2030 වනවිට කර්මාන්ත අංශයේ රැකියා මිලියන විස්සක් රොබෝවරුන් අතට

2030 වසර වන විට ලොව පුරා කර්මාන්ත අංශයේ රැකියා මිලියන 20ක් පමණ රොබෝවරුන් මගින් සිදු කරනු ඇතැයි 'ඔක්ස්ෆර්ඩ් ඉකොනොමික්ස්' (Oxford Economics) මගින් සිදු කළ සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

මෙම තත්ත්වය නිසා රැකියා අහිමි වන පුද්ගලයන් බොහෝ දුරට සේවා ක්ෂේත්‍රයේ රැකියාවලට සම්බන්ධ වීමට ඉඩ ඇති නමුත්, එවැනි බොහෝ අංශ ද මේ වන විට ස්වයංක්‍රීයකරණය කර තිබෙන බව සමීක්ෂණය සිදු කළ ආයතනය පවසයි.

කෙසේ නමුත්, විවිධ අංශ ස්වයංක්‍රීයකරණය කිරීම තුළින් ද නව රැකියා අවස්ථා නිර්මාණය වන අතර එය ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට ඉවහල් වන බව සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.

මේ අතර, විවිධ පුද්ගලයන් අතර පවතින ආදායම් පරතරය වැළැක්වීම සඳහා පියවර ගතයුතු බව ද මෙම සමීක්ෂණයෙන් අවධාරණය කර තිබේ.

රොබෝවරුන්ගේ නැගිටීම

කර්මාන්ත ක්ෂේත්‍රයට හඳුන්වා දෙන සෑම රොබෝවරයෙකු නිසා ම රැකියා 1.6ක් අහිමි වන අතර, නිපුණතා අවම කලාපවලට මෙය දැඩි ලෙස බලපානු ඇති බව ඔක්ස්ෆර්ඩ් ඉකොනොමික්ස් පවසයි.

රොබෝවරුන් හේතුවෙන් රැකියා අහිමි වීමේ වැඩිම අවදානම ඇත්තේ අවම නිපුණතා, දුර්වල ආර්ථිකයක් මෙන්ම විරැකියාව ඉතා ඉහළ මට්ටමක ඇති කලාපවල බව සමීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.

කර්මාන්ත අංශයේ රැකියා අහිමි වන පුද්ගලයන් ප්‍රවාහන, ගොඩනැගිලි, අලුත්වැඩියා, කාර්යාල සහ පරිපාලන ක්ෂේත්‍රවල රැකියා ලබා ගැනීමේ ප්‍රවනතාවක් ඇතත්, එම සේවා බොහොමයක් මේ වන විටත් ස්වයංක්‍රීයකරණය වෙමින් පවතින බව සමීක්ෂණ ආයතනය පවසයි.

දළ වශයෙන් ගත් කළ ඉහළ නිපුණතා ඇති කලාපවලට වඩා අවම නිපුණතා ඇති කලාපවල රොබෝවරු හේතුවෙන් රැකියා අහිමි වීමේ ප්‍රතිශතය දෙගුණයක් වන අතර, ආර්ථික අසමානතා සහ දේශපාලන අස්ථාවරභාවයන් මෙයට හේතු ලෙස දක්වා තිබේ.

මේ තොරතුරුද කියවන්න:

මෙම සමීක්ෂණ වාර්තාවෙන් වෙනස් ආකාරයේ මතයක් ද ඉදිරිපත් කර තිබේ. තාක්ෂණය යොදා ගෙන විවිධ අංශ ස්වයංක්‍රීය කිරීම තුළින් පුද්ගලයන්ට අහිමිව ගිය රැකියා වෙනුවට වෙනත් අවස්ථා නිර්මාණය වන බව එහි දක්වා තිබේ.

සේවා ක්ෂේත්‍රයේ සමහර අංශවලට රොබෝවරුන්ගේ සහය ලබාගෙන ඇතත්, ප්‍රධාන වශයෙන් ඔවුන් සේවයේ යෙදෙන්නේ කර්මාන්ත අංශයේය. ඉදිරියේ දී චීනයේ සමහර කර්මාන්තශාලාවල සේවකයන් විශාල ප්‍රමාණයක් වෙනුවට රොබෝවරුන් ආදේශ කිරීමට ඉඩ කඩ ඇති බව ද වාර්තාවේ දැක්වේ.

නීතිය, මාධ්‍ය වැනි ක්ෂේත්‍රවල රැකියාවලට වඩා ප්‍රවාහන සහ ගොඩනැගිලි යන ක්ෂේත්‍රවල රැකියා රොබෝවරුන් අතට පත් වීමට වැඩි අවස්ථාවක් තිබේ.

රටවල් පාලනය කරන රජයන්ට ඇති අලුත්ම අභියෝගය නම් අධි තාක්ෂණයෙන් යුත් නව නිර්මාණ සඳහා සහයෝගය දෙන අතරම, සමාජය තුළ නව බෙදීම් නිර්මාණය නොකර සිටීමය.

බුද්ධිය, සමාජ ඥානය සහ නිර්මාණාත්මක හැකියාව අවශ්‍ය රැකියා සඳහා "තවත් සියවස් ගණනාවක්" මිනිස් ශ්‍රමය අවශ්‍ය වන බව ද වාර්තාවේ සඳහන් වේ.

විවිධ ක්‍රියාකාරකම් ස්වයංක්‍රීය කිරීම වැඩි වන විට එයට සරිලන වෙනත් රැකියා අවස්ථා ගොඩනැගීම ගැන සිතන ලෙස න්‍යාය සකසන්නන්, ව්‍යාපාරික ප්‍රධානීන්, සේවකයන් සහ ගුරුවරුන්ගෙන් මෙම ආයතනය ඉල්ලීම් කර තිබේ.

2000 වර්ෂයේ සිට මේ දක්වා කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා මිලියන 1.7ක් රොබෝවරුන් නිසා අහිමි වී ඇත. යුරෝපයේ රැකියා ලක්ෂ හතරක් ද, ඇමෙරිකාවේ 260,000ක් සහ චීනයේ 550,000 ක් ද ඊට ඇතුළත් වේ.

කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා තාක්ෂණය යොදාගෙන ස්වයංක්‍රීයකරණ ක්‍රම වැඩිම ප්‍රමාණයක් නිර්මාණය කර ඇත්තේ චීනය වන අතර, 2030 වනවිට එය මිලියන 14ක් බවට පත් වනු ඇති බව සමීක්ෂණ ආයතනය පවසයි.

රොබෝවරුන්ගේ සේවය 30%කින් වැඩි කළහොත් ලොව පුරා භාණ්ඩ නිෂ්පාදනය හා බැඳුණු වටිනාකම ට්‍රිලියන පහකින් ඉහළ යනු ඇති බවට ඇස්තමේන්තු කර තිබේ.

කෙසේනමුත්, ලොව පුරා රැකියා අහිමිවන වේගයෙන්ම අලුත් අවස්ථා නිර්මාණය වන බව ද වාර්තාවේ සඳහන් කර තිබුණි.

තවත් තොරතුරු: