'මම ලියන හැටි' : අරුණ ප්‍රේමරත්න

    • Author, කෞශල්‍ය කුමාරසිංහ
    • Role, ලේඛක

පසුගිය දිනවල අරුණ ප්‍රේමරත්න වඩාත් ජනප්‍රිය වන්නේ ‘කොඩි ගහ යට’ ටෙලිනාට්‍යයේ රචකයා ලෙස වුවත් ඔහු මේ වන විට පාඨක විචාරක සම්භාවනාවට පාත්‍ර වූ නවකතා දෙකක් ‘තරු විසුළ රැය' සහ ‘දවස් තුනක කතාවක්’ සිංහල සාහිත්‍යයට දායක කර ඇත.

එසේම පරිවර්තකයෙක් ලෙස සිය සාහිත්‍ය ප්‍රවේශය සළකුණු කරන ඔහු අතින් විශ්ව සාහිත්‍යය තුළ වැදගත් කෘතීන් සිංහල පාඨකයාට හඳුන්වා දී ඇති බව ද අමතක කල නොහැකිය.

මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමග බැඳුණු ඔහුට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය.

මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය.

හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේ ම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි.

ලියන තැන, ලියන විදිහ, ලියන විට බොන කෝපි කෝප්ප ගනන, ලිවීම තමන්ම විඳින හැටි, වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය.

මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය.

කෞශල්‍ය: මේ කතාබහ ආරම්භ කරන්න මං මුලින්ම ඔබගෙන් අහන්න කැමතියි නවකතාවක සමාරම්භක මොහොත ගැන. ඔබේ නවකතා වල පළමු වාක්‍යය ලියවුණු හැටි ගැන යමක් කියන්න පුළුවන් ද?

අරුණ: මම නවකතාවකට ප්ලොට් එකක් ආවම ලියන්න පටන් ගන්න කලින් ඒක මනසින් ගොඩනංවනවා. මේක පොඩි ක්‍රීඩාවක් වගේ දෙයක්. දේවල් එහා මෙහා කරමින් මං ඒක මනස තුළ නිර්මාණය කරනවා. මොන විදිහට ද චරිත එකතු වෙන්නෙ, මොන විදිහට ද අවසන් වෙන්නේ, ආකෘතික වශයෙන් මට මොකද්ද මේකෙ කරන්න පුලුවන් මේ වගේ දේවල් විවිධ විදිහට එහා මෙහා කරමින් මම බලනවා. මේක මට හරිම තෘප්තිමත් දෙයක්, ඇත්තටම ක්‍රීඩාවක් වගේම තමයි. ලිවීමටත් වඩා මම සමහරවිට සතුටු වෙන්නේ නවකතාවක් මනස තුළ ගොඩනංවන කාලය ඇතුළේ තමයි. මං පොඩි කාලෙ ඉඳන් ලියන එක ගැන අදහසක් නැතුවත් මේ විදිහෙ කල්පනා ලෝකවල ඉඳල තියනවා. එතනදිත් සිද්ධ වුණේ ලිවීමේ බලාපොරොත්තුවක් නැතුව කතන්දරයක් ඇතුලට යාමක් තමයි. ඒ නිසා ඒක කාලාන්තරයක් තිස්සේ මගෙ ජීවිතේට සම්බන්ධ භාවිතයක්. දැනටත් නවකතාවක් ලියන්න සුදුසු වස්තු බීජ කිහිපයක් ඔලුවේ වැඩ කරනවා. ඒවත් එක්ක නිරන්තරයෙන් මනස් ක්‍රීඩාවක මං නිරත වෙනවා. මේ ක්‍රීඩාව ඇතුළේ තමයි මට අහුවෙන්නේ මේක පටන් ගන්න ඕන කොතනින්ද, මේක ගලාගෙන යන්නෙ කොහොමද, මේකෙ ආකෘතිය මොකද්ද, මේක අවසන් වෙන්නෙ කොහොමද වගේ දේවල්. සමහර වෙලාවට මෙහෙම කරගෙන ඇවිල්ල ආපහු ඒක හොඳ නැහැ කියල හිතල මුල ඉඳන් මේ මානසික ගොඩනැංවීම කරනවා. යම් වෙලාවක මේ ක්‍රියාවලිය මට සෑහීමකට පත් වෙන තැනකට ආවම තමයි මම ලියන්න පටන් ගන්නෙ. බොහෝ වෙලාවට මේ වෙනකොට පළමු වාක්‍යයත් මගෙ ඔලුවට ඇවිත් තියෙන්නේ. මම පළමු වාක්‍යය ගැන විශේෂයෙන් උනන්දු වෙනවා. ඒක තමයි ඇන්ජින් එක වගේ නවකතාව ඉදිරියට ගෙනියන්න දායක වෙන්නේ.

කෞශල්‍ය: දැන් මේ කාලය තුළ ඔබ කිසිම දෙයක් සටහන් තියා ගන්නෙ නැද්ද?

අරුණ: නැහැ. කිසිම සටහනක් තියා ගන්නෙ නැහැ. කිසිම ආකාරයකින් අර මනස් ක්‍රීඩාව ඇතුළේ මම අකුරු පාවිච්චි කරන්නේ නැහැ. සටහන් තබා ගන්නව නම් ඒක කරන්නේ ලියන්න පටන් ගත්තට පස්සේ . ලියන්න ගත්තට පස්සේ අර මනස් ක්‍රීඩාව අවසන් වෙනවා. එතෙන්ට විචාර බුද්ධිය එන්න පටන් ගන්නවා. අපි ඇතුළේ ඉන්න විචාරකයාත් අවදි වෙන්න පටන් ගන්නවා. අර මනස් ක්‍රීඩාවෙදි ඒක දැනෙන්නේ නැහැ. ලියනවා කියන්නේ මං තව කෙනෙකුට දෙන දෙයක්. ඒ කියන්නේ මෙතෙන්දි මගේ පරිකල්පනීය පාඨකයාත් එතෙන්දි මගෙ ඉස්සරහ ඉන්නවා. නමුත් මනස් ක්‍රීඩාවෙදි මේ කවුරුවත් නැහැ. මං විතරයි ඉන්නේ. මේක අකුරු වලට පෙරලෙන තැනදි තමයි පාඨකයා මැවෙන්නේ. මේක මං හිතල කරන දෙයක් නෙමෙයි. නවකතා දෙකක් ලිව්වට පස්සේ මං මගෙ ක්‍රියාවලිය දිහා බලන කොට මට පේන දෙයක්.

කෞශල්‍ය: දැන් මේ මනසේ ගොඩනඟන නවකතාව ලිවීම ඇතුළේ ඒ ආකාරයෙන්ම ලියවෙනවද?

අරුණ: නැහැ එහෙම වෙන්නෙ නැහැ. සමහර දේවල් වෙනස් වෙනවා. අර පරිකල්පනීය පාඨකයා එක්ක සිද්ධ වෙන මගේ ගනුදෙනුවත් එක්ක දේවල් වෙනස් වෙනවා. මොකද මං හිතන්න ගන්නවා මගේ හිතේ ගොඩනැගුණු දේවල් තවත් කෙනෙකුට දැනෙන විදිහ ගැන. උදාහරණයක් හැටියට මම ගොඩනගල තියන සමහර සිදුවීම් වල පසුබිම් කතාව මං අවිඥානිකව දන්නවා වෙන්න පුලුවන්. නමුත් පාඨකයා ඒක දන්නේ නැහැ. අන්න ඒ වෙලාවට මට හිතෙනවා ඒ පසුබිම ලියන්න. මේ විදිහට පාඨකයා වෙනුවෙන් සමහර දේවල් එකතු කරන්න වෙනවා; සමහර දේවල් අයින් කරන්නත් වෙනවා. මෙතෙන්දි ඇත්තටම මගේ තෘප්තිය වෙන්නේ පාඨකයාගේ තෘප්තිය වෙන්න පුලුවන්. ඒක හරියට සම්භෝගය වගේ දෙයක්. අපි ලිංගික එක් වීමකදි අපේ සතුටේ විශාල කොටසක් රැඳී තියෙන්නෙ අනෙකා ගේ සතුට මත නේ. අපි තෘප්තිමත් වෙනවා වගේම අපි අනෙකා ගේ තෘප්තියෙනුත් තෘප්තිමත් වෙනවා. අන්න ඒ වගේ. එතකොට ලිවීමේ ක්‍රියාවලිය ඇතුළේ පාඨකයා තෘප්තිමත් වෙයි කියල හිතන ආකාරයට මං මගේ හිතේ ගොඩනැගුණු දේවල් යම් සංස්කරණයකට ලක් කරනවා. මේකට විචාරක මිනුම් දඬු වගේ දේවල් අදාළ වෙන්නෙ නැහැ. ඒක ලිවීම තුළින්ම වෙන දෙයක්. මේ මනසින් හදා ගත්ත පාඨකයාත් එක්ක කරන ගනුදෙනුව තමයි මම ලිවීම කියල හිතන්නේ. ඔහු තෘප්තිමත් කිරීම මගේ වගකීමක් කියල මට හිතෙනවා. එතෙන්දි තමයි නිර්මාණය මගේ පෞද්ගලිකත්වයෙන් ගිලිහෙන්නේ.

කෞශල්‍ය: දැන් මනසේ ගොඩනැගෙන නවකතාව සහ කොළයක වචන බවට පත්වෙන නවකතාව කියන මේ දෙක අතර පරතරය මොන වගේ එකක් ද?

අරුණ: ලොකු පරතරයක් තියනවා කියල මට කියන්න බැහැ. මූලික හැඩය අනිවාර්යෙන් සමානයි. නමුත් චරිත වල සිදුවීම් වල යම් යම් වෙනස්කම් තියනවා. කොහොමත් ලිවීම පටන් ගත්තට පස්සෙ අර මානසික ක්‍රීඩාව අවසන් වෙලා යනවා. සාමාන්‍යයෙන් ලිව්වට පස්සේ මට මගෙ නවකතාවල සිදුවීම් සහ සමහර චරිත පවා එකවර මතකයට නගා ගන්න බැහැ. මට ඒව අමතක වෙලා යනවා. හිතල කරන දෙයක් නෙමෙයි. ඒක එහෙම වෙනවා. වෙන දෙයක් එතෙන්ට ආදේශ වෙනවා. මේක ටෙලි නාට්‍යය රචනයේදිත් මට වෙනවා. සමහර වෙලාවට ටෙලි නාට්‍යය විකාශය වෙද්දි මට මතක නැහැ මේව මම ලියපු දේවල් ද කියලවත්. නවකතාවක් ලියල අවසන් වුණු ගමන් නැවත කියවද්දි මට හිතුනු ආකාරය අනුව තමයි මම මේ ප්‍රශ්නයට උත්තර දුන්නේ. ඒ අනුව බලන කොට මට හිතෙන්නෙ ලොකු පරතරයක් නැහැ කියල තමයි.

කෞශල්‍ය: අපි දැන් ටිකක් කතා කරමුද ලියන කාලය ගත වෙන හැටි ගැන?

අරුණ: මං සාමාන්‍යයෙන් ලියන්නෙ පරිගණකයෙන්. වැඩි පුර ලියන්නෙ දහවල් කාලයට තමයි. රාත්‍රියට ලියන දේවල් ගොඩක් වෙලාවට මට වෙනස් කරන්න සිද්ධ වෙනවා. කොහොම වුනත් මගේ වැඩිපුර කාලය ගත වෙන්නේ ලිවීමට පෙර සිද්ධ වෙන මනසේ ගොඩනැංවීමට. නවකතාව ලියන්න පටන් ගත්තම සතියට දවස් තුන හතරක් වත් ඒක ලිවීමත් එක්ක ගත කරනවා. හැබැයි සමහර දවස් තියනවා කිසිම දෙයක් ලියවෙන්නෙ නැති. ඒ වගේ දවස් වලට මම බලෙන් ලියන්නෙ නැහැ. තෘප්තිමත්ව ලියවෙනව නම් විතරයි ලියන්නේ.

කෞශල්‍ය: නවකතාවක සංස්කරණය කොහොමද සිද්ධ වෙන්නෙ?

අරුණ: නවකතාව ලිව්වට පස්සෙ මගෙ අර මනස් ක්‍රීඩාව නතර වෙන නිසා මට ඒක දිහා තරමක් දුරින් ඉඳන් බලන්න පුලුවන් වෙනවා. ඒ නිසා ලිවීමෙන් පස්සේ කිහිප සැරයක් සංස්කරණය කරනවා. ඒකටත් මම සැළකිය යුතු කාලයක් ගන්නවා. මේකෙදි මං සිද්ධි මාලාවෙ යම් කිසි නොගැලපීමක් තියනවද, චරිත වල විකාශයේ යම් ගැටලු තියනවද වගේ දේවල් ගැන උනන්දු වෙනවා. ඒ වගේම වාක්‍ය රටාවන් සම්බන්ධයෙන් සැලකිලිමත් වෙනවා. මං කැමතියි ධ්වනියක් එක්ක වාක්‍යයෙන් වාක්‍යයට යන කොට තියන රිද්මය පවත්වාගෙන යන්න. සමහර වෙලාවට මගෙ ළඟම ඉන්න කෙනෙකුට කියවන්න දීල ඒ අයගෙ අදහස් අර ගන්නවා. ඒවත් උදව් වෙලා තියනවා නැවත සංස්කරණයට.

කෞශල්‍ය: මේ සංවාදය අවසාන කිරීමට මං ඔබෙන් අහන්නෙ ලිවීම ඔබ විඳින හැටි ගැන?

අරුණ: එක කාලෙකදි තිර රචනා ලිවීම මගෙ වෘත්තිය බවට පත් වෙනවා. නවකතා ලියන්න මගෙ ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඇත්තටම මම නවකතාවට ප්‍රවේශ වෙන්නෙම තිර රචනයෙන් බිහිවන නිර්මාණ තුළ මට සම්පූර්ණයෙන්ම මගේ දෙයක් කියා ගන්න තියන අවකාශය අඩු වීමත් එක්ක. ටෙලි නාට්‍යය කියන්නෙ කර්මාන්තයක්, ඒකෙදි සම්පූර්ණයෙන් ප්‍රාග්ධනයත් එක්ක තියන සම්බන්ධයෙන් නිදහස් වෙන්න බැහැ. ඒ නිසා ඒක විසින් මගේ ලිවීම පාලනය කරනවා. ඒක වරදක් නෙමේ ඒක තමයි ඒ කර්මාන්තයේ හැටි. ඉතින් මගෙ බිරිඳයි දියණියයි එක්ක මගෙ හිත ඇතුළේ තියන දේවල් කතා කරන අවස්ථා තියනවා. ඒ දෙන්න තමයි මාව නවකතාවට යොමු කලේ ඇත්තටම. ඒ දෙන්න තමයි කිව්වෙ ඔයාගෙ දේකුත් කරන්න මේ අතරේ කියල. මොකද මං හිතන්නෙ මගෙ දෙයක් නොලිව්වොත් මට අමාරුවෙයි කියන එක ඒ ගොල්ලන්ට දැනෙන්න ඇති. ඉතින් නවකතා ලියන්න ගත්තට පස්සෙ මට දැනුන ඒකෙන් එක පැත්තකින් මාව නිදහස් වෙනවා; අනිත් අතින් ඒක ඉතාම තෘප්තිමත්. මට වෙළඳපල වටිනාකම වගේ දේවල් වල බලපෑමකින් තොරව මගේ දෙය කියන්න පුලුවන්.

අරුණ ප්‍රේමරත්න නවකතාකරුවා සිය නවකතා පිටුපස ගත කරන ජීවිතයේ ස්වභාවය, ඒවා ලියන විට ඔහු අත්විඳින හැඟීම් සහ ඔහුටම අනන්‍ය වූ තාක්ෂණයන් ගැන කරන ලද මෙම කතා බහ නවකතා ලිවීමට ආශාවෙන් සිටින අනාගත ලේඛකයන්ට බොහෝ දේ කියා දෙනු ඇත.

එසේම ඔහුගේ නවකතා කියවන විට ඒවායේ ඇති චරිත, සිදුවීම් දෙස පෙර නොදුටු මානයකින් බලන්නටද සමහර විට මේ කතාබහ දායක වනු ඇත.

ලබන සතියේ අප හා එක් වන තරංගනී රෙසිකා ප්‍රනාන්දු යනු සමකාලීන සිංහල සාහිත්‍යයේ තවත් සුවිශේෂී නවකතාකාරිනියකි.

බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි.

ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ.