ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අජිත් තිලකසේනගේ අක්ෂර භාවිතාව සහ නූතන සිංහල පාඨකයින්ගේ 'මුද්‍රණ දෝෂ'
අජිත් තිලකසේන යනු සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොව භාෂා ක්ෂේත්‍රයේ ද දැඩි කතාබහට ලක්වූ ලේඛකයෙකි.
ඔහු තමන්ට සුවිශේෂ වූ ආකෘතියක පිහිටා කෙටිකතා සහ කවි රචනයෙහි නිරත වූ අතර භාෂා භාවිතයේ දී ද විශේෂත්වයක් පෙන්නුම් කළේ ය.
"සම්මත කෙටිකතා ව්‍යුහය, රචනා ශෛලිය හා භාෂා භාවිතය ප්‍රතික්ෂේප කළ අසම්මත කෙටිකතාකරුවෙකු" ලෙස අජිත් තිලකසේන හඳුන්වන මහාචාර්ය කුලතිලක කුමාරසිංහ පෙන්වා දෙන්නේ, "සම්මතය අභියෝගයට හසුකරන අත්දැකීම් හා කලා ආකෘති" ඔහුගේ සතුරෝ, සුන්නද්දූලි, රාත්‍රියේ පූර්ව භාගය වැනි කෙටිකතා සංග්‍රහ තුළින් දැක ගත හැකි බව ය.
වරක් පුවත්පතක සම්මුඛ සාකච්ඡාවක දී අජිත් තිලකසේන පවසා තිබුණේ, "මට තිබෙන්නෙ කියන ආකාරයක් පමණයි. මම කියන දේවල් වැදගත් නැහැ," යනුවෙනි.
ඔහුගේ සාහිත්‍යමය භාවිතාවට සමගාමීව ඔහු සම්බන්ධයෙන් වඩා ත් කතාබහට ලක්වූයේ, ඔහුගේ අසම්මත භාෂා භාවිතාව ය.
ඔහු සිය නිර්මාණවල දී මූර්ධජ අක්ෂර භාවිතාව අත්හළ අතර පිල්ලම් භාවිතාවේ දී සමරූපීභාවයක් ඇති කිරීමට උත්සාහ කළේ ය.
අජිත් තිලකසේන පිළිබඳ විමසුමක් කෙරෙහි අපගේ අවධානය යොමුවූයේ, ඔහුගේ 'සුබ රාත්‍රියක් අහවරයි' නමැති කෙටිකතා සංග්‍රහයේ අක්ෂර භාවිත කර ඇති ආකාරය සම්බන්ධයෙන් පළ කර තිබූ අදහසක් හේතුවෙනි.
එහි සඳහන් කර තිබුණේ, "අජිත් තිලකසේන(ගේ) පොතක් මේ එයා ලියන විදි(ධි)ය ද සරසවියෙන් මහරගම කිව්වා පොත් මරු කරන්න බැ(බෑ) එයා ලියන විදිය කියලා, කියවපු කෙනෙක් කියන්න පුලු(ළු)වන් නම්," යනුවෙනි.
ඒ සම්බන්ධයෙන් පළ කර තිබූ කමෙන්ට්ස් වැඩි සංඛ්‍යාවකින් ද පෙනී ගිය කරුණක් වූයේ, ඔවුන් වැඩි දෙනෙකු අජිත් තිලකසේන පිළිබඳව අවබෝධයකින් තොර තැනැත්තන් බව ය.
මේ පිළිබඳ අදහස් දැන ගැනීම සඳහා අපි අජිත් තිලකසේන සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද, දැඩි ලෙස රෝගාතුර වී සිටින ඔහු සමග කතාබහ කිරීමට අපට නොහැකි වූ බව කනගාටුවෙන් දැනුම් දෙමු.
අජිත් තිලකසේනගේ භාෂා භාවිතය
මුල් කාලයේදී සිංහල භාෂාව උගන්වන පාසල් ගුරුවරයෙකු ලෙස සේවය කළ අජිත් තිලකසේන සිය නිර්මාණ තුළින් අසම්මත ලේඛන භාෂා රටාවක් හඳුන්වා දීමට උත්සාහ දැරූ ලේඛකයෙකි.
ඔහුගේ භාෂා රටාවේ විශේෂතා කිහිපයක් හඳුනාගත හැකි ය.
- මූර්ධජ අක්ෂර බැහැර කිරීම
- පිල්ලම් සමරූපීකරණය
- ලේඛන සහ කථන ව්‍යවහාරය වෙනුවට මැදි බසක් භාවිතා කිරීම
නූතන ලෝකයේ මුද්‍රණ අවශ්‍යතා සහ පොදුජන පහසුව තකා මෙම ක්‍රමය යෝජනා කරන බව ඔහු පවසා තිබේ.
මෙම ක්‍රමය මහාචාර්ය සිරි ගුනසිංහයන් ද සිය නිර්මාණවලදී අනුගමනය කළේ ය.
ප්‍රකාශකයාගේ අදහස
මෑතක දී කතාබහට ලක්වූ අජිත් තිලකසේනගේ 'සුබ රාත්‍රියක් අහවරයි' ඇතුළු නිර්මාණ රැසක ප්‍රකාශකයා වන්නේ, සරසවි පොත් ප්‍රකාශන සමාගම යි.
එහි ප්‍රකාශන කළමනාකරු ශ්‍රීපාල් පෙරේරා බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේ, අජිත් තිලකසේනගේ භාෂා භාවිතය ඔහුගේ කැමැත්ත මත තීරණයවූවක් බැවින් භාෂා භාවිතාව සම්බන්ධයෙන් සිය සමාගමට වගකීමක් භාරගත නොහැකි බව ය.
"ඔහුගේ භාෂා භාවිතය ගැන ඔහු ගැන දන්නා සියලු දෙනා ම දන්නවා. ඒ නිසා මට දැනෙන විදිහට අදාළ ප්‍රශ්නය මතු කරලා තියෙන්නේ ඔහුගේ ලේඛන ශෛලිය ගැන හැදෑරීමක් නොකළ කෙනෙක්. සම්මත භාෂා ක්‍රමයකට හුරුවෙලා ඉන්න පාඨකයින්ට මේ රටාව නුහුරු වෙන්න පුළුවන්. ඒත් ඒ රටාව අජිත් තිලකසේනට අවශ්‍ය වුණ රටාව. හැබැයි පාඨකයාට පුළුවන් භාෂා රටාව ගැන නොසිතා ඔහුගේ නිර්මාණය රස විඳින්න. භාෂා රටාව නිර්මාණය රස විඳින්න බාධාවක් කියලා මම හිතන්නේ නෑ," ශ්‍රීපාල් පෙරේරා පැවසීය.
ඔහු වැඩිදුරට ත් පැවසුවේ, "වර්තමාන පරපුර අජිත් තිලකසේන වැනි ලේඛකයින් පිළිබඳව නිසි අවබෝධයක් ඇති කර ගත යුතු," බව ය.
සිංහල සාහිත්‍ය පාඨකයින් අජිත් තිලකසේන පිළිබඳව "නොදැන සිටීම විමතියට කරුණක්" බවට ත්, නිර්මාණ කියවීමට පෙර නිර්මාණකරුවන් ගැන කියවිය යුතු බවට ත් ඇතැම් අදහස් පළ වී තිබිණි.
පිල්ලම් සමරූපීකරණයේ ඉතිහාසය
'පිල්ලම් සමරූපීකරණය' යනු සිංහල භාෂාවේ එක ම ශබ්දය නිරූපණය කිරීම සඳහා භාවිතා වන විවිධ පිල්ලම් වෙනුවට එක් පිල්ලමක් පමණක් භාවිතා කිරීම ය.
උදාහරණයක් ලෙස 'උ' ස්වරය නිරූපණය කිරීම සඳහා කොන් පාපිල්ල (පු), ඇද පාපිල්ල (රු) සහ වක් පාපිල්ල (කු) යනුවෙන් පිලි තුනක් භාවිත වන අතර, අජිත් තිලකසේන ඒ සඳහා කොන් පාපිල්ල පමණක් භාවිත කළේ ය. ඉස්පිල්ල ආදී තව ත් පිල්ලම් කිහිපයක් සඳහා ද එක් පිල්ලමක් පමණක් භාවිතා කළේ ය.
එනමුත්, අජිත් තිලකසේන භාවිතා කළ පිල්ලම් සමරූපීකරණයේ නිර්මාතෘවරයා ඔහු නොවන බව මහාචාර්ය සඳගෝමී කෝපරහේවා පවසයි.
මෙම ක්‍රමය අවස්ථා කිහිපයක දී භාවිතාවට ගෙන ඒම සඳහා උත්සහ දරා ඇති අතර, ඉන් පළමු උත්සහය 1956 වසර දක්වා ඈතට විහිදෙයි.
1956 වසරේ දී සමරූපී පිල්ලම් ඇතුළත් යතුරු ලියනයක් භාවිතාවට ගෙන ඒමට උත්සහ කළ බව මහාචාර්ය සඳගෝමී කෝපරහේවා විසින් රචනා කරන ලද 'සිංහල අකුරු පුරාණය' නමැති ග්‍රන්ථයෙහි පැහැදිලි කර තිබේ.
ඊට අමතරව, 1972 වසරේදී රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ආරිය වික්‍රමගේ මූලිකත්වයෙන් ද පිල්ලම් සමරූපීකරණ වැඩපිළිවෙළක් සඳහා උත්සහයක් ගත් බව එහි පැහැදිලි කර තිබේ.
"මේ ලේඛන ක්‍රමය අජිත් තිලකසේන ආරම්භ කරපු එකක් නෙවෙයි. ඒකට ලොකු ඉතිහාසයක් තියෙනවා. 1956 ඉඳලා අවස්ථා කිහිපයකදී ම මේක උත්සහ කළා. ඒත්, ඒකට ලේඛකයින්ගේ එතරම් සහයෝගයක් ලැබුණේ නැහැ," මහාචාර්ය සඳගෝමී කෝපරහේවා බීබීසී සිංහල සේවයට පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ, පිල්ලම් සමරූපීකරණ ක්‍රමය පාඨකයාට හුරු නොවන්නේ සිංහල භාෂාවට අතිශය දීර්ඝ ලේඛන ඉතිහාසයක් පැවතීම හේතුවෙන් බව ය.
"සිංහල භාෂාවට ගොඩක් දීර්ඝ ලේඛන ඉතිහාසයක් තියෙනවා. ඒකට අපි හුරුවෙලා තියෙන්නේ. ඒ නිසා නව ක්‍රමයට හුරුවෙන එක පහසු දෙයක් නෙවෙයි. ඒ නිසා තමයි මේ ක්‍රමය සම්මත ක්‍රමය ලෙස පිළිගැනීමකට ලක් නොවුණේ."
අජිත් තිලකසේනගේ නිර්මාණ කියවීමේදී ඔහුගේ භාෂා රටාව ගැන යම් අවබෝධයක් ඇති කර ගැනීම වඩා ත් සුදුසු බව මහාචාර්යවරයාගේ අදහස යි.
අජිත් තිලකසේනයන්ගේ කෘති
කෙටිකතා - සතුරෝ (1960), පිටුවහල් කර සිටියදී (1964), සුන්නද්දූලි (1970), රාත්‍රියේ පූර්ව භාගය (1976), සුබ රාත්‍රියක් අහවරයි (1984), සාදය (1992), වන්දනාව (1996), සුසුම සහ පීඩාව, අරුනැල්ල වැටෙනකොට විතර (2004), පස් වසරක් (2010)
සංයුක්ත කවි - මල් වැනි ගල් (1978), රැලි සුලි (1991), මාරියාව (2008), ඒ එලඹෙන අගෝස්තුව (2015)
ශාස්ත්‍රීය කෘති - අදට ඔබින බස, නව සිංහලය නව අකුරු, මැදි වහර අත්පොත, නව ලේඛන රීතිය