ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මම ලියන හැටි': සුනේත්‍රා රාජකරුණානායක
- Author, කෞශල්‍ය කුමාරසිංහ
- Role, ලේඛක
සුනේත්‍රා රාජකරුණානායක යනු කිසිසේත්ම හැඳින්වීමක් අවශ්‍ය සාහිත්‍යකාරියක නොවේ. අසූව දශකයේ අගභාගයේ 'සඳුන්ගිර ගිනි ගනියි' නවකතාව සමග සිදුවන ඇයගේ ප්‍රවේශය සමකාලීන සිංහල සාහිත්‍යයේ හැරවුම් ලක්ෂයක් ලෙස සැළකිය හැකිය.
ප්‍රේම පුරාණය, සද්ගුණාකාරය, රිදී තිරංගනාව, කවි කඳුර, පොදු පුරුෂයා, කැන්ඩි මහල්, සිලෝනාගමනය හරහා වීසාචකයෝ නවකතාව දක්වා දිගහැරෙන ඇයගේ දීර්ඝ නවකතා ලැයිස්තුව වෘත්තීය ලේඛිකාවක ලෙස ලිවීමට ඇති ඇයගේ කැපවීම සහතික කරයි.
මීට අමතරව ඇය විසින් ප්‍රකාශයට පත් කර ඇති කෙටිකතා සංග්‍රහ සහ සංචාරක සටහන් ද සළකන විට සිංහල සාහිත්‍ය ඉතිහාසයේ කිසිසේත්ම මගහැරයා නොහැකි ලේඛිකාවක බවට ඇය පත් වෙයි.
මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමග බැඳුණු ඇයටම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය.
මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවාය.
හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි.
ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය.
මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය.
කෞශල්‍ය : මේ සංවාද මාලාවේ සුපුරුදු සමාරම්භක ප්‍රශ්නයම මං ඔබෙනුත් අහන්නම්. ඔබේ නවකතාවල පළමු වාක්‍යය ලියවුණු හැටි ගැන යමක් කියන්න පුළුවන්ද?
සුනේත්‍රා: සමහර සමාරම්භක වාක්‍යය ලියන්න යන නවකතාව මොකද්ද කියල දැනගන්නත් කලින් ආපු අවස්ථා තියනවා. සමහර අවස්ථා වල කිසිම සැලසුමක් නැතුව ලියන්න වාඩි වෙලා පළමු වාක්‍යයේ ඉඳන් එක දිගට ලියාගෙන ගිය අවස්ථා තියනවා. එහෙම ලියාගෙන ගිහින් නවකතාව අවසන් කලාට පස්සේ නැවත පළමු වාක්‍යය වෙනස් කළ අවස්ථාත් තියනවා. එහෙම අවසන් කළ නවකතා වල එක අකුරක්වත් වෙනස් නොකළ පළමු වාක්‍යයත් තියනවා. ඒ නිසා ඒක නිශ්චිතව මෙහෙමයි කියල කියන්න බැහැ.
කෞශල්‍ය: ඒ කියන්නේ නවකතාවක පළමු වාක්‍යය ලියන මොහොතේ ලියන්න යන නවකතාව ගැන ඔබට තියන දැනුමේ ස්වභාවය විවිධාකාරයි.
සුනේත්‍රා: ඔව්. දැන් ඓතිහාසික නවකතාවක් ලියන්න පටන් ගන්න කොට ඒක ගැන තියන දැනුම ගොඩක් වැඩියි. උදාහරණයක් හැටියට මගේ 'සිලෝනාගමනය' වගේ නවකතාවකට මම අවුරුදු විස්සක් විතර රිසර්ච් කලා. රාජසිංහ රජ්ජුරුවන්ගේ නෑයෝ ඉන්නව කිව්වට මං ලිපිනයක්වත් නොදැන තමයි හොයාගෙන ගියේ. දැන් මං මේ වෙලාවෙත් නුවර ඇවිත් ඉන්නෙත් ඒ වගේ කටයුත්තකට. ඒ වගේම දේශපාලන පසුබිමක් සහිත නවකතා ලියනකොටත් එහෙමයි. නමුත් සමහර නවකතා තියනවා ඒවගේ පූර්ව දැනුමක් අවශ්‍ය වෙන්නෙ නැති. විශේෂයෙන් වර්තමාන කතා ලියනකොට. එවැනි අවස්ථාවල ලියන්න යන්නේ මොකද්ද කියන එක ගැන ලොකු දැනුමක් නැතුව ලිවීම පටන් ගන්න හැකියාවකුත් තියනවා. අපි නවකතාව ගැන උගන්නනකොට නවකයන්ට කියන දෙයක් තමයි සැකිල්ලක් එක්ක පටන් ගන්න කියන එක. නමුත් මං ලියන එක පටන් ගත්තම මගේ චරිත විසින් මගේ කතාව පාලනය කරන්න පටන් ගන්නවා. දැන් 'බුද්ධදාසි' කියන පොත පටන් ගත්තේ ඒ චරිතේ චීනේ දක්වා ගෙනියන්න. නමුත් ලියාගෙන යද්දි ඒක අවශ්‍ය නෑ කියන එක දැනෙන්න ගන්නවා. හිතන්නකෝ අපි පෙම් කතාවක් ලියනවා කියලා. ඒක පටන්ගන්න කොට අපේ හිතේ තියෙන්නෙ දෙන්නෙක්ගේ ආදර කතාවක්. දැන් ඕක ලියාගෙන යද්දි අපිට ඔන්න තව චරිතයක් එනවා කමෙන්ට් එකක් දාන්න, නිකං අහල පහළ චරිතයක්. ඒක ප්ලෑන් කරපු එකක් නෙමෙයි. හැබැයි ඒ චරිතේ ආවට පස්සේ ඒ චරිතෙත් එක්ක මේ ප්‍රධාන චරිත දක්වන අන්තර් සම්බන්ධය මත තමයි මේකේ ඊළඟ ඡේදේ තීරණය වෙන්නේ. මොකද අපිට මේ චරිතේ අතෑරල ඊටපස්සේ යන්න බැහැනේ. අපේ ජීවිතේ වගේ තමයි. අපිට හම්බෙන මිනිස්සු, අපි මුහුණ දෙන අත්දැකීම් අපි යන එන තැන්, අපි කරන රැකියා අපේ ජීවිතේට බලපානවනේ. ඒ දේවල් එක්ක ජීවිතේ වෙනස් වෙනවනේ. එතකොට කතා කලාවෙදි අපි තෝරගන්න භූගෝලීය පරිසරය, ඒ අපේ චරිතවල සමාජ පසුබිම, උගත්කම මේ දේවල් වලින් ඇති කරන සීමාවන් ටිකක් තියනවා. උදාහරණයකට දැන් මගේ 'සද්ගුණාකාරය' පොතේ ඉන්න 'රෝස නෝනා' කියන චරිතය කොලඹටවත් ගිහින් නැහැ. එතකොට මට එයාව ලියන්න බැහැනේ මගෙ 'ප්‍රේම පුරාණය' නවකතාවේ ඉන්න නිර්මලා කියන ජර්නලිස්ට් ගැන ලියන විදිහට. රෝස නෝනගේ භාෂාව, සිතුම් පැතුම්, ඇඳුම් පැළඳුම් අර රත්නපුරේ ගමේ සීමාවෙන් එහාට ගෙනියන්න මට අවසරයක් නැහැ. කතා කලාවෙදි ලයිසන්ස් නිකුත් කරන්නේ තමන් වුනාට, ඒ කියන්නේ ලොකේෂන්, චරිත තෝර ගන්නේ තමන් වුනාට ඒකෙ සැඟවුණු නීති රීති ටිකක් තියනවා. ඒවට අවංක වෙන්න ඕන. මගේ පුද්ගලික අත්දැකීම් වලින් විතරක් චරිත ගොඩනගන්න බැහැ. ඒවට හැදෑරීම් කරන්න වෙනවා. දැන් මගේ 'ශ්‍රී ශාන්ත්' කියන පොතේ තියෙන්නේ ඉන්දියාවේ ජෛන පවුලක් වටා ගෙතුන කතාවක්. එතකොට මං ජෛන පූජකයෙක් ගැන ලියනකොට ලංකාවේ මම දන්න බෞද්ධ භික්ෂුවක් ගැන හෝ කතෝලික දේවගැතිවරයෙක් ගැන ලියනව වගේ ලියන්න බැහැ. ඒක වෙනම හදාරන්න වෙනවා. ඒකෙදී ඉන්දියාවේ ගිහිල්ල ඒ අය මුණගැහිල කාලයක් ගත කරන්න වෙනවා. ඒ වගේම ඒ සම්බන්ධ ශාස්ත්‍රීය පොත පත ඇසුරු කරන්න වෙනවා.
කෞශල්‍ය: ඔබ විශාල වශයෙන් ශාස්ත්‍රීය පොත පත කියවන හදාරණ කෙනෙක්. දැන් මේ ශාස්ත්‍රීය කියවීම් ඔබ කරන්නේ නවකතාකාරියක් හැටියට ද?
සුනේත්‍රා: මං ඉස්සර ඉඳන් විශාල දැනුම් පිපාසයක් තියෙන කෙනෙක්. ශාස්ත්‍රීය පොතපත හැදෑරීම කරන්නේ මේ පිපාසය නිසා. හැබැයි එහෙම කියවන දේවල් නවකතාවලට වැදගත් වෙනවා. ඒ වගේම යම් අවස්ථා තියනවා නවකතාවක් වෙනුවෙන්ම හැදෑරීම් කරන්න සිද්ධ වෙන. ඒ දෙක වෙනස්. මං සාමාන්‍යයෙන් ශාස්ත්‍රීය පොතපත තමයි වැඩිපුර කියවන්නේ. ඒ නිසා නවකතා කියවන එක සිද්ධ වෙන්නේ අඩුවෙන්. මෙතෙන්දි හැදෑරීම කියන්නේ පොත් කියවන එක විතරක් නෙමෙයි. විවිධ රටවල ඇවිදින එක, කෞතුකාගාරවලට යන එක. මං මියුසියම් එකකට උදේ ගියොත් එළියට එන්නේ හැන්දෑවෙලා කකුල් කෙඩෙත්තුව හදාගෙන. මං හැම කෞතුක වස්තුවක් ළඟටම ගිහින් ඒව ගැන විස්තර සටහන් තියාගනිමින් තමයි ඇවිදින්නේ. පොත් කියවන කොට ගත්ත මේ වගේ සටහන් විශාල ප්‍රමාණයක් තියනවා. ඒ වගේම තමයි සංචාරයේදිත්. මං හිතන්නේ නවකතාකාරයෙකුගේ මල්ලේ පොඩි නෝට් පොතක් හැම වෙලේම තියෙන්න ඕන. මං ගාව මේ වෙනකොට එකතුවෙච්ච මේ විදිහෙ සටහන් මහ විශාල ප්‍රමාණයක් තියනවා. මං හිතන් ඉන්නේ මැරෙන්න කලින් හොඳ තරුණ ලේඛක ලේඛිකාවෝ ටිකකට කතා කරල මේව දෙන්න. මොකද මං ඒවයෙන් පාවිච්චි කරල තියෙන්නෙ ටිකයි. වෙනත් කෙනෙකුට ඒව ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්. කොහොම වුනත් මේ ශාස්ත්‍රීය පිපාසය හරිම ප්‍රිය කටයුත්තක්. මේ ප්‍රිය කටයුත්ත තියන නිසා සමාජ ආශ්‍රය ඔය මඟුල් ගෙවල් වලට යන්න, වෙන එකක් තියා සාහිත්‍ය උත්සව කටයුතු වලට යන්නත් උනන්දුවක් නැහැ. මොකද අඛණ්ඩව වෙන කතිකාවතකනේ යෙදිල ඉන්නේ.
කෞශල්‍ය: ඔබ මේ හැදෑරීම සහ කියවීම ගැන කියපු දේවල් අතිශය වැදගත්. දැන් ටිකක් කතා කරන්න පුළුවන්ද ඔබ ලියන කාලය ගතවෙන හැටි.
සුනේත්‍රා: ඉස්සර නං උදේ ඉඳන් රෑ වෙනකං ලියපු කාලෙකුත් තිබුණා. ඒ කාලේ පත්තර දෙකකට විතර කොලම්ස් එහෙමත් ලිව්වා. නමුත් වැඩි කාලයක් යෙදුවේ නවකතා ලිවීමට. මට මතකයි එක දවසක්, 'රිදී තිරංගනාව' ලියන කාලෙ, මහාචාර්ය ලක්ෂ්මී ද සිල්වා මට කතා කරල මගෙ කෙටිකතාවක් ගැන අගය කිරීමක් කළා. මේකෙන් ලැබිච්ච ප්‍රමෝදයත් එක්ක මං හැන්දෑවේ හතරට විතර ලියන්න වාඩි වුණා. එක දිගට ලියාගෙන ගියා මගේ සැමියා ඇවිල්ල දැන් කෑම කෑවොත් හොඳයි නේද කියල කියන කං. ඊට පස්සේ වලං පිඟන් හෝදල ආයෙත් වාඩි වුණා. දැන් මං ලියාගෙන ලියාගෙන ගිහිල්ලා මට තේ තිබහක් දැනෙනවා. එතකොටම මගේ සැමියා නැගිටලා ඇවිත් තේ බොන්න ඕන කිව්වා. එතකොට මං කිව්ව අනේ මටත් තේ තිබහක් දැනෙනව කියල. එයා කියනවා, ඔව් පුදුමයක් නෙමෙයිනේ දැන් පාන්දර පහයි කියල. ඉතින් මං දන්නේ නැතුව රෑ එළි වෙනකං ලියල හැබැයි වෙහෙසක් මුකුත් දැනුණේ නැහැ. ඔන්න එයා වෙලාව කිව්වට පස්සෙ තමයි නිදිමැරවය නිදා ගන්න ඕනය කියන ඒවා කල්පනා වුණේ. හැබැයි දැන් ලබන අවුරුද්දට මට හැත්තෑවක් වෙන්න එනවා. ඒ නිසා රෑට ලියන එක දැන් නැවතිලා. ගොඩක් වෙලාවට හැන්දෑ වෙද්දි ලියන එක නවත්තනවා. රෑ වෙනකන් ලිව්වත් දොළහ පහුවෙනකන් ලියන එක සිද්ධ වෙන්නෙ නැහැ. තාමත් මං අතින් තමයි ලියන්නේ. අතේ ප්‍රශ්නයක් ආවෙ නැත්තං ඒක වෙනස් වෙන එකක් නෑ. දැන් නවකතාවක් ලියල ඉවර වුනාම උරහිසේ පැත්තක් ඉදිමිලා වගේ තියනවා. එහෙම තමයි ඉතින්. ලියන කාලෙට ගෙදරට කට්ටිය එනවට මං කැමති නැහැ. මං එළියට යන්නෙත් නැහැ. මිනිස්සු තරහත් වෙනව සාහිත්‍ය උත්සව වලට එහෙම ආවෙ නැති වුනාම. ඒත් කරන්න දෙයක් නැහැ. මං මගේ ට්‍රැක් එකේ ඉන්න ඕන. එහෙම එළියට ගියොත් එහෙම මගේ ට්‍රැක් එක කැඩෙනවා. ඊට පස්සේ දවස් දෙකක් විතර යනවා රිකවර් වෙන්න. ඉතින් ඒ නිසා දුරකථනයට වැඩිය කතා කරන්නෙත් නැහැ. ඥාති හිතමිත්‍රයන්ගේ කටයුතු මගේ ස්වාමි පුරුෂයට පවරල මං මගෙ ලියන ලෝකය ඇතුළට වෙලා ඉන්නවා. සමහර කාල වල මං දහනමවෙනි ශතවර්ෂයේ ඉන්නේ එතකොට මට මාර අමාරුයි විසිඑක්වෙනි ශතවර්ෂයට එන්න. එහෙම වැඩකළේ නැත්තං මෙච්චර පොත් ගොඩක් ලියන්න බැහැ. අපි අපේ ගේ පිරිසිඳු කර ගන්නවා වගේ අපිට මේ ලියන කාලෙදි කරන්න පුලුවන් වැඩ මොනවද බැරි වැඩ මොනවද කියල තේරුම් ගන්න ඕන. කෙනෙක්ගේ උපන්දින උත්සවයකට අපි යන්නම ඕනද? පන්සලේ වැඩකට යන්නම ඕනද නැද්ද කොටින්ම තමන් ඉගෙන ගත්ත පාසලේ ආදි ශිෂ්‍යාවන් මුණගැසෙන නොමිලේම යන්න ලැබෙන ට්‍රිප් එක පවා මම නං අතාරිනවා ලියන්න ඕන නිසා. වෘත්තීය ලේඛකයෙකුට ලේඛිකාවකට එයාගෙ ලෝකය තියෙන්නේ හරියට තනියම මාලිගාවක් ඇතුලේ ඉන්නවා වගේ.
කෞශල්‍ය: මේ අදහස් හරිම වැදගත් ලිවීමට කැමැත්තෙන් ඉන්න ඕනෑම කෙනෙකුට. අපි ටිකක් කතා කරමුද නවකතාවකට මූලික බීජය එන හැටි සහ ඒත් එක්ක ගත කරන කාලය ගැන? මං හිතන්නෙ මේකත් එකිනෙකට වෙනස්.
සුනේත්‍රා: ඔව් දැන් 'සිලෝනාගමනය' ප්ලොට් එක ඇවිත් මං අවුරුදු විස්සක් විතර හෙමින් ඒ ගැන හැදෑරීමක් කළා අනිත් නවකතා ලියන අතරේ. දැන් මගෙ 'සඳුන් ගිර' වගේ එකක් ගත්තොත් මට එක වෙලාවක තේරුණා දැන් මේක ලියන්න ඕන කියල. එතකොට එක දිගට ලියාගෙන ගියා. මං දැන් වෘත්තීය ලේඛිකාවක් නිසා මට කොහේ ගියත් ප්ලොට්ස් එනවා. දැන් මං මේ පාර ලන්ඩන් ගියේ ඓතිහාසික නවකතාවකට රිසර්ච් කරන්න. ඒත් ඒකට රිසර්ච් කරද්දි තව කතා කීපයකටම ප්ලොට්ස් ආවා. අනිත් එක එහෙදි මට මගෙ පරණ යාලුවෙක් අවරුදු පණහකට පස්සේ හම්බෙලා එයාල ලියන්න හදපු ඒ ගොල්ලන්ගේ කතාව මට දෙනවා. පිටු දහයක් විතර ලියල තිබුණේ. ඒකෙන් තමයි මං 'වීසාචකයෝ' නවකතාව ලියන්නේ. නමුත් ඒක ඒගොල්ලන්ගේ කතාව නෙමෙයි. ඉතින් ඔහොම තමයි. මං බස් ස්ටෑන්ඩ් එකක හිටියත් දුම්රිය පොළක හිටියත් මං බලාගෙන ඉන්නේ චිත්‍රපටියක් බලනවා වගේ. එතකොට මේ දකින දේවල් කොයි වෙලේ පාවිච්චි වෙනවද දන්නෙ නැහැ. මං 'සද්ගුණාකාරය' ලියන්නේ රත්නපුරේ ගැමි පරිසරයෙ මං අත්දැකපු දේවල් වල මතකය එක්ක. මට ලැබුණ ලොකුම වාසිය තමයි කුඩා කාලේ ඉඳන් අපේ තාත්තා සමසමාජ කාරයෙක් වීම නිසා නිතරම මාරුවීම් ලැබුන එක. මට විවිධ පරිසරයන් විවිධ මිනිසුන් ඇසුරු කරන්න ලැබුණා. උදේට ගැමි දරුවන් එක්ක ඇලේ දොළේ පීනල ඉරිදට හොඳට ඇඳ පැළඳගෙන පල්ලියේ ඉංග්‍රීසියෙන් සිද්ධ වෙන දේව මෙහෙයට යනවා. මේ විදිහට ලෝක දෙකක් අතර ඉන්න ලැබුණු නිසා මට විවිධ සමාජ තලයන් ගැන ලියන එක පහසු වුණා.
කෞශල්‍ය: දැන් ඔබ කිව්වේ ප්ලොට්ස් ගොඩක් හැමවිටම ඔළුව ඇතුලේ කැරකෙනවා කියන එක. මේකට මුහුණ දෙන්නෙ කොහොම ද?
සුනේත්‍රා: ඇත්තටම එකපැත්තකින් ඒක අමාරු දෙයක්. දැන් මං ලන්ඩන් වලදි වෙනත් නවකතාවක් වෙනුවෙන් වැඩ කරන්න ගියාට අන්තිමට ලිව්වෙ 'වීසාචකයො' නේ. හැබැයි එහෙමයි කියල අරක නැති වෙලා නැහැ. ඒකත් තියනවා. ඒ අතරේ තවත් කෙනෙක් කියනවා ඇහෙනවා, අනේ ඇයි මගෙ කතාව ලියන්නෙ නැත්තේ කියල. ඉතින් එහෙම තමයි. මං මේ පාර ලියන්න වාඩි වෙලා ඒ කිසිවක් නොවන එකක් ලියන්න පටන් ගත්ත. තවත් පැත්තකින් බැලුවොත් මේක නිකං තැන්පත් ධනයක් වගේ. ටිකක් එළියට අරගෙන ඒකෙන් ලියන්න පටන්ගන්න වෙනවා. ඉතින් ඒ අතරේ අනිත් ඒව නවත්තගෙන ඉන්නවා. ඒක පහසු දෙයක් නෙමෙයි. මොකද ඇතුලේ අභ්‍යන්තර සංවාදයක් තියනවානේ.
කෞශල්‍ය: ඔබට කවදාවත් ලිවීමට අපහසුවක් දැනිල නැද්ද මං කියන්නෙ රයිටර්ස් බ්ලොක් වගේ එකක්?
සුනේත්‍රා: එහෙම වෙන්නේ යම් යම් කම්පනයන් එක්කනේ. මට හැම කම්පනයක්ම තව තවත් ලිවීම පෝෂණය කළා. මට සිද්ධ වුණු හැම නරක දෙයක්ම මට මුණගැසුණු හැම නරක මිනිහෙක්ම මගේ ලිවීම තවතවත් ශකතිමත් කළා. කම්පනයන්ගෙන් හිතේ ඇති වුණ තුවාල නැති වෙලා නැහැ. සොහොන් පිටි වගේ ඒ තුවාල තිබුණට මට ඒ සොහොන් පිටි කිරිගරුඬ මූර්ති දාලා සරසන්න පුළුවන්නේ.
කෞශල්‍ය: නවකතාවක් ලියල ඉවර වුනාම කොහොමද දැනෙන්නේ ?
සුනේත්‍රා: ලොකු නිදහසක් දැනෙනවා. විශේෂයෙන් සංස්කරණය කරන්න නැත්තං මං එදාම ප්‍රකාශකයට යවනවා. ඊට පස්සේ දවසක් දෙකක් ගෙදර අස්කරනවා. වත්තේ වල් පැල ගලවනවා. ඒකට නං සතියක් විතර යනවා. ඒ වැඩේ ඉවර වුණාට පස්සේ ඔය වැඩිහිටි කෙනෙක්, ලෙඩෙක් බලන්න වගේ යායුතු ගමනක් තියනව නං යනවා. ඔන්න ඊට පස්සෙ මට හරි වරදකාරී හැඟීමක් දැනෙන්න ගන්නව හරියට හොරට ලෙඩ නිවාඩු දාල ඉන්නව වගේ. ඉතින් මං මගේ ඊළඟ පොත පටන් ගන්නවා. එතකොට සතියක් දෙකක් තමයි ඉන්නේ. එහෙම නැත්තං ඉන්දියාවේ යනවා. දැන් ඉස්සර වගේ ඇවිදින්නේ නෑ වැඩිය. ඔය රාමන අශ්‍රමයට වගේ ගිහින් ඉන්නවා. එතන පුස්තකාලයක් එහෙම තියනවා ආගම් දර්ශනයන් ගැන පොත් විශාල ප්‍රමාණයක් තියන. අනික ගමේ මිනිස්සුත් දැන් මාව දන්නවා. ඔහොම ඉන්නකොට ඊළඟ පොත පටන් ගන්න පුලුවන් වෙනවා.
කෞශල්‍ය: මං අවසාන වශයෙන් අහන්න කැමතියි ඔබ ලිවීම විඳින හැටි ගැන?
සුනේත්‍රා: වැදගත්ම දේ ලිවීමත් එක්ක මට මගේම කිංග්ඩම් එකක් හැදිල තියෙනවා. ඒකෙ වැසියත් මම, හතුරත් මම, රජතුමත් මම. කිසිම කෙනෙක් එක්ක කතා නොකර මට මගේම හුදෙකළාව ඇතුලෙ මාස දෙක තුනක් වුණත් ඉන්න පුළුවන්.
කාලාන්තරයක් තිස්සේ ලිවීම සිය ජීවන පැවැත්මේ අත්‍යන්ත අංගයක් බවට පත්ව ඇති නවකතාකාරියකගේ අත්දැකීම් සහ අදහස් අපට ලිවීමට අනුප්‍රාණය සපයනු ඇතුවා සේම ඇයගේ කෘතීන් කියවන විට ඒ වචන පිටුපස සිටින ඇයගේ වෙහෙස ගැන අවලෝකනය කරන්නට ද බල කරනු ඇත.
එසේම සුනේත්‍රා රාජකරුණානායකගේ සුවිශේෂී ජීවිතයේ විවිධ පැතිකඩ දෙස බලා ලේඛකයෙකුගේ පැවැත්මේ ආකර්ෂණීය බව ගැන සිතන්නට ද මේ සංවාදය ඉඩ විවර කරනු ඇත.
මීළඟ සතියේ අප මුණගැසෙන්නේ සිංහල සාහිත්‍ය ඉතිහාසයේ අතිශය වැදගත් නවකතාකරුවෙකු වන කීර්ති වැලිසරගේ ය.
බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි.
ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි.