ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මම ලියන හැටි': ශාන්ති දිසානායක
- Author, කෞශල්‍ය කුමාරසිංහ
- Role, ලේඛක
ශාන්ති දිසානායක යනු කිසිසේත්ම සිංහල පාඨකයන්ට හැඳින්වීමක් අවශ්‍ය ලේඛිකාවක් නොවේ.
වරාමල්, අග්නි, වංකගිරිය, ගිරිදේවි, ගිරිකුළ, හැන්දෑව, වාළුකා ඇතුළු ජනාදරයට පත් නවකතා විසි අටක් ඇය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.
මීට අමතරව කෙටි කතා සංග්‍රහ, තීරු ලිපි සංග්‍රහ, යොවුන් නවකතා හා ළමා කතා ද ඇතුළත් ඇගේ නිර්මාණ සමස්තය සුවිශාල ය. ඇගේ නවකතා ඇසුරින් ටෙලිනාට්‍යය එකොළහක් සහ චිත්‍රපට දෙකක් මේ වන විට නිර්මාණය වී තිබේ.
මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඇයට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය.
මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය.
හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි.
ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය.
මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය.
කෞශල්‍ය: මම මුලින්ම ඔබගෙනුත් අහන්නේ ඔබ නවකතාවක පළමු වාක්‍යය ලියන හැටි ගැන. ඒ අත්දැකීම ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද?
ශාන්ති: මං ජීවත්වෙන පසුබිම ගැන පැහැදිලි කළොත් මට ඒකට ප්‍රවේශවෙන්න ලේසියි. මං ජීවත් වෙන්නේ වෙනස්ම පරිසරයකනේ. මං ඉන්නේ ගොවි ජනපදයක. මට තියෙන්නේ වෙනස්ම කතන්දරයක්. මං පොඩි කාලෙ ඉදන් ම ලිව්ව. එතකොට තාත්ත තමයි ළඟ හිටියෙ. තාත්ත හරියට අගය කළා මං ලියපු දේවල්. හැබැයි මං විවාහ වුණාට පස්සෙ මං ලියන එක ගැන මට පැකිලීමක් තිබ්බ. මං ඉන්නෙ මිනිස්සු ගිනි අව්වෙ පොළවත් එක්ක හැප්පෙන පරිසරයකනේ. ඉතින් මං කාමරේකට වෙලා ලියන කොට ඒක ටිකක් ඔබින්නේ නැති ගතියක් තියනවා. මට පොඩි වරදකාරී හැඟීමක් තිබුණා. ඒක තේරුම් ගන්න නං වන්නියේ අව්ව තේරුම් ගන්න ඕන. ඒක දරන්න අමාරු අව්වක්. ගොවියෝ දිහා බැලුවම ඒක පේනවා. ඉතින්, මං ලියන බව සැමියා දැනගෙන හිටියත් මං ලියනවා දැක්කොත් මොන වගේ වෙයිද කියල ප්‍රශ්නයක් මට තිබුණා. ඉතින් ඉස්සර එයාගේ අඩි සද්දෙ ඇහෙන කොට මං ලියන කොළ ටික මේස රෙද්ද යටට දානවා. ඒ නිසා ලියන එක රහසිගත දෙයක් වෙලා තිබුණේ. මට එහෙම රහස් තිබුණා. දැන් මං පුංචි කාලේ මුලින්ම අකුරු ඉගෙන ගත්තෙත් රහසිගතව. අපේ ගෙදර හිටිය මාමා කෙනෙක් තාත්තගේ උදව්වට. එතකොට එයා තරුණයි මං පුංචියි. ඉස්කෝලේ යන්නත් කලින්නේ. හැමදේටම වයසක් තියනව කියන අදහස මේ පළාත්වල ටිකක් තදින් තියන නිසා ඉස්කෝලේ යන්න කලින් අකුරු ඉගෙන ගන්න එක අපි කළේ හොරෙන් වගේ. අපේ තාත්තට සිල්ලර කඩයක් තිබුණා. ඒකට එන පත්තර එහෙම ගෙනත් තමයි මාමා මට උගන්නන්නේ. තාත්ත හදපු උක් වගාවක් තිබුණා. ඒකෙ අඹ ගහක් යට වාඩි වෙලා උක් දළු වල සිරිසිරියත් එක්ක තමයි මුලින්ම අකුරු ඉගෙන ගත්තේ. එතකොට මං ටිකක් ලොකු වෙද්දි නවකතා කියෙව්වෙත් හොරෙන්. තාත්ත මට කියවන්න දුන්නට කිරි අම්ම බනිනවා, නවකතා කියවල ඉක්මනට කොල්ලෙක් එක්ක යාළුවෙලා පැනල යයි කියල. ඉතින් මේ වගේ විවාහයෙන් පස්සේ ලියන එකත් සිද්ධ වුණේ රහසිගතව. මගෙ දරුවෝ කාලයක් යනකන් දැනන් හිටියේ නැහැ මං ලියනවා කියල. මොකද හුඟක් වෙලාවට ඒගොල්ලන්ව නිදි කරල තමයි මම ලියන්නෙ. මට හරි තැනක් වෙලාවක් තිබුණේ නැහැ ලියන්න. මොකද මට දරුවො පස් දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගේ වැඩත් එක්ක තමයි මං ලියන්නේ. මං ලියන්න පටන් අරන් අවුරුදු විසි පහකට පස්සේ දැන් තමයි මට මගේ කියල මේසයක් තියෙන්නේ. ඔයා අහපු ප්‍රශ්නෙට දැන් ආවොත් පළවෙනි වාක්‍යය ලියවෙන හැටි ගැන. දැන් මොකක් හරි තේමාවක් මගේ ඔළුවෙ වැඩ කරනවනේ. ඒක සංවර්ධනය වෙන්නේ මං උයන පිහන අතරෙම තමයි. මට උයන එක හරිම චමත්කාරජනක දෙයක්. අපි ඉතින් වත්ත පිටියෙන් හොයා ගන්න දේවල් වලින් තමයි ගොඩක් වෙලාවට උයන්නේ. ගහක තිබුණ ගෙඩියක් ගින්දර, වතුර, තුන පහ, පොල් කිරි, තෙල් එක්ක එකතු වෙලා වෙනස්ම හැඩයක් ගන්න හැටි බලල මං අදත් පුදුම වෙනවා. තාමත් මට ඒ වසඟයෙන් මිදෙන්න බැරිවෙලා තියනවා. ගින්දර කියන්නෙත් ඉතින් ඕනෙනං යමක් විනාශ කරන්නත් පුලුවන් ඕනෙනං යමක් නිර්මාණය කරන්නත් පුළුවන් දෙයක්නේ. ඉතින් මේ දේවල් එක්ක තියන ඉවීමේ චමත්කාරය ඇතුළෙත් මට මගේ නවකතාවල පළමු වාක්‍යය ඇවිත් තියන වෙලාවක්. ඒ වගේම තමයි වැවේ හරි ඇලේ හරි නාන වෙලාව. ඒක වෙනම ජෛව පද්ධතියක්නේ. වැව ඇතුළෙත් ජීවයක් තියෙනවා වැව වටේටත් එහෙමයි. ඒ වෙලාවටත් මට පළමු වාක්‍ය ඔළුවට ඇවිත් තියනවා. පළමු වාක්‍යය විතරක් නෙමේ සමහර නවකතා තවදුරටත් ලියාගෙන යන්න බෑ කියල හිර වෙන වෙලාවට මට මේ වැවේ හරි ඇලේ හරි නාන එක උදව් වෙනවා. තවත් දෙයක් තියනවා කියන්න. මට නිතර හීන පේනවා. ඉස්සර මං පොඩි කාලෙ කිරි අම්මයි මමයි ගෙදරින් එළියට යන කොට ගෙදර කවුරුත් නැත්තං අපි කුස්සියේ බිත්තියේ අඟුරු කෑල්ලකින් ලියල යනවා අපි කොහෙද යන්නෙ කියන එක. මං සමහර වෙලාවට ඒ බිත්තියෙ අඟරු වලින් මගේ කැත අකුරෙන් මම ලියන්න යන නවකතාවෙ පළමු වාක්‍යය ලියවිලා තියනවා හීනෙන් දැකල තියනවා. ඒ විතරක් නෙමේ ලියන්න යන නවකතාවෙ සිදුවීම් එහෙමත් මම හීනෙන් දකිනවා. කොහොමහරි ඉතින් මේ එක එක විදිහට එන පළමු වාක්‍යය වලින් පටන් අරගෙන මං දිගට ලියාගෙන ගිහින් පස්සේ පළවෙනි වාක්‍යය වෙනස් කරන අවස්ථාත් තියනවා. හැබැයි එහෙම වෙනව හරි අඩුයි.
කෞශල්‍ය: ඉතාම විචිත්‍ර දේවල් ටිකක් ඔබ කිව්ව. දැන් මේ විදිහට පළමු වාක්‍යය ලියන වෙලාව වෙනකොට ඔබ ලියන්න යන නවකතාව ගැන මොනතරම් දැනුවත්ද?
ශාන්ති: මගෙ ඔළුවෙ ලියන්න යන නවකතාව ගැන සැලසුමක් තියනවා. නමුත් කවදාවත් මම මුලින් සැලසුම් කරපු විදිහට නවකතාව ලියවෙන්නේ නැහැ. මම හදපු චරිත වුණාට ඒ අය ටික වෙලාවකට පස්සෙ ඒගොල්ලන්ට ඕන විදිහට හැසිරෙන්න ගන්නවා. ඒ නිසා කලින් ගහන සැලසුම හැම වෙලේම වෙනස් වෙනවා. සමහර වෙලාවට තරහත් යනවා මට මේ චරිත මට ඕන විදිහට පාලනය කරන්න බැරි වෙන කොට. හැබැයි මං ඒකට කැමතියි. මං හිතන්නේ ඒක තමයි නවකතා ලිවීමේ දී වෙන්න ඕන කියල. නවකතාවෙ මූලික අදහස වෙනස් වෙන්නෙ නැහැ. දැන් උදාහරණයකට මගෙ 'වාළුකා' පොත ගත්තොත් ඒකෙ තියන කුල පීඩනය සහ සමාජ පෙරළිය ගැන අදහස වෙනස් වෙන්නේ නැහැ. ඒ හැරෙන්න සිදුවීම්, චරිත වල හැසිරීම් සහ අවසානය ඒ චරිත විසින්ම වෙනස් කරනවා. සමහර වෙලාවට මට මේ චරිත එක්ක ගැටෙන්නත් සිද්ධ වෙනවා. මංම හදපු චරිත මට විරුද්දව යනකොට. ඒක හරියට මේ වගේ. දැන් අපේ ආතා යකැදුරෙක්. ඒ ගොල්ලෝ ඔය පිල්ලි යවනවනේ හතුරො මෙල්ල කරන්න. දැන් ඔය මන්තරයක් පොඩ්ඩක් එහා මෙහා වුණොත් පිල්ලියක් ගුරුන්නාන්සෙව විනාස කරන්න එන්න පුලුවන් කියලයි කියන්නෙ. ඉතින් සමහරවෙලාවට චරිතත් එක්ක ඔට්ටු වෙද්දි මට ආතා මතක් වෙනවා.
කෞශල්‍ය: ඒක ලස්සන උපමාවක්. දැන් ඔබ කලින් මුලින්ම කියපු දේවල් දිහාත් බලන කොට පේන්නේ ඔබ ලියන වෙලාව සහ තැන නිරන්තරයෙන් වෙනස් වෙන්න පුලුවන් කියන එක. ලියන විදිහ ගැන ටිකක් කතා කරමුද?
ශාන්ති: ඔව් දැන් සමහර වෙලාවට උයන කොටත් ලියනවා. ඒ නිසා සමහර කොළ වල දැලි ගෑවිලා එහෙම තමයි තියෙන්නේ. රෑට දරුවො නිදා ගත්තට පස්සෙත් ලියනවා. සමහර වෙලාවට රෑ මැද්දෙ නින්දෙන් ඇහැරිලත් ලියනවා. ඉඩක් ලැබෙනකොට මං කැමතියි මිදුලෙ වත්ත පැත්තට වෙන්න ඉඳගෙන ලියන්න. සාමාන්‍යයෙන් බිත්ති හතරක් ඇතුළේ ඉද්දි මගෙ හුස්ම හිරවෙනවා වගේ දැනෙන නිසා එලිමහනේ ඉඳං ලියන්නයි මම ආසා. හැබැයි ඉතින් බාධා වීම් නිතරම සිද්ධ වෙනවා. මේක ඉතින් ගමක්නෙ. ගම්වල මිනිස්සු තවත් ගෙදරකට එද්දි කලින් දැනුම් දීල එන්නේ නැහැනේ. ඒ වගේම තමයි ප්‍රශ්න කියාගෙන දුවන් එන මිනිස්සු. ඒත් ඉතින් මං මිනිස්සුත් එක්ක කතා කරන එකට කැමැතියි. මගෙ ඔලුව ඇතුළේ ඉන්න ප්‍රබන්ධ චරිත හැදෙන්න මේ ඇත්තට ඉන්න මිනිස්සුනේ බලපාන්නේ. කොහොමහරි ඉතින් එක දිගට පැයක් ලියන්න ලැබෙන්නේ නැහැ කවදාවත්. මට තියන වාසිය තමයි මට වේගෙන් ලියන්න පුලුවන් වීම. මට වේගෙන් කියවන්නත් පුලුවන්. නවකතාවක් ලියන්න පටන් ගත්තම මට හැම වෙලේම බයක් දැනෙනවා මට මේක ලියල ඉවර කරගන්න පුලුවන් වෙයිද කියල. මම සෑහෙන්න මරණ මංචකයේ ඉන්න මිනිස්සු දැකල තියන කෙනෙක්. මං වුණත් 88/89 කාලේ ජීවිතේ බේරගත්තෙ අනූනමයෙන්. වතාවක් පෙළ පාලියක මගෙ එහා පැත්තෙ හිටිය මගෙ යෙහෙළියක් වෙඩි වැදිල මැරුණ. ඊළඟ උණ්ඩේ එන්න තිබ්බෙ මට. මේවත් එක්ක මට හැමතිස්සෙම නවකතාවක් ලියද්දි මේ බය එනවා, අනේ මං මේක ඉවර කරන්න කලින් මං මැරිල ගියොත් කියලා. අනිත් එක මගෙ හිතේ ලියන්න මහ ගොඩක් දේවල් තියනවා. මං දන්නව මගෙ ජීවිත කාලේ ඇතුළත ඒව ලියල ඉවර කර ගන්න බැහැ කියල. ඒ නිසත් මට වේගෙන් ලියන්න ඕන. ඒවගේම මේ චරිත සිදුවීම් හිත ඇතුළේ තියන් ඉන්න එක හරිම වේදනාකාරී දෙයක්. එක වෙලාවකට පස්සෙ ඒවා හිත ඇතුළේ තෙරපෙන්න ගන්නවා. ඒ නිසා ඒවා කොළේකට ගන්නකං හරිම නොඉවසිල්ලක් තියනවා.
කෞශල්‍ය: නවකතාවක් ලියල ඉවර වුණාට පස්සෙ දැනෙන්නේ කොහොමද?
ශාන්ති: මට මහ පුදුමයක් දැනෙනවා. මං මේක ඉවර කළා නේ කියල. අර ඔන්චිල්ලාව හයියෙන් පදිද්දි යටිබඩට දැනෙනනවා වගේ එකක් දැනෙනවා. තවත් පැත්තකින් විශාල සැහැල්ලුවක් දැනෙනවා. ඒත් මං දන්නවා ඒක තාවකාලික යි කියල. මොකද මං ඊට පස්සෙ මගෙ ඊළඟ පොත පටන් ගන්නවනේ. මට චෝදනාවකුත් තියනවා මං හරි වේගෙන් පොත් ලියනවා කියල. ඒත් මට හරි වේගෙන් ලියන්න දේවල් එනවා. හරි පුංචි දෙයක් ඇති මට නවකතාවක මූලික අදහස එන්න. දැන් මගේ 'සංග්‍රාමය' නවකතාව ගත්තොත්, මට ඒකෙ අදහස ආවෙ එක්තරා වැහි බර දවසක මට ඇහෙනව දරුවෙක් බාප්පේ කියනවා හැඬුම්බර හඬකින්. කොටින්ම මං ඒ දරුවගෙ මූණවත් දැක්කෙ නැහැ. මේක අර අඳුරු අහසක ක්ෂණිකව මතු වෙලා නැතිවෙන අකුණු සැරක් වගේ දෙයක්.
කෞශල්‍ය: නවකතාවක සංස්කරණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මොන විදිහට ද?
ශාන්ති: ලියාගෙන යද්දි වෙනම ආවේශයකින්නේ ලියන්නේ. එතෙන්දි සංස්කරණයක් වෙන්නේ නැහැ. අවසන් වුණාට පස්සෙ මං සතියක් දෙකක් ඒක පැත්තකින් තියල ආයෙ කියවනව වෙන කෙනෙක්ගේ එකක් කියවනව වගේ. එතකොට මට මේකෙ යම් ගැටළු පෙනුනොත් ඒව සකස් කරනවා. සමහර වෙලාවට හොඳ නැහැ කියල හිතල පැත්තකට ම දාපු අවස්ථා තියනවා. ඒ විදිහට ප්‍රකාශයට පත් නොකළ නවකතා කිහිපයක් ම තියනවා.
කෞශල්‍ය: ලිවීම ඔබ විඳින හැටි ගැන යමක් කියන්න පුලුවන් ද?
ශාන්ති: මං හිතන්නෙ විඳීම තියෙන්නෙ මං මේ චරිතත් එක්ක හදාගන්න බැඳීමත් එක්ක. ඒ වගේම විඳවීමකුත් තියනවා. මට මේක ඉවර කරන්න පුලුවන් වෙයි ද? මං මැරුණොත් එහෙම මේ චරිත වලට මොකද වෙන්නෙ වගේ දේවල් එක්ක. ඒ වගේම පොත අවසන් වුණාට පස්සෙ එන අතෘප්තියක් තියනවා මට ඕනෙ විදිහට මේ පොත ලියවුනා ද කියන ප්‍රශ්නෙත් එක්ක. හැබැයි ඉතින් ලියන කාලය තුළ අකුරක් නෑර ඒක විඳිනවා. ඒත් එක්කම බැඳිල විඳවීම සහ අතෘප්තියත් තියනවා.
සිංහල පාඨකයන් අතර සුවිශාල ආදරයකට පාත්‍ර වූ නවකතාකාරියක වන ශාන්ති දිසානයකගේ ලිවීම සමඟ බැඳුණු රහස් ඇගේ නවකතා දෙස නැවත බලන්නට කෙනෙකුට බල කරන්නට ඉඩ ඇත.
එසේම දරුවන් පස් දෙනෙකු ද සමඟ කුටුම්බය තුළ ඔට්ටුවෙමින් ගොවි ජනපදයක ජීවත් වෙමින් නවකතා විසි අටක් වසර විසි පහක් තුළ පළ කරන්නට හැකිවීම නවකතාකරණයට ප්‍රවේශ වන්නට ආසා කරන්නියකට අසීමිත ධෛර්යයක් සපයනු ඇත.
ලබන සතියේ අප හා එක් වන්නේ අපට කිසිසේත් මඟහැර යා නොහැකි චන්ද්‍රරත්න බන්ඩාර නවකතාකරුවා යි.
බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි.
ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි.