'මම ලියන හැටි' : සමන් වික්‍රමාරච්චි

ඇත්තටම ලියන්න පටන් ගත්තට පස්සෙ මට තියන දෙයක් තමයි මේක කොහොම හරි ඉක්මනින් ලියල ඉවර කරන්න ඕන කියන හැඟීම. කතාව ඔලුවේ වර්ධනය වෙන කාලෙදි මේ හැඟීම නැහැ. ඒක එන්නේ ලියන්න පටන් ගැනීමත් එක්ක.

ඡායාරූප මූලාශ්‍රය, Provided

ඡායාරූප ශීර්ෂ වැකිය, "ඇත්තටම ලියන්න පටන් ගත්තට පස්සෙ මට තියන දෙයක් තමයි මේක කොහොම හරි ඉක්මනින් ලියල ඉවර කරන්න ඕන කියන හැඟීම. කතාව ඔලුවේ වර්ධනය වෙන කාලෙදි මේ හැඟීම නැහැ. ඒක එන්නේ ලියන්න පටන් ගැනීමත් එක්ක"
    • Author, කෞශල්‍ය කුමාරසිංහ
    • Role, ලේඛක

සමන් වික්‍රමාරච්චි යනු සිංහල සාහිත්‍යය තුළ ගණනාවකින් පෝෂණය කරන සාහිත්‍යකරුවෙකි.

ඔහු අතින් ලියවුණු 'අසංධිමිත්තා' සහ 'අප්පච්චි ඇවිත්' යන නවකතා සුවිශාල පාඨක සහ විචාරක ඇගයීමකට ලක් විය.

එසේම ඔහු සාහිත්‍ය විචාරකයෙක්, පරිවර්තකයෙක් සහ කෙටිකතාකරුවෙක් ලෙස දශක කිහිපයක් තිස්සේ සිංහල සාහිත්‍ය එහි සීමාවන්ගෙන් ඉදිරියට ගෙන යාමට දරන වෑයම කිසිසේත්ම අමතක කල නොහැකිය.

මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමග බැඳුණු ඔහුටම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය.

මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළ කර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය.

හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලිවීම තමන්ම විඳින හැටි වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය.

මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය.

කෞශල්‍ය: සුපුරුදු විදිහට මම ඔබගෙනුත් අහන්නෙ නවකතාවක් ලිවීම ආරම්භ කරන මොහොත ගැන. ඔබ ලියූ නවකතා ගැන කල්පනා කරන විට පළමු වාක්‍යය ලියවුනු ආකාරය ගැන යමක් කියන්න පුළුවන්ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සමන්: මම කොයිම වෙලාවකවත් දැන් මම නවකතාවක් ලියන්නයි යන්නෙ කියලා මේසේ ඉස්සරහ වාඩි වෙලා ලියන්න පටන් අරගෙන නවකතාවක් ලියපු අවස්ථාවක් නැහැ. මගෙ නවකතාවෙ පළවෙනි වාක්‍යය මොකද්ද කියන එක හරියටම කියන්නත් බැහැ. දැන් 'අප්පච්චි ඇවිත්' නවකතාව ගත්තොත් ඒකෙ මුලට තියන කොටස මම පසුව එකතු කරපු එකක්. නවකතාව පටන් ගන්නේ ඊට පස්සේ. නමුත් එතෙන්දි පවා මම මුලින් ලියපු දේවල් කපල හුඟක් විට වෙනත් දේවල් ලියල. ඒ නිසා ලිවීමේ ක්‍රියාවලිය තුළ පළවෙනි වාක්‍යය වුනේ මොකද්ද කියන එක දැන් හොයන්න බැහැ. ඒක අතුරුදන් වෙලා. 'අසංධිමිත්තා' නවකතාව ගත්තත් එහෙම තමයි. මගෙ ලිවීම දිග හැරෙන්නේ මේ වගේ අපිළිවෙළක් එක්ක. එහෙම නැතුව පිළිවෙලට පොතක් අරගෙන නවකතාව ලියන්න වාඩි වුනොත් මම හිතන්නෙ නැහැ මට එක වචනයක්වත් ලියන්න පුලුවන් වෙයි කියල. මම නවකතාව ලියන්න පටන් ගන්නේ හදිසියේ හිතට එන අදහසක් එක්ක. එතකොට ඒ වෙලාවේ අතට අහුවෙන කොළයක ඒක ලියනවා. එහෙම නැති වුණොත් මම හිතන්නෙ මට අර රයිටර්ස් බ්ලොක්, මම ඒකට කියන්නෙ 'ලේඛක අඩස්සිය' කියල, අන්න ඒකට මුහුණ දෙන්න වෙනවා. දැනටත් මම නවකතාවක් ලියමින් යනවා. ඒකෙත් දැනට ලියවිලා තියෙන්නෙ එහෙම ලොකු පිළිවෙලක් නැති සටහන් ගොඩක් සහ ආරම්භයන් ගොඩක්. කොහොම වුණත් මගේ ලිවීම ගැන සලකා බලන කොට ඒකේ අපහසුම මොහොත මේ ආරම්භය. පටන් ගත්තට පස්සේ මට ඉතාම ඉක්මනට ලියාගෙන යන්න පුලුවන් වෙලා තියනවා.

කෞශල්‍ය: මේ විදිහට ඔබ ලිවීම පටන් ගන්න මොහොත වෙන කොට ඔබ ලියන්න යන නවකතාව ගැන මොනතරම් දැනුවත් ද?

සමන්: ලියන්න පටන් ගන්න කොට සැළකිය යුතු තරම් දේවල් හිතේ ගොඩනැගිල තියෙන්නේ. චරිත ගැනත් සැළකිය යුතු අදහසක් තියනවා. මගේ නවකතා වල මම උත්සාහ කරන්නේ සමාජයට ඇතුල් වීමට වඩා ආත්මීයත්වය ගවේෂණය කරන්න. ඉතින් ලිවීම පටන් ගන්න කලින් කරන සිතීම තුළ මේ චරිත වල මනෝභාවයන් ගැනත් මම කල්පනා කරනවා. හුඟක් විට මම මුලින්ම හිතන්න පටන් ගත්ත දේ ඒ මගේ මේ සිතීම ඇතුළේ ගොඩක් වෙනස් වෙලා තියෙන්නත් පුලුවන්. ලියන ක්‍රියාවලිය ඇතුලෙත් මේක නැවත වෙනස් වෙනවා. ලියන්න යන නවකතාවේ තේමා වෙනස් වෙන්නේ නැහැ බොහෝ විට. වෙනස් වෙන්නේ කතා වින්‍යාසය, කතාව ගලාගෙන යන අනුපිළිවෙල. චරිත ගැන මම හිතපු දේවල් ලිවීමේ ක්‍රියාවලිය තුළ වෙනස් වෙනවා. සමහර වෙලාවට ලියන්න යන නවකතාවේ වාක්‍ය පවා හිතෙන් ලියවිලා ඒවා මට කට පාඩම් වෙලා වගේ තියන වෙලාවලුත් තියනවා. ලියන්න යන මොහොතෙදි ඒවා මතකයට නැඟිලා වෙනස් වෙලා නැවත ලියවෙනවා. කොහොම වුණත් නවකතාවේ අවසානය ගැන අදහසක් නිශ්චිතතාවක් මේ වෙන කොට නැහැ. ලියාගෙන ලියාගෙන ගිහින් නවකතාව අවසන් වෙන්නේ මමවත් හිතන්නේ නැති තැනකින් වෙන්න පුළුවන්. අනිත් එක තමයි, නවකතාවේ සැකැස්ම ගැන මම කිසිම සටහනක් තියා ගන්නේ නැහැ. දැන් සමහර ලේඛකයෝ ඉන්නවා ලියන්න පටන් ගන්නේ සිදුවීම් ගැන චරිත ගැන පරිච්ඡේද අනුපිළිවෙල ගැන බොහෝ දේවල් සටහන් තියාගෙන. මට එහෙම කරන්න බැහැ. ලිවීමේ ක්‍රියාවලිය ඇතුළේ තමයි මට මේ දේවල් සිද්ධ වෙන්නෙ. සමහර චරිත ගොඩනැගෙන්නේ, අලුත් චරිත එකතු වෙන්නේ, මේ හැමදෙයක්ම වෙන්නේ ලියන ක්‍රියාවලිය ඇතුළේ. මේ දේවල් ගොඩක් විට මගෙ ඔලුව ඇතුළේ තියෙන්නේ සිනමාත්මක ස්වරූපයකින්. හරියටම කිව්වොත් ෆිල්ම් ස්ක්‍රිප්ට් එකක් වගේ. සමහර වෙලාවට නවකතාවේ ආඛ්‍යාන ශෛලිය වෙන්නෙත් ඒ වගේ එකක්. තවත් දෙයක් කියන්න ඕන. කලා කෘතියක, අපි නවකතාව ගත්තොත් මම ඉහළින් තියන්නේ ඒකෙ ආකෘතිය. ආකෘතියම තමයි අන්තර්ගතය කියන තැන ඉඳල මම ආකෘතිය ගැන ටිකක් වද වෙනවා. දැන් උදාහරණයක් හැටියට සිහිනයක් ගන්න, ෆ්‍රොයිඩියන් විදිහට ගත්තොත් සිහිනයක් විශ්ලේෂණය කරන්න අන්තර්ගතයට වඩා වැදගත් වෙන්නෙ ආකෘතියනේ. අපි ඒ හීනය දකින විදිහ. හීනය ඇතුළේ දේවල් කැටි වෙලා තියෙන විදිහ, සමහර දේවල් හීනය ඇතුළේම වාරණය වෙලා තියන විදිහ, දැන් මේ දේවල් හරහා නේ හීනයෙ ඇත්ත අර්ථය හොයා ගන්න වෙන්නේ. අන්න ඒ වගේ මම ලියන නවකතාවෙත් ෆෝම් එක මම හදනවා. ඒ අර්ථයෙන් තමයි මම ආකෘතියම තමයි අන්තර්ගතය වෙනව කියන එක කිව්වේ. මෙතෙන්දි තවත් දෙයක් වෙනවා, ඒ තමයි මේ නවකතාව විශ්ලේෂණය කරන්න අවශ්‍ය වෙන විචාර ප්‍රවේශයකුත් ඒක තුළම ගොඩනැගෙන එක.

කෞශල්‍ය: දැන් එතකොට මේ ආකෘතිය ගොඩනැගෙන එක සිද්ධ වෙන්නේ කතාවෙ තේමාවත් එක්ක ඔබ සිදු කරන තාර්කික සංවාදයක ප්‍රතිඵලයක් හැටියට ද නැත්තං තේමාව විසින්ම මෙන්න මේ ආකාරයේ ආකෘතියක් ගොඩනැගීමට ඔබව මෙහෙයවනවාද?

සමන්: මං හිතන්නේ තේමාවත් එක්ක තාර්කික සංවාදයක් තමයි ඇතුළේ ගොඩනැගෙන්නේ. ඒ තාර්කික සංවාදය ඇතුළේ මම සමහර වෙලාවට ඒ ගැන වෙනත් කියවීම් වලටත් යනවා. දැන් සමහර නවකතාකරුවන් නවකතා ලිවීමට අදාළව රිසර්ච් පවා කරනවනේ. ලේඛනාගාරයට එහෙමත් ගිහින්. සමහර වෙලාවට ඒ නිසාම ඒ කෘති වල නවකතාමය ගුණය යට ගිහින් ඒ රිසර්ච් එකෙන් හොයා ගන්න දේ අධිනිශ්චය වෙන්නත් පුලුවන්. මං කියන්නේ වැරැද්දක් හැටියට නෙමෙයි. දැන් මටත් යම් තාක් දුරකට මේක වෙන්න පුලුවන්. මං කරන රිසර්ච් එක අර වගේ එකක් නෙමෙයි. මම කිසියම් විදිහකට දාර්ශනික, න්‍යායාත්මක කියවීම් වලට යනවා. දැන් උදාහරණයක් හැටියට පශ්චාත් නූතන ධාරාවට අදාළ ෆෙඩ්රික් ජෙම්සන්ගෙ 'පොලිටිකල් අන්කොන්ෂන්' වගේ පොතක් කියවනවා කියල හිතන්න. දැන් මේක කියවද්දි මට නවකතාව මතක් වෙනවා. එතකොට මගෙ නවකතාව ඒවයෙනුත් පෝෂණය වෙනවා. තවත් දෙයක් තමයි ඉතින් මට නූතනවාදී නවකතාවේ ස්වරූපය ගැන අදහස් ටිකකුත් කියනවනේ. ඒක හැදෙන්න මිලාන් කුන්දේරා වගේ නවකතාරුවන් මට බලපාල තියනවා. ඒවත් එක්ක මගෙ නවකතාවල දී චරිත ගැන සිද්ධි ගැන ඒවයේ ඉතිහාසය ගැන දීර්ඝ විස්තර කිරීම් වලට මම යන්නේ නැහැ.

කෞශල්‍ය: අපි ටිකක් කතා කරමුද මේ ලියන කාලය ගත වෙන විදිහ ගැන?

සමන්: ඇත්තටම ලියන්න පටන් ගත්තට පස්සෙ මට තියන දෙයක් තමයි මේක කොහොම හරි ඉක්මනින් ලියල ඉවර කරන්න ඕන කියන හැඟීම. කතාව ඔලුවේ වර්ධනය වෙන කාලෙදි මේ හැඟීම නැහැ. ඒක එන්නේ ලියන්න පටන් ගැනීමත් එක්ක. ලියල ඉවර කරල බලන්න ඕන කියන හැඟීම තමයි එන්නේ. මේ ලිවිල්ල වුණත් අර මේසයක් ඉස්සරහ පිළිවෙලකට ඉඳගෙන ලියන එකක් නෙමෙයි. ගෙදරම වුණත් එක එක තැන් වල ඉඳන් ලියවෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒ කාලය තුළ ඒක කෙරෙනවා. දැන් මේ දවස් වල මම ලියන්න සැලසුම් කරමින් ඉන්න නවකතාව, සමහර දේවල් ලියලත් තියෙන්නෙ, ඒත් මට හිතෙන්නෙ මං තාම ඒක පටන් ගත්තෙ නෑ කියලා. ඒක පටන් ගත්තොත් එහෙම ඉක්මනට ලියල ඉවර කරන්න පුලුවන් වෙයි කියල මට හිතෙනවා. මගෙ තියන එක දුර්වල චරිත ලක්ෂණයක් තමයි දේවල් කල් දාන එක. හැබැයි කල් දාන කොට මට විශ්වාසයක් තියෙනවා පටන් ගත්තොත් ඉතාම ඉක්මනින් මේක අවසන් කරන්න පුලුවන් කියන එක ගැන. ලියන්න පටන් ගත්තම බොහෝ විට දිනපතා ලියනවා. දැන් 'අසංධිමිත්තා' නවකතාව ගත්තොත් මම මාස හයක් විතර ඇතුළත ලියල අවසන් කළා. 'අප්පච්චි ඇවිත්' නවකතාව මම හිතන්නේ අවුරුද්දකට අඩු කාලයක් තුළ අවසන් කළා. දැන් හැබැයි 'අසංධිමිත්තා' වගේ නවකතාවක් ගත්තොත් ඒකෙ තේමාව මගෙ ඔලුවට ඇවිල්ල අවුරුදු දහයකටත් වැඩියි. තවත් දෙයක් තමයි මම ලියන දේවල් ගෙදර ඉන්න කාට හරි ඇහෙන්න කියවනවා සමහර වෙලාවට. ඒක ලිවීමේ මුල ඉඳන් සිද්ධ වෙන දෙයක්. විශේෂ පාඨක සමාජයකට නෙමෙයි. ගෙදර සමීප කෙනෙකුට. ඒ වගේම මේ ලියන දේවල් මමත් නැවත නැවත කියනවා. වේ නැවත කියවීම ඉදිරියට ලියාගෙන යන්න විශාල උත්තේජනයක් සපයනවා. දැන් මට හිතුනොත් එහෙම මේ ලියවිලා තියන එක මදි කියල මං හිර වෙනවා. මට ලියාගෙන යන්න බැරුව යනව දිගට. වෙන කෙනෙකුට ඇහෙන්න කියවන එකෙත් මම ම නැවත කියවන එකෙනුත් කරන්නෙ ඒ මම තෘප්තිමත් ද කියන එක සොයා බලන එක.

කෞශල්‍ය: දැන් මෙහෙම ලිවීම ආරම්භයේදී කොටසක් කියෙව්වම වෙන කෙනෙකුට එයා ඇහුවොත් මේක ඉදිරියට යන්නෙ කොහොමද කියල එයාට කතාව කියනවද?

සමන්: ඔව් සමහර විට මම යම් ආකාරයකට ඒක කියනවා. නමුත් මට දැන් හිතිල තියෙන්නෙ ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියල. මොකද මම මේක ලියල අවසන් කරල ගන්න තියන තෘප්තිය ඊට පෙර ලැබෙනව වගේ දෙයක් එතනදි සිද්ධ වෙනවා.

කෞශල්‍ය: ඔබ කිව්ව ඔබේ ලිවීම කිසියම් අපිළිවෙල ආකාරයකට තමයි සිද්ධ වෙන්නෙ කියල. නවකතාව ප්‍රකාශයට පත් කිරීමට පෙර සිද්ධ වෙන සංස්කරණ ක්‍රියාවලිය ගැන යමක් කියන්න පුලුවන් ද?

සමන්: දැන් 'අප්පච්චි ඇවිත්' සහ 'අසංධිමිත්තා' කියන නවකතා දෙකම ගත්තොත් ඒ නවකතා ආරම්භ වන ආකාරය මම ලියල තියෙන්නේ ලිවීම අවසන් කළාට පස්සෙ. මේකත් සංස්කරණ ක්‍රියාවලියේ එක් වැදගත් තැනක්. සමහර වෙලාවට මම ලියල තියන කොටසක් ඇතුල් වෙන්න ඕන ස්ථානය ලිවීම අවසන් වුණාට පස්සේ මට තීරණය කරන්න වෙන්න පුළුවන්. දැන් මම ලියාගෙන යන නවකතාව ගත්තොත් මම පිටු තිහක විතර කොටසක් ලියල තියෙන්නෙ. නමුත් ඒක ආරම්භය නෙමෙයි. හැබැයි මේ ලියපු කොටස යම් යම් වෙනස්කම් සහිතව ඒ නවකතාවෙ කොහේ හෝ තැනකට එනවා. මෙන්න මේ විදිහට කිසියම් අපිළිවෙල ලිවීමක් අවසානයේ දී පිළිවෙලක් අත් කර ගන්නවා සංස්කරණය හරහා. මේ සංස්කරණය නවකතාව ලියන අතරෙත් ලිවීමෙන් පස්සෙත් සිද්ධ වෙනවා. සමහර කොටස් ඉවත් වෙනවා, ඒ වෙනුවට අලුත් කොටස් ලියවෙනවා. මේ වගේ දේවල් හරහා තමයි පිළිවෙල හොයා ගන්නේ.

කෞශල්‍ය: ඔබ ලිවීම විඳින හැටි ගැන යමක් කියන්න පුළුවන් ද?

සමන්: මම ලිවීමෙන් විශාල ආශ්වාදයක් ලබනවා. මම ආශ්වාදයක් කියන්නෙ අර මනෝවිශ්ලේෂණාත්මක එන්ජෝයිමන්ට් කියන අර්ථයෙන්. දැන් එන්ජෝයිමන්ට් කිව්වම එතන පොඩි වේදනාත්මක සතුටක් නේ තියෙන්නෙ. ලිවීම කියන්නෙ වේදනාවක් ඒ වගේම ඒක විශාල සතුටක්.

සමන් වික්‍රමාරච්චි නවකතාකරුවා ගේ ලිවීමේ භාවිතයන් තුළ ඇති සුවිශේෂත්වය හා ඔහු ලිවීම ආත්මීය කර ගන්නා ආකාරය අපට ඔහුගේ නවකතා වින්දනය කිරීමට අලුත් ආලෝකයක් සපයනු ඇත. එසේම ලිවීමට උනන්දුවන්නන්ට තමන් දෙස නැවත බැලීමට ඔහුගේ අදහස් කැඩපතක් වන්නට ඉඩ ඇත.

ලබන සතියේ අප හා එක් වන්නේ සුවිශාල පාඨක විචාරක අවදානයකට පාත්‍ර වූ නවකතාකාරියක වන දර්ශනා ශම්මි විජේතිලක යි.

බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි.

ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ.