ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මම ලියන හැටි':නෝබට් අයගමගේ
- Author, කෞශල්‍ය කුමාරසිංහ
- Role, ලේඛක
නෝබට් අයගමගේ යනු තම පළමු නවකතාවෙන් ම ජනාදරයට සහ සම්මානයට පාත්‍ර වූ සාහිත්‍යකරුවෙකි.
'කාල නදී ගලා බසී' නවකතාවෙන් පටන්ගෙන 'සුර අසුර යාමය' හරහා මෑතක දී පළ වන 'කුර හඬකි වියැකෙන' නවකතාව දක්වා වූ ඔහුගේ නවකතාකරණය අපේ අතීත ජන ජීවිතය යළි නිපදවීමට දරන සෞන්දර්යාත්මක වෑයමක් වැනිය.
ගුවන් විදුලි විශේෂාංග රචකයෙකු ලෙස කාලාන්තරයක් තිස්සේ ගොඩනගාගත් දැනුම තම ජීවින අත්දැකීම් හා කැටිවී ඔහු අතින් සිය පළමු නවකතාව ලියවෙන්නේ 2012 වසරේදී ය.එතැන් පටන් නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඔහුට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් මම ඔහු සමග කතාබහක යෙදුණෙමි.
මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති 'නිම්නාගේ ඉතිහාසය' (2019) සහ 'මේ රහස් කවුලුවෙන් එබෙන්න' (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය.
හැම ලේඛකයෙක් ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේ ම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන විට බොන කෝපි කෝප්ප ගණන, ලිවීම තමන් ම විඳින හැටි වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. අද සිට ඇරඹෙන මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය.
කෞශල්‍ය : මං කැමතියි පළවෙනි වාක්‍යයෙන් පටන් ගන්න.ඔබට කියන්න පුලුවන් ද නවකතාවක පළවෙනි වාක්‍යය ලියවුණ හැටි ගැන.ඔබේ නවකතා වල අපි දකින පළමු වාක්‍යයම ද ඔබ මුලින්ම ලිව්වෙ. නැත්තං ඒවා පස්සෙ වෙනස් වුණා ද?
නෝබට්: නෑ. ඒවා තමයි මුලින්ම ලිව්වෙ.ඉතාම සුළු වෙනස්කම් තමයි වුණේ.මම ලියන්න පටන්ගන්නෙ හොඳට සූදානම් වෙලා ලියන දේ සැලසුම් කරලා.ඒ නිසා ලියන්න පටන් ගත්ත ම මට එක දිගට ලියාගෙන යන්න පුලුවන් වෙහෙසක් හෝ හිරවීමක් නැතුව.ඒ දේවල් මගෙ අතින් සංස්කරණය වෙන්නේ හරි ම අඩුවෙන්.
කෞශල්‍ය : කොහොමද සැලසුම් කරන්නේ. ඔබ කටුසටහන් පාවිච්චි කරනව ද?
නෝබට්: මං කටුසටහන් තියාගන්නෙ නෑ.හැමදේම තියෙන්නෙ මගෙ හිතේ.මං කාලයක් තිස්සෙ ලියන්න යන දේ ගැන අධ්‍යයනය කරනවා සහ මෙනෙහි කරනවා.ඒ නිසා හැම චරිතයක් ම සිදුවීමක් ම ගැන මට හොඳ අවබෝධයක් තියනවා පටන් ගන්න කලින්. සමහර වෙලාවට චරිත වල කටහඬ වල් පවා තනියම අනුකරණය කරමින් තමයි මං ඒකත් එක්ක ඉන්නෙ.ඒවගේම සිදුවීම් සහ චරිත වලට අදාළ වචන මාලාව ගැනත් හොඳින් දැනුවත් වෙනවා.අනිත් එක නවකතාවක් සැලසුම් කරමින් ඉන්න කොට කඩේට ගියත් බස් එකක ගියත් වෙනත් පොතක් කියෙව්වත් හිතේ පැත්තක ඒක වැඩ කරනවා.කොයිම වෙලාවක වත් ඒකෙන් ගැලවෙන්නේ නැහැ.එතකොට ලියන්න පටන් ගත්ත ම පැය ගාණක් එක දිගට ලියාගෙන යන්න පුලුවන්.ඒ හින්ද මගෙ නවකතා වල පළමු වාක්‍ය හැටියට ඔබ දකින්නෙ ඒ විදිහට ලියන්න වාඩි වුනහම නිරායාසයෙන් ලියවුණු ඒවා.
කෞශල්‍ය :ඒ කියන්නෙ ඔබ කතාවෙ සැලැස්ම කොහෙවත් සටහන් නොකළට පළවෙනි වාක්‍යය ලියන කොට ඔබ දන්නවා ඔබ ලියන්න යන නවකතාවෙ දිග පළල?
නෝබට්: ඔව් ඇත්තෙන්ම මම ලියන්න යන නවකතාවෙ මුල මැද අග ගැන ඉතා හොඳ අවබෝධයකින් තමයි ලිවීම පටන් ගන්නෙ.මගෙ සැලැස්ම මම කොහෙවත් ලියන්නෙවත් කාටවත් කියනනෙවත් නෑ.ඒක දන්නෙ මං විතරයි.හැබැයි මම කටුසටහන් නොදැම්මට සමහර ඓතිහාසික සිද්ධි සහ පුද්ගලයන්ගේ නම් කොළයක ලියල තියාගන්නව මොකද එක දිගට ලියන කොට ඒව අමතක වෙන්න පුලුවන් නිසා.
කෞශල්‍ය :ඔබ නවකතාව මනසින් සැලසුම් කරමින් ඒ ගැන අධ්‍යයනය කරමින් ඉන්න විට මේක ලියන්න පටන් ගන්න වෙලාව ඔබ හොඳට හිතල තෝරගන්නවද නැත්තං එක මොහොතක දි ඔබටත් පාලනය කරගන්න බැරි විදිහට ඒක කරන්න සිද්ධ වෙනව ද?
නෝබට්: මං 'කාල නදී' ලියන්න පටන් ගත්තෙ 2012 නොවැම්බර් 18.මට ඒ දවස හොඳට මතක එදා මහින්ද ජනාධිපතිවරයගේ උපන්දිනය.ඒ වෙනකොට මගෙ බිරිඳ රැකියාව කළේ බැංකොක් වල ලංකාවෙ තායිලන්ත තානාපති කාර්යයාලේ. මමත් ඇයත් එක්ක එහෙ හිටියෙ.මතකනෙ මහින්ද මහත්තයගෙ උපන්දිනය දවසට ඒ කාලෙ ලංකාවෙ ඔය කාර්යයාල වල බෝධි පූජා එහෙම ලෑස්ති කරනවනෙ. එදා තානාපති කාර්යයාලයෙනුත් එහෙම ආගමික කටයුත්තක් සුදානං කරල තිබුණ නිසා ගෙදර හැමෝම ඒකට ගිහිං මං විතරයි හිටියෙ.මේ වෙනකොට 'කාල නදී' ගැන මං සෑහෙන්න වැඩ කරල තිබුණේ. මේකට විෂය වුණු පාරුකාරයින්ගේ ජීවිතය ගැන මං ඕනැවටත් වඩා දැනන් හිටිය. මොකද අපේ තාත්තගෙ තාත්තත් පාරු කාරයෙක් නිසා මං හැදුණේ වැඩුණේ මේ කතා අහගෙන. ඊට අමතරව මං මේ ගැන අධ්‍යයනය කරල කතාව හිතෙන් සැලසුම් කරල තිබුණේ.ඒ නිසා ඒක කොලයකට පනින්න මාන බලමින් හිතේ තෙරපෙමින් හිටි වෙලාවක තමයි ගෙදර කවුරුත් නැති මේ නිස්කලංක දවස ආවෙ.එදා මං පැය ගාණක් එක දිගට ලිව්වා.මේ කතාවේ සිදුවීම් කාලයක් තිස්සෙ මගෙ හිතේ තෙරපෙමින් තිබ්බ නිසා මේකත් එක්ක මට මහ පුදුම බන්ධනයක් තිබුණා.හරිම ඉක්මනින් පොත යි මම යි එකට හුස්ම ගන්න තත්වෙට පත් වුණා.ඒ හින්ද මාස හයක් යන්නත් කලින් මට මුළු නවකතාව ම ලියල අවසාන කරල ලංකාවට ත් එවන්න පුලුවන් වුණා පළ කරන්න.
කෞශල්‍ය :ඔබ මෙහෙම ලියාගෙන යද්දි සුළු චරිත හැටියට සැලසුම් කරන ඇතැම් චරිත ඔබ අපේක්ෂා නොකළ පරිදි ප්‍රබල චරිත බවට පත් වුණ අවස්ථා තියනව ද?
නෝබට්: ඇත්තටම ඔව්.මම කිසිසේත්ම බලවත් චරිත හැටියට සැලසුම් නොකළ චරිත මං නොහිතපු ආකාරයෙන් කතාව තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන චරිත බවට පත්වුණ අවස්ථා තියනවා.අපි මොනතරන් සැලසුම් කළ ත් ලිවීමේ ක්‍රියාවලියේ දී මෙවැනි දේ සිද්ධ වෙනවා. නවකතාකරුවෙක් හැටියට ඔබට ත් මේ අත්දැකීම ඇති.මට තියන ආසන්න ම උදාහරණය මගේ 'කුරහඬෙකි' නවකතාවේ 'අංචිරාල' කියන චරිතය.ඔහු එතරම් නොවැදගත් සුළු චරිතයක් හැටියට මම සැලසුම් කර තිබුණ ත් පසුව කතාවේ විකාශනය තුළ ඔහු වැදගත් කාර්යභාරයක් ඉටු කළා.
කෞශල්‍ය :ඔබ මේ කියන්නෙ අපි මොනතරම් සැලසුම් කළ ත් ලිවීමේ ක්‍රියාවලිය තුළ අපි කලින් නොහිතපු අනපේක්ෂිත දේ සිද්ධ වෙන්න පුලුවන් කියන එක ද?
නෝබට්: ඔව්. නවකතා රචනය ගැන මොන නීති රීති තිබුණත් අපි මොනතරම් සැලසුම් කළ ත් ලිවීමේ ක්‍රියාවලිය ඇතුළේ එහෙම ගතිකයක් තියනවා.ඒක තමයි ඒකේ සුවිශේෂත්වය.
කෞශල්‍ය :ඔබ ලියන නිශ්චිත වෙලාවක් සහ තැනක් එහෙම තියනව ද?
නෝබට්: වැඩිපුරම මං ලියන්නෙ කාමරේ මගෙ ලියන මේසෙ.ඒක එහෙම ගම්භීර තැනක් නං නෙමේ. ලියන්න පටන් ගන්නේ පාන්දර.ඒ නිශ්ශබ්ද නිසා ම නෙමේ.මට ලිවීමේ දි නිශ්ශබ්දතාවය විතරක් නෙමේ සද්දබද්ද ත් ඕනෙ.පාන්දර පැය කීපයක් එක දිගට ලියනවා.ඉන් පස්සෙ දවසෙ සාමාන්‍ය වැඩ පල කරල ආයෙමත් හැන්දෑවෙ හයට විතර පටන් අරන් පැය කීපයක් ලියනවා.හැබැයි නවකතාවක් ලියමින් ඉන්න කාලෙදි සමහර වෙලාවට ලියන්න යමක් හිතේ තෙරපෙන්න ගත්තොත් පාන්දර එකට දෙකට වුණත් නැගිටල ඇවිත් ඒක ලියල ගිහින් ආයෙමත් නිදාගන්නවා.මොකද එහෙම එන ඒවා ඒ වෙලාවෙ ලිව්වෙ නැත්තං ආපහු එන්නෙ නැහැ.
කෞශල්‍ය: අවසාන වශයෙන් මට කියන්න ඔබ ලියන සමහර වාක්‍ය ඔබව ම පුදුමයට පත් කරනව ද? ලියන කොට දැනෙන සතුට ගැන යමක් කියන්න පුලුවන් ද ?
නෝබට්: හරියට ලියවෙනවා නේද ඡේදයක් හෝ පරිච්ඡේදයක්,ඒක ඉතින් කියල වැඩක් නෑ පුදුම සතුටක්.ඒ වෙලාවට ඒක නැවත නැවත කියවමින් කොම්බු පවා හදනවා.සමහර වෙලාවට හරි විස්මයක් දැනෙනවා සමහර යෙදුම් එහෙම ලියවුණා ම.ඒ වෙලාවට තව පරිච්ඡේද දෙක තුනක් වුණ ත් ඒ ගැම්මට එකදිගට ලියන් යන්න පුලුවන්.ලිවීමේ දි දැනෙන තෘප්තිය නං නිකං හරියට අති රමණීය රමණයක දි වගේ.
ලිවීමේ දී ලේඛකයෙකු අනුගමනය කරන වතාවත් එකිනෙකාගෙන් වෙනස් විය හැකි බව අපට තේරුම් ගත හැකි ය.
එහෙත් ලිවීමේ දී ලේඛකයෙකු අත්විඳින රමණීයත්වය එසේ වෙනස් විය හැකි ද?මට ද නවකතාකරුවෙකු ලෙස අයගමගේ මහතා විඳින ඒ රහස් සතුට ගැන ඉඟියක් ඇත.නමුත් මේ ගැන තවදුරටත් තේරුම් ගත හැකි වන්නේ මේ සංවාද මාලාවේ ඉදිරි මුණගැසීම් වලදී ය.
මේ කෙටි කතාබහ තුළ මා උත්සාහ කළේ නෝබට් අයගමගේ නම් නවකතාකරුවා ලිවීම තුළ පවතින ආකාරය දෙස ඉක්මන් බැල්මක් හෙළීමට ය.
ලබන සතියේ සුරත් ද මැල් සමග සිදුවන සංවාදය දිගහැරෙනු ඇත්තේ ද ඒ අපේක්ෂාවෙන් මය.
බීබීසී සිංහල වෙනුවෙන් අද සිට ඇරඹෙන මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි.
ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි.