ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අනුල ද සිල්වා: ස්ත්‍රී ශක්තිය වෙනුවෙන් සාහිත්‍ය කෘති 125ක් ලියූ විශිෂ්ට ලේඛිකාව
"අප අවට සිටින බොහෝ ගැහැනු නොසැලී අභියෝගවලට මුහුණ දෙන වීරවරියෝ ය. එය එසේ වුව ද, බොහෝ ගැහැනුන් තුළ ඇති අව්‍යාජ අහිංසකබව පිරිමින් දකින්නේ මෝඩ නෝන්ජල්කමක් ලෙසිනි. අභියෝගවලට මුහුණ දෙන වීරවරියන් ගැන පිරිමින් තුළ ඇත්තේ, නොකැමැත්තකි." (පින් මඳ ගැහැනු)
ඉහත පාඨය උපුටා ගනු ලැබුවේ, අනුල ද සිල්වා නමැති කෘතහස්ත ලේඛිකාව විසින් රචනා කරන ලද 'පින් මඳ ගැහැනු' නමැති නවකතාවෙනි.
ඇයගේ ජීවිතය, ලේඛන දිවිය සහ මාධ්‍ය දිවිය යන සියල්ල එම පාඨය තුළ ගැබ්ව ඇති බව පෙනී යයි.
ඇය හුදු කාන්තාවක, ලේඛිකාවක, මාධ්‍යවේදිනියක පමණක් නොවූවා ය. ඇය පුරුෂාධිපත්‍යය නිසා විවිධ කායික හා මානසික අර්බුදයන්ගෙන් පීඩාවට පත්ව සිටින කාන්තාවන් වෙනුවෙන් ඔවුන්ගේ ධෛර්යය වෙනුවෙන් සිය පෑන මෙහෙයවූ "අභියෝගාත්මක කාන්තාවක්" වූවා ය.
අනුල ද සිල්වා නමින් සාහිත්‍ය ක්ෂේත්‍රය දිග්විජය කළ ඇය දැයට සමුදී අවසන් ය.
වසර 60කට ආසන්න කාලයක් තිස්සේ සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය පෝෂණය කිරීමට ඇය කළ මෙහෙය අගැයීම වෙනුවෙන් බීබීසී සිංහල සේවය තබන සැමරුම් සටහනකි, මේ.
ආරම්භය
1941 ජනවාරි 27 වන දා අම්බලන්ගොඩ, පොල්වත්ත ගම්මානයේ උපත ලද අනුල ද සිල්වා, සාහිත්‍ය කටයුතුවල නිරත වූයේ පාසල් සමයේ සිට ය.
වරක් ඇය ප්‍රකාශ කළේ, තමන් පාසල් සමයේ රචනා කළ කෙටිකතාවක් කියවූ ප්‍රවීණ ලේඛක ගුණදාස අමරසේකර එය අගය කරමින් ලිපියක් එවා තිබූ බව ය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් යටතේ නිර්මාණකරණය පිළිබඳව අධ්‍යයනය කිරීමට ඇය භාග්‍යවන්ත විය.
එහිදී ද, ඇය රචනා කරන ලද කෙටිකතා මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ අගැයීමට පාත්‍ර වූ හෙයින් ඇයට නිර්මාණකරණයේ නිරත වීමට ධෛර්යයක් ලැබිණි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය හිමි කර ගත් ඇය, සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ, ගුරුවරියක ලෙස ය.
පසුව, ඇය ගුරු වෘත්තියට සමුදී පත්තර මහ ගෙදර වූ ලේක් හවුස් ආයතනයට එක් වූවා ය. එහිදී, මිහිර, තරුණී ඇතුළු පුවත්පත් කිහිපයක සේවය කර ප්‍රධාන කර්තෘ ධූරය ද හෙබවූවා ය.
සිංහල පුවත්පතක කොටස් වශයෙන් පළවූ පළමු නවකතාව
ඇය, සිය පළමු නවකතාව වන 'උන්මන්තකයෝ' ප්‍රකාශයට පත් කළේ 1964 වර්ෂයේදී ය.
එම නවකතාව පළමුව 'රිවිරැස' පත්‍රයේ කොටස් වශයෙන් පළ කෙරිණි. සිංහල පුවත්පතක කොටස් වශයෙන් පළ කෙරුණු පළමු නවකතාව එය විය.
වසර 60කට ආසන්න කාලයක් ලේඛන කටයුතුවල නියැළුණු ඇය නවකතා, පරිවර්තන සහ ළමා පොත් ඇතුළු පොත් 125කට අධික ප්‍රමාණයක් රචනා කළා ය.
එම නවකතා වෙනුවෙන් ඇය රාජ්‍ය සම්මානයට ද පාත්‍ර වූවා ය.
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ආභාසය
ඇයට ලේඛිකාවක වීමට කැමැත්තක් ඇති කළ ප්‍රබල චරිතය වූයේ, හෙළ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් ය. ඇගේ ජීවිත කාලය තුළ මාර්ටින් වික්‍රමසිංහයන් හමුවී කතා කිරීමට වාසනාවක් ඇයට හිමි නොවුව ද, ඇය වරක් පවසා තිබුණේ, සිය ලේඛන දිවියට ආලෝකය වූයේ, වික්‍රමසිංහයන්ගේ නිර්මාණ බව ය.
මිය යන තුරු ම ඇය විශ්වාස කළේ, මෙතෙක් රචනා වූ විශිෂ්ටතම සිංහල නවකතාව, ගම්පෙරළිය බව ය.
"මම මිහිර පත්තරේ වැඩ කරන කාලේ ඒ පත්තරේ කර්තෘ වෙලා හිටියේ සුමනා සපරමාදු. එයා මාර්ටින් වික්‍රමසිංහගේ නෑදෑයෙක්. එයා දවසක් මට කිව්වා, මාර්ටින් වික්‍රමසිංහ බරපතළ විදිහට අසනීප වෙලා ඉන්නේ, එයා ගැන ලිපියක් ලියන්න කියලා. මම ඒ ලිපිය ලියන අතරතුර දැන ගන්න ලැබුණා ඒ විශිෂ්ට ලේඛකයා අභාවප්‍රාප්ත වුණා කියලා. මට ඒක මගේ ජීවිතයේ ලබපු ශෝකජනක අත්දැකීමක්," යනුවෙන් අනුල ද සිල්වා පුවත්පතකට පවසා තිබිණි.
ඇයට සිය නිර්මාණාත්මක ලේඛන කාර්යයේදී මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ආභාසය දැඩිව බලපෑ බව ඇය පවසා ඇත.
ලේඛන දිවිය
අනුල ද සිල්වා ස්වතන්ත්‍ර නවකතා සහ පරිවර්තන කෘති 125ක් පමණ රචනා කර පළ කර තිබේ.
උන්මත්තකයෝ, අහස් මාලිගා, මංජේශ්වරී, මහා මුහුද මමයි, ආදරය බලා හිඳී, ආදරය සමුගනී, ආවර්ජනා, කොරෝනා වාට්ටුව වැනි ජනප්‍රිය නවකතා 100කට අධික සංඛ්‍යාවක් සහ දෙවියන්ගේ අඩවිය (Not without my Daughter), තුන්වෙනි බිරිඳ (Third Wife), පිළිකා වාට්ටුව (Cancer Word), තිබ්බත දියණිය (Daughter of Tibbatha), තිත්ත කෝපි (Bitter Berry), පෙරා ගත් මල් පැණි (Nectar in a Sieve) වැනි පරිවර්තන රැසක් ද ඇය ප්‍රකාශයට පත් කර ඇත.
ඇයගේ කෘතිවල විශේෂත්වය වූයේ, බොහෝවිට ස්ත්‍රීත්වය නිසා යටපත් වන ගැහැනිය දුර්වල නොවන බව නිරූපණය කිරීම ය.
අනුල ද සිල්වාගේ නිර්මාණකරණය පිළිබඳව අධ්‍යයනය කෙරුණු අවස්ථා රැසක් පවතී.
ඒ අතරින් සුවිශේෂී කාන්තාවක සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවයට හැකි විය. ඇය, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ලතා ගුරුසිංහයන් ය.
ඇය සුවිශේෂී වන්නේ, සිය ආචාර්ය උපාධිය වෙනුවෙන් කරන ලද පර්යේෂණයේදී ඇය අනුල ද සිල්වාගේ නිර්මාණ සම්බන්ධයෙන් ද විශේෂ අධ්‍යයනයක නිරත වීම නිසා ය.
"තමන්ගේ කෘතිවල කාන්තාව නියෝජනය කරන හැම අවස්ථාවක ම ඇය තුළ ධෛර්යයක් රෝපණය කිරීමට උත්සහ කරලා තියෙනවා. නවකතාවලින් ඇය ප්‍රධාන වශයෙන් ම පුරුෂ මූලිකත්වයට, ගෘහස්ත හිංසනයට, ළමා අපයෝජනයට, ලිංගික හිංසනයට, කුල ධූරාවලියට, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය වෙනස්කම්වලට තමන්ගේ කෘති තුළින් නිර්මාණාත්මකව විරෝධාකල්ප ඉදිරිපත් කළා," මහාචාර්ය ලතා ගුරුසිංහ පවසයි.
ඕනෑ ම ප්‍රශ්නයකදී නොසැලී ඊට මුහුණ දීමට කාන්තාව සතු ශක්තිය සම්බන්ධයෙන් සමාජය තුළ ආකල්පමය වෙනසක් නිර්මාණය කිරීම අනුල ද සිල්වාගේ නිර්මාණ කාර්යයේ ප්‍රධාන අරමුණක් විය.
"පවත්නා සමාජ දේශපාලන ව්‍යුහය ඇතුළේ කාන්තාව මුහුණ දෙන එද ත් අද ත් පවතින බරපතළ තත්ත්වයන් තමයි එතුමිය තමන්ගේ නිර්මාණවලට ගත්තේ. ජීවිතයේ ඕනෑ ම ප්‍රශ්නයකට මුහුණ දීමට කාන්තාවට තියෙන ශක්තිය ඇය හැම නිර්මාණයකින් ම මතු කළා. පරිවර්තනවලදී පවා ඇය උත්සහ කළේ, ලෝක සාහිත්‍යයේ තියෙන නිර්භීත කාන්තා චරිත ලාංකීය පාඨකයාට හඳුන්වා දීමට යි," මහාචාර්ය ලතා ගුරුසිංහ වැඩිදුරට ත් පැවසීය.
සුනාමියෙන් වූ බලපෑම
කොළඹ, මෝදර ප්‍රදේශයේ පදිංචිව සිටි අනුල ද සිල්වා විශිෂ්ට ලේඛිකාව සුනාමි මුහුදු රළින් දිවි ගලවා ගත්තේ, අසීරුවෙනි.
ගෙළ තෙක් ජලයේ ගිලී සිටි ඇය එම බිහිසුණු අවස්ථාවේදී ද ක්‍රියා කළේ, තමන් රචනා කළ නිර්මාණවල අත්පිටපත් බේරා ගැනීමට ය.
වරක් ඇය සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත සමග කළ සාකච්ඡාවකදී පැවසුවේ, අසල තිබූ රෙදි කඩක දවටා අත්පිටපත් සියල්ල නිවසේ උඩු මහලට විසි කළ බව ය.
කෙසේ වෙතත්, ඇය එතෙක් ආසාවෙන් එක් රැස් කළ පුවත්පත් ලිපි, පොත් රැසක් සුනාමි උදම් රළ පහරට හසුවීමෙන් නැවත දැක ගැනීමටවත් නොහැකි විය.
අවසන් හෝරාව
හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයකින් මේ විශිෂ්ට අයෝමය ලේඛිකාව දැයට සමු දුන්නා ය. එහෙත්, ඇගේ නිර්මාණ සිංහල පාඨක ප්‍රජාව අතර සදා රැඳෙනු ඇත.
මිය යන විට 82 වන වියේ පසුවූ අනුල ද සිල්වාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අගෝස්තු 14 වන දා බොරැල්ල සුසාන භූමියේදී සිදුකෙරේ.
ඇයව පෞද්ගලිකව දන්නා හඳුනන සහෘදයින් පවසන්නේ, ඇය කිසි දිනෙක කම්පාවට පත් නොවූ කාන්තාවක බව ය.
ඇය සිය සිත මුහුණ දෙන සියලු කම්පාවන් නිර්මාණ කෘති හරහා සහෘද පාඨකයින් සමග බෙදා ගත් බව ඔවුහු පවසති.