'මම ලියන හැටි' : මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

කවියෙකු ලෙස සම්භාවනාවට පත් ව සිටි මහින්ද ප්‍රසාද් මස්ඉඹුල නවකතාකරුවෙකු ලෙස ඇගයුමට පාත්‍ර වන්නේ අතිශය ජනප්‍රියත්වයට පත් වන ඔහුගේ පළමු නවකතාව සෙංකොට්ටං සමගිනි.

ඡායාරූප මූලාශ්‍රය, Provided

ඡායාරූප ශීර්ෂ වැකිය, "ඇත්තටම ලිවීම කියන්නේ ඉතාම සතුට දනවන ක්‍රියවලියක්. ඒක මගෙ ජීවිතේ ඉතාම රමණීය දෙයක් හැටියටයි මම දකින්නේ. ඒක මම කරන ගොඩනැඟීමක්; ඒක මගේ මැවීමක්"
    • Author, කෞශල්‍ය කුමාරසිංහ
    • Role, ලේඛක

කවියෙකු ලෙස සම්භාවනාවට පත් ව සිටි මහින්ද ප්‍රසාද් මස්ඉඹුල නවකතාකරුවෙකු ලෙස ඇගයුමට පාත්‍ර වන්නේ අතිශය ජනප්‍රියත්වයට පත් වන ඔහුගේ පළමු නවකතාව සෙංකොට්ටං සමගිනි.

එතැන් පටන් ඔහු සමකාලීන සාහිත්‍යයේ වැදගත් නවකතාකරුවෙක් ලෙස විචාරක සහ පාඨක අවදානයට ලක් විය.

මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඔහුට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය.

මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය.

හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි.

ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය.

කෞශල්‍ය: සුපුරුදු පරිදි මෙම සංවාදය ආරම්භ කිරීම සඳහා මම ඔබගෙන් අහන්න කැමතියි නවකතාවක සමාරම්භක මොහොතට ඔබ මුහුණ දෙන හැටි ගැන. ඔබේ නවකතා වල පළමු වාක්‍යය ලියවුනු හැටි ගැන අත්දැකීම් එක්ක මේ ගැන යමක් කියන්න පුළුවන් ද?

මහින්ද: මම ඇත්තටම ප්‍රබන්ධ රචකයෙක් වෙනවා කියන අදහසින් ප්‍රබන්ධකරණය හදාරපු කෙනෙක් නෙමෙයි. මගේ මූලික අඩවිය වුණේ කවිය. ස්වයං හැදෑරීමක් කරලා මගේ කල්පනා ලෝකයේ වැඩි ඉඩක් වෙන් වෙලා තිබුණේ කවියට. ප්‍රබන්ධකරණයට මගේ ලොකු කැමැත්තක් තියනවා. නමුත් ඇත්තටම සෙංකොට්ටං නවකතාව ගත්තොත් ඒක එක්තරා විදිහකට අහම්බයක් වගේ තමයි මට පේන්නේ. නමුත් ඉන් පසුව මම ප්‍රබන්ධකරණය ගැන සංවිධානාත්මකව කල්පනා කරන්න පටන් අරගෙන තියනවා. දැන් සෙංකොට්ටං නවකතාව ගත්තොත් මට මුලින් අවශ්‍ය වුණේ ඒක තිර නාටකයක් හැටියට ලියල ටෙලි නාට්‍ය මාධ්‍යයට අරන් එන්න. ඒ නිසා ඒක වෘත්තාන්තමය ස්වභාවයෙන් තමයි මම ආරම්භ කලේ. කොහොමටත් මම නවකතාවක් පටන් ගන්න කැමති ආකර්ෂණීය තැනකින්. චරිත වලට සහ කතාවට අදාළ සිදුවීමක් මැද්දෙන් හෝ කෙළවරකින් වගේ පටන් ගන්න මම කැමැතියි. දැන් සෙංකොට්ටං නවකතාව පටන් ගන්නේ ශබ්දයකින්. ඒ වගේ කතාවේ මධ්‍යයකින් පටන් ගන්න ක්‍රමවේදයට මගේ කැමැත්තක් තියනවා.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කෞශල්‍ය: දැන් මේ වෙනකොට ඔබ ලියන්න යන නවකතාව ගැන මොනතරම් දුරට දැනුවත් ද?

මහින්ද: මේ වෙනකොට මම ලියන්න යන නවකතාව පිළිබඳ සැලැස්මක් ඉතාම හොඳින් මගේ මනෝ ලෝකය තුළ සකස් වෙලා තියෙන්නේ. ඒක ලිඛිත එකක් නෙමෙයි. නමුත් ආරම්භයේ සිට අවසානය දක්වා සිදුවීම් පෙළගැසෙන ආකාරය ගැන චරිත ගොඩනැඟෙන ආකරය ගැන මම දැනුවත්. එම නිසා මේ පටන් ගන්න වාක්‍යය කියන්නේ කිසිසේත්ම අහම්බයක් නෙමෙයි. මට ඒ වාක්‍යයට අදාළ සිදුවීම ගැන හොඳ අවබෝධයක් තියනවා.

කෞශල්‍ය: ඔබගේ සෙංකොට්ටං සහ මාණික්කාවත කියන නවකතා දෙකම ඓතිහාසික පසුබිමක දිගහැරෙන නවකතා. මෙවැනි නවකතාවක් පරිකල්පනය කරන්න ඓතිහාසික තත්වයන් ගැන දැනුමක් අවශ්‍ය වෙනවා. ඒ දැනුම සම්පාදනය වෙන ආකාරය ගැන යමක් කියන්න පුළුවන් ද?

මහින්ද: මේ නවකතා දෙකේම පරිසරය මට සමීප එකක්. මොකද ඒ මං ඉපදුණු ජීවත් වුණු ගම් පළාත. නමුත් කාලය මට දුරස්. මේ නවකතා දෙකම ගොඩනැගෙන්න මුලින්ම බලපාන්නේ මං කුඩා කාලයේ සිට මං අහපු දේවල්. ගමේ වැඩිහිටියන් විසින් කියපු කතා. ඒවා ඉවහල් වුණා මට මගේ පරිකල්පන ලෝකය ගොඩනගා ගන්න ආධුනිකයෙක් හැටියට. මේ විදිහට සියයට විස්සක් විතර දේවල් මගෙ ඇඟේ තියනවා. නමුත් ඉතිරි කොටස මට සොයා ගන්න සිද්ධ වෙනවා දත්ත සහ තොරතුරු හැටියට. පාරිසරික දේවල් වෙන්න පුලුවන්, සිදුවීම් වෙන්න පුලුවන්, භූමියට අදාළ යම් යම් දේවල් වෙන්න පුලුවන්, එම කාලයට අදාළ සමාජ දේශපාලනික තොරතුරු වෙන්න පුලුවන් මේ ආදී දේවල් මට පොතින් පතින් සොයා ගන්න සිද්ධ වෙනවා. පැරණි පත්තර පොත් පත් ආදියෙන් තමයි ඒ වකවානුව සම්බන්ධ බාහිර පරිසරය නිර්මාණය කර ගත්තේ. මේ හැදෑරීමේදි මට ලිඛිත සටහන් තබා ගැනීමක් කරන්න සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලිය ඇතුළේ මං අනුමාන කරනවා 1930 වර්ෂයේ දි කෙනෙක් කඩපොලට ගියොත් මොනවගේ දේවල් කතා කරන්න ඇති ද? මොන වගේ බලපෑමක් බාහිර ලෝකයෙන් මේ ගැමි ජීවිත වලට තියෙන්න ඇති ද? ඒ කාලෙ ආදරය කරන දෙන්නෙක්ගේ ලෝකය මොන වගේ වෙන්න ඇති ද? මේ වගේ දේවල් මං අනුමාන කරනවා. ඒ සඳහා අවශ්‍ය දේවල් මගේ මනෝ ලෝකය ඇතුළේ තැන්පත් වෙලත් තියනවා. මේ සඳහා මං මේ වෙනකොට බලල තියෙන පැරණි චිත්‍රපටි, කිය වූ පොත පත ආදිය බලපානවා. ඒ දේවල් අවිඥානිකව තැන්පත් වෙලා තියෙනවා. මං හිතන්නේ කතාවට අදාළ මනෝමය වර්ණය නිර්මාණය කර ගන්න ඒ දේවල් බලපානවා. ඇත්තටම විධිමත් ව මේ කාලය ගැන කරන හැදෑරීමට පෙර මා තුළ තිබුණු දේවල් වලින් කතාවේ මූලික සැකැස්ම නිර්මාණය වෙලා තියෙන්නේ මේ වෙනකොට. නමුත් මේ හැදෑරීමට තමයි වැඩිපුරම කාලයක් ගත වෙන්නේ. දැන් මේ දෙකම එකට කඹයක් ගොතනවා වගේ ගෙතෙන කොට තමයි මං අපේක්ෂා කරන කතාව ගොඩනැගෙන්නේ.

කෞශල්‍ය: දැන් ඔබ කියන ආකාරයට ලිවීම ආරම්භ කරන්න කලින් ඔබ කතාව සැළකිය යුතු ආකාරයකට ගොඩනඟල තියෙන්නේ. දැන් ලිවීමේ ක්‍රියාවලිය ඇතුළේ ඔබ කලින් සැලසුම් කරපු ආකාරයටම කතාව දිගහැරෙනව ද?

මහින්ද: මං හිතන්නෙ ලිවීම කියන ප්‍රායෝගික ක්‍රියාවලියට එනකොට මං බර ගොඩක් එකතු කර ගෙන තියෙන්නෙ. ලිවීම තුළ සිද්ධ වෙන්නේ මේ බර ටිකෙන් ටික සැහැල්ලු වෙන එක. හැබැයි මේක ඇතුළේ මං එකතු කර ගත්තු බරෙන් සමහර කොටසක් ලිවීමට ඇතුළත් නොකර ඉවත දාන්න මට සිද්ධ වෙනවා. ඒ එක්කම ලිවීමේ ක්‍රියාවලියට ඇතුල් වුනාට පස්සේ අර එකතු කර ගත්ත බරට අමතරව කොහෙන්දෝ ඉඳල මා වෙත එන දේවල් ටිකක් කතාවට එකතු වෙන අවස්ථාත් තියනවා. ඒකට හේතුව මං කලින් කරපු ව්‍යායාම වලට මා දක්වපු අවංකභාවය සහ ඒ සඳහා ගත කරපු කාලය කියලත් මට හිතෙනවා. කොහොම නමුත් සමහර අවස්ථා තියනවා මම පරිකල්පනය කරපු ආකාරයට වෙනස් විදිහට ලිවීම තුළ චරිත සකස් වුණු. උදාහරණයක් හැටියට 'සෙංකොට්ටං' නවකතාවෙ 'ලුවිස් හේනයා' කියන චරිතය මම පරිකල්පනය කරල තිබුණේ අනෙකුත් චරිත එක්ක යම් ගැටීමක් එක්ක ගොඩනගන්න. නමුත් ලිවීම ඇතුළේ ඔහු නිර්මාණය වුණේ වෙනස් ආකාරයකට. ඔහුගේ හඬ අපට ඇහෙන්නේ නැහැ. ඔහු ගැන තොරතුරු පමණයි අපිට එන්නේ. මෙවැනි දේවල් සිද්ධ වෙනවා. නමුත් සාමාන්‍යයෙන් මම ලිවීමට පෙර ගොඩනඟන මූලික සිදුවීම් සහ චරිත බොහෝ දුරට ලිවීම තුළ දී කතාවට එකතු වෙනවා.

කෞශල්‍ය: අපි ටිකක් කතා කරමුද ඔබ ලියන හැටි ගැන?

මහින්ද: මම වෙන රස්සාවක් කරන ගමන් ලියන කෙනෙක් නෙමෙයි. ඒ නිසා ලියන එකට තමයි මගේ ජීවිතේ වටිනාම කාලය වෙන් වෙන්නෙ. ලිවීමට පරිබාහිරව මං කරන සෑම දෙයක්ම මං හිතන්නෙ මගේ ලිවීම කිසියම් ආකාරයකට පෝෂණය කරන දේවල් හැටියට. ඉතින් නවකතාවක් ලියන්න පටන් ගන්නකොට මං ඒ වෙනුවෙන් නිශ්චිත කාලයක් වෙන් කර ගන්නවා, මාස දෙකක් හෝ තුනක්. මං ලියන්නේ පෑනෙන් කොළ වල. ඉතින් ලියන්න පටන් ගත්තම කිසියම් පරිච්ඡේදයක් මගේ හිතට හරියන තුරු මම නැවත නැවත ලියනවා. මම විශාල කොළ ප්‍රමාණයක් මේ කාලය තුළ අහක දානවා මගේ හිතට හරියන තුරු. මම ලියන දේවල් යතුරු ලියනයට බාර දෙන වෙලාව වෙන කොට මං ඒ දේවල් අවම වශයෙන් හය සැරයක් වත් නැවත නැවත ලියල තියෙන්නේ. මං මේ නැවත ලියනව කියල කියන්නේ අලුත් කොළ වල නැවත මුල සිට ලියන එක. එතෙන්දි අර කලින් ලියපු දේවල් තියනවා නමුත් අලුතෙන් එකතු වීම් සහ අඩුවීම් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් දවසකට සමහර විට පැය හතරක් විතර ලිවීම සඳහාම වැය වෙන්න පුළුවන් නමුත් ඒ දවසේ අනෙක් කාලයත් මම මේකත් එක්කම තමයි ගත කරල තියෙන්නේ. යම් අවස්ථාවක ඉතාම සතුටට පත් වෙන ආකාරයට මගේ අතින් ලිවීම සිද්ධ වුණොත් ටිකක් එළියට ගිහින් ඇවිදල යාලුවෙක් හම්බවෙලා, ඕනෙනම් පොඩි අඩියක් ගහල එන අවස්ථා තියනවා. ලිවීම සතුටුදායක නොවන කිසියම් හිරවීමක් තියන වෙලාවක මං එතනින් ඈතට යන්නෙම නැහැ ඒ ගැටලුව ජය ගන්නා තුරු.

කෞශල්‍ය: ඔබ මේ කියපු දේවල් වලින් සංස්කරණය ගැන තියන උනන්දුවත් ඉතාම පැහැදිලිව පේනවා. මේකට යම් දෙයක් තව එකතු කරන්න තියනවද සංස්කරණය පැත්තෙන් බැලුවොත්?

මහින්ද: ඇත්තටම මං සංස්කරණයට ඉතාම උනන්දු කෙනෙක්. මගේ නවකතා ලියල අවසන් වුනාට පස්සෙ ඊළඟ අදියරට යන විට මට උදව් කරන දෙන්නෙක් තමයි ජයප්‍රිය දසුන් සහ ලහිරු කරුණාරත්න කියන දෙන්නා. ඒ දෙන්නා මට පෙන්වා දීලා තියනවා සමහර රිපීට් වෙන වාක්‍ය, සමහර මට මඟහැරුණු සියුම් තැන්, යම් වෙලාවක මේ වාක්‍ය මේ විදිහට නැතුව මෙහෙම ලියවුණොත් හොඳයි කියන එක වගේ දේවල්. මේ සඳහා අපි සැළකිය යුතු කාලයක් අරගෙන තියෙනවා මේ කාරණා වෙනුවෙන්. මීට අමතරව භාෂාව පිළිබඳ සංස්කරණයත් සිද්ධ වෙනවා. කොහොම වුණත් අපි අවම වශයෙන් තුන් වතාවක් වත් නැවත නැවත මේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. මේක තමයි අවසාන වතාවට මැණිකක් ඔප දානව වගේ කෘතියට ඒ අවශ්‍ය ආලෝකය ලබා දෙන අවස්ථාව.

කෞශල්‍ය: අවසන් වශයෙන් මම ඔබගෙන් අහන්න කැමතියි ඔබ ලිවීම විඳින හැටි ගැන?

මහින්ද: ඇත්තටම ලිවීම කියන්නේ ඉතාම සතුට දනවන ක්‍රියවලියක්. ඒක මගෙ ජීවිතේ ඉතාම රමණීය දෙයක් හැටියටයි මම දකින්නේ. ඒක මම කරන ගොඩනැඟීමක්; ඒක මගේ මැවීමක්. මම දේවල් හොයමින් එකතු කරමින් ලෝකයට වින්දනය කළ හැකි යමක් ප්‍රදානය කරනවා කියන එක. එහි සතුට මෙතරම් කියල කියන්න බැරි තරම්. ඒක විශාල ආත්මීය සතුටක්. මීට අමතරම මගේ දේවල් කියවල ඒවාට ප්‍රතිචාර ලැබෙන කොට ඒවත් එක්කම ජීවත් වෙන කොට මේ මට විශාල අභිමනයක්, වින්දනයක් ලැබෙනවා.

මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ නවකතා භාවිතය හා ඒ සමඟ බැඳුණු හැඟීම් අපට ඔහුගේ නවකතා කියවීමට අලුත් කවුළුවක් විවර කරන්නට ඉඩ ඇතුවා සේම නවකතාකරණයට උනන්දුවන්නන්ට එයට ප්‍රවේශ වීමට තල්ලුවක් සපයන්නට ඉඩ ඇත.

ලබන සතියේ අප අරුණ ප්‍රේමරත්න නවකතාකරුවා මුණගැසෙන්නේ ද මේ මූලික අරමුණු දෙක සිහි තබා ගෙනය. එනම් අදාළ ලේඛකයාගේ හෝ ලේඛිකාවගේ සාහිත්‍යය විඳ ගැනීමට නැවුම් ප්‍රවේශයක් සහ ලිවීමට ආශා කරන්නන්ට අනුප්‍රාණයක් යන්නයි.

බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි.

ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ.