'මම ලියන හැටි': උපුල් ශාන්ත සන්නස්ගල

    • Author, කෞශල්‍ය කුමාරසිංහ
    • Role, ලේඛක

මෙවර කතාබහට එක්වන උපුල් ශාන්ත සන්නස්ගල යනු සිංහල සාහිත්‍යය තුළ අපට මුණගැසෙන ජනප්‍රියම නවකතාකරුවකු පමණක් නොව ජනප්‍රිය සංස්කෘතික සංකේතයකි.

කෙසේ වුවත් මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඔහුට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය.

'සරසවි දියණියෝ' නවකතාවෙන් ඇරඹෙන ඔහුගේ නවකතාකරණය 'වස්සාන සිහිනය', 'නේත්‍රා', 'ලලනායනය', 'පිරිමි ගොඩයි මං විතරයි', ආදී නවකතා පසු කර 'No Stopping or Turning Back' නවකතාව අසල දැන් විරාමයක් ගනිමින් සිටියි.ඒ ඔහුගේ දාහත් වන නවකතාවයි.

මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති 'නිම්නාගේ ඉතිහාසය' (2019) සහ 'මේ රහස් කවුලුවෙන් එබෙන්න' (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි.

ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියටය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය.

කෞශල්‍ය: මේ දක්වා මේ සංවාද මාලාව ඇරඹුණු විදිහට ම මම ඔබෙන් අහන්නෙත් ඔබේ නවකතා වල පළමු වාක්‍යය ලියවෙන ආකාරය ගැන. අපිට කියන්න පුළුවන්ද මේ සමාරම්භක මොහොතට ඔබ මුහුණ දෙන්නේ කොහොමද කියල?

සන්නස්ගල: මම මේ වෙනකොට නවකතා දාහතක් විතර ලියල තියන නිසා, ඒ ඔක්කොම අරගෙන බැලුවොත් ඒ පොත් වල මුද්‍රණය වෙලා තියෙන්නෙ මම ඒවා ආරම්භයේදී ලියපු පළවෙනි වාක්‍යය නෙමෙයි. මගෙ පළවෙනි පොත, 'සරසවි දියණියෝ', ගත්තොත් එහෙම මට ඒකෙ පළවෙනි වාක්‍යය, පළවෙනි ඡේදය, සහ පළවෙනි පරිච්ඡේදය ලියා ගන්න සති දෙකක් විතර තටමන්න සිද්ධ වුණා. ලියනවා කපනවා ආයෙමත් ලියනවා. ඒ කාලෙ අපි ලිව්වෙ පෑනෙන්. මගෙ අකුරු කැතයි. මුල් පිටු හතර විතර ලිව්වට පස්සෙ මම මේක ටයිප් කරව ගත්ත. මොකද මට මේ වචන වල ලස්සන පේන්නේ නැහැ මගෙ අත් අකුරු වලින් දැක්කම. ප්‍රේමය කියන වචනයේ තියන ලස්සන, ඔයා කියන වචනයේ තියන ලස්සන මට පේන්නෙ නැහැ එහෙම දැක්කම. ඉතින් මම මේක ටයිප් කරවගෙන බැලුවා. මේක මම ඊට පස්සෙ සාමාන්‍යයෙන් කරන දෙයක්. මං සංහිඳ ප්‍රෙස් එක පටන්ගත්තට පස්සෙ මම ලියන දේවල් එවෙලෙම ටයිප් කර ගත්ත. නැවතත් ලිවීමේ සමාරම්භක මොහොතට ගියොත්, නවකතාවක පළවෙනි වාක්‍යය කියන්නේ මට ඉතාම අපහසු දෙයක්. දැන් 'නේත්‍රා' වගේ නවකතාවක් ගත්තොත් මම A 4 කොළ පනහක් විතර වැය කළා ඒක ලියන ආකෘතිය හොයා ගන්න. ඒ කියන්නේ මට අදහසක් තියනවා ඒක කියාගන්නේ කොහොමද කියන එක හොයාගන්න. දැන් මගෙ අන්තිම නවකතාව ගත්තොත් ඒකෙ මට තිබුණ uber එකක් දාන විදිහ ලියන්න ආරම්භයේදි. මම යාළුවෝ කීපදෙනෙකුට කතා කරල කිව්ව මට ඒගොල්ලො uber එකක් දාන විදිහ ලියල එවන්න කියල. නවකතාව කියන ආකෘතිය වගේම නවකතාව ලියන භාෂා ස්ටයිල් එක හොයා ගන්න එකත් අතිශය අසීරු දෙයක්. මගෙ සමහර පාඨකයෝ මට කියල තියනවා ඒ අය මගෙ නවකතා කියවද්දි කොහොමද මේ භාෂාවෙ රිද්මයත් එක්ක බැඳෙන්නෙ කියන එක. මෙහෙම තමයි, ආරම්භය තමයි නවකතාවක මට තියන ලොකුම ප්‍රශ්නය. හැබැයි එතනින් පස්සේ ලියාගෙන යන එක හරිම පහසුයි. හරියට තමන්ගෙ පෙම්වතිය හරි පාට්නර් හරි කම්ෆටබල් වෙනකන් ගත කරන කාලය වගේ. එයා කැමති දේවල් මං කැමති දේවල්, එයයි මායි යමක් ෂෙයා කරගන්න විදිහ, දේවල් වලට එන්ටර් වෙන විදිහ. දැන් එතනින් පස්සෙ මේක ටොප් එකට ප්ලේ වෙන්න ගන්නවා.

කෞශල්‍ය: ඒක ඉන්ට්‍රස්ටින් උපමාවක්. දැන් එතකොට ඔබ මේ අසීරු මොහොතට මුහුණ දෙනකොට ඔබ ලියන්න යන නවකතාව ගැන මොනතරම් දැනුවත් ද?

සන්නස්ගල: මම හිතන්නෙ මං සෑහෙන ප්‍රමාණයක් දන්නවා. නමුත් ඒක නවකතාවෙන් නවකතාවට වෙනස් වෙනවා. උදාහරණයක් හැටියට මම 'නිර්වාණ' පොත ලියද්දි, කොළඹ නගරයේ ඉන්න පොහොසතුන්ගේ දුක කියන්න ඕනෙ කියන අදහස මට තියනවා. සාමාන්‍යයෙන් අපි ලංකාවෙදි කතා කරන්නෙ දුප්පතාගෙ දුක ගැනනේ. මං දුප්පත්ව හිටපු කාලෙ මගෙ දුකට වඩා මං පොහොසත් කාලෙ දුක බරයි. දුප්පත් කාලේ දුක එළියට පේනවා. පොහොසත් කාලේ දුක එහෙම පේන්නෙ නැහැ. ඉතිං මට ඕනෙ වුණේ මේ පොහොසත් දුක ගැන නවකතාවක් ලියන්න. ඒකෙදි මං කැරැක්ටර්ස් වල කෙමෙස්ට්‍රි එක මුලින් හැදුවා. එයා කන්න කැමති මොනව ද එයා උසයි එයාගෙ හෙයා ස්ටයිල් එක මොකද්ද එයාගෙ සපත්තු වල වර්ගය මොකද්ද මේ විදිහට මං චරිත වල කෙමෙස්ට්‍රි එක හැදුවා. ඊට පස්සෙ දැන් මේ චරිත වල රසායනයට අදාළ භාෂාවක් තියනවනෙ. ඊට පස්සෙ මං ස්කෙච් කලා මේ භාෂාව මොන වගේ වෙයි ද කියල. එතකොට මං ඒ චරිත වල පරම්පරාවල් පවා හැදුවා චාට් එකක. ඒ ගෙවල් වල තියන බඩු වල ලිස්ට් එකක් හැදුවා. කොටින්ම මං සමහර රූප පවා ඇන්දා. මං ගාව තාම තියනවා ඒ සඳහා මං හදපු නෝට්ස්. දැන් 'නේත්‍රා' ගත්තොත් එතනදි මම ඒක පදනම් කර ගන්නේ මං අහපු ඇත්ත කතාවක් මත. ඇත්ත කතාවෙ හිටියෙ මිනිස්ටර් කෙනෙක් මං එයාගෙ විදිහට ව්‍යාපාරිකයෙක් හැදුවා. දැන් 'කොළ පාට ඇස්' නවකතාව ගැන බැලුවොත් ඒක මං ලියන්නේ ආරතී මොහාන්දාස් එක්ක. ආරතීයි මමයි එකතු වෙලා නවකතාව පටන් ගන්න කලින් පරිච්ඡේද වල මමයි එයයි ලියන්නෙ මොනවද කියන එක කලින් ලිව්වා. ඒ විදිහට මුළු ස්ට්‍රක්චර් එකම සම්පූර්ණයෙන් එලුවා. මේ විදිහට පොතින් පොතට මං ලියන්න පටන් ගනිද්දි දන්න දේවල් සහ ඒකට ගන්න ප්‍රවේශය වෙනස් වෙනවා. මං තව උදාහරණයක් කියන්නං. දැන් මගෙ ෆිල්ම් එක, 'තංගමලේ ඩයරීස්' වල ස්ක්‍රිප්ට් එක ඉවර කරල තියනවා සුසිත විජයමුණි. එයා ස්ක්‍රිප්ට් එක ලියල තියෙන්නෙ මගෙ කතාවකින්. දැන් මේ ස්ක්‍රිප්ට් එක ඇතුලේ මම චරිත දැකල, සිදුවීම් දැකල, හැසිරීම් දැකල තියෙන්නෙ. දැන් මං අර්බුදයක ඉන්නවා මං කොහොමද මේකෙන් මගෙ නවකතාව ලියන්නෙ කියලා. ඒ වෙනුවෙන් මං කරන්න ඕන අභ්‍යාසය මොකද්ද කියල මං තාම දන්නෙ නැහැ.

කෞශල්‍ය: දැන් අපි ටිකක් කතා කරමුද ලිවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන හැටි ගැන?

සන්නස්ගල: මම දැන් වෙනකොට විශ්වාස කරන දෙයක් තමයි නවකතාව කියන්නෙ කේවල කලා කෘතියක් නෙමේ කියන එක. ඒ කියන්නේ ඒක තනි පුද්ගලයෙක්ගේ වැඩක් නෙමෙයි. ඒකත් එක්ක සාමූහිකයක් ඉන්නවා. මගෙ නිර්වාණ' පොතට හිටිය මැදිහත් මඩුල්ලක්. ඒක ඒ පොතේ දාල තියනවා. මගෙ අලුත් පොතටත් එහෙමයි. මේ මැදිහත් මඩුල්ල පොතට විවිධ තල වලින් සම්බන්ධ වෙනවා. නිර්වාණ පොතේ මැදිහත් මඩුල්ලේ හිටිය වෛද්‍යවරයෙක්, මට එයාගෙන් දැන ගන්න ඕනෙ වුනේ සයනයිඩ් අරගෙන මිනිහෙක් මැරුණම මිනියේ පාට මොන වගේ ද වගේ දේවල්, ඒකෙ හිටිය තිලිණ බාලසූරිය මට එයාගෙන් දැන ගන්න ඕන වුණා කොළඹ නගරයේ රොක් කොන්සර්ට්ස් ගැන. මේක එක තලයක්. දැන් චාමර ගුරුගේ තමයි නිර්වාණ වල අනු මාතෘකා හැම එකක්ම වගේ දැම්මේ. එතකොට එයා ඍජුවම මේකෙ නිර්මාණාත්මක තලයට සම්බන්ධයි. එයත් මේ මැදිහත් මඩුල්ලේ හිටිය. පොතේ කවරය නිර්මාණය කරපු මො.ල. සෙනෙවිරත්නත් මේ මැදිහත් මඩුල්ලේ හිටිය. මං දැන් වෙද්දි හිතන දෙයක් තමයි පොතක කවරය කියන්නේ පොතේ අන්තර්ගතයට තදින් සම්බන්ධ වෙන දෙයක් බව. මේ විදිහට මේ නිර්මාණාත්මක ක්‍රියාවලියට සම්බන්ධ වෙන සමූහයක් ඉන්නවා. අනිත් අතින් ලිවීමේ ක්‍රියාවලියේ පුද්ගලික තලය ගැන හිතුවොත්, මට ලියන්න නිශ්චිත වෙලාවක් නැහැ. මං මහ රෑ හීනෙන් අවදි වෙලත් ලියල තියනවා, වාහනේ යද්දි යමක් හිතට ඇවිල්ල එහෙමත් ලියල තියනවා, මගෙ පෙම්වතියත් එක්ක ලිංගික එක්වීමකින් පස්සේ ඇතිවෙන සුරතාන්ත සැහැල්ලුවෙන් පස්සෙත් මං ලියල තියනවා, සමහර වෙලාවට මට පාට්නර් කෙනෙක් නැත්තං ඒත් මට ලිංගික එකතු වීමක උවමනාව තියනවා නං අන්න ඒ අසීරු වෙලාවෙත් මං ලියල තියනවා. ඒ නිසා මට ලියන්න තැනක් වෙලාවක් නැහැ. නිශ්ශබ්දයි ද සද්ද තියනව ද කියන එක අදාළත් නැහැ. හැබැයි මං ලියන එකට වෙන කෙනෙක් එබෙන්න බැහැ. කවුරුහරි කිව්වොත් ඔයා ලියන්න මං බලන් ඉන්නං කියල ආය ඉතින් සතියකට ලියන්න බැරි වෙයි. නමුත් ලියපු දේවල් අනික් අයට කියවන්න මං ආසයි. ඒක මං ලොකු සතුටක් ලබන දෙයක්.

කෞශල්‍ය: දැන් මේ ලිවීමේ ක්‍රියාවලිය පටන් ගන්න කොට ඔබ දන්නවද මේ නවකතාව අවසන් වෙන හැටි?

සන්නස්ගල: මං හිතන්නෙ ඒක තමයි දන්නෙ නැත්තෙ. ආරතී මොහාන්දාස් එක්ක ලියපු 'කොළ පාට ඇස්' නවකතාවෙදි විතරක් ඉවර කරන්නෙ කොහොමද කියන එක ගැන අදහසක් තිබුණා. අනිත් කිසිම නවකතාවක මෙතනින් තමයි එන්ඩ් වෙන්නෙ කියන එක තිබුණේ නැහැ. මං එක උදාහරණයක් කියන්නං, මං ලිව්ව 'අපේ ආදර කතාව' කියල නවකතාවක්. ඒකෙ අන්තිම පරිච්ඡේදය දක්වා ඇවිත් තිබුණේ හැබැයි මට මේක අවසන් කරන හැටි ගැන කිසිම අදහසක් තිබුණේ නැහැ. මේක වැලන්ටයින් ඩේ එක දවසෙ එළියට දාන්නත් සැලසුම් කරල පොතේ අනිත් කොටස් හැම එකකම පෲෆ් බලල ඉවර වෙලා තිබුණේ. ප්‍රෙස් එක බලං ඉන්නවා මං අවසානය ලියල දෙනකන්. මේ වෙලාවෙ මගෙ නුවර පන්තියෙ ළමයෙකුගෙ අම්ම කෙනෙක් මට කෝල් කලා. ඒ ළමය කැන්සර් එකක හැදිල මරණාසන්නව ඇසුත් අන්ධ වෙලා හිටියෙ. මේ දරුව තදබල වේදනාවක හිටි නිසා මෙයා ඇඳ වියල අස්සෙ අත් දාලා අතේ ඇටකටු කඩා ගන්නව මේ වේදනාව දරාගන්න බැරුව. මේ අම්ම මගෙන් ඇහුව දුව කියනවා සර්ට කතා කරන්න ඕනෙ කියල සර්ට එන්න පුලුවන්ද කියල. මං එතකොට කොළඹ හිටියෙ මං කිව්ව ඒ ළමයට ෆෝන් එක දෙන්න කියල. ඒ ළමය මට කිව්ව සර් මේ වටේ ඉන්න උන් හිතන් ඉන්නෙ මගෙ ඇස් පේන්නෙ නැති වුණාට කන් ඇහෙන්නෙත් නෑ කියල, මුං කෑ ගහනවා අනේ මේ දරුව විඳින දුක කිය කිය. සර්ට ඇවිල්ල මුංගෙ කටවල් වහල දෙන්න බැරිද කියල. ඒ දරුව ඊට ටිකකට පස්සෙ නැති වුණා. දැන් මේ සිදුවීමෙන් පස්සෙ මං අපේ ආදර කතාවේ අවසානය ලියනවා, ඒකෙ ප්‍රධාන චරිතයක් කැන්සර් එකක් හැදිල මැරෙනවා. දැන් මේ අවසානය මං කලින් දැනගෙන හිටපු එකක් නෙමෙයි.

කෞශල්‍ය: දැන් ඔබ මුලින් කිව්වා බොහෝ වෙලාවට ලියන්න යන චරිත සහ සිදුවීම් ගැන සැළකිය යුතු තරම් දැනගෙන තමයි පටන් ගන්නෙ කියලා. නමුත් ලිවීමේ ක්‍රියාවලිය ඇතුලේ ඔබටත් නොදැනී ඔබේ අතින් ඔබ අපේක්ෂා නොකල දේවල් සිද්ධ වෙලා නැද්ද?

සන්නස්ගල: වෙලා තියනවා. මට ඒක ගැන මෙහෙම කියන්න හිතෙනවා. සමහර වෙලාවට ආර්ටිස්ට් කෙනෙක් ස්ටේජ් එකට නැග්ගම සමහර වෙලාවට අර අපිට පේන්නෙ මොකක් හරි ආරූඬ වෙලා වගේ. මං ඒක දැකල තියනවා රූකාන්ත ගුණතිලකගෙන්. ස්ටේජ් එකෙන් පල්ලෙහා ඉන්නකොට අපිට හම්බෙන යාළුවා නෙමෙයි ස්ටේජ් එකට නැග්ගම ඉන්නෙ. එතනදි සිද්ධ වෙන ආරූඬය ඇතුලෙ තමයි තරු ලකුණු පහල වෙන්නෙ මං හිතන්නෙ. එතකොට ආර්ටිස්ට් අතින් හිතපු නැති දේවල් වෙන්න පුලුවන්. ඒක අර ආරූඬය විසින් සිද්ධ කරන දෙයක්. ඒ වගේ ලියන කොට සමහර වෙලාවට කැරැක්ටර් එක මාව තල්ලු කරල එයා මේක ලියන අවස්ථා තියනව. මං ලිව්වට ඒක එන්නෙ එයාගෙන්. කැරැක්ටර් එක මෝරල ඇවිල්ල එයා එයාට ඕන දේ ලියවනවා. එතකොට මට මරු කියල විසිල් එකක් ගහන්න හිතෙනවා. එහෙම දේවල් ඕනෙ තරං වෙනවා. ඒක ඇඟ ඇතුලෙ වෙන හරි මැජික් වැඩක්. මං එක පාරක් කියල තියනවා මට ප්‍රේම සම්බන්ධතා හතලිහක් විතර තිබිල තියනවා මං ගෑනු පහළවක් එක්ක විතර බුදියන් ඉඳල තියනවා කියල. පොතක් ලියද්දි ඒ කාන්තාවෝ මගෙ සෙක්ස් පාට්නර් වෙනවා, මගෙ පෙම්වතිය වෙනවා, මගෙත් එක්ක කතා කරනවා මගෙත් එක්ක ගමන් යනවා, මගෙත් එක්ක හීන දකිනවා. ඒ කියන්නෙ මං උන් එක්ක තමයි ඒ කාලෙට ඉන්නෙ. එතකොට මේක ඔලුවෙ හොඳට හැදෙනවා. ඒකට නිකං පොඩි පණ තියන විදිහක් එනවා. ඊටපස්සෙ එයා ප්ලේ කරන්න ගන්නවා. පොත ලියල ඉවර වුණාට පස්සෙ එයා ඒ ප්ලේ එකෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙනවා. එයා ඔලුවෙ දඟලන්නෙ නැහැ ආපහු. ලියන කාලෙට එන අර අසහනකාරී ඩිප්‍රෙස්ඩ් ගතිය එන්නෙ මේ චරිත වල දැඟලීමත් එක්ක. සමහර වෙලාවට දවසක් දෙකක් නාන්නෙත් නෑ දත් මදින්නෙත් නෑ රැවුල කපන්න හිතෙන්නෙ නෑ. සෙක්ස් කරන එක ලව් කරන එක පවා අඩු වෙනවා. ඒ කාලෙට බාහිර කිලුට්ට ගැන මං හිතන්නෙ නැහැ.මගෙ ඇඳුම, පර්ෆියුම් එක ඒවා අදාළ වෙන්නෙ නැහැ මොකද මං අභ්‍යන්තරිකව වෙනම අරගලයක ඉන්න හින්ද. මං සම්පූර්ණයෙන්ම ක්ලීන් වෙන්නේ ලිවීම අවසන් වුනාට පස්සේ.

කෞශල්‍ය: ලියද්දි දැනෙන සතුට ගැන මොකද හිතෙන්නේ?

සන්නස්ගල: මෙතන සතුටු වර්ග දෙකක් තියනවා. මං කෑම වලින් උදාහරණයක් අරගෙන කියන්නං. අර කෑම ඉව්වම කියන්නෙ මං පස්සෙ කන්නං උයපු නිසා කන්න බැහැ කියල. මොකද රස විඳින්නෙ උයන එක. කන්නේ වෙන කට්ටියක්. පාඨකයො කියවද්දි මං බලං ඉන්නවා. මම කියවන්න යන්නෙ නැහැ. මං බොහොම කලාතුරකින් තමයි මම ලිව්ව එකක් නැවත කියවල තියෙන්නෙ. මං ආස නෑ නැවත ඒ ට්‍රිප් එක යන්න. හැබැයි අනිත් අය කියවන කොට ඒක දකින එකේ තියනවා සැහැල්ලු සතුටක්. හැබැයි ඒක අර ලියද්දි තියන සතුටට වඩා වෙනස්.

ලියන මොහොත තුළ උපුල් ශාන්ත සන්නස්ගල නමැති නවකතාකරුවා පවතින්නේ කෙසේ ද යන්න යන්තමින් හෝ දැන් අප දන්නා නිසා ඔහුගේ නවකතා කියවන අතර අපට එය සිහිපත් කළ හැකිය.

ලබන සතියේ සිය රහස් අප වෙත හෙලිදරව් කරනු ඇත්තේ මෑත කාලයේ පාඨක විචාරක ආදරයට පාත්‍ර වූ මනෝහරී ජයලත් නවකතාකාරිය යි.

බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි.

ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි.