ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මම ලියන හැටි': මනෝහරී ජයලත්
- Author, කෞශල්‍ය කුමාරසිංහ
- Role, ලේඛක
යොවුන් නවකතාවක් ලෙස සලකන සිය මුල්ම නවකතාව වන ‘මැට්ටී’ 2021 වසරේ ප්‍රකාශයට පත් කරන මනෝහරී ජයලත් 2023 වසරේ දී 'කඩදොර' නවකතාව ප්‍රකාශයට පත් කරන විට ඇගේ නමට යටින් එක් වන නවකතා ගණන පහක් බවට පත් වෙයි.
සුවිශේෂී භාෂාමය ලෝකයක් තුළට කියවන්නා ඇතුල් කරගන්නා ඇගේ නවකතා පාඨකයන් අතර සේම විචාරකයන් සහ සාහිත්‍ය විනිශ්චය මණ්ඩල තුළ ද නිරන්තර සම්භාවනාවට පාත්‍ර වී ඇත.
මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඇයට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය.
මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය.
හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියටය.
මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය.
කෞශල්‍ය : මේ සංවාදයට ප්‍රවේශවෙන්න මං කැමතියි අහන්න ඔබ නවකතාවක පළමු වාක්‍යය ලියන ආකාරය ගැන.
මනෝහරී: මගේ පොත් වල නං මුළු ශක්තියම තියෙන්නෙ පළවෙනි වාක්‍ය වල කියල තමයි මට හිතෙන්නෙ. ඒක මට හරිම වැදගත්. මං මේ කියන්නේ පාඨකයගේ පැත්තෙන් නෙමේ මගේ පැත්තෙන්. පළවෙනි වාක්‍යය මට ඕනෙ හැටියට එනකං මං පොතක් ලියන්න පටන් ගන්නේ නැහැ. පොතේ කතාව මගෙ හිත ඇතුලෙ ඇති වෙමින් තියෙනව ඇති එහෙම වුණත් මට සීයට සීයක් ගැලපෙන වාක්‍යය එනකොට තමයි මම ලියන්න පටන් ගන්නෙ. පොත දිගටම ලියාගෙන යාමේ ශක්තිය එන්නෙම ඒ වාක්‍යයෙන් කියල තමයි මට හිතෙන්නෙ. අර ගෙදරකට මුල් ගල තියනවා වගේ මගෙ හැම පොතකම පළවෙනි වාක්‍යය ගොඩක් හිතල තමයි මං ලියල තියෙන්නෙ. ඒ වෙලාවෙ ලියවුණු ඒ මුල් වාක්‍යයම තමයි හැම පොතකම මුද්‍රණය වෙලා තියෙන්නෙත්. මොකද ඒ තරම් ගැලපෙන එකක් නැවත ලියවෙන්නේ නැහැ.
කෞශල්‍ය : දැන් ඒ පළවෙනි වාක්‍යය ඒ විදිහට ලියවෙන කොට ලියන්න යන නවකතාව ගැන ඔබ කොයිතරම් දුරට දන්නවද?
මනෝහරී: ලියන්න යන නවකතාවෙ චරිත ගැන සහ ඒ චරිත වලට අදාළ හැඟීම්වල ස්වභාවය ගැන තමයි මම ඒ වෙනකොට දන්නෙ. මගේ කතාව කොහෙද යන්නෙ මේ චරිත මාව කොයිතරම් දුර එක්ක යනවද කියන එක දැනගන්නෙ ටිකක් දුර ගියාට පස්සෙ. මුල් පරිච්ඡේද වල ඒ චරිත මාව ගෙනියන තැන් වලට මම යනවා. මැදදි තමයි මම මේ චරිත එක්ක විවේචනාත්මකව ගනුදෙනු කරන්න පටන් ගන්නේ. අන්තිම පරිච්ඡේද වලදි තමයි මට තේරෙන්නේ මං මේ චරිත එක්ක මේ ගමන තමයි ආවේ කියල. මගෙ නවකතාවල මං මූලිකත්වය දෙන්නේ මිනිස් හැඟීම් වලට. ඒ නිසා කලින් හදාගත්ත කටුසටහනක් පස්සේ යන්නෙ නැහැ මම. හැඟීම් වලට මුල් තැන දීල චරිත එක්ක කරන ගනුදෙනුවක් මේක.
කෞශල්‍ය : එතකොට නවකතාව පටන් ගන්න කොට ඒ වෙනුවෙන් කිසිම සටහන් තබාගැනීමක් කරල නැද්ද? ඔබ ලියපු සංසක්කාරී හෝ ගිරිජා වගේ නවකතා කිසියම් ඓතිහාසික පසුබිමක ගොඩනැගෙන කතා ඒ වගේම ඒවාට අදාළ භාෂා ශෛලීන් වලත් සුවිශේෂතා තියනවා.
මනෝහරී: එහෙම සටහන් තබා ගැනීමක් කරන්නේ නැහැ. මට අවශ්‍ය වෙන්නේ මිනිස් හැඟීම් වල චමත්කාරය සංකීර්ණත්වය ගැන කියන්න. මං විශ්වාස කරන විදිහට ගැහැනියකගේ හැඟීම් අතීතයෙත් වර්තමානයෙත් අනාගතයෙත් එක සමානයි. පිරිමියෙකුටත් එහෙමයි. මම කොහේ හරි ඓතිහාසික ස්ථානයකට ගිහාම මම හිතන්නේ ඒ කාලේ සාමාන්‍ය මිනිස්සු කොහොම ජීවත් වෙන්න ඇතිද කියන එක. ගල් පඩි පෙළක් දැක්කාම මේව හදපු මිනිස්සු මොනවගේ වෙන්න ඇතිද ඒ අය මේක කරද්දි කාල ඉන්න ඇත්තේ මොනවද. මේ වගේ දේවල් තමයි මට හිතෙන්නේ. අපේ ඉතිහාස කතා අපිට කියන්නේ රජවරුන්ගේ ඉතිහාසය ගැනනෙ. ඉතින් ඉතිහාසය කියවද්දිත් මම හිතන්න උත්සාහ කරන්නේ ඒ ඒ යුග වල සාමාන්‍ය ජනතාවගේ ජීවිතයෙ ස්වභාවය ගැන. දැන් මං 'සංසක්කාරී' ලියද්දි මට ඒකෙ ඉන්න ඩිංගිත්ති කියන චරිතය රජ වාසලට යවන්න උවමනාවක් තිබුණේ නැහැ. මට ඕනෙ වුණේ රදා ගමක සමාන්‍ය ජීවිතය ගැන කියන්න. නමුත් එතෙන්දි ඩිංගිත්ති මාව ඇදගෙන රජ වාසලට ගියා. එතකොට සමහර වෙලාවල් තියනවා අපිට පිළිගත් ඓතිහාසික කාල නිර්ණනයන් ගැන සැළකිලිමත් වෙන්න. සමහර දේවල් අපිට වෙනස් කරන්න බැහැනේ. උදාහරණයකට මහවැලි ගඟ ගලන්නේ කොතනින්ද කියන එක නිශ්චිතයිනේ. ඒ නිසා සමහර කරුණු ගැන සැළකිලිමත් නොවුනොත් කතාව සුරංගනා කතාවක් වෙනවා. ඒ නිසා ඒ දේවල් ගැන මම සැළකිලිමත් වෙනවා. නමුත් විශේෂ සටහන් තබාගැනීමක් කරන්නේ නැහැ. දැන් භාෂාව ගැන ගත්තත් මගෙ හිතේ ලොකු ඩිපොසිට් එකක් තියනවා වචන වල. මම සිංහල භාෂාවට ගොඩාක් ආස කෙනෙක්. ඒ වගේම මම සවන්දෙන්න කැමති කෙනෙක් නිසා මට නීති වෘත්තියේ යෙදෙද්දි නිතරම අලුත් වචන අහන්න ලැබෙනවා. ඔප්පු ලියන්න එහෙම නිතර එන්නේ වැඩිහිටියොනේ. මං ජීවත්වෙන නුවර ප්‍රදේශයේ වැඩිහිටියෝ හරි ලස්සන වචන පාවිච්චි කරනවා විවිධ හැඟීම් ප්‍රකාශ කරන්න. එතකොට මං ඒව මගෙ හිතේ රඳවා ගන්නවා. මම ලියද්දි ඒවා නිරායාසයෙන් එන්න පටන් ගන්නවා. මේ වචන මොන ප්‍රාදේශීය ව්‍යවහාරයන්ට ද අදාළ කියල කියන්න තරං දැනුමකුත් මට තියනවා. මීට අමතරව මම ඓතිහාසික ලේඛන, උදාහරණයකට රාජසිංහ රජුගේ නඩු තීන්දු වගේ දේවල් කියවන්න මගෙ උනන්දුවක් තියනවා. එක්තරා යුගයක භාෂාව වටහා ගන්න එවැනි දේවල් අතිශය වැදගත්. හැබැයි මේ කිසිම වෙලාවක මම විශේෂයෙන් සටහන් තබා ගැනීමක් කරන්නෙ නැහැ.
කෞශල්‍ය: අපි ටිකක් කතා කරමුද ලියන විදිහ ගැන. මං අදහස් කරන්නේ ලියන වෙලාව, ලියන තැන, ලියද්දි තියෙන්න ඕනෙ පරිසරය වගේ දේවල්.
මනෝහරී: මම තරමක් පසුකාලීනව ලියන්න පටන් ගත්ත කෙනෙක්නේ. මම තේරුම් අරන් තියන එකක් තමයි මම ලියන කොට පරිසරය නිස්කලංක නිහඬ එකක් වුනොත් මට ලියා ගන්න බැහැ. නිහඬභාවය නිස්කලංකභාවය මාව පීඩාවට පත් කරනවා. ඒ වෙලාවට අදහස් ගලාගෙන එන්නෙ නැහැ. මං කලින් කියපු විදිහට මං ලියන්නේ මිනිස්සුන්ගේ හැඟීම් තෙරපෙන විදිහ ඒව විකාශනය වෙන විදිහ ගැනනේ. එතකොට ශාන්ත පරිසරයක් තුළ මගෙ හිතත් නිමිල තියනව නං මට ඒක ලියාගන්න අමාරුයි. මට කලබලය ඕනෙ. ඝට්ටන ගොඩක් තියනව නං තමයි මගෙ අත ඉක්මන් වෙන්නේ. සමහරවිට ලොකු වේදනාකාරී ප්‍රශ්නයක් වුනත් තියනව නං. ඒක පැත්තකින් තියල ලියන්න මාව පෙලඹෙනවා. මගෙ විතරක් නෙමෙයි මට සම්බන්ධ වෙන කෙනෙක්ගෙ හරි ගැටළු දුක් කරදර එහෙමත් නැත්තං මං ඒ මොහොතේ ඉන්න තැනට අදාළ ප්‍රශ්න මේ දේවල් තියනවා නං මට පහසුවෙන් ලිවීමේ හැකියාව තියනවා. ඒ වෙලාවට මට ගොඩක් හැඟීම් ඇති වෙනවා. අනිත් එක තමයි ලියද්දි මගෙ පෙර සූදානම ගොඩක් වැඩියි. මම ලියන්න යන්නෙ කියන එක දැනුනම මං හුඟක් වෙන වැඩ කරනව. සමහර වෙලාවට උයනවා. මල් පැලයක් හදල එනවා. ලිවීමට සම්බන්ධ නැති වෙනත් බොහෝ දේවල් කරල තමයි ලිවීමට තැන්පත් වෙන්නේ. එහෙම ලියන්න වාඩි වුණහම මම ලියන්නේ පිටු තුනයි හතරයි. එහෙම පිටු තුන හතරක් ලියන කොට මං කැමතියි මොකක් හරි ඩින්ටර්බන්ස් එකක් එනවට. ගෙදරදි නං අඩුතරමේ දරුවෙක් හරි කතා කරල අම්මෙ තේ එකක් ඕනෙ කියල කියන එකට මං කැමතියි. ඒක කරන අතරේ තමයි මට ආපහු අර කලබල තත්වෙ එන්නෙ. ඒකත් එක්ක තමයි ප්‍රබල හැඟීම් ඇති වෙන්නෙ. ඊට පස්සෙ ආයෙත් ඇවිල්ල චුට්ටක් ලියන්න පුලුවන්. මං කවදාවත් නිදිමරාගෙන ලියල නැහැ. මම එක දිගට කවදාවත් පැය තුන හතරකට වඩා ලියල නැහැ. මං බොහොම පුංචි වෙලාවක් තමයි එක දිගට ලියල තියෙන්නේ. මට ලියන්න තැනක් නැහැ, ලියන මේසයක් නැහැ, කාමරයක් නැහැ.මං ලිවීම පටන් ගන්න කාලෙ ලිව්වෙ හාෆ් ෂීට්ස් වල. කොච්චර වේගෙන් ලියවෙනවද කියනව නං හරියට ෂෝට් හෑන්ඩ් වගේ අකුරු වල කෑලි විතරයි. දැන් මම ලියන්නෙ ෆෝන් එකේ. මට ලොකු ෆෝන් එකක් නැහැ. පොඩි ස්මාට් ෆෝන් එකක් තමයි තියෙන්නේ. ඒ නිසා ඕනෙම තැනකදි මට ලියන්න පුලුවන්. දැන් වැඩිපුරම ඇඳේ ඉඳන් තමයි ලියන්නෙ නමුත් ට්‍රිප් එකක් ගියත්, උසාවියේ විවේකයක් ලැබුණ වෙලාවටත් මේ ඕනෙම වෙලාවක මට ලියන්න පුලුවන් මොකද මගෙ අතේ ෆෝන් එක තියනවනෙ. නවකතාවක් ලියන කාලෙදි මම ඉන්නෙ සමාන්තර ලෝක දෙකක. එකක් නවකතාවේ ලෝකය අනික මං ජීවත්වෙන ලෝකය. නවකතාවේ ලෝකයෙන් ගැලවිලා ඉන්න බැහැ මොන වැඩ කළත්. හිත ඇතුලේ ඒ චරිත ඉන්නවා. ඒගොල්ලෝ කෑවද බිව්වද ඒ ගමන ගියාද මේ දේවල් හිතෙනවා.
කෞශල්‍ය: මේ ලිවීම ඔබ විඳින හැටි ගැන යමක් කියන්න පුළුවන් ද?
මනෝහරී: පොතක් ලියල මුද්‍රණය වුණාට පස්සෙ මං කවදාවත් ඒ පොත් කියවල නැහැ. ඇත්තටම නවකතාව ලියල ඉවර වුණාට පස්සෙ ස්තූතිය හෝ පෙරවදන් ලියන එකත් මට හරි අසීරු වැඩක්. මොකද මං කතාව ලියන තරම් ඉන්පස්සේ සිද්ධ වෙන දේවල් වින්දනය කරන්නේ නැහැ. නමුත් නවකතාව ලියන කොට මං උපරිමයෙන් විඳිනව ඒ චරිතත් එක්ක ගත කරන කාලය. ඒ චරිත යන හැම තැනකටම, හැම අහුමුල්ලකටම මං ඒගොල්ලොත් එක්ක යනවා. ඒ වගේම යම් දෙයක් මට ඕනෙ විදිහටම ලියවුණාම මට විශාල තෘප්තියක් දැනෙනවා. මේක ලියන්න පුළුවන් හොඳම විදිහට තමයි ලියවුණේ කියන එක දැනුන වෙලාවට තමයි එහෙම වෙන්නේ.
කෞශල්‍ය: නවකතාවක් ලියල ඉවර වුනහම දැනෙන හැඟීම් මොනවගේද?
මනෝහරී: නවකතාවක් ලියල ඉවර වුනාම පුදුම වේදනාවක් දැනෙනවා. මට දැනෙන්නේ මගෙ සමීපතමයන් පිරිසකගෙන් සදාකාලයටම සමුගත්ත වගේ එකක්. ඒක කියන්න අමාරුයි. හිස්තැනකට ඇද වැටෙනවා. මගේ දෙයක් මට නැති වුනා කියල තමයි මට හැමතිස්සෙම හිතෙන්නෙ. මං අන්තිමට ලිව්වේ 'කඩදොර' නවකතාව. මේකෙ තියෙන්නේ කොත්මලේ ජලාශය හදද්දි ඒකට ගිලිල ගිය ගම්මානයක පවුලක් සම්බන්ධයෙන්. පොත අවසානයේදි මට දැනුණේ මාවත් මේ ජලාශයට ගිලිල ඉවරයක් වුණා වගේ. ඒකෙන් පස්සේ තාම මං හරියට රිකවර් වෙලා නැහැ කියල මට හිතෙනවා.
කෞශල්‍ය: නවකතාවක් අවසන් වෙලා තවත් නවකතාවක් පටන් ගන්න කාලය ගැන යමක් කියන්න පුළුවන්ද?
මනෝහරී: මං හැමදාම නවකතා දෙකක් එකට ලියල තියනවා. මගේ මුල්ම නවකතාව, ඒක යොවුන් නවකතාවක් කියල තමයි හැඳින්නුවේ. 'මැට්ටි' ලියන අතරෙම තමයි සංසක්කාරීත් ලිව්වේ. මේ දෙක එකිනෙකින් ගොඩක් වෙනස්. මැට්ටි කියන්නේ පුංචි ළමයෙක් වටා ගෙතිච්ච බොහෝ දුරට හාස්‍යය තියන කතාවක්. සංසක්කාරී කියන්නේ මං භාෂාව ඉතා ගැඹුරින් හසුරවපු පොතක්. මේ දෙක ශානරයන් දෙකක්. මං හිතන්නේ මං අතින් එහෙම ලියවෙනව ඇත්තේ මගෙ හිත සමතුලිත කරන්න වෙන්න ඇති. එතකොට 'ගිරිජා' පටන් ගත්ත සංසක්කාරී අවසන් වෙන්න කලින්. 'කඩදොර' නවකතාව ලියද්දි ඒත් එක්ක මම 'නැනී' නවකතාව ලිව්ව. ඒ දෙකත් එකිනෙකින් ගොඩාක් වෙනස්. ඒ වගේම මේ මොහොතෙත් මං ලියමින් ඉන්නවා වෙනස්ම පාරවල් දෙකක යන නවකතා දෙකක්. එදිනෙදා ලියද්දි මං ඒ වෙලාවේ ඉන්න මූඩ් එකට අනුව මගෙ ඇතුළත වඩාත්ම සතුටට පත් වෙන එක තමයි මං තොරාගන්නේ. මේ දෙකක් හෝ තුනක් එකට ලිවීම මාව විශාල වශයෙන් සමබර කරනවා.
මනෝහරී ජයලත් නවකතාකාරිය ගේ ලිවීමේ භාවිතයන් තුළ ඇති සුවිශේෂත්වය හා ඈ ලිවීම ආත්මීය කර ගන්නා ආකාරය අපට ඇගේ නවකතා කියවීමේ දී ඒවා වින්දනය කිරීමට අලුත් ආලෝකයක් සපයනු ඇත.එසේම ලිවීමට උනන්දුවන්නන්ට තමන් දෙස නැවත හැරී බැලීමට එය ඉවහල් වනු ඇත.
ලබන සතියේ අප එබෙන්නට සූදානම් වන්නේ සුමුදු නිරාගී සෙනෙවිරත්න නවකතාකාරියගේ ලෝකයට. යි.
බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි.
ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි.