'මම ලියන හැටි': දර්ශනා ශම්මි විජේතිලක

    • Author, කෞශල්‍ය කුමාරසිංහ
    • Role, ලේඛක

දර්ශනා ශම්මි විජේතිලක යනු වර්තමාන සිංහල සාහිත්‍ය හඳුනන පාඨකයාට කිසිසේත්ම හැඳින්වීමක් අවශ්‍ය නවකතාකාරියක නොවේ.

දෙවත, ගිරග සසල විය, නිසල දියවත, මන්දාරම් උයන, අසනග වැසි, විසඹසර වැනි ඇගේ නවකතා පාඨකයන් අතර සේම විචාරකයන් සහ සාහිත්‍ය විනිශ්චය මණ්ඩල තුළ ද නිරන්තර සම්භාවනාවට පාත්‍ර වී ඇත.

මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඇයටම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය.

මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි.

ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය.

කෞශල්‍ය : සුපුරුදු පරිදි මම ඔබගෙනුත් අහන්නේ නවකතාවක සමාරම්භක මොහොත ගැන. ඔබේ නවකතා වල පළමු වාක්‍යය ලියවෙන හැටි ගැන යමක් කියන්න පුළුවන් ද?

දර්ශනා: ඇත්තටම පළවෙනි වාක්‍යය ලියන එක තමයි අමාරුම දේ. පාඨකයාට මොකද්ද මේ කියල හිතන්න සිද්ධ වෙන තැනකින් තමයි මම නවකතාවක් පටන් ගන්න කැමති. ඉතින් ලියන්න යන කතාව මොන තරම් හිතේ ගොඩනැගිල තිබුණත් මෙහෙම තැනක් මතුවෙන තුරු ඉන්න සිද්ධ වෙනවා. දැන් මගෙ 'මන්දාරම් උයන' කියන නවකතාව පටන් ගන්නේ පින්තූරයක් පොළවේ ගහල ඒක උඩට මුත්‍රා කරන දර්ශනයකින්. එතකොට 'අසනග වැසි' පටන් ගන්නේ කිරිබත් වඩවන දර්ශනයකින්. 'ගිරග සසල විය' නවකතාවෙ ආරම්භයේ තියෙන්නෙ කාන්තාවක් දරු ප්‍රසූතියකදි වේදනාවෙන් කෑගහන හඬ. මේ හැම ආරම්භයකම මම අපේක්ෂා කළේ පාඨකයාට මොකද්ද මේ සිද්ධ වෙන්න යන්නේ කියන එක ගැන හිතන්න දෙයක් ලබා දෙන්න.

කෞශල්‍ය: මේ පළවෙනි වාක්‍යය ලියන මොහොත වෙන විට ඔබ ලියන්න යන නවකතාව ගැන මොනතරම් දුරට දැනුවත් ද?

දර්ශනා: මම මුළු නවකතාවම ගොඩනඟා ගත්තට පස්සෙ තමයි පළවෙනි වාක්‍යය ලියන්නෙ. මේ වෙනකොට ගොඩනැගිල නැත්තෙ නවකතාවෙ අවසානය විතරයි. ආරම්භය වගේම සහ සමහරවිට ඊටත් වඩා අපහසු දෙයක් තමයි නවකතාවක අවසානය ලියන එක. මගෙ 'මන්දාරම් උයන' නවකතවේ අවසානය ලියන්න මට අවුරුද්දක් විතර ගත වුණා. ඉතින් පළමු වාක්‍යය ලියන මොහොත වෙන කොට අවසානය හැර අනෙක් දේවල් මුළුමනින්ම ගොඩනැගිල තියෙන්නේ. මොකද ලිවීමට වඩා මට කාලය ගත වෙන්නේ මෙන්න මේ ගොඩනැගීමට. සමහර වෙලාවට අවුරුදු කීපයක් ගත වෙනවා නවකතාවක් ලියන්න පටන් ගන්න කලින් ඒක හිතේ ගොඩනගා ගන්න. 'අසනග වැසි' වලට අවුරුදු දෙකහමාරක් විතර ගත වුණා ඒක හිතේ ගොඩනගා ගන්න ඒ වගේම ඒකට අදාළ දේවල් හොයන්න.

කෞශල්‍ය: දැන් ඔබ සැළකිය යුතු කාලයක් ගත කරනවා නවකතාව ලියන්න පෙර ඒක ගොඩනඟා ගන්න. දැන් මේ කාලය තුළ ඔබ යම් සටහන් තබා ගැනීමක් කරනවාද?

දර්ශනා: නැහැ, මම කිසිම දෙයක් සටහන් තියා ගන්නේ නැහැ. හැම දෙයක්ම තියෙන්නේ මගෙ හිතේ. කොටින්ම පොතේ ශ්ලෝකයක් තියනවා නං ඒකත් තියනවා ඔලුවේ. කරුණු හොයන කාලෙම ඒකත් හිතේ තියාගන්නවා. ලියන කොට නැවත පොතක් බලල ලියන්නෙ නැහැ. කතාව ගලාගෙන යන අනුපිළිවෙල, චරිත වල ඇඳුම් පැළඳුම්, ආහාර රටාවන්, අංග චලන මේ හැමදෙයක්ම හිතේ මැවිල තියෙන්නේ. අනික මම ලියන්න පටන් ගත්තම එක දිගට ලියාගෙන යනවා. කප කප වෙනස් කර කර එහෙම නෙමෙයි මම ලියන්නේ. මේ දේවල් අයින් කරන්න ඕන, ආයෙ නැවත නැවත ලියන්න ඕන, මේ චරිතය මෙතනින් අයින් කරල අතෙන්ට දාන්න ඕන වගේ දේවල් නැහැ. එහෙම ලියන්න පුළුවන් වෙනතුරු මම මහන්සි වෙනවා ඒක හිතේ ගොනු කර ගන්න. ඒක මගෙ අඩුපාඩුවක්ද දන්නෙත් නැහැ. හැබැයි එහෙම තමයි ලියවෙන්නෙ. එහෙම නොකලොත් මගෙ අතින් ඒ කතාව හරියට ලියවෙන්නෙ නැහැ. ඉතින් මම අවුරුදු කීපයක් නවකතාව හිතේ ගොනු කර ගන්න ගත කරල හරිම වේගෙන් ලියනවා. මාස එකහමාරක් දෙකක් හෝ තුනක් ඇතුළත නවකතාව ලියල අවසන් කරනවා. මට චරිත වල නම් පැටලෙන නිසා පොතේ අන්තිම පිටුවේ නම් ලියල තියා ගන්නව ලියන අතරෙම.

කෞශල්‍ය: දැන් මේ හිතේ ගොනු වුණු කතාව ඒ විදිහටම ලියවෙනව ද? එහෙම නැත්නම් ඔබ නොහිතපු විදිහට සමහර එතරම් නොවැදගත් චරිත මේ ලියන ක්‍රියාවලිය ඇතුළේ ප්‍රබල චරිත බවට පත්වෙන අවස්ථා වගේ දෙවල් සිද්ධ වෙනවද?

දර්ශනා: ඔව් එහෙම දේවල් සිද්ධ වෙනවා. දැන් 'අසනග වැසි' නවකතාවේ 'පොකුටා' කියන චරිතය ගත්තොත් ඒක මම හිතේ ගොනු කරන් හිටියට වඩා වෙනස් විදිහට මුලු කතාව පුරාම පැතිරුණු චරිතයක් බවට පත් වුණා. මන්දාරම් උයන නවකතාවේ උපුල්ගෙ අම්මගෙ චරිතයත් එහෙම එකක්. ඇත්තටම මේ වගේ දේවල් සිද්ධ වෙනවා ලියන ක්‍රියාවලිය ඇතුළේ. ඒ ඇරුනම සාමාන්‍යයෙන් හිතේ ගොඩනැඟුණු විදිහට තමයි නවකතාව ලියවෙන්නේ.

කෞශල්‍ය: අපි ටිකක් කතා කරමුද මේ ලියන කාලය ගතවෙන හැටි ගැන?

දර්ශනා: දවසෙ පැය විසි හතරෙ ඕනම වෙලාවක ලියන එක සිද්ධ වෙන්න පුළුවන් ආවේශයත් එක්ක. මම ලියන්න වැඩිපුර කැමති නිස්කලංක පරිසරයක, එළියෙ ගහක් යට, මල් වැලක් යට වගේ. මට මගෙ ගෙදර ඒ පහසුකම තියනවා. ලියන වෙලාවට පොඩි කෑමක් ළඟ තියා ගන්නවා, ඔය පළතුරු ටිකක් කජු ටිකක් වගේ. බත් වගේ දේවල් කනව අඩුයි ඒ වෙලාවට. සමහර දාට දෙහි වීදුරු දහයක් විතර බොනවා. සමහර වෙලාවට ලියන්න ගත්තම නිදාගන්න ගත කරන පැය හතරක් පහක් ඇරුනම අනිත් කාලය ලියන්න ගත වෙන දවස් තියනවා. සමහර දාට ලියන්නෙ පැයක් විතර වෙන්නත් පුලුවන්. ඒකෙ එහෙම පිළිවෙලක් නැහැ. මම සාමාන්‍යයෙන් පැයක් හෝ පැය භාගයක් එක දිගට වේගෙන් ලියාගෙන ගිහින් විනාඩි දහයක් විතර නවත්තල පොඩ්ඩක් ඇවිදිනවා. සමහර වෙලාවට ලියන්න තියන ඩයලොග්ස් එහෙම තනියෙන් කියවනවා මේ අතරෙ. මම ලියන කාලෙට වෙන පොත් කියවන්නේ නැහැ. සංගීතයට සවන් දෙනවා. ඒ අරුනම මගෙ ජීවිතේ අනිත් දේවල් අතහැරල ලියනව කියල එකක් නැහැ. පාටි එකකට යන්න තිබුණත් ෂොපින් යන්න තිබුණත් ඒ දේවල් කරනවා. ලියන වෙලාවට විතරයි නවකතාව ඇතුළේ ඉන්නේ. හැබැයි ඉතින් මට වේගෙන් ලියන්න පුළුවන්. සමහර වෙලාවට අකුරු වල කෑලි තියෙන්නේ.

කෞශල්‍ය; ඔබ මුලින් කිව්වා ලිවීම පටන් ගනිද්දි ඔබ නොදන්නා එකම දේ නවකතාවෙ අවසානය කියල. මේ අවසානය කොහොමද ඔබ හොයා ගන්නෙ?

දර්ශනා: පාඨකයාට මගෙන් ප්‍රශ්න කරන්න දෙයක්, හිතන්න දෙයක්, අපි හිතපු විදිහ හරිද වගේ නැවත සිතා බැලීමක් කරා යන්න පුලුවන් තැනකින් තමයි මම නවකතාවක් අවසන් කරන්න කැමති. සමහර වෙලාවට මට මේ අවසානය හොයා ගන්න ටික කාලයක් ගත කරන්න වෙනවා. සමහර නවකතා වල ඉතාම පහසුවෙන් මේක ලියවෙනවා. නමුත් මගෙ මන්දාරම් උයන වගේ නවකතාවක මට අවුරුද්දක් විතර ගත වුණා මේ අවසානය ලියන්න.

කෞශල්‍ය: ඔබ නවකතාවක් ලියල අවසන් වුණාට පස්සෙ හෝ ලියන අතර තුර සංස්කරණය කිරීමක් සිද්ධ කරනව ද?

දර්ශනා: නැහැ. සංස්කරණයක් සිද්ධ වෙන්නෙ නැහැ. මම කලින් කිව්ව වගේ ලියන දේවල් මම කප කප හිත හිත නෙමෙයි ලියන්නෙ. ඒව එකවර ලියවෙනවා. මට නැවත ඒව හදන්න ඕනෙ වෙන්නෙ නැහැ. දැන් මම අත්පිටපත ම තමයි දෙන්නෙ ටයිප් සෙට් කරන්න. ඒකෙ ඔය අකුරක් එහෙම වැරදිලා කපපු තැනක් ඇරුනම වෙන කිසිම ආකාරයකට කප කපා ලියපු තැන් නැහැ.

කෞශල්‍ය: ලිවීම ඔබ විඳින හැටි ගැන යමක් කියන්න පුලුවන් ද?

දර්ශනා : මම ලියන දේවල් මම නැවත කියවමින් මම ඒව විඳිනවා. මගෙ අතින් යම් කොටසක් ඉතාම හොඳට ලිය වුණා කියල මට දැනුනොත් මම ඒ කොටස් නැවත නැවත කියවමින් රසවිඳිනවා. දැන් උදාහරණයක් හැටියට මගෙ අලුත්ම නවකතාව 'විසඹසර' , ඒකෙ ප්‍රධාන චරිතය 'සසඳරා' එයාගෙ ජීවිතේ ඟඟත් එක්ක සම්බන්ධයි. ගේ තියෙන්නේ හුදෙකළා ගම්මානයක ඟඟක් අයිනේ. එයා ලොකු ළමයෙක් වෙන්නෙත් ඟඟේ, එයාගෙ සැමියා එක්ක පළමු වතාවට ලිංගිකව එක්වෙන්නෙත් ඟඟේ, දරුවා බිහි කරන්නෙත් ඟඟේ. මගෙ හැම පොතකම සෙක්ස් කියන දේ තියනවා. නමුත් අමුවෙන් නෙමෙයි. සුන්දර විදිහට තමයි තියෙන්නේ. දැන් මේ නවකතාවේ මේ දෙන්න එකතු වෙන තැන ලිව්වම මට විශාල සන්තෝෂයක් දැණුනා. සසඳරා ගේ සැමියා, ඔවුන් විවාහ වෙන්න කලින්, ගලක් උඩ වාඩිවෙලා ඉන්නවා. මේක දැකල එයත් එතෙන්ට පීනගෙන යනවා, ඟඟේ ස්වාභාවය, හුළඟ හමන හැටි මේ දේවල් එක්ක. ඇයම තමයි ඉස්සර වෙන්නෙත් මෙතෙන්දි. සාමාන්‍යයෙන් ඉතින් ගැමි පරිසරයක් ඇතුළේ ගෑනු කෙනෙක් ඉස්සර වෙන්නේ නැහැනෙ සෙක්ස් වලදි. ඉතින් මේ වගේ යම් දර්ශනයක් ඉතාම හොඳින් ලියවුණා කියල දැනුණම මට විශාල සතුටක් දැනෙනවා. නැවත ඒවා කියවමින් මම ඒක විඳිනවා.

දර්ශනා ශම්මි විජේතිලක නවකතාකාරිය ගේ ලිවීමේ භාවිතයන් තුළ ඇති සුවිශේෂත්වය හා ඈ ලිවීම ආත්මීය කර ගන්නා ආකාරය අපට ඇගේ නවකතා කියවීමේ දී ඒවා වින්දනය කිරීමට අලුත් ආලෝකයක් සපයනු ඇත.

එසේම ලිවීමට උනන්දුවන්නන්ට තමන් දෙස නැවත හැරී බැලීමට එය ඉවහල් වනු ඇත.

ලබන සතියේ අප මුණගැසෙන්නේ තවත් සුවිශාල පාඨක ආකර්ෂණයක් දිනා ගත් නවකතාකරුවෙක් වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල යි.

බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි.

ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ.