ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මම ලියන හැටි' : නිශ්ශංක විජේමාන්න
- Author, කෞශල්‍ය කුමාරසිංහ
- Role, ලේඛක
නිශ්ශංක විජේමාන්න යනු සමකාලීන සිංහල සාහිත්‍යය තුළ කිසිසේත්ම මඟහැර යා හැකි නවකතාකරුවෙකු නොවේ. ඔහු වඩාත් සම්භාවනාවට පත් වී ඇත්තේ කෙටිකතාකරුවෙකු ලෙස වුවත් 'වැලන්ටයින් කුමාරයා' නවකතාවෙන් පටන් ගෙන 'තාරා මගේ දෙව්දුව' , 'හඳ පළුව තනි තරුව' හරහා 'කඳ අරනි' දක්වා ඔහු අතින් ලියවුණු නවකතා තේමාත්මක සහ ආකෘතික විචිත්‍රත්වයකින් අනූන සුවිශේෂී කෘති ලෙස හැඳින්විය හැකිය.
නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඔහුටම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් මම ඔහු සමග කතාබහක යෙදුනෙමි.
මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති නිම්නාගේ ඉතිහාසය (2019) සහ මේ රහස් කවුලුවෙන් එබෙන්න (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය.
හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි.
ලියන තැන, ලියන විදිහ, ලියන විට බොන කෝපි කෝප්ප ගණන, ලිවීම තමන්ම විඳින හැටි වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය.
මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය.
කෞශල්‍ය: මේ සංවාදය ආරම්භ කිරීමට මම මුලින්ම ඔබගෙන් අහන්න කැමැතියි නවකතාවක් ලිවීමේ සමාරම්භක මොහොත ගැන?
නිශ්ශංක: මම ලියපු නවකතා සියල්ලම ගත්තොත් නවකතාවේ ආරම්භයට ගැලපෙන කොටස ලියන්නේ අවසානයේ. මගෙ පළවෙනි නවකතාව වැලන්ටයින් කුමාරයා ගත්තොත් ඒක මම ලියන්න පටන් ගත්තේ මැද්දෙන්. මොකද ඒකෙ ආකෘතිය තුළ ඒ කොටස් වලට ස්වායත්ත පැවැත්මක් තියනවා. එක විවිධ ආකාරයට පෙළ ගැස්විය හැකියි. 'කඳ අරනි' වගේ නවකතාවක් ගත්තොත් ඒක ලිවීම පටන් ගන්නේ මුලින්. මෙතෙන්දි ලිවීම පටන් ගන්න තැන තීරණය වීමට ඒ කෘතියේ ආකෘතිය බලපානවා. කොහොම නමුත් කෘතියට ප්‍රවේශ වන සමාරම්භක ඡේදය හෝ කොටස මගේ හැම නවකතාවකම වගේ මම ලියන්නේ අවසානයේ.
කෞශල්‍ය: ලිවීම ආරම්භ කරන අවස්ථාවෙදි ඔබ ලියන්න යන නවකතාව ගැන මොනතරම් දුරට දැනුවත් ද?
නිශ්ශංක: සීයයට සීයක්ම දැනුවත් කියල ඕනෙ නම් කියන්න පුලුවන්. මම සාමාන්‍යයෙන් නවකතාවක් ලිවීමට පෙර ඒ නවකතාවට අදාළව ලිපි ගොනුවක් විවෘත කරනවා. ඒකෙ තියනවා මේ නවකතාව වෙනුවෙන් මම කරන හැදෑරීම. ඒ වගේම චරිත සහ සිදුවීම් වලට අදාළ විස්තර. දැන් මම අවුරුදු විස්සක් විතර තිස්සේ එක් නවකතාවක් වෙනුවෙන් හැදෑරීමක් කරනවා. ඒක ලියන්න පටන් ගත්තට මට හිතුන තවමත් මම ලියන්න සූදානම් නැහැ කියල. මම ලියපු පරිච්ඡේද නමයක් වරක් මම ගිනිබත් කළා. මොකද මට අලුතෙන්ම ඒක ලියන්න ඕන කියල හිතුන නිසා. පස්සෙ නං හිතුන එහෙම කරපු එක මෝඩ වැඩක් කියල. නමුත් මට අවශ්‍ය වුණේ ඒක ලියවිලා තිබුණු විදිහට වඩා වෙනස්ම ආකාරයකට ඒක ලියන එක. මේ විදිහට නවකතාවක තේමාව වගේම ආකෘතියට අදාළ ගැටලු තියනවා විසඳගත යුතු. ඒ නිසයි මම කිව්වෙ ලිවීම පටන් ගන්න මොහොතෙදි මම සැළකිය යුතු තරම් ලියන්න යන නවකතාව ගැන දැනුවත් කියල. මොකද මේ හැම දෙයක්ම අතිශය තීරණාත්මක ලෙස නවකතාවක් සම්බන්ධයෙන් වැදගත්. චරිතයක බාහිර ස්වරූපයට අදාළ ඉතා සියුම් තොරතුරු වැනි දේ වගේම නවකතාව කියන ආකාරය මොකද්ද කියන එක දක්වා සැලකිය යුතු තරම් දේවල් තියනවා අවදානයට ලක් කළයුතු.
කෞශල්‍ය: ඔබ නවකතාවෙ ආකෘතිය ගැන විශේෂ උනන්දුවක් දක්වන කෙනෙක්. ඒ ගැන යමක් කියන්න පුලුවන් ද?
නිශ්ශංක: මෙතෙන්දි මං හිතනවා මට චිත්‍ර ශිල්පියෙක් හැටියට චිත්‍ර කලාවේ බලපෑමත් තියනවා මේ ආකෘතිය ගැන උනන්දුව පිටුපස කියල. සමහර ලේඛකයන්ට වගේ මට කතාවේ තේමාවත් එක්කම ඒක ලියන්න ඕන ආකෘතිය එන වාසනාව හෝ අවාසනාව නැහැ. මට ආකෘතිය හොයන්න සිද්ධ වෙනවා. මං විශ්වාස කරනවා පාඨකයෙක් හැටියට හිතන කොටත් එකම ලේඛකයාගේ කෘති කීපයක් කියවන කොට සමහර විට ඉක්මනින් දැනෙනවා මේ ලියල තියෙන්නෙ මීට පෙර ලියපු ආකාරයටම තමයි කියන එක. මේ නිසා මම උනන්දු වෙනවා පිකාසෝ වගේ ආකෘති අලුතෙන් හොයන්න. මගෙ ඔලුවට විවිධ ආකාරයන් එනවා. ටෝච් එකක් අල්ලගෙන යන කෙනෙක්ද? ගමන් මාර්ගයක පේන දර්ශනද? එහෙම නැත්තං බර්ඩ්ස් අයි පර්ස්පෙක්ටිව් එකක් ද මෙන්න මේ වගේ ආකෘති සිය ගානක් අධ්‍යයනය කරමින් තමයි ඉන්නේ.
කෞශල්‍ය: දැන් මේ ආකාරයට ලිවීම ආරම්භ කලාට පස්සෙ කොහොමද ඔබේ කාලය ගත වෙන්නෙ?
නිශ්ශංක: දැන් මාකේස් 'සියක් වසරක හුදෙකලාව' ලියන කොට එයා හිතුවෙ නැහැනෙ ගෙදර කන්නෙ බොන්නෙ කොහොමද කියන එක ගැන. ඒවා බැලුවේ මර්සිඩීස්, එයාගෙ බිරිඳ. මාකේස්ට ඒව ගැන සිහියක් තිබුණේ නැහැ. නමුත් අපිට ඒ වගේ ලියන්න බැහැ. අපිට සිද්ධ වෙනව ගෙදර දොර දේවල් වලට මැදිහත් වෙන්න. නමුත් ලිවීමට ඉඩක් ලැබෙන හැම වෙලාවකම අපේ ගෙදර උඩුමහලේ මම ලියන තැනට ගිහින් ලියනවා. මම කැමතියි එක දිගට ලියන්න ලැබෙනවා නම්. මොකද ලියාගෙන ගිහින් දවස් කීපයක් ඒක කැඩුනම තරමක් අපහසු වෙනවා නැවත කෘතියේ විවිධ දේවල් අතර අන්තර්-සම්බන්ධය සොයා ගන්න. 'තාරා මගේ දෙව්දුව' සහ 'හඳ පළුව තනි තරුව' කියන නවකතා ලියද්දි මට මෙහෙම එක දිගට ලියන්න පහසුකම තිබුණා. මගේ පුස්තකාලයාධිපතිනි, මගෙ මිනිබිරී සසින්දිගෙ ආදරණිය බාධාවන් පමණයි තිබුණේ. මේ කාලෙ ඉතින් උදේ හතට විතර පටන් අරන් දවල් දොළහ විතර වෙනකන් ලියනවා. ඊට පස්සෙ ගෙදර යම් යම් වැඩ එහෙම කරල නැවත රෑ අටට විතර පටන් අරන් පාන්දර එක විතර වෙනකන් ලියනවා. මම ඉතාම හෙමින් ලියන්නෙක්. මගෙ තියෙන එක දුර්වලතාවක් හෝ ප්‍රබලතාවත් තමයි ලියන දේවල් නැවත නැවත කියවීම සහ නැවත ලිවීම. ඉතින් මේ විදිහට මුළු පොතම ලියල ඉවර වුනාට පස්සෙ මම යම් කාලයක් ඒක පැත්තකින් තියනවා. මොකද මේක ලියල ඉවර වුණාට මේක මගෙ ඇතුළේ තවදුරටත් පැසවනවා. ඒකත් එක්ක මම නැවත බලනකොට මට දැනෙනවා තවත් ඇතුළත් කල යුතු දේවල්. දැන් 'කඳ අරනි' නවකතාව එහෙම කියෙව්වම මට දැනුණ කෘතියේ තියන පාලුවක්. එතකොට මම කරන්නේ තව දේවල් එකතු කරනවා. මේ විදිහට මම තුන් වරක් විතර කෘතිය සංස්කරණය කරනවා. මේ හැම වරම අලුත් පිටපතක් ලියනවා. නමුත් කෙටිකතා වලදි නං එකවරම ලියවෙන කෙටිකතා තියනවා. ඒක හරිම ප්‍රීතිමත් අත්දැකීමක්. හදන්න ඕනෙ කියල හිතුණත් මම හදන්නෙ නැහැ ඒ වගේ කෙටිකතා.
කෞශල්‍ය: නවකතාකරුවෙක් හැටියට ඔබේ පැවැත්ම ගැන ඔබට යමක් කියන්න පුලුවන්ද?
නිශ්ශංක: ලිවීමට තියන ලාලසාව ගොඩනැගෙන්නෙ කියවීමෙන්. මම ගොඩක් කුඩා කාලේ කියවීම පටන් ගත්ත කෙනෙක්. පහේ ශිෂ්‍යත්වේ පාස් වෙලා පස්සර සෙන්ට්‍රල් එකට ගිහාම මට තිබුණු එකම ඉලක්කය තමයි දහයේ පන්තියට යන කොටම පුස්තකාලේ තියන ඔක්කොම පොත් කියවල අවසන් කරන එක. ඒ වගේම මම එක්සයිස් පොතක මේ කියවන පොත් ගැන විස්තරත් ලිව්ව. අපේ තාත්තා, මහප්පලා දිනපොත් ලියපු නිසා මටත් ඒ භාවිතය ආවා. මම ලියපු දිනපොත් සටහන් කියනවනකොට මට දැනුණා ඒව එදිනෙදා විස්තර ඉක්මවා ගිය ප්‍රබන්ධ ලක්ෂණ සහිත ඒව කියන එක. මොකද කියවීමෙදිත් මම වඩාත් ආශක්ත වුණේ විචිත්‍ර ලියවිලි වලට. මේ විදිහට තමයි කියවීමෙන් ලිවීමට තියන ආශාව රෝපණය වෙලා වර්ධනය වෙන්නේ. ඊට පස්සෙ ලිවීම මගෙ ප්‍රමෝදය බවට පත් වෙනවා. හැබැයි ඒක මගේ ප්‍රමෝදය විතරක් නෙමෙයි. ඒක විසින් කියවන්නාගේ චර්යාත්මක වෙනසක් ඇති කිරීමට බලපානවද කියන එක පිළිබඳවත් මම උනන්දු වෙනවා. එහෙම දෙයක් සිද්ධ වෙනවා කියල දැනෙන කොට මට ඒ ගැන දැනෙන සතුටකුත් මෙතන තියනවා.
- විසි දෙවන සංවාදය :රූපා ශ්‍රියානි ඒකනායක
- විසි තුන්වන සංවාදය : කේ කේ සමන් කුමාර
- විසි හතර වන සංවාදය : චන්දි කොඩිකාර
- විසි පස්වන සංවාදය : සමන් වික්‍රමාරච්චි
- විසි හය වන සංවාදය: දර්ශනා ශම්මි විජේතිලක
- විසි හත්වන සංවාදය : මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
- විසි අටවන සංවාදය : අරුණ ප්‍රේමරත්න
- විසි නව වන සංවාදය : තරංගනී රෙසිකා ප්‍රනාන්දු
නිශ්ශංක විජේමාන්න නම් වූ විශිෂ්ට ලේඛකයාගේ නිර්මාණ කියවමින් අප විස්මයට පත් වන විට ඒ විස්මය නිර්මාණය කරන්නට වචන සහ ආකෘති සමග අනුරාගී ලෙස ක්‍රීඩා කරන ඔහු ගැන ද දැන් අපට පරිකල්පනය කළ හැකිය.
එසේම නවකතාකරුවෙක් ලෙස ඔහු සිය නවකතා පිටුපස ගත කරන ජීවිතයේ ස්වභාවය, ඒවා ලියන විට ඔහු අත්විඳින හැඟීම් සහ ඔහුටම අනන්‍ය වූ තාක්ෂණයන් ගැන කරන ලද මෙම කතා බහ නවකතා ලිවීමට ආශාවෙන් සිටින අනාගත ලේඛකයන්ට බොහෝ දේ කියා දෙනු ඇත.
මීලඟ සතියේ සිය ලේඛන ජීවිතයේ ඇතුලාන්තය අප වෙත නිරාවරණය කරනු ලබන්නේ අපට සිටින විශිෂ්ට නවකතාකරුවෙක් වන පී. බී ජයසේකරයි.
බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි.
ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ.