'මම ලියන හැටි' : චන්දි කොඩිකාර

ඡායාරූප මූලාශ්‍රය, Prrovided
- Author, කෞශල්‍ය කුමාරසිංහ
- Role, ලේඛක
චන්දි කොඩිකාර යනු සිංහල පාඨකයන්ගේ සුවිශාල ආදරයකට ලක් වන නවකතාකාරියකි. හිම යායක මල් පිපිලා නවකතාවෙන් ඇරඹෙන ඇගේ නවකතාකරණය සාහිත්‍ය වෙත එක් කර ඇති නවකතා ගණන මෙහි සඳහන් කළ නොහැකි තරමට සුවිශාලය.
මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඇයට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය.
මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය.
හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි.
ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය.
කෞශල්‍ය: සුපුරුදු පරිදි මේ සංවාදය ආරම්භ කිරීමට මම ඔබගෙනුත් අහන ප්‍රශ්නය තමයි නවකතාවක ආරම්භයට මුහුණ දෙන ආකාරය. ඔබේ නවකතාවල පළවෙනි වාක්‍යය ලියවෙන හැටි ගැන යමක් කියන්න පුළුවන් ද?
චන්දි: ඇත්තටම නවකතාවක් කොච්චර හිතේ කැරකුණත් ඒකේ පළවෙනි වාක්‍යය ලියන එක තමයි අමාරුම දේ. මම නවකතාව හිතේ තියාගෙන සෑහෙන වෙලාවක් කල්පනා කරනවා කොහොමද ලියන්න ඕනෙ කියලා. කීප සැරයක් පටන් ගන්නවා කීප සැරයක් මකලා දානවා. එහෙමත් බැරි වුණොත් මම කරන්නේ ඒක අතහැරලා දාල හොඳට නිදා ගන්නවා. සාමාන්‍යයෙන් මට හීනත් එක්ක තියෙන්නෙ පුදුම සබැඳියාවක්. මට දැන් පටන් ගන්න අමාරුවෙලා තියන එක සමහර වෙලාවට මම හීනෙන් දකිනවා මෙතනින් තමයි පටන් ගන්න ඕන කියල. මම ඒක දකින්නේ කවුරුහරි හීනෙන් ඇවිත් මට කියනවා වගේ මෙතනින් පටන් ගන්න කියල. සමහර වෙලාවට නවකතාවක් හිතේ අහලකවත් නැති වෙලාවල් වලත් මට හීනෙන් පේන වෙලාවල් තියෙනවා මෙහෙම කතාවක් මෙතනින් පටන් අරගෙන ලියන්න කියල. එතකොට මම නැගිට්ට ගමන් ඒක සටහන් කරල තියාගන්නවා. ඇත්තටම අමාරුම දේ තමයි පළවෙනි වාක්‍යය ලියන එක.
කෞශල්‍ය: පළවෙනි වාක්‍යය ලියන්න හදන මොහොත වෙන කොට ලියන්න යන නවකතාව ගැන මොනතරම් දුරට දැනුවත් ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
චන්දි: දැන් මම හුඟක් ලියන්නේ පුවත් පත් නවකතා නෙ, ඒ නිසා ගොඩාක් හිත හිත ඉන්න බැහැ ටිකක් ඉක්මනට ලියන්න වෙනවා. සතියෙන් සතිය මම කොටස කොටස දෙන්න ඕනෙ නේ. සමහර වෙලාවට පළවෙනි වාක්‍යය ලියන කොට කතාවෙ අඩක් විතරයි හිතේ තියෙන්නේ. මේක කොහොම වෙයිද අවසානය මොනවගේද කියන ඒව ගැන හැඟීමක්වත් නැහැ. සමහර වෙලාවට මම පටන් ගන්න චරිතය නෙමෙයි මූලික වෙන්නේ වෙනස්ම චරිතයක්. අතුරු චරිතයක්. සමහර වෙලාවට කතාවේ දුෂ්ඨයා වෙන්න පුලුවන් ඉස්සරහට එනකොට ප්‍රධාන චරිතය වෙන්නෙ. මොකද මම පටන් ගන්නෙ කිසියම් අදහසක තදින් එල්ඹගෙන ඉන්නව කියන හැඟීමෙන් නෙමෙයි. මේ වගේ කතාවක් ලියන්නේ, මෙහෙම චරිත ඉන්නව කියන අදහස තියනවා. මම දැකපු අහපු දෙයකින් තමයි කතාවේ සැකිල්ල හැදිල තියෙන්නේ. මම ඒ ඔස්සේ තමයි ගොඩක් කල්පනා කරන්නේ. දැන් මම මගෙ නමින් ලියපු පළවෙනි නවකතාව, 'හිම යායක මල් පිපිලා' පොත නං ලිව්වෙ ඉංග්‍රීසි නවකතාවක් ඇසුරෙන්. මම ගොඩක් ඉංග්‍රීසි නවකතා කියවනවා. මගෙ හිතේ නං තියෙන්නෙ ඒක පරිවර්තනයක් කියලා. නමුත් අනුවර්තනයක් හෝ මේ දෙක අතර එකක් කියල කියන්න පුලුවන්. මම ඒකෙ කතාව අරගෙන අපේ පරිසරයට ගැලපෙන විදිහට මගෙ පරිකල්පනය එකතු කරල තමයි ලියන්නේ. ඒ නවකතාව ගොඩක් ජනප්‍රිය වුණා.
කෞශල්‍ය: දැන් ඔබ කිව්ව ඔබේ නමින් ලිව්ව පළවෙනි නවකතාව හිම යායක මල් පිපිලා කියලා. ඒ කියන්නෙ ඊට කලින් ඔබ වෙනත් නමකින් නවකතා ලියල තියනවද?
චන්දි: ඒක මෙහෙමයි. ඒ කාලේ පුවත්පත් ජනප්‍රිය කර ගන්න ජනප්‍රිය නළු නිළියෝ, ක්‍රීඩකයෝ ලියන විදිහට ලියනවා. ඉතින් මමත් මගෙ මුල්ම නවකතාව ලිව්වෙ ජනප්‍රිය නළුවෙකුගේ නමින්. ඇත්තටම කියනව නං සනත් ගුණතිලකගේ නමින්. සනත් අයිය දන්නෙත් නෑ මම එහෙම නවකතාවක් ලිව්ව කියල. මෑතකදි හම්බෙච්ච වෙලාවක මම එයාට කිව්වම එයා පුදුම වුණා. ඒ කාලෙ සනත් ගෙ ස්වර්ණමය කාලේ . එයා තමයි ලංකාවෙ යුවතියන්ගෙ සිහින කුමාරයා. ඉතින් මගෙ කතෘතුමා මගෙන් ඇහුවා සනත් ගුණතිලකගේ නමින් ලියන්න පුලුවන්ද කියල. මම ඒ වෙලාවෙ එකඟ වුණා. 'වතුසුදු මල්' තමයි නවකතාවෙ නම. කුමරි පත්තරේට තමයි ලිව්වෙ. ඒක තමයි මගෙ පළවෙනි නවකතාව. සති පතා ලිව්වෙ. එක කාලයක් තිබුණා මම නවකතා හතක් ලියනවා පත්තර හතකට. ඒක ඉතාම කාර්ය බහුල කාලයක්. හුඟක් දෙනෙක් අහනවා එහෙම නවකතා ගොඩක් එකට ලියන කොට චරිත පැටලෙන්නෙ නැද්ද කතාව පැටලෙන්නෙ නැද්ද කියල. ඇත්තටම මට කවදාවත් එහෙම වෙලා නැහැ. මොකද මම නවකතාවක් ලියන කොට ඒ නවකතාවේ විතරමයි ඉන්නෙ. අනික ඒ හැම නවකතාවකටම වෙන වෙනම ෆයිල්ස් තියනවා. ඒකෙ තියනවා චරිත ගැන සහ කතාවේ සාරාංශයක්. ඒ නිසා කොහොමටවත් පැටලෙන්නෙ නැහැ. හැබැයි පත්තර වලට නවකතා ලියන එක අභියෝගාත්මක දෙයක්. විවිධ වර්ගයේ පාඨකයන් ඇද බැඳ තබා ගන්න පුලුවන් භාෂාවකින් ලියන්න ඕන. සිදුවීම්, කුතුහලය තියෙන්න ඕන. ඒ සතියෙ කොටස අවසන් වෙන්න ඕන පාඨකයා ඊළඟ සතියෙ කොටස එනකන් බලන් ඉන්න විදිහට. ඒ වගේම තමයි පත්තරයකට ලියද්දි අපිට යම් යම් සීමාකම් දාගන්න වෙනවා. උදාහරණයක් හැටියට අපි නිදන කාමරයක දර්ශනයක් ඒ නිදන කාමරයේ දොර ළඟින් නවත්තන්න වෙනවා. පොතක දි එහෙම නැහැ අපිට නිදහසේ ලියන්න පුලුවන්. අනිත් එක තමයි සති පතා ලැබෙන පාඨක ප්‍රතිචාර. අපි ලියන්න පටන් ගන්න කාලෙ අන්තර්ජාලය තිබුණේ නැහැ. දුරකථන පවා මේ විදිහට තිබුණේ නැහැනෙ. ලියුම් තමයි ලැබෙන්නේ. ඉතින් සමහරු විවේචනය කරල එවනවා සමහරු හොඳ කියල එවනවා. හුඟක් අය මේ චරිතත් එක්ක බැඳෙනවා. අපි මේ චරිතයකට අසාධාරණයක් කළොත් අපිත් එක්ක තරහ වෙනවා. මං ලිව්ව 'සුදු මල් පියවිලි' කියල නවකතාවක්. මේක ක්‍රිකටර් කෙනෙක් වටා තමයි ගොඩනැඟිල තියෙන්නේ. මේ ක්‍රිකටර් කසාද බැඳපු කෙනෙක් හැබැයි එයාට තියෙනවා විශේෂ සම්බන්ධයක් එයාගෙ පළමු පෙම්වතිය එක්ක. ඇය තමයි එයාව මෝටිවේට් කරන්නෙ. ඉතින් ගොඩක් පාඨකයන්ට කතාව අවසානයේ මේ දෙන්නව එකතු කරන්න ඕන වුනා. නමුත් මට එහෙම කරන්න ඕන වුණේ නැහැ. මේ නවකතාව කොටස් 5 කට පොත් පහක් හැටියට තමයි ආවෙ. ඒ කාලෙ මට හිටිය ගොඩක් හොඳ පාඨකයෙක් ඇය ග්‍රීසියේ හිටියෙ. සාමාන්‍යයෙන් සතියකට සැරයක් විතර කෝල් කරල විස්තර එහෙම කියනවා. ඇය මම අවසාන කොටස ලියන කාලෙ මට කිව්ව ඔයා මධුරංගිට, ඒ කියන්නේ අර පළමු පෙම්වතියට, අසාධාරණයක් කළොත් මම ආය ඔයත් එක්ක කතා කරන්නෙ නැහැ කියල. කොහොම හරි පොත ආවට පස්සෙ මං එයාට කතා කරල කිව්ව පොත පිට වුණා කියල. එතකොට එයා ලංකාවට ඇවිත් හිටියෙ. එයා දැන්මම පොත ගන්නව කියල මට කිව්ව. එයා මට පහුවදා කෝල් කරල කිව්ව, මම පොත කියෙව්වා, මම පොරොන්දු කඩ කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මං කවදාවත් ආය ඔයාට කතා කරන්නෙ නැහැ කියල. අද වෙනතුරු එයා මට කතා කළේ නැහැ.
කෞශල්‍ය: දැන් මේ විදිහට නිරන්තරයෙන් නවකතාව ලියන අතරෙ එන පාඨක අදහස් වලින් ලියන නවකතාව වෙනස් වෙන්නේ නැද්ද?
චන්දි: නැහැ, මොකද ඒ වෙනකොට මගෙ හිත ඇතුලෙ නවකතාව සැලසුම් වෙලා ඉවරයි. නමුත් මෙහෙම දෙයක් වුණා. දැන් මගෙ මුල් කාලෙ නවකතා වල අවසානයේ ප්‍රධාන චරිත දෙකෙන් එකක් මිය යනවා. මේකට මට පාඨකයන්ගෙන් විශාල විවේචන ආවා. සමහරු මගෙ පොත් කියවන්නෙ නැහැ කියල තර්ජනය කළා. ඉතින් මගෙ පසුකාලීන නවකතා වල ඒක වෙනස් වුණා. ඒක එහෙම වෙන්න ඒ පාඨක විවේචන බලපෑවා.
කෞශල්‍ය: දැන් ඔබ කිව්ව නවකතා කිහිපයක් එකවර ලියනවා කියල. විවිධ හැඟීම් තියන, විවිධ දුක් කරදර වලට මුහුණ දෙන චරිත ගොඩක් එක්ක ජීවත් වෙන එක ගැන මොකද්ද කියන්න තියෙන්නේ?
චන්දි: මම හුඟක් වෙලාවට මගෙ නවකතා ලියන්නෙ සත්‍ය කතා ඇසුරෙන්. බොහෝ අය මට ඒ අයගෙ කතා කියනවා. අනිත් එක මම ගොඩක් විට කාන්තා චරිත මූලික කරගෙන තමයි ලියන්නෙ. සමහර අයගෙ කතා ඇහුවම මට දවස් කීපයක් නින්ද යන්නෙ නැහැ. කොහොමද ගැහැනු මේ තරම් දුක් විඳින්නෙ කියල හිතෙනවා. අපිට හිතා ගන්න බැරි තරම් දුක්විඳිමින් ඒත් ඒ ඉන්න තැන් වලින් ගැලවිලා එන්නෙ නැතුව ඉන්න හැටි ගැන පුදුම හිතෙනවා. ඉතින් මේ කතා මගෙ නවකතා වලට එද්දි මං ඒ අයගෙ දෛවය නවකතාව තුළ වෙනස් කරනවා.
කෞශල්‍ය: දැන් මේ සිද්ධ වෙන වෙනස ඔබ හිතාමතා කරන දෙයක් ද?
චන්දි: සමහර වෙලාවට හිතාමතා කරන දෙයක් නෙමෙයි. අපේ හිත ඇතුළේ වස්තු බීජයක් තියන කොට ඒක පියාපත් ලැබිල වගේ පියාඹන්න හදනවනේ. ඒක අපේ පාලනයෙන් තොර වෙනවා. එතකොට චරිත යන දිහාට අපිට ඒ අයව යවන්න වෙනවා.
කෞශල්‍ය: දැන් මෙහෙම ලියාගෙන යද්දි නවකතාවක් අවසාන වෙන තැන වටහා ගන්නේ කොහොමද?
චන්දි: පොතක අවසානය ගොඩක් ප්‍රබල වෙන්න ඕන. අර පළමු වාක්‍යය ලියන්න කල්පනා කරනවා වගේ දවස් ගානක් කල්පනා කරල තමයි අවසානයත් ලියන්නෙ. සමහර වෙලාවට පෲෆ් බලන කොට පදාස පිටින් වෙනස් කරනවා අවසානය ප්‍රබල එකක් කරන්න ඕන නිසා. සමහර වෙලාවට මම අවසාන කොටස් නැවත අලුතෙන්ම ලියල තියනවා.
කෞශල්‍ය: ඔබ ලියන හැටි ගැන ටිකක් කියන්න පුලුවන්ද?
චන්දි: මම වැඩිපුරම ලියන්න කැමති පාන්දරට. නමුත් රාත්‍රියට තමයි වැඩි පුර ලියන්න වෙන්නෙ. හැබැයි මට ඕනෙම තැනක ඕනෙම වෙලාවක ලියන්න පුලුවන්. දැන් ඉස්සර මගෙ දරුවො පොඩි කාලෙ ඒ ගොල්ලන්ව පන්ති වලට දාන්න යනකොට මම කාරෙකේ ලියන්න අවශ්‍ය දේවල් දාගෙන තමයි යන්නෙ. ඒ දෙන්න එනකන් ඉන්න අතරෙ මම ලියනවා. එහෙම නිස්කලංක පරිසරයක් ඕනෙ වගේ දෙයක් නැහැ. හැබැයි පාන්දර තමයි මම වඩාත්ම ප්‍රිය කරන වෙලාව. එතකොට ලියාගෙන ලියාගෙන යන්න පුළුවන් නවත්තන්නේ නැතුව. දැන් කම්පියුටර් එකෙන් ලියන නිසා ගොඩක් වෙලාවට ලියන කාමරේ තමයි ලියන්නේ. දැන් වුණත් හදිස්සියේ දුර පළාතක විනෝද ගමනක් වගේ ගියොත් මං අතින් ලියනවා. මොකද මං කොහෙ හරි ගියොත් ඒ පරිසරයේ හැම පුංචි දෙයක් ගැනම අවදානයෙන් ඉන්නේ. ඉතින් ඒ දේවල් නිර්මාණයක් කරන කොට ඒකට එකතු වෙනවා. නවකතා ලියන්න ගත වෙන කාලය ගත්තොත් සමහර නවකතා මාස දෙක තුනකින් ලියල ඉවර කරන්න පුලුවන්. සමහර නවකතා වලට ලොකු කාලයක් යනවා. දැන් මං 'ස්වප්න මායා' කියල නවකතාවක් ලිව්වා ඒකට අවුරුදු හයක් විතර ගියා. ටිකක් ලියනවා නවත්තනවා ආය ලියනවා. ඒකට මං කොච්චර කැප වුණා ද කිව්වොත් මං හින්දි භාෂාව පවා ඉගෙන ගත්තා. කොහොම වුනත් දැනටත් මම නවකතා දෙකක් තුනක් සමාන්තරව ලියනවා. 'අහස් උයන' කියල මගෙ පේජ් එකක් තියනවා ඒකට එකක් ලියනවා. පොතක් හැටියට තව එකක් ලියනවා. ඒ වගේම මම කම්පියුටර් එකෙන් ලිව්වට එක පොතක් තාමත් පෑනෙන් ලියනවා අකුරු කැත වෙයි කියලා. සාමාන්‍යයෙන් මම ලියාගෙන යද්දි හිර වීමක් ආවොත් හරි ඒ චරිතත් එක්ක ගැටිල ටිකක් බෝරින් වුනොත් මං වෙන එකක් ලියනවා. එහෙම නැත්තං පොත් කියවනවා. කොහෙ හරි ගමනක් ගිහින් ඇවිත් නැවත වාඩි වෙනවා. නැත්තං අලුත් කෑමක් හදනවා, එක්කෝ වත්තෙ වැඩක් කරලා නැවත එනවා. මෙහෙම තමයි. කොහොම හරි අඩුම තරමෙ දවසකට පැය තුනක්වත් ලියනවා. නොලියා හිටියොත් නොකා හිටිය වගේ අඩුවක් දැනෙනවා.
කෞශල්‍ය: ලිවීම විඳින හැටි ගැන යමක් කියන්න පුළුවන් ද?
චන්දි: මම ඇත්තටම ලියන්න පටන් ගත්තෙ දැන් මට අහිමි දෙයක් තියනවානෙ, මේක හිමි කරගන්න. දැන් හිතන්නකො මට අලුත් ගවුමක් නෑ කියල. හැබැයි මගෙ නවකතාවල ඉන්න අය ලස්සනට ගවුම් ඇඳල ඉන්නවා. මේක මං උදාහරණයක් හැටියට කිව්වෙ. මට අහිමි දේවල් ඔක්කොම මං නවකතා ලෝකය තුළ විඳිනවා. අනිත් අතින් ඉතින් මගෙ විනෝදාංශයත් ලියන එක, මගෙ වෘත්තියත් ලියන එක. හුස්ම ගන්නවා වගේ දෙයක් තමයි ලියන එක මට.
සිංහල පාඨකයන් අතර සුවිශාල ආදරයකට පාත්‍ර වූ නවකතාකාරියක වන චන්දි කොඩිකාර ගේ ලිවීම සමඟ බැඳුණු අදහස් හා හැඟීම් ඇගේ නවකතා දෙස නැවත බලන්නට කෙනෙකුට බල කරන්නට ඉඩ ඇත.
ලබන සතියේ අප හා එක් වන්නේ සමකාලීන සිංහල සාහිත්‍යය තුළ සුවිශේෂී සලකුණක් තැබූ නවකතාකරුවකු වන සමන් වික්‍රරමාරච්චි ය.
බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි.
ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ.














