'මම ලියන හැටි' : කැත්ලීන් ජයවර්ධන

ඡායාරූප මූලාශ්‍රය, Provided
- Author, කෞශල්‍ය කුමාරසිංහ
- Role, ලේඛක
කැත්ලීන් ජයවර්ධන යනු කිසිසේත්ම සිංහල පාඨකයන්ට හැඳින්වීමක් අවශ්‍ය ලේඛිකාවක් නොවේ.
මේ වන විට විස්සකට අධික ඇය විසින් රචිත නවකතා අතර සත්‍යකාම, අග්නිචක්‍ර, අකාල යාත්‍රා, ධාරා, හිමකඳු, මහසෙන්, ඉන්දුමතී, බලන් කඩතුරා හැර දෑසේ යනාදී වශයෙන් විවිධ තේමාත්මක දාර්ශනික තලයන් ඇසුරු කරන කෘති අපට මුණගැසෙයි.
මීට අමතරව දෙස් විදෙස් සාහිත්‍ය ගැන ඇය විසින් ලියා පළ කර ඇති තීරු ලිපි සහ කෘතීන් සිංහල සාහිත්‍ය පෝෂණයට සුවිශේෂ දායකත්වයක් ලබා දී ඇත.
මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඇයටම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය.
මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවා ය.
හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි.
ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය.
මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කෞශල්‍ය: මම සාමාන්‍යයෙන් මේ කතාබහ ආරම්භ කරන්නේ නවකතාවක පළමු වාක්‍යය ලියවෙන තැනින්. මම කැමතියි ඔබගෙනුත් අහන්න නවකතාවක සමාරම්භක මොහොත ගැන ඔබේ අත්දැකීම?
කැත්ලීන්: මම සාමාන්‍යයෙන් නවකතාවක් ලියන්න පටන් ගන්නේ කිසියම් තේමාවක් හිතට අරගෙන තමයි. නමුත් මුල්ම වාක්‍යය ලියන එක අභියෝගයක් වෙන වෙලාවල් තමයි මට සාමාන්‍යයෙන් තිබිල තියෙන්නේ. පළමු වාක්‍යය ලියන එක ලේසි නෑ. හේතුව තමයි නවකතාවක ආර තේරුම් ගන්න තියන පළමු අවස්ථාව තමයි පළමු වාක්‍යය කියල කියන්නේ. ඉතින් මං ලියන පළමු වාක්‍යය මට පස්සේ වෙනස් කරන්න වෙන්නේ ලිවීම ඇතුලේ මගෙ ප්ලොට් එක වෙනස් වෙන හින්ද. මම ලියාගෙන ලියාගෙන යන කොට මගේ හිතේ තිබුණු ප්ලොට් එක කැඩි කැඩී වෙනත් වෙනත් ප්‍රදේශ වලට නොහිතපු තැන් වලට යනවා. එතකොට නවකතාවේ පළමු වාක්‍යය විතරක් නෙමේ මුල් ඡේදයමත් වෙනස් වෙන අවස්ථා තියනවා. ලියන්න පටන් ගත්ත තේමාවම නෙමෙයි පොත අවසන් වෙද්දි වැඩියෙන්ම උත්කර්ෂයට නැංවිලා තියෙන්නේ. මේක මගෙ මුල්ම කාලේ නවකතා වලට නං ඒ තරම් බලපෑවේ නෑ. උදාහරණයකට මගෙ මුල්ම නවකතාව වන 'බලන් කඩතුරා හැර දෑසේ වගේ' එකක් මං ලියන්නෙ මං පාසල් යන කාලේ. ඒක මුද්‍රණය වෙන්නේ 1977. ඒ කාලෙ දි මට ඍජු තේමාවක් තිබුණා මං ඒක දිගේ ගියා. අද වෙනකොට මං නවකතාව කියන ශානරය හඳුනාගන්නා ආකාරයේ සැලකිය යුතු වෙනසක් වෙලා තියනවා. ඒක වඩා සංකීර්ණ වෙලා තියනවා කිව්වොත් ඒක හරිද දන්නේ නැහැ. නමුත් නවකතාව කියන්නේ සිද්ධි දාමය සහ කතාන්දරය අතික්‍රමණය කරපු එක්තරා චින්තන ධාරාවක්, එක්තරා දාර්ශනික ප්‍රවේශයක් හැටියටයි මං අද වෙනකොට ඒක තේරුම් අරන් තියෙන්නේ. ඒ නිසා දැන් මං ලියන නවකතා වල මුල් වාක්‍ය ඡේද පිටින් වෙනස් කරන්න වෙනවා.
කෞශල්‍ය: ඔබ නවකතාවක් ලිවීම ආරම්භ කරන අවස්ථාවේ ඒ ලියන්න යන නවකතාව ගැන මොනතරම් දුරට දැනුවත් ද?
කැත්ලීන්: දැන් මගේ නවකතා අතර වැඩිපුරම පාඨක විචාරක අවධානයට ලක් වුණ කෘතිය වන ‘සත්‍යකාම’ ගත්තොත් ඒක මම මුලින්ම ලියන්නේ කෙටි රේඩියෝ නාට්‍යයක් හැටියට. සුගතපාද ද සිල්වා මහතා තමයි මේක නිෂ්පාදනය කරන්නේ. ඔහු මේක කියවල මට කිව්ව මේක හරිම ප්‍රබල කතාවක් මේකෙන් නවකතාවක් ලියන්න කියල. ඒ කතාව ස්ථානගත වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව හයවෙනි සියවසේ. ඒකෙ තියෙන්නේ තමන්ගේ නිවසේ දාසිකයගේ රූපයට වශී වෙන සත්‍යකාම කියන තරුණයා ඇයව නිවසින් පිටමං කලාට පස්සේ ඔහුගේ පියා ඔහු ඇයව සොයනවා වනගත වෙලා. ඔහුට දැනෙන්නේ නැහැ කාලය ගත වෙන විදිහ. අවසානයේ ඔහු ඇයව දකින්නේ වසර තිහකට පස්සේ නෙළුම් පොකුණක දි. ඔහු ඇගේ අතින් අල්ල ගත්තම මේ තරුණිය බියට පත් වෙලා දුවන්න හදනවා. එතන ඉන්නේ ඔහු ප්‍රේම කළ තරුණියගේ දියණිය. හැබැයි එදා ඉඳන් ඔහුට පුළුවන් වෙන්නේ අර දුවට ආදරය කරන්න තමයි. ඉතින් මේ වගේ ප්‍රේම කතාවක් සිද්ධ වෙන්න බැහැ කියල හිතපු නිසා මේක මම ස්ථාන ගත කරන්නේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ. ඒ වෙනුවෙන් මට විශාල හැදෑරීමක් කරන්න වෙනවා. හැබැයි ඒ වෙනකොට මං ලියන්න යන කතාව ගැන හොඳින් දැනුවත්. නමුත් මගෙ අනෙකුත් බොහෝ නවකතා දිහා බැලුවොත් මං කියන්න ඕන මගෙ එහෙම පූර්ව සැලසුම් නැහැ. මම චරිත වල සිද්ධි වල සටහන් තියාගෙන එහෙම නෙවෙයි ලිවීමේ යෙදෙන්නේ. මට හිතෙන හිතෙන වෙලාවට මම ලියනවා. මගෙ හිතට ඒ මොහොතේ දැනෙන උණුසුම් හැඟීමක් පිටපත් කරලා ඒකෙ තියන අලංකාරය හා උචිතභාවය දිහා බලල තෘප්තිමත් වෙමින් තමයි යන්නේ. ලියන වෙලාවට මගෙ හිත ඇතුලේ මම නොහිතන පෙරළි සිද්ධ වෙනවා. සමහර වෙලාවට මං කියවන පුවත්පත් වාර්තාවක් වෙනම වෙනස්ම ආකාරයකට මගෙ නවකතාව යන පාර වෙනස් කරන්න පුළුවන්. ඒක වෙන්නේ ඒ වාර්තාවේ තියන දෙයක් නවකතාවට ඇවිත් නෙමෙයි හුඟක් විට; නමුත් ඒක කියවීමෙන් මගෙ හිතේ ඇතිවුණු යම් හැඟීමක් තමයි මේ පෙරළිය කරන්නේ. හුඟක් නවකතා ඉවර වුනේ මේ නිසා මං පටන් ගත්ත තැනින් නෙමෙයි. අතුරු පාරවල් දිගේ ගිහින් වෙනම පාරකින් තමයි ඒව අවසන් වෙන්නේ. ඉතින් මම ජීවත්වෙන ලෝකය, සමාජය දිහා බලල මට අවංකව හැඟුණු දැනුණු හැඟීම් තමයි මම ලියන්නේ, හැබැයි මොළය මුල් කරගෙන නෙමෙයි, හදවත මුල් කරගෙන. මං හිතන්නේ ජීවිතය වෙනස් කරන සාහිත්‍ය බිහිවෙන්නෙ එතනින්. ඇත්තටම සමාජ විපර්යාසයක් කරන්න පුලුවන් ආගමෙන් නෙමෙයි සාහිත්‍යයෙන්. සමහරවිට ආගම් වලින් පෙන්වන තැනට මග සකස් කරල දෙන්නේ සාහිත්‍යය.
කෞශල්‍ය: සාමාන්‍යයෙන් නවකතාවක් ලියන්න පටන් ගන්නකොට මොකක්වත් අදහසක් නැද්ද මේක අවසන් වෙන්න ඕන තැන ගැන?
කැත්ලීන්: එහෙම නිශ්චිත අවසානයක් ගැන අදහසක් නැහැ. මගෙ නවකතා වල ආඛ්‍යානයෙ රටාව හැදිල තියෙන්නේ ඒකෙ චරිත වල ස්වභාවයට අනුව. ඉතින් මෙහෙම ඉදිරියට යද්දි අවසානය ළං වෙනකොට මට එක ක්ෂණික මොහොතක් එනව හරියට විදුලියක් කොටනව වගේ දැනෙනව මේක මෙතෙන්ට ගන්න ඕන කියල. පොත ලිවීමේ විඩාව සහ මානසික තෘප්තිය උපරිම තලයකට නැගල තියෙන වෙලාවක තමයි මේ ක්ෂණික මොහොත උදාවෙන්නේ. ඊට පස්සෙ මං හිතන්නෙ අන්තිම පරිච්ඡේද දෙක වගේ සැකසෙන්නේ අවසානය ගැන නිශ්චිත හැඟීමක් එක්ක.

ඡායාරූප මූලාශ්‍රය, Provided
කෞශල්‍ය: ඔබ ලියන විදිහ ගැන, මං කියන්නේ ඔබ ලියන තැන, ලියන වෙලාව මොනවගේද?
කැත්ලීන්: මට හරිම අවිනිශ්චිත උත්තරයක් තමයි මේකට දෙන්න වෙන්නේ. මට සමහර විට වාහනයක යද්දි මොනව හරි දැනුණොත් මං ඒ වෙලාවෙ බෑග් එකෙන් කොලයක් අරගෙන ඒකෙ චූටි සටහනක් දා ගන්නවා. දැන් ඒකෙ භාෂාත්මක එලඹුම තියෙන්නේ මගෙ හිතේ. පස්සෙ ඒක අදාළ තැන ලියනවා. කොහොමත් මම ලියන්නේ පෑනෙන්. අනිත් එක තමයි මට උදේට ද ලියන්නෙ රෑට ද වගේ විශේෂයක් නැහැ. ගෙදර කෑම මේසෙ තමයි බොහෝ විට මට ලියන්න පාවිච්චි වෙන්නේ. ලයිබ්‍රරි එකට මං යන්නෙත් නැහැ. මගෙ ලිවීමේ එවැනි පිළිවෙලක් නැහැ. හැබැයි යම් ලිවීමකට වැදිච්ච වෙලාවට රෑ දොළහ විතර වෙනකනුත් ලියනවා. නවකතාවක් ලියන එක ඉතින් යකා බැඳගත්ත වගේ වැඩක් කියන එක ඔයත් දන්නවනෙ. යකා ඉතින් නිදහසක් දෙන්නෙම නෑනෙ. ඒ වගේම තමයි ඉතින් නවකතාවක් ලියල ඉවර වුනාම දැනෙන සැහැල්ලුව. වෙලාවකට හිතෙනවා මොනවටද අපි මේ තරම් නහින්නෙ කියල. මේක ඇත්තටම ඇඟේ අමාරුවට කරන දෙයක්. මේකෙන් අපිට ගැලවෙන්න බැහැ. මේකෙන් නිදහස් වෙන්න වෙන්නේ ජීවිතෙන් නිදහස් වුන දාට තමයි.
කෞශල්‍ය: අපි ටිකක් කතා කරමුද නවකතාවක් අවසන් වුනාට පස්සෙ හෝ අතරතුර සිද්ධ වෙන සංස්කරණ ක්‍රියාවලිය ගැන?
කැත්ලීන් : පොත අවසන් වුනාට පස්සෙ පෲෆ් සෙට්ස් පහක් විතර බලන්න ඕන මට. අපි යමක් සමාජයට දෙනකොට ඒක පරිපූර්ණව නොදුන්නොත් අපි කරන්නේ එක්තරා අපරාධයක්. මම උත්සාහ කරනවා ව්‍යාකරණ සහ අක්ෂර දෝෂ මගහරවා ගෙන පොත මුද්‍රණය කරන්න. පොත ලියන අතරතුර ගැන කිව්වොත් මම කරන දෙයක් තමයි මම ලියන පරිච්ඡේදෙන් පරිච්ඡේදය මගෙ සැමියාට දෙන එක කියවන්න. අපි දෙන්න සමහර වෙලාවට කොන් දෙකක ඉන්නව කියල ඕනෙ නං කියන්න පුලුවන්. මොකද එයා ඇවිල්ල විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ සාමාජිකත්වය දරපු කෙනෙක්. ඒ කියන්නේ එයා වමේ දේශපලානයත් එක්ක ඉන්න කෙනෙක්. මට කවදාවත් දේශපාලනයත් එක්ක ළඟ ගණුදෙනුවක් තිබුණේ නැහැ. මම වම අඳුරගත්තෙ එයාගෙ යාලුවො අපේ ගෙදර ඇවිල්ල කතා කරන දේවල් වලින්. ලෙනින් ගෙ වෙළුම් පවා කියවන්න මට ඉන්පස්සේ උනන්දුවක් ඇති වුනා. කොහොමහරි මං කියමින් හිටියෙ මගෙ සැමියාට කියවන්න දෙන එක ගැන. එතෙන්දි එයාගෙන ලැබෙන ප්‍රතිචාර අනුව මං සියයට සියයක් නොවුණත් සැලකිය යුතු වෙනස්කම් කරල තියනවා. ඒ වගේම ලේඛන කලාවේ ඉතාම පරිණත එක්තරා පරිවර්තකයෙකුට මං පොත ලියල ඉවර වුනාට පස්සේ මුල සිට අගට කියවන්න දෙනවා. ඒ වගේ දේවල් ටිකක් කරල තමයි මුද්‍රණයට යවන්නෙ.
කෞශල්‍ය: මේ සංවාදය අවසන් කරන්න මං අහන්න කැමැතියි ලියන විට ඉන්න ඔබ මොනවගේ කෙනෙක් ද කියන ප්‍රශ්නය?
කැත්ලීන්: ලිවීම කියන්නේ නිකං දේවාරූඬයක් යක්ෂාරූඬයක් වගේ දෙයක් නේ. එතකොට ඉතින් ඒකෙන් අපේ කායික මානසික තල දෙකේම අපේ වෙනස් කම් වෙන්න පුලුවන්. පෑන අල්ලන් ඉන්න අතේ ඇඟිලි විතරක් නෙමේ අපි මුළු ශරීරයම ඒකට නතු කරලනේ තියෙන්නේ.
කැත්ලීන් ජයවර්ධන නවකතාකාරියගේ ලිවීමේ භාවිතයන් තුළ ඇති සුවිශේෂත්වය හා ඈ ලිවීම ආත්මීය කරගන්නා ආකාරය අපට ඇගේ නවකතා වින්දනය කිරීමට අලුත් ආලෝකයක් සපයනු ඇත. එසේම ලිවීමට උනන්දුවන්නන්ට තමන් දෙස නැවත බැලීමට ඇගේ අදහස් කැඩපතක් වන්නට ඉඩ ඇත.
ලබන සතියේ සිය රහස් දිවියේ දොර අප වෙනුවෙන් විවර කරනු ලබන්නේ මෑත කාලයේ සුවිශාල ජනාදරයකට පාත්‍ර වූ මංජුල සේනාරත්න නවකතාකරුවා යි.
බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි.
ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ.














