'මම ලියන හැටි' : පී. බී. ජයසේකර

    • Author, කෞශල්‍ය කුමාරසිංහ
    • Role, ලේඛක

'මරියා සිලොනිකා වස්තුව' නවකතාව 2013 වසරේ දී ප්‍රකාශයට පත් කරමින් සිංහල නවකතාකරණයට ප්‍රවේශ වන පී. බී. ජයසේකර 'අවලමා සහ ඇහැටුව', 'ඉක්බිතිව ඔහු මරාපීහ', 'බලව, කඳුළු ගිනි', 'මා ප්‍රති. මා', සහ 'උසාවි ගිය නෙරූඩා නොහොත් කාමඝෝර කවියා' යනා දී නවකතා ඔස්සේ සුවිශේෂී පාඨක විචාරක අවදානයකට පාත්‍ර වී ඇත.

මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමග බැදුණු ඔහුටම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය.

මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය.

හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි.

ලියන තැන, ලියන විදිහ, ලියන විට බොන කෝපි කෝප්ප ගණන, ලිවීම තමන්ම විඳින හැටි වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය.

කෞශල්‍යඃ සුපුරුදු පරිදි මං මුලින්ම ඔබගෙන් අහන්නෙත් නවකතාවක සමාරම්භක මොහොත ගැන. ඔබ ලියපු නවකතා ඇසුරෙන් මේ ගැන යමක් කියන්න පුලුවන්ද?

ජයසේකර: මං උදාහරණයකින් මේක පැහැදිලි කරන්නම්. මගෙ 'ඉක්බිතිව ඔහු මරාපීහ' නවකතාවට පදනම් වෙන්නේ බන්ඩාරනායක ඝාතනය. මේ සිදුවීම පාදක කර ගෙන නවකතාවක් ලියන්න ඕන කියන අදහස ආවට පස්සෙ මේක වස්තු බීජයක් හැටියට මගෙ හිතේ වැඩ කරනවා. අපි දන්නවා මේක ඇතුළේ කුමන්ත්‍රණ තියනවා, දේශපාලනය තියනවා, ප්‍රේමය තියනවා, ඝාතනයක් සිද්ධ වෙනවා, ඝාතනකරුවා ඔහුමද කියල සැක හිතෙන පරිදි ඝාතනකරුවා බන්ධනාගාරගත වෙනවා, එල්ලා මරනවා. මේ සියල්ල මෙහෙම තිබිය දී මේ නවකතාව ආරම්භ කරන්න ඕන කියලා මට හිතෙන්නේ සෝමාරාම බන්ධනාගාර ගතවෙන තැනදි. ඒක සිත් කාවදින තැනක්. බන්ධනාගාරගත වෙලා ඉන්න කෙනෙක් සිතන ආකාරය, ඔහුගෙ දවස ගෙවෙන ආකාරය...මේ ඇසුරෙන් තමයි මම ඒ නවකතාවෙ සමාරම්භක මොහොත සොයා ගන්නේ. සමාන්‍යයෙන් ලෝකෙ නවකතාකරුවන් අතර සහ ප්‍රකාශකයන් අතර අදහසක් තියනවා පළමු වාක්‍යය සහ පළමු පරිච්ඡේදය අතිශය වැදගත් කියල. දැන් මම ඉංග්‍රීසියෙන් නවකතා දෙකක් ලියල තියනවා. මම එකක් සම්බන්ධයෙන් විදේශීය ප්‍රකාශකයන් සමග ඊමේල් ඔස්සේ සාකච්ඡා කරන කොට ඔවුන් මගෙන් ඉල්ලපු එකක් තමයි නවකතාවෙ පළමු පරිච්ඡේදය එවන්න කියන එක. ඒකෙන් පේනවා ඔවුන් ආරම්භය ගැන දක්වන උනන්දුව.

කෞශල්‍ය: සාමාන්‍යයෙන් ලිවීම ආරම්භ කරනකොට ලියන්න යන නවකතාව ගැන ඔබ මොනතරම් දැනුවත් ද?

ජයසේකර: මම නවකතාවක් ලියන්න පටන් ගන්නේ මුලු නවකතාවෙම සිද්ධි ඔලුවෙ තියාගෙන. මං ලියපු හැම නවකතාවක්ම පටන් ගන්න කලින් ඒ නවකතාවට වඩා වැඩි ප්‍රමාණයක් තොරතුරු මම අතින් ලියාගෙන තියනවා. ඒ වගේම මගෙ ඔලුවෙත් තියනවා. දැන් මම කුසුමාසන දේවිය ගැන ලියපු නවකතාව හෝ බන්ඩාරනායක ඝාතනය ගැන ලියපු නවකතාව ගත්තොත් විශාල වශයෙන් ඒ ඓතිහාසික තොරතුරු මම කියෙව්ව සහ සටහන් තබා ගත්ත. නමුත් නවකතාවේ සැකිල්ලක් වැනි දෙයක් කොළයකට එන්නේ නැහැ. ඒක ලියන ක්‍රියාවලිය ඇතුළේ තමයි ගොඩනැගෙන්නේ. නමුත් ලියන්න යන සමස්තයම මගෙ ඔලුවෙ පැහැදිලිව තියනවා ලිවීම ආරම්භ කරන මොහොතෙදි. දැන් ඓතිහාසික නවකතාවක දී අඩුවැඩි වශයෙන් ඉන්න චරිත ගැන පැහැදිලිතාවක් තියනවා. නමුත් එහෙම නොවෙන පරිකල්පනය තුළම නිර්මාණය වන නවකතාවක දී මා විසින්ම නිර්මාණය කරන චරිත සම්බන්ධයෙන් ඒ පැහැදිලිතාව ගොඩනගා ගත යුතු එකක්. ඒ නිසා ඒ චරිත ගැන ඉතා හොඳ විශ්ලේෂණයක් ලිවීමට පෙර මා තුළ තිබිය යුතු වෙනවා.

කෞශල්‍ය: දැන් මේ විදිහට සැලසුම් කළ ආකාරයටම ලිවීමේ ක්‍රියවලිය තුළ දේවල් සිද්ධ වෙනවද එහෙමත් නැත්නම් ඔබ අපේක්ෂා නොකළ වෙනස් වීම් සිදු වෙනවද?

ජයසේකර: අපේක්ෂා නොකළ දේවල් අනන්තවත් සිද්ධ වෙනවා ලිවීමේ ක්‍රියාවලිය තුළ. නමුත් මං හිතන දෙයක් තමයි ලේඛකයන්ට අදාළ විවිධ විධි ක්‍රම තියනවා. මටත් තියනවා මට අනන්‍ය වූ විධික්‍රමයක් මේකට මුහුණ දෙන්න. ඒක තමයි මගේ ලියවිල්ලක් තුළ ලොජිකල් ෆ්ලෝ එකක් තියෙන්න ඕන කියන එක. මේ තාර්කික ගලායාම, ආගමික අර්ථයෙන් කිව්වොත් හේතු ඵල සම්බන්ධය. මං හරිම කැමතියි මේ ලොජිකල් ෆ්ලෝ එකට, ඒක නැති තැන් වල මං ඒක හැමවිටම හදල ගන්නවා. දැන් අපි දන්නවා, මාර්කේස් හෝ මුරකාමී වැනි ලේඛකයන්ට ඔවුන්ගේ විධික්‍රම අනුව මේ තාර්කික ගලායාම කියන එක ඒ තරම් වැදගත් නැහැ. නමුත් අපි හෙමිංවේ වැනි ලේඛකයෙක් ගත්තොත් එතෙන්දි තාර්කික ගලා යාම වැදගත්. ඔබේ ප්‍රශ්නයට නැවත ආවොත් මට කියන්න තියයෙන්නේ ලිවීමේ ක්‍රියාවලිය තුළ මම කලින් සැලසුම් නොකළ දේවල් අනන්තවත් සිද්ධ වුණත් මේ දේවල් නවකතාවට ඇතුල් වෙන්නේ අර තාර්කික ගලායාමේ ක්‍රමවේදය අර්බුදයට නොයන විදිහට කියන එකයි.

කෞශල්‍ය: නවකතාවක් ලියන්න පටන් ගත්තට පස්සෙ මේ ලිවීමේ කාලය ගත වෙන්නේ කොහොමද?

ජයසේකර: මම අගනුවරින් දුරබැහර ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා මගෙ ජීවිතේ ගතවෙන්නෙ අගනුවර ජීවත්වෙන කෙනෙකුට වෙනස් විදිහට. මෑත කාලෙ ගත්තොත් දවසෙ පැය විසිහතරම මං ගෙදර තමයි ඉන්නේ. සාමාන්‍යයෙන් නම් මම කියවන්න විශාල කාලයකුත් ලිවීමට මඳ කාලයකුත් ගත කරන කෙනෙක්. මං ලියන්නේ කම්පියුටර් එකෙන්. මේ දවස් වල මම ලියන්නේ ඉංග්‍රීසි නවකතාවක්. අද පාන්දර හතරෙ විතර ඉඳන් උදේ හත හමාර වගේ වෙනකං මං ලිව්වේ එක ඡේදයයි. සිංහලෙන් ලිව්වත් මෙහෙම තමයි. මං ඉතාම හෙමින් ලියන කෙනෙක්. පාසල් ශිෂ්‍යයෙක් රචනාවක් ලියනව වගේ සීග්‍රයෙන් මට ලියන්න බැහැ. මම ලියන ගමන් ම සංස්කරණය කරනවා. මේකත් එක්ක ලිවීම තවත් මන්දගාමී වෙනවා. කතාවේ නොගැලපීම් තියනවාද, තාර්කිකව ගලායනව ද මේ දේවල් පරීක්ෂා කරමින් තමයි ලියන්නේ. හැබැයි ලියල ඉවර වුනාට පස්සෙ මේක නවකතාවක් වෙලා කියල මට දැනෙනවා නම් මං තව එක පාරක් කියවල වැඩේ අවසන් කරනවා. මං හිතන්නේ මේක මගෙ අඩුපාඩුවක්. හැබැයි මං හිතන්නෙ දැන් මගේ ශ්‍රමය මේ වෙනුවෙන් යෙදවිලා අවසන්. මේක තවත් සංස්කරණය කරන්න නං ජාත්‍යන්තර ප්‍රකාශන ආයතන වල වගේ සංස්කාරකවරු අවශ්‍යයි. ලංකාවෙ අපිට එහෙම නැති එක විශාල අඩුවක්. මං දැඩිව විශ්වාස කරන දෙයක් තමයි ලියල ඉවර වුණාට පස්සෙ සංස්කාරකට දෙන්න ඕන පූර්ණ හිමිකමක් අවශ්‍ය පරිදි දේවල් කපන්න සහ අලුත් දේවල් යෝජනා කරන්න. මට මතක හැටියට ෂෙහාන් කරුණාතිලක 'සෙවන් මූන්ස්' කෘතිය ගැන කියල තිබුණා එහි මුල් පිටපතේ තිබුණු පිටු මොනතරම් අඩු වුණා ද කියල මුද්‍රණය කරන පිටපතට එනකොට. මේ ආකාරයේ විධිමත් සංස්කරණයක් අපිට ඉතාම අවශ්‍යයි. නමුත් ලංකාවේ ලේඛකයෝ මං අහල තියනවා මේකට ඒ තරම් කැමති නැහැ. අනික් අතට ලෝකය තුළ නවකතා සංස්කාරකවරු කියන්නේ සාහිත්‍ය ඉතා හොඳින් දන්න, සමකාලීන සාහිත්‍යය ගැනත් සාහිත්‍යයේ විවිධ ප්‍රවණතා ගැනත් නවකතා ලිවීමේ තාක්ෂණය ගැනත් මේ හැම දෙයක් ගැනම සමහර වෙලාවට නවකතාකාරුවටත් වඩා අවබෝධයක් තියන කෙනෙක්.

කෞශල්‍ය: අවසාන වශයෙන් මම කැමතියි ඔබගෙන් අහන්න ලිවීම ඔබ විඳින හැටි ගැන?

ජයසේකර: මම ඔබට කලින් කිව්ව වගේ මම වැඩිපුර කැමති කියවන්න. කියවීම නිසා තමයි මම ලේඛකයෙක් වුණේ. මම ඇත්තටම නවකතාකරුවෙක් වෙන්නේ මගෙ වයස අවුරුදු හැට වුණාට පස්සෙ. ඊට පෙර ඓතිහාසික ලිපි ලියල තිබුණත් නවකතා ලියල තිබුණේ නැහැ. ඇලෙක්සැන්ඩර් සොල්සෙනිට්සින් වගේ ලේඛකයන් ලිවීම පටන් ගන්නෙත් වයස් ගතවෙලා. ඔහු ගණිතඥයෙක්. ඔහුගෙ කෘති වලත් ඉතාම පැහැදිලිව පේන දෙයක් තමයි ලොජිකල් ෆ්ලෝ එක. මමත් ගණිතයට කැමති කෙනෙක්. මම ගුරුවරයෙක් හැටියට ඉගැන්නුවෙත් ගණිතය. මේ නිසා මාත් ඉතාම කැමති දෙයක් තමයි මේ තාර්කික ගලායාමක් සහිතව ලියන එක. ඒ ආකාරයට ලිවීම මට විශාල තෘප්තියක් ලබා දෙනවා.

මේ ආකාරයට පී.බී. ජයසේකරගේ ලිවීමේ භාවිතය සහ ඒ සමඟ බැඳුණු හැඟීම් අප වෙත නිරාවරණය වීම ඔහුගේ කෘති කියවීමට අලුත් ආලෝකයක් සපයන්නට ඉඩ ඇත.

ඔහු සේම මේ සංවාද මාලාව තුළ තම ලිවීමේ අත්දැකීම් හෙලිදරව් කරන ලේඛක ලේඛිකාවන් නවකතාකරණයට උනන්දු නමුත් තවමත් එය ඇරඹීමට පෙරුම් පුරන අනාගත නවකතාකරුවන්ට අනුප්‍රාණය සපයන්නේ නම් එය අපට සතුටකි.

මේ වෙනුවෙන් ලබන සතියේ අප හා එක් වන්නේ තවත් සුවිශේෂී නවකතාකරුවෙකු වන ආරියවංශ අබේසේකර යි.

බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි.

ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ.