්නේ සිංහල සාහිත්‍යයේ මඟහැර යා නොහැකි සුවිශේෂී නවකතාකරුවෙකු වන කේ.කේ. සමන් කුමාර යි.
බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි.
ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ.














