'මම ලියන හැටි': ජයතිලක කම්මැල්ලවීර

    • Author, කෞශල්‍ය කුමාරසිංහ
    • Role, ලේඛක

සිංහල සාහිත්‍යය තුළ ජයතිලක කම්මැල්ලවීර සලකුණ ඇත්තේ කෙටිකතාව තුළ පමණක් නොවේ. 'අට අවුරුද්ද' නවකතාවේ සිට 'තාත්තලාගේ කතාව', 'චුම්බන කන්ද' හරහා 'ඩොල්කි' දක්වා මෙතෙක් පළකර ඇති ඔහුගේ නවකතා අට ගත් විට ඒවා නවකතා කලාවේ ආකෘතික සීමා පුළුල් කරන්නට දැරූ සුවිශේෂී අභ්‍යාසයන් ලෙස ද සැළකිය හැකි ය.

මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමග බැඳුණු ඔහුටම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති 'නිම්නාගේ ඉතිහාසය' (2019) සහ 'මේ රහස් කවුලුවෙන් එබෙන්න' (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවා ය.

හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන විට බොන කෝපි කෝප්ප ගණන, ලිවීම තමන්ම විඳින හැටි වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය.

මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය.

කෞශල්‍ය :මේ සංවාද මාලාවේ මෙතෙක් සිදුවුණු විදිහට ම මම පළවෙනි ප්‍රශ්නය හැටියට ඔබෙන් අහන්නෙත් ඔබේ නවකතා වල පළවෙනි වාක්‍යය ගැන. කොහොමද මේ සමාරම්භක වාක්‍යය ලියවෙන්නේ?

කම්මැල්ලවීර: නවකතාවක් වේවා කෙටිකතාවක් වේවා මට මේ පළවෙනි වාක්‍යය සහ පළමු ඡේදය ඉතාම වැදගත්. දැන් මං නිදර්ශනයක් ගත්තොත් මගෙ 'අට අවුරුද්ද' නවකතාවෙ, 'ලට්ට ලොට්ට පටවා අවසන් වුවත් ලොරිබාගේ තවත් ඉඩකඩක් ඉතුරු වෙයි' කියන වාක්‍යය ඒක හරිම තීරණාත්මකයි. ඒ කියන්නෙ මුලු සමස්තය ම එතෙන්ට කැටිකර ගත්ත වගේ හැඟීමක් ඇති වෙනවා. ඒ වගේම 'චුම්බන කන්දෙ' සිංහයා ගල උඩ වාඩි වෙලා ඉන්න හැටි ගැන කියවෙන ඡේදය එහෙමත් නැත්තං 'පුරා හඳ' නවකතාවේ හාමුදුරුවො භාවනා කරමින් ඉන්න ඒ අවස්ථාව ගැන ලියවෙන ඒ සමාරම්භක කොටස, මට ඇත්තට ම පළවෙනි වාක්‍යයට ත් වඩා මේ පළවෙනි ඡේදය අතිශය වැදගත්. මේක හරියට ලියවුනොත් මට විශාල උත්තේජනයක් ලැබෙනවා කතාව දිගට ම ලියාගෙන යන්න. මම සාමාන්‍යයෙන් කතාවක් හිතේ ගොඩනැගුනම ඒක දර්ශන වලට එහෙමත් නැත්තම් සිදුවීම් වලට කඩා ගන්නවා. ඊට පස්සෙ මම ජීවත් වෙන්නේ මේ දර්ශන එක්ක. මේ හැම කතාවක් ම මගේ අත්දැකීම් එක්ක සම්බන්ධ නිසා මම ඒවා අත්වින්ද පරිසරය හිතින් මවාගෙන ඒ තුළට මේ චරිත අරන් එනවා. එතනින් තමයි එතකොට මේ සමාරම්භක ඡේදය ලියවෙන්නෙ. ඒක හරියට චිත්‍රයක් බලාගෙන ලියනවා වගේ දෙයක්. හැබැයි චිත්‍රය තියෙන්නෙ හිතේ.

කෞශල්‍ය : දැන් මේ පළවෙනි ඡේදය ලියද්දි ලියන්න යන නවකතාව ගැන ඔබ කොයි තරම් දුරට දැනුවත් ද?

කම්මැල්ලවීර : දැන් මම ලියල තියන නවකතා අටම ගත්තොත් එයින් දෙකයි තියෙන්නෙ මුද්‍රිත පිටු දෙසීයට වඩා වැඩි. ඒ කියන්නේ කෙටිකතා කරුවෙක් හැටියට ම තමයි මම නවකතා ලියද්දිත් මාව භාවිත වෙලා තියෙන්නෙ. ඒ නිසා සමස්ත කතාව ම වගේ ඔළුවේ ගොඩනැගිල තියන කොට තමයි මට ලියන්න හිතෙන්නෙ. ඒ නිසා දීර්ඝ කාලයක් ගත වුණත්, දැන් උදාහරණයකට 'පුරා හඳ' ප්ලොට් එක මගෙ ඔළුවේ අවුරුදු විස්සකට ත් වඩා වර්ධනය වෙමින් තිබුණ. නමුත් ඒක ලියන්න ඕන ආකෘතිය මට වැටහිලා තිබුණේ නැහැ. ඉතින් මේක තමයි මං කෙටිකතා ලියන ආකාරය. මුළු කතාව ම හිත ඇතුලෙ ගොඩනැගුණට පස්සෙ තමයි ලිවීම ආරම්භ වෙන්නෙ. කෙටිකතාවක් බොහොම කලාතුරකින් තමයි ලිවීම අතරතුර වෙනස් වෙන්නෙ. 'පුරා හඳ' ගැන කියපු නිසා මට තවත් දෙයක් දැන් මේ මතක් වුණා. මේකෙ කතා වෙන්නෙ පන්සල් වල සමලිංගික ජීවිතය ගැන. ඉතින් සිංහල බෞද්ධ උමතුවක් තියන සමාජයකට මම මේ කතාව ඉදිරිපත් කරන්න ඕන කොහොමද කියන එක ගැන මට විශාල ගැටලුවක් තිබුණ. මෙහෙම ඉන්නකොට තමයි සෝමලතා සුබසිංහ, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගෙ 'මදර් කරේජ්' නාට්‍යය 'මවකගේ සංග්‍රාමය' නමින් වේදිකාගත කරන්නේ. මේකෙ ඉන්නව ගොළු ගෑනු ළමයෙක්. මේ චරිතය රඟපෑවෙ මගෙ දුව නදී කම්මැල්ලවීර. එයා මේ චරිතය රඟපාන කොට මේ ළමයාගෙ හැඟීම්, අදහස් ගොළු අංග චලනයෙන් ඉදිරිපත් කරනවා. මේක දැක්කම මට හිතුනා ගොළු චරිතයක් හරහා මගේ හිතේ තියන මේ නවකතාව ලියන්න පුලුවන් නේද කියල. එහෙම තමයි මේකෙ ප්‍රධාන චරිතය ගොළු චරිතයක් වෙන්නෙ. ඒ නවකතාවේ ආකෘතිය ඒ තරම් සරල එකක් නෙමේ. ඒකෙ චිත්‍ර කතා කරනවා. ළමයෙක් ඇඳපු චිත්‍ර හැටියට තමයි ඒක කතාවේ දී ඉදිරිපත් වෙන්නෙ. මම තමයි ඒ චිත්‍ර ඇන්දෙ. ඒව මේ චිත්‍ර හැටියට අගය කරන්න පුලුවන් ඒව නෙමේ. නමුත් චිත්‍රවලින් අදහස් කියවෙනවා.

කෞශල්‍ය : ඒක ඇත්තටම ගොඩක් වැදගත් කතාවක්. කොහොමද අත්දැකීමක් නවකතාවක් බවට පත්වෙද්දි ඒකෙ ආකෘතිය සොයාගන්නෙ කියන එක ගැන. දැන් එතකොට මෙහෙම පටන් ගන්න නවකතාවක් අවසාන වන ආකාරය ගැනත් පටන් ගන්නකොට ම ඔබ ඉතාම පැහැදිලිව දැනුවත් ද?

කම්මැල්ලවීර: ඔව්. මගෙ නවකතා දේශපාලන නවකතා නේ. මම එහෙම කියන්නෙ ඒවා ඉතා තදින් දේශපාලනයත් එක්ක සම්බන්ධ වෙලා තියන හින්ද. ඒ නිසා ඒවා අවසන් කරන ආකාරය ගැන මට පැහැදිලි අවබෝධයක් තියනවා. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ ඒ අවසාන වෙන සිදුවීම මොකද්ද කියන එකත් මම දන්නව කියන එක. දැන් උදාහරණයක් හැටියට මගෙ 'තාත්තලාගේ කතාව' කෘතියෙ තියෙන්නේ සමසමාජ ව්‍යාපාරයේ බිඳවැටීම ඒ ව්‍යාපාරයත් එක්ක හිටපු දෙවෙනි පෙළේ ගම්මට්ටමේ නායකත්වය අත්දැක්ක විදිහ. ඒකෙදි මම මේක අවසන් කරන තැන ගැන දන්නවා. හැබැයි මම එක නවකතාවක් ලියල තියනවා අවසන් කරන ආකාරය ගැන අදහසක් නැතුව. ඒ තමයි 'සියොත් තටු සිඳ'. මම කොටස් වශයෙන් පත්තරේකට ලියපු එකම නවකතාව. නමුත් මේකෙ අවසානය මගෙ හිතේ මට නොදැනී තිබිල තියන බව පේනවා. ඒක ගැන හරි අපූරු කතාවක් තියනවා කියන්න. ඒ නවකතාව අවසාන වෙන්නෙ ඒකෙ ඉන්න ප්‍රධාන චරිත දෙක විවාහ වෙලා, ඒ කියන්නෙ යුද්ධයට මැදිවුණ ගම්මානයක පාසලක ශිෂ්‍යාවක් සහ පිට පළාතකින් ඒකෙ උගන්නන්න එන තරුණ ගුරුවරයෙක්. මේ නවකතාව පළවෙලා ටික කාලෙකට පස්සෙ මට ඒ චරිතයට පාදක වුන ගුරුවරයා දුරකථන ඇමතුමක් දීල කියනවා, 'කම්මැල්ලවීර මහත්තය මම විවාහ වෙනවා, ඔබ එන්න ඕන මගෙ විවාහයට අත්සන් කරන්න. මම උදුලා තමයි බඳින්නෙ' කියලා. උදුලා කියන්නෙ මම ඒ ශිෂ්‍යාවගේ චරිතයට දීපු නම.

කෞශල්‍ය: ඒක හරිම අපූරු කතාවක්. එතකොට මේ නවකතාව සම්පූර්ණයෙන්ම ඔබ දන්න කතාවක් මත ද පදනම් වුණේ?

කම්මැල්ලවීර: ඒක වුනේ මෙහෙමයි. ඒ කාලෙ අපි නිතර යනව ඔය දුෂ්කර පළාත් වල සාහිත්‍ය සම්මන්ත්‍රණ වලට. අපිට වරක් ත්‍රිකුණාමලය පැත්තෙ පාසලක ගුරුවරයෙකුගෙන් එහෙම ආරධනාවක් ආවා. අපි, මමත් රත්න ශ්‍රී සහ තවත් කිහිපදෙනෙක් සම්මන්ත්‍රණයට කලින් දවසෙ ඒ පාසලට යනකොට මේ ගුරුවරයා සූදානම් කරල තිබුන අපිව පිළිගන්න ගීතයක්. ඔහු සර්පිනාව වාදනය කරන අතරෙ පාසලේ ළමයින් කිහිප දෙනෙක් තමයි ඒක ගායනා කලේ. මට මතකයි ඒ ළමයි දැකපු ගමන් රත්න ශ්‍රී ගේ ඇස් වල කඳුලු පිරුණ. ඒ තරම් අසරණ ළමයි. මේ අය අතර හිටිය වැඩිහිටි ම ශිෂ්‍යාවට අවුරුදු දහතුනක් විතර ඇති. ඇයට තිබුණ අනිත් අයට වඩා පැහැපත් පෙනුමක්. මට මතකයි මේ වෙලාවෙ මං රත්න ශ්‍රීගේ කණට කරල කිව්ව 'රත්නෙ මගෙ ඔළුවට කතාවක් ආවා' කියල.

කෞශල්‍ය: එතකොට මේ නවකතාව ලියන අතරෙ මේ අය ගැන තවත් හොයන්න උත්සාහ කළාද?

කම්මැල්ලවීර: නැහැ. ඉන් පස්සෙ මේ චරිත මගෙ පරිකල්පනය තුළ තමයි වැඩෙන්නෙ. අර පාසල් ගුරුවරයා පසුකලෙක මේ පැත්තෙ පාසලකට මාරු වෙලා ආව නිසා වරින් වර මුණ ගැහුණා. නමුත් ඔහුගෙන් අර ශිෂ්‍යාවගේ දැන් තත්වය සොයා බැලීමක් වගේ දෙයක් කලේ නැහැ. නවකතාව ආරම්භයේදී කිසිම ආකාරයකින් ඒ ගුරුවරයාට මේ ශිෂ්‍යාව ගැන එවැනි හැඟීමක් නැහැ. ඇය ඔහු සමග වැඩ කරන්න පටන් ගන්නෙත් දැරියක්ව සිටින කාලයේ. ඒ නිසා මේ දෙන්න විවාහ වීම මේ නවකතාව ආරම්භයේ දී මම අපේක්ෂා කල අවසානයක් වුණේ නැහැ. නමුත් ඒ අවසානය මටත් නොදැනී මා තුළ තිබිල තියනව වගේම පස්සෙ කාලෙක ඒක නවකතාවෙන් පිටත ත් සිද්ධ වෙනවා.

කෞශල්‍ය: දැන් මෙහෙම නවකතාවක් ඔළුව ඇතුලේ ගොඩනැගිල ඒක ඔබ මුලින්ම කිව්ව වගේ සිදුවීම් වලටත් කඩාගෙන, ලියන ආකෘතියත් සොයාගෙන යන මේ කාලය තුළ කිසියම් ආකාරයකට මේ දේවල් කොහේ හෝ සටහන් තැබීමක් කරනවද?

කම්මැල්ලවීර: නැහැ. මම කිසිම ආකාරයක සටහන් තැබීමක් කරන්නේ නැහැ. ඒ වෙනුවට මම කරන්නෙ මුළු කතාව ම මගෙ හිතේ ගොඩනගන එක. නමුත් ලියන්න පටන් ගත්තට පස්සෙ වරින් වර හිතට එන අපූර්ව අදහස් එහෙම සටහන් කරල තියනවා. දැන් නිදර්ශනයක් හැටියට 'පුරා හඳ' නවකතාවෙ එන ඒ ආලවකයා කියන චරිතය ගමේ එහෙ මෙහෙ යන්නෙ මීහරකෙක් පිටේ. දැන් ඒක කලින් මගෙ හිතේ තිබුණ අදහසක් නෙමේ. ඒක ආවෙ ලියන්න පටන් ගත්තට පස්සෙ. අන්න ඒ වගේ දේවල් ආව ම මං සටහනක් දාගන්නවා. මොකද මේවගේ දේවල් හරියට හීන වගේ. අපි හීනයක් දැක්කම හිතනවා ඒක මරු කියල. නමුත් පහුවදාට අමතක වෙනවා. ඒ නිසා එවැනි දේවල් ආවම ලිවීම අතරතුර සටහනක් දාගන්නවා. ඒ ඇරුනම නවකතාව වෙනුවෙන් කරන විශේෂ සටහන් ගැනීමක් නැහැ. මම ලියන කම්පියුටරය තියන මේසෙ පැත්තක කඩදාසියක් තියනවා අර වගේ දේවල් ලියල තියාගන්න.

කෞශල්‍ය: දැන් සාමාන්‍යයෙන් ඔබ ලියන්න පටන්ගන්නෙ සමස්ත නවකතාව ම ඔබේ හිත තුළ ගොඩනැගුනට පස්සෙ. නමුත් ලියාගෙන යනකොට ඔබ අපේක්ෂා නොකළ දේවල් සිද්ධවෙන්නේ නැද්ද මේ චරිත වලට?

කම්මැල්ලවීර: සිද්ධවෙනවා. ඒක ගැන හිතද්දි මට ගන්න තියන හොඳම නිදර්ශනය මගේ අවසන් නවකතාව, 'ඩොල්කි'. හැබැයි ඒ නවකතාව මම ලියන්නෙ ඔළුවෙ සම්පූර්ණයෙන් කතාව ගොඩනැගිල නෙමෙයි. ඒකෙ චරිත මං අපේක්ෂා නොකළ දිශාවන්ට ගමන් කලා. ඒකෙ ඉන්නවා ගම්බද සාම්ප්‍රදායික අම්ම කෙනෙක්. ඒ අම්මට පන්සලේදි හමුවෙනවා කාන්තාවක් ඇය ගමේ ගණිකාවක්. දැන් මේ ගණිකාව මුණගැහෙන ප්‍රථම අවස්ථාව විතරයි මගෙ හිතේ තිබුණෙ. නමුත් පස්සෙ මේ චරිතෙ කතාව ඇතුලේ විශාල චරිතයක් බවට පත්වෙනවා. පස්සෙ මේ දෙන්න එකට ඉන්දියාවේ යනවා. මේ විදිහට මං හිතන්නෙ මේ නවකතාවෙදි මාවත් තල්ලු කරගෙන ඒ චරිත ගමන් කළා කියල තමයි මට දැනෙන්නෙ. ඒ අතින් ‘ඩොල්කි’ නවකතාව මට විශේෂ එකක්.

කෞශල්‍ය: අපි ටිකක් කතා කරමුද ලිවීම සිද්ද වෙන ආකාරය ගැන.

කම්මැල්ලවීර: ලියන්න ආවේශයක් ආවට පස්සෙ මම වෙන මොන දේවල් කළත් මම ඔළුවෙන් ලියමින් තමයි ඉන්නෙ. මම සාමාන්‍යයෙන් ගෙදර ඉවුම්පිහුම් කටයුතු වලට ගොඩක් කැමති කෙනෙක්. ඒ නිසා මම නිතර කෑම උයනවා. ඒ කෑම ඉවීම ත් මගෙ ලිවීමේ ම එක විලාසයක්. උයන අතරේ මම ඔළුවෙන් ලියනවා. ඉන් පස්සේ හරි කම්පියුටරය ඉස්සරහ වාඩි වුනහම පහසුවෙන් ලියාගෙන යන්න පුලුවන් ඒ ගොඩනගා ගත්ත කොටස. සමහර දවස් තියනවා මහ රෑ වෙනකන් ලියන. තවත් දවස් තියනවා වාක්‍ය දෙක තුනකට වඩා නොලියන. හිතෙන් ගොඩනගපු දේ වචන වලින් ලියවිලා අවසන් වුණාම සමහර වෙලාවට හිස් කමක් ඇති වෙනවා. එතකොට මම නැගිටිනවා. සමහර වෙලාවට එහෙම නැගිට්ට ම දවස් දෙක තුනක් වුණත් ඉන්න වෙන්න පුලුවන්. සමහර නවකතා අතරමග නැවතිලා තිබිල කාලෙකට පස්සෙ නැවතත් පටන් අරන් තියනවා. කොහොම වුනත් මං නවකතා ලියන අතරෙම තමයි සංස්කරණය කරන්නෙ. මේ සංස්කරණ ක්‍රියාවලිය මට හරි වැදගත් එකක්. ඒක තුළ නවකතාව වෙනස් වෙනවා. මං නවකතාව ලියල අවසන් කලාට පස්සෙ සංස්කරණය කිරීමක් කරන්නේ නැහැ. යම් කොටසක් ලිව්වට පස්සෙ මං ඒක හිතෙන් අත්හරින්නෙ නැහැ. ඒක ගැන තවදුරටත් හිතනවා. සමහර විට ඊළඟ දවසෙදි ඒ ලියපු කොටස මගෙ අතින් සංස්කරණය වෙනවා.

කෞශල්‍ය: ඔබට ලියන්න විශේෂ තැනක් තියනවාද?

කම්මැල්ලවීර: දැන් අපි ඉන්න ගෙදර නං මට එහෙම තැනක් තියනවා. නමුත් මේ ගෙදරට ඇවිත් දැනට අවුරුදු පහයි. ඊට කලින් හිටපු ගෙවල් වල මට එහෙම තැනක් තිබුණේ නැහැ. ඒවා කුඩා ගෙවල්. මං ගැන මීට ටික කාලෙකට කලින් කරපු උපහාර උළෙලක දි ඒ අය උපහාර ග්‍රන්ථයක් කරනවා. ඒකට මගෙ දුව නදී ලියපු සටහනක තියෙන්නෙ මං ලියන්න තැනක් නැති කෙනෙක් හැටියට. ඉස්සර මං පෑනෙන් ලියන කාලෙ ලිව්වෙ ඇඳි පුටුවක වාඩි වෙලා ඒ උඩ තියා ගන්නවා කළු ලෑල්ලක්. ඒක උඩ තමයි ලියන කොල ටික තියාගන්නේ.

කෞශල්‍ය: මේ ලියන කාලෙට ඔබේ හැසිරීමේ යම් වෙනස්කම් වෙනවද?

කම්මැල්ලවීර: ඔව් තදබල විදිහට ලිවීම හිතේ වැඩකරමින් ඉන්න වෙලාවට එහෙම වෙනවා. ඔන්න හිටිගමන් ගේ අතුගාන්න හිතෙනවා. දවසක් මං ලියමින් ඉන්න වෙලාවක කඩේට ගිහාම මුදලාලි මගෙන් ඇහුව මොකද මහත්තය කොස්සක් අතින් අරන් කියල. මං කඩේ ගිහින් තියෙන්නෙ එහෙම. ඒ වගේ දේවල් තියනවා. අනිත් එක විශාල තිබහක් එනවා. ඒ නිසා විශාල වශයෙන් තේ බොනවා. මම ම තමයි තේ හදාගන්නේ.

කෞශල්‍ය: මං අවසන් වශයෙන් අහන්න කැමතියි ලිවීම ඔබ විඳින හැටි. ඒක මොනවගේ ද?

කම්මැල්ලවීර: ලිවීම ඇත්තටම ඉතාම තෘප්තිමත් දෙයක්. මං මගෙ 'චුම්බන කන්ද' නවකතාවෙ කතෘ සටහනේ ලියල තියනවා මේක ගැන. මං ඒකෙ ලිව්ව මේ නවකතාවේ පළවෙනි වාක්‍යයේ සිට අවසාන වාක්‍යය දක්වා ලිවීම තුළ මා ලැබුවේ 'අපරිමිත තෘප්තියකි' කියල. ඇත්තටම ලිවීමත් එක්ක ඇතිවෙනවා විශාල ආත්මාභිමානයක්. මම නෙ දැන් මේක ලියන්නෙ කියන එක. සමහර වාක්‍ය ලියවුණාම මං දවස් ගණන් ඒක ගැන කල්පනා කරමින් ඉන්නවා. ඒක කොහෙන්ද ආවෙ, කොහොමද ඒ වචන ඒ විදිහට පෙළගැහුනේ කියන එක ගැන විශාල විස්මයක් ඇතිවෙනවා.

ජයතිලක කම්මැල්ලවීර නම් වූ විශිෂ්ට ලේඛකයාගේ නිර්මාණ කියවමින් අප විස්මයට පත් වන විට ඒ වචන ඔහුව ම විස්මයට පත් කරන හැටි දැන් අපට පරිකල්පනය කළ හැකිය. එසේම ඒ නිර්මාණ බිහිකරන ලේඛක ආත්මයේ ස්වභාවය ගැන මේ කතාබහ තුළ අප අත්දුටු අල්ප මාත්‍රය යළි සිහිපත් කළ හැකි ය.

මීළඟ සතියේ සිය ලේඛන ජීවිතයේ ඇතුලාන්තය අප වෙත නිරාවරණය කරනු ලබන්නේ අපට සිටින ප්‍රවීන ලේඛිකාවක වන සුමිත්‍රා රාහුබද්ධ යි.

බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි.

ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි.