ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පොත් ලියන චැට්බොට් නිසා රොමාන්තික කතා රචකයින් අවදානමක?
- Author, ජිල් මාටින් රෙන්
- Role, ව්‍යාපාරික පුවත් වාර්තාකාරිනී
රොමාන්තික ප්‍රබන්ධ කෘති අලෙවිය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින නමුත් එම ශානරය බොහෝ විට ඒකාකාරීයැ යි චෝදනා කරනු ලැබීම හේතුවෙන්, පොත් ලිවීමේ චැට්බොට්ස් මගින් එම රචකයින් ප්‍රතිස්ථාපනය වීමේ අවදානමක් තිබේ ද?
ජූලියා ක්වින් යනු, 19 වන සියවසේ ලන්ඩනයේ 'බ්‍රිජර්ටන්' නමැති පවුලක සහෝදර සහෝදරියන් අට දෙනෙකුගේ ආදර ජීවිත සම්බන්ධයෙන් ලියැවුණු වැඩියෙන් ම අලෙවි වන 'බ්‍රිජර්ටන්' නවකතා මාලාවේ කතුවරිය යි.
ඇය පවසන්නේ, එම කතා මාලාව ලිවීම සඳහා අදහස ඇති වූයේ ආදිපාදවරයෙකුගෙන් බව ය.
"අනිවාර්යයෙන් ම මුලින් ම ආවේ සයිමන්ගේ චරිතය," ක්වින් පවසන්නේ, සිත් තැවුලට පත් වී සිටින කල්පිත චරිතයක් වන සයිමන් බැසට් නම් හේස්ටිංග්ස්හි ආදිපාදවරයා ගැන සඳහන් කරමිනි.
"මේ අතිශයින් දුක් කරදරයට පත් වෙලා ඉන්න චරිතය ගැන ලියලා පස්සේ මම හිතුවා, 'හරි දැන්, එයා එයාට හරියට ම විරුද්ධ පසුබිමකින් එන කෙනෙකුට ආදරේ කරන්න ඕනේ කියලා.'"
ආදිපාදවරයා ඔහුගේ පියාගෙන් දුරස් වී සිටින බැවින්, ක්වින් තීරණය කළේ ඔහුට "කෙනෙකුගේ ඔළුවට එන ඒ කාලවකවානුවේ හිටපු හොඳ ම පවුල් පසුබිමක් ඇති කෙනෙක් එක්ක ආදරයෙන් බැඳෙන්න" අවශ්‍ය බව ය. ඇය තවදුරටත් මෙසේ පවසයි: "අන්න එහෙම තමයි ඇත්තට ම බ්‍රිජර්ටන්ස්ලා එන්නේ, ප්‍රභාවර්ධකයක් විධියට."
රොමාන්තික නවකතා චිරස්ථායී ලෙස ජනප්‍රිය වීමට සහ එම ශානරයේ සාර්ථක රචකයින්ට ලාභ ඉපැයීමට උපකාරී වන්නේ මෙවැනි චරිත නිරූපණය සහ මානව ස්පර්ශය යි.
සියැටල්හි ජීවත් වන ක්වින්ගේ පොත් එක්සත් ජනපදයේ පමණක් මිලියන 20කට වඩා මුද්‍රණය කර ඇති බව කියනු ලබන අතර, බ්‍රිජර්ටන්හි රූපවාහිනී අනුවර්තනය නෙට්ෆ්ලික්ස්හි වැඩි ම වාර ගණනක් නරඹන ලද කතා මාලාවලින් එකකි.
නමුත් සීඝ්‍රයෙන් දියුණු වන තාක්‍ෂණය රොමාන්තික ප්‍රබන්ධ කෘති රචකයින්ගේ ජීවනෝපායට තර්ජනයක් වනු ඇති ද?
ගැටලුව වන්නේ, OpenAI විසින් වැඩිදියුණු කරන ලද උසස් භාෂා සැකසුම් තාක්ෂණයක් වන ChatGPT පසුගිය සරත් සමයේ නිකුත් කිරීම ය.
එම කෘත්‍රිම බුද්ධිය (AI) පුහුණු කරනු ලැබ ඇත්තේ පොත්, සඟරා සහ විකිපීඩියාහි අඩංගු තොරතුරු ඇතුළුව අන්තර්ජාලයේ ඇති ලේඛන දත්ත ගබඩා භාවිත කරමිනි. ඒ සියල්ලෙහි එකතුවක් ලෙස වචන බිලියන 300කින් එම පද්ධතිය පෝෂණය කර තිබේ.
විධානයක් ලබා දුන් විට, ChatGPT හට මිනිසෙකු විසින් ලියනු ලැබ ඇති ආකාරය පෙනෙන අයුරින් සංකීර්ණ ලිවීම් කළ හැකි ය.
සිසුන් ඔවුන්ගේ රචනා ලිවීමට එය භාවිත කළ හැකියැ යි විශේෂ අවධානයට ලක්වීමත් සමග එය ප්‍රධාන පුවතක් බවට පත්විය.
ChatGPTහට යම් ශානරයක් අනුව ප්‍රබන්ධ කෘතියක කොටස් ලිවීමට ද පැවරිය හැකි ය. ගුණාත්මකභාවය එතරම් නොමැති නමුත්, එම තාක්ෂණය තවදුරටත් දියුණු වනු ඇත.
OpenAI මෙම සතියේ ChatGPTහි නවතම සංස්කරණය දියත් කළ අතර අනෙකුත් සමාගම් ප්‍රතිවාදී පද්ධති නිර්මාණය කිරීම සඳහා කටයුතු කරමින් සිටියි.
ක්වින් පවසන්නේ, මීට වසර කිහිපයකට පෙර කෘත්‍රිම බුද්ධිය යොදා ගෙන ලියන ලද රොමාන්තික ප්‍රබන්ධ කෘති කිහිපයක් කියැවූ බව ඇයට මතකයට නැගෙන බව ත්, "ඒවා ගන්න දෙයක් නැති" බව ත් ය. "ඉතින් ඇත්තට ම මම කිව්වේ 'අනේ, ඒක කවදාවත් හොඳ එකක් වෙන එකක් නෑ' කියලා."
ඉන් පසු ChatGPT පැමිණියේ ය. "ඒකෙන් මම කලබලයට වගේ පත් වුණා," ක්වින් පිළිගනියි. කෙසේ වෙතත්, මානව නිර්මාණශීලිත්වය ඉහළට ඉස්මතු වනු ඇතැ යි ඇය ශුභවාදීව දකින බව ඇය වැඩිදුරට ත් පැවසුවාය.
"මම හිතන්නේ ප්‍රබන්ධ කෘතිවල වැඩි වශයෙන් ගැබ්වෙලා තියෙන්නේ රචකයාගේ හඬ," ඇය පවසයි. "ඒ වගේ ම මම හිතන්න කැමතියි ඒක AI bot කෙනෙකුට කරන්න බැරි දෙයක් කියලා."
චැට්බොට් පිළිබඳ විශේෂඥයෙකු වන ජිල් රෙට්බර්ග් පවසන්නේ, ඒවා ක්‍රියා කරන ආකාරය තේරුම් ගැනීම "ඇත්ත වශයෙන් ම වැදගත්" බව ය.
"ඔබේ දුරකතනයේ තිබෙන ස්වයංක්‍රීය නිවැරදි කිරීම (autocorrect). ඔබ මෙහෙම කිව්වොත් 'මම එන ගමන්….' කියලා, ඒක 'ඉන්නේ' කියන වචනය පුරෝකථනය කරනවා," නෝර්වේහි බර්ගන් විශ්වවිද්‍යාලයයේ ඩිජිටල් ආඛ්‍යාන මධ්‍යස්ථානයේ සම-අධ්‍යක්ෂවරයා පවසයි.
"මේ GPT දේවල් හැම එකක් ම ත් හරියට ඒ වගේ ම යි. පුරෝකථනය කරනවා විතරයි. හැබැයි ලේඛන (text) ගොඩක් එක්ක."
මෙම නවෝත්පාදනය දිග හැරෙන්නේ රොමාන්තික කතා කියැවීමේ පුනරුද සමය තුළ ය. පසුගිය වසරේ, සමස්තයක් ලෙස වැඩිහිටියන් සඳහා වන ප්‍රබන්ධ කෘති විකිණීම 8.5%කින් ඉහළ යාම සමග සසඳන විට එක්සත් ජනපදයේ ප්‍රේමය පාදකකර ගත් ප්‍රබන්ධ කෘති අලෙවිය 52.4%කින් ඉහළ ගොස් ඇත.
මේ අතර, පසුගිය වසර තුන තුළ එක්සත් රාජධානියේ මෙම ශානරයේ කෘති අලෙවිය දෙගුණයකට වඩා වැඩි වී තිබේ.
ෆේටඩ් මේට්ස් (Fated Mates) නම් රොමාන්තික නවකතාව පොඩ්කාස්ට් ඔස්සේ සම-ඉදිරිපත් කිරීම සිදු කරන ජෙන් ප්‍රොකොප් මෙම දියුණුවේ කොටසක් සමාජ මාධ්‍ය හේතුවෙන් සිදු වී ඇතැ යි පවසයි. ඇය පවසන්නේ, මෙය රසිකයින්ට එකිනෙකා සමග සම්බන්ධ වීමට සහ ශානරය පිළිබඳ ඇති ඔවුන්ගේ උද්යෝගය බෙදා ගැනීමට උපකාරී වන බව ය.
"දැන් ටික්ටොක්, පොඩ්කාස්ට්, ට්විටර්හි නැගීමත් එක්ක... රොමාන්තික කෘති කියවන පාඨකයින් එකිනෙකා සොයා ගන්නවා," ප්‍රේමය පිළිබඳ සාහිත්‍යය සමාලෝචනය සහ සංස්කරණය කරන චිකාගෝහි වෙසෙන ප්‍රොකොප් පවසයි.
එම ශානරයේ රසිකයින් ද දැන් එය පිළිගැනීමට වඩා සතුටින් සිටින බව ඇය තවදුරටත් සඳහන් කරයි. "ප්‍රේම කතාවල ප්‍රධාන ධාරාව හෝ ඒකේ කොටසක් වැඩි වශයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා කියලා අපි කියද්දි, මම හිතන්නේ, ඇත්ත වශයෙන් ම පාඨකයෝ කියන්නේ, 'මම තවත් මේ ගැන ලැජ්ජා වෙන්නේ නැහැ' කියලා."
මනඃකල්පිත චරිත සහ ලේඛකයින් යන දෙපාර්ශවය ම ගත්කල ශානරය තුළ දැන් බොහෝ විවිධත්වයක් ඇති බව නූතන යුගයේ ලියැවුණු වැඩියෙන් ම අලෙවි වන රොමාන්තික කෘතිවල රචකාවියක වන හෙලන් හොඈං පැවසුවාය. මෙය වැඩි පාඨක පිරිසක් එකතු කර ගැනීමට ඉවහල් වන බව ඇය කියා සිටියාය.
2018 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලද ඇගේ 'The Kiss Quotient' නම් කෘතිය, ස්වීඩන් සහ වියට්නාම සම්භවයක් ඇති පිරිමියෙකු සමග පෙම් සබඳතාවක් ඇතිකර ගැනීමට ඇති බිය දුරුකර ගන්නා තරුණ ඔටිසම් රෝගයෙන් පෙළෙන කාන්තාවක පිළිබඳ කතාව කියයි.
"මට දැනුනේ, ඒක විවිධ රචකයින් සහ ඔබ මීට පෙර නොදුටු නව ආකාරයේ කතා ඇතුළත් මේ පොත් එක්කාසු කර ගන්න ප්‍රකාශකයින්ට පෙළඹවීමක් ඇති කළා කියලා," දකුණු කැලිෆෝනියාවේ පිහිටි ඇගේ නිවසේ සිට හොඈං පවසයි.
ඇය සඳහන් කරන්නේ, "රොබෝවෙකුට හෝ කෘත්‍රිම බුද්ධියකට ඇත්ත වශයෙන් ම මිනිස් අත්දැකීමකට ආමන්ත්‍රණය කරන කතා නිර්මාණය කරන්න පුළුවන් කියලා මම දකින්නේ නෑ, ඒක සිද්ධ වෙනවා කියලා මට පේන්නේ නෑ," යනුවෙනි.
"ලිවීමේදී සහ කියැවීමේදී මට තිබෙන අත්දැකීම තමයි, රචකයාට ඒක දැනිලා නැත්නම් ඒක සාර්ථක නැහැ," හොඈං පවසයි.
එහෙත් අනාගතයේ දී කෘත්‍රිම බුද්ධිය "රචකයින් සඳහා ලිවීමේ ක්‍රියාවලිය පහසු කිරීමට උපකාරී වේවි, නමුත් එය මෙවලමක් පමණක් වනු ඇති අතර එය කිසි විටෙකත් මිනිසුන් ප්‍රතිස්ථාපනය නොකරනු ඇතැ,"යි ඇය බලාපොරොත්තු වේ.
ලන්ඩනයේ පිහිටි උසස් අධ්‍යාපන ආයතනයක් වන ග්‍රේෂම් විද්‍යාලයයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ මහාචාර්යවරියක වන වික්ටෝරියා බේන්ස් පවසන්නේ, රොමාන්තික ප්‍රබන්ධ කෘති "මෙතරම් ඒකාකාරීයැ"යි ඇතැමුන් සිතන්නේ මන්දැ යි තමන්ට වටහාගත හැකි බව ය. ChatGPT මගින් "ඉක්මනින් යමක් ගොඩනගා ගත හැකි" ශානරයක් ලෙස එය දැක ඇත්තේ එබැවින්යැ යි ඇය සඳහන් කරයි.
කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යය පදනම් කරගත් රොමාන්තික නවකතාකරුවන්ගේ සංගමයේ සභාපතිනී ජීන් ෆුලර්ටන් පවසන්නේ, මෙම විචාරකයින්ට වැදගත් ම කාරණය මඟහැරී ඇති බව ය.
"ඇත්ත වශයෙන් ම, අපට තිබෙන එක් ගැටලුවක් තමයි, සැබෑ ලෙස ම රොමාන්තික ප්‍රබන්ධ කියන්නේ මොකක් ද කියලා පූර්ව නිගමනයකට එළඹිලා තිබීම," ඇය පවසයි.
"ඒක පදනම් වෙලා තිබෙන්නේ 70 දශකයේයැ යි වැඩි දෙනෙක් හිතන, ඉතා පැරණි සහ යල් පැන ගිය ආකෘතියක් වන බොහෝ අනුරාගී සිදුවීම් ඇති අතීතයේ සැකසූ ආදර කතාවක් (bodice ripper) වැනි ඒ ආකාරයේ සියලු දේවල් මත. ඔබ දන්නවා ['Pride and Prejudice' නවකතාවේ එන චරිතයක් වන] ඩාර්සි මහතා අධිෂ්ඨානශීලීව, වේගයෙන් අශ්වයෙකු පිට නැග ගමන් කරන සිදුවීම මත නෙවෙයි."
ෆුලර්ටන් පවසන්නේ, ඊට වෙනස්ව, නවීන අභියෝග සමග රොමාන්තික නවකතා ශානරය දැන් ඉතිහාසයේ සිට නූතන යුගය දක්වා ඇති ආදරය සහ ප්‍රේමයේ සියලු අංග ආවරණය කරන බව ය.
ජූලියා ක්වින් පවසන්නේ, මෙම ශානරයේ චිරස්ථායී ජනප්‍රියත්වයට හේතු වී ඇත්තේ, එය යම්තාක් දුරකට සතුටුදායක අවසානයක් ලබා දීමේ පොරොන්දුව ලබා දෙන නිසා බව ය. "සතුට වටිනා අභිමතාර්ථයක් ලෙස අගය කරන සාහිත්‍ය වර්ගයක සැනසිලිදායක සහ වලංගු යමක් ඇතැයි කියලා මම හිතනවා," ඇය පවසන්නී ය.