ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මම ලියන හැටි' : සේපාලි මායාදුන්නේ
- Author, කෞශල්‍ය කුමාරසිංහ
- Role, ලේඛක
සේපාලි මායාදුන්නේ යනු සිංහල සාහිත්‍යය තුළ අපට මුණගැසෙන සුවිශේෂී නවකතාකාරියකි.
ලාංකීය ඉතිහාසයේ විවිධ යුග, භූගෝලීය ප්‍රදේශ සහ සුවිශේෂී ජන කණ්ඩායම් සාහිත්‍යමය ලෙස ප්‍රතිනිර්මාණය කරන්නට උත්සාහ කරන ඇගේ නවකතාකරණය 'අස්මිමාන' නවකතාවෙන් ඇරඹෙන අතර තිදස, හීන්දොස් මාලේ, සිදුරු පත්තර, මහාසාමි, අත්තානි කණු වැනි නවකතා පසු කර දැන් සිංහ සෙයියාව නවකතාව අසල මඳ විවේකයක් ගනිමින් සිටියි.
නවකතාකරණයට සේම ශාස්ත්‍රීය පර්යේෂණයට ද ඇගේ ඇති කැපවීම අති විශාලය. මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඇයට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය.
මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවා ය.
හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි.
ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය.
මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමටය.
කෞශල්‍ය: සුපුරුදු පරිදි මම කැමතියි ඔබෙනුත් අහන්න නවකතාවක සමාරම්භක මොහොත ගැන. ඔබේ නවකතාවල පළමු වාක්‍යය ලියවුණු හැටි ගැන යමක් කියන්න පුළුවන්ද?
සේපාලි: මම ලියන්න කලින් ලියන්න යන දේ හිතේ හොඳින් ගොඩනගාගෙන තමයි පටන් ගන්නෙ. ඒ නිසා පළමු වාක්‍යය ලියන එක මට ඒ තරම් අසීරු දෙයක් වෙන්නෙ නැහැ. මෙතෙක් මම ලියපු කිසිම නවකතාවක ලිවීමේ සමාරම්භක මොහොත මට ගැටලුවක් වෙලා නැහැ. මං හිතන්නෙ එහෙම වෙන්නෙ මගේ හිත ඇතුළේ මම ඉතාම හොඳින් මේ කතාව නිර්මාණය කර ගෙන ලිවීමට ප්‍රවේශ වෙන නිසා කියලයි.
කෞශල්‍ය: ඒ කියන්නේ ලිවීම ආරම්භ කරන්න කලින් ලියන්න යන නවකතාවේ සමස්තය ගැනම ඔබ හොඳින් දැනුවත්.
සේපාලි: නවකතාවේ අවසානය ගැන මම ඒ තරම් දැනුවත් නැහැ. නමුත් මේ කාලවකවානුව තුළ මෙන්න මේ නිශ්චිත ප්‍රදේශයන් ඇසුරු කරගෙන අදාළ චරිත ඔස්සේ දිගහැරෙන කතාව මොකද්ද කියන එක ඒ වෙනකොට මම තීරණය කරල ඉවරයි. ඒක පටන් ගන්න ඕන තැන මොකද්ද කියන එකත් ඒ නිසා මම හොඳින් දන්නවා. මම නොදන්නේ මේ කතාව අවසාන වෙන්නේ කොතනින්ද කියන එක විතරයි.
කෞශල්‍ය: දැන් එතකොට මේ දේවල් නවකතාවට එන්න කලින් ඔබගේ හිතේ විතර ද තියෙන්නනේ එහෙම නැත්නම් ඔබ මේ දේවල් කොහේ හරි සටහන් කරල තියා ගන්නවද?
සේපාලි: කවදාවත් මම සටහනක් තියා ගන්නේ නැහැ. එතකොට මගෙ නිදහස ඇහිරෙනවා වගේ දැනෙනවා; සටහනක් ඔස්සේ ලියා ගෙන යනව නම්. හිතට එන විදිහට මේ නවකතාව මේ විදිහට ලියාගෙන ගියොත් හරි කියන එක අනුව තමයි මම ඉදිරියට යන්නෙ. ඒ නිසා සටහන් තියා ගැනීමක් මම කිසිවිටක කරන්නේ නැහැ.
කෞශල්‍ය: දැන් ඔබේ නවකතා ගත්තොත් මේ හැම නවකතාවක්ම ලිවීම සඳහා විශේෂ හැදෑරීමක් අවශ්‍යයි. ඒවා බොහෝ විට විවිධ ඓතිහාසික කාලයන්, විවිධ භූගෝලීය කලාප, ඒ ඒ යුග වල සිටි සුවිශේෂී සමාජ තීරු හෝ භූමිකා කේන්ද්‍ර කරගෙන තමයි දිගහැරෙන්නේ. ඒ ගැන යමක් කියන්න පුළුවන්ද?
සේපාලි: මට නිදහස ලැබෙන හැම වෙලාවමකම වගේ මම ඉන්නේ පුස්තකාලයක් ඇතුළේ. කොළඹ තියන ප්‍රධාන පුස්තකාල කිහිපයකම මම සාමාජිකයෙක්. ඒ කියන්නෙ කොළඹ ජාතික පුස්තකාලය, කෞතුකාගාර පුස්තකාලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුස්තකාලය සහ මහජන පුස්තකාලය. ඉතින් මේ පුස්තකාල වලට ගිහින් මම කියවන පොත්, ඓතිහාසික ලේඛන, පුස්කොල පොත් වගේ දේවල් ඇසුරෙන් තමයි මගේ නවකතා ගොඩනැගෙන්නෙ. දැන් 'මහාසාමි' වගේ එකක් ගත්තොත් ඒක නුවර යුගය පසුබිමේ දිගහැරෙන්නෙ, අත්තානි කනු කඩාවැටුණු රාජධානියක පාලකයෝ ගැන කියවෙනවා, මගෙ අලුත්ම නවකතාව 'සිංහ සෙයියාව' නවකතාවෙ කියවෙන්නෙ කෝට්ටේ යුගය බිඳවැටුණු හැටි ගැන. මේ හැම එකක්ම ලොකු හැදෑරීමක් ඇත්තටම. මේක සාමාන්‍යයෙන් දවසකින් දෙකකින් පොතක් දෙකක් කියවල ලියන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා තමයි මම මේ පුස්තකාල වල පොත් සහ ලේඛන ඇසුරේ මගෙ කාලය හැකි තරම් ගත කරන්නේ.
කෞශල්‍ය: දැන් ඔබේ නවකතාවල මූලික අදහස් ඇවිත් තියෙන්නෙ වෙනත් යමක් කියවමින් ඉන්න කොට ද?
සේපාලි: දැන් උදාහරණයකට 'මහාසාමි' ගත්තොත්, මම බෞද්ධ දර්ශනය සහ සංස්කෘතිය ගැන කියවමින් ඉන්න අවස්ථාවක තමයි ඒකෙ අදහස ආවෙ. මට කියවන්න හම්බවුනා ඔය ඒකනායක සුමංගල ග කියන කෙනා ගැන මම කියෙව්වා පුස්කොල තුඩපතක්. ඒකෙ තියනවා එයාට රජ්ජුරුවො පිරිනමපු වරදාන වරප්‍රසාද ගැන. මේ ගණින්නාන්සේ රජතුමාගේ ලේකම් විදිහටත් වැඩ කරනවා, බස්නායක නිලමේ හැටියටත් වැඩ කරනවා. ඒ වගේම තානාපති කෙනෙක් විදිහටත් වැඩ කරනවා. මේත් එක්ක කතාව හිතේ ගොඩනැගෙනකොට මම යම් යම් දේවල් උපකල්පනය කරනවා. කතාවේ ගැටුම නිර්මාණය වෙන්නේ මේ ගණින්නාන්සේ ලන්දේසින් එක්ක සම්බන්ධකම් පවත්වන්න ඇති කියන උපකල්පනය මත. මේත් එක්කම මම සීතාවක යුගයෙන් පස්සෙ ගණින්නාන්සේලා කියන අලුත් පූජක පක්ෂය බිහිවීම ගැන හැදෑරීමක් කළා. ඒකත් එක්ක අපේ සංස්කෘතියත් වෙනස් වෙනවා අපේ දේශපාලන රටාවත් වෙනස් වෙනවා. ඉතින් මේක තේරුම් ගන්න මීට අදාලව බෞද්ධ දර්ශනය සහ සංස්කෘතිය, පුරාවිද්‍යාව, ඉතිහාසය ආදී දේවල් මම කියව ගත්ත මේ කතාවේ පසුබිම ගොඩනගා ගන්න. එතකොට මම කරන්නේ කතාවෙ මූලික අදහස මේ ඓතිහාසික පසුබිම තුළ හරියට පිහිටුවලා ඒකත් එක්ක තර්ක කරමින් තමයි කතාව දිගහරින්නේ.
කෞශල්‍ය: එතකොට ඔබ මේ විදිහට හිතේ ගොඩනඟන කතාව ලිවීමේ ක්‍රියාවලිය ඇතුළේ වෙනස් වෙන්නෙ නැද්ද?
සේපාලි: නැහැ. මම වෙනස් කරන්නෙ නැහැ. භාගයක් විතර ලියල බලනවා හොඳද කියන එක. කීප සැරයක් කියවල මට හොඳයි කියල දැනෙනව නං දිගටම ලියනවා. හැබැයි අද වෙනකං හොඳ නැහැ කියන එක මට දැනුනේ නැහැ. මොකද මං ඒක ඇතුලට ගිහින් තමයි ලියල තියෙන්නේ.
කෞශල්‍ය: ඔබ කියපු විදිහට නවකතාවෙ අවසානය හැර අනෙක් හැම දෙයක්ම වගේ ලිවීම ආරම්භ කරන මොහොතේ ඔබ දන්නවා. එතකොට නවකතාවේ අවසානය ඔබ කොහොමද හොයා ගන්නේ?
සේපාලි: නවකතාවක අවසානය හිටිගමන් කඩා වැටුණු දෙයක් වගේ නොවෙන්න ඕන. දිය පාරක් වගේ ගලාගෙන එන එකක් එක පාර නවත්තන්නේ නැතුව පාඨකයට අදහසක් දෙනවා මේක මේ විදිහට වෙන්න ඕන නේද කියලා. දැන් 'සිංහ සෙයියාව' වගේ නවකතාවක් ගත්තොත් මම හිතපු නැති දේවලුත් පාඨයන් හිතල තිබුණා. මේකෙන් කියවෙන්නේ පැරණි රජු කේන්ද්‍රීය සමාජයෙන් සාමාන්‍ය සමාජය කරා පැමිණීම නේද කියල සමහරු අහල තිබුණා. මම අවසන් කරල තියන විදිහ නිවැරදියි කියල මට එතකොට හිතෙනවා.
කෞශල්‍ය: ඔබ ලියන විදිහ ගැන ටිකක් කියන්න පුළුවන්ද?
සේපාලි: ඉස්සර නං රෑට තමයි ලිව්වේ. දැන් මං රිටයර් වෙලා නිසා ඔය ගෙදර වැඩ ඉවර කරල වත්තෙ පොඩි පොඩි වැඩ ඉවර කරල ලියන්න ගන්නවා. නිදහස තියන වෙලාවට. සමහර වෙලාවට රෑත් වෙන්න පුළුවන්, දවල් වෙන්නත් පුළුවන්, එහෙමත් නැත්තං උදේ පාන්දර වෙන්නත් පුළුවන්. නිදහසක් හිතට දැනෙන වෙලාවට විතරයි ලියන්නේ. පටන් ගත්තොත් නං පොතක් ඒක ඉවර වෙනකං හිත වද කරනවා ඒක දිගටම ලියන්න. ඒක හිතට හරි කරදරයක් වගේ දැනෙන්න ගන්නවා. ඒක හින්ද එතකොට පුළුවන් තරම් ලියන්න බලනවා. දවසට පැය හතරක් විතර සාමාන්‍යයෙන් ලියනවා. ඒවගේම තමයි එකම පොතක ඉන්නෙත් නැහැ. මට නවකතාවක් ලියාගෙන යද්දි කම්මැලි හිතුනොත් පර්යේෂණ පොතක් ලියන්න ගන්නවා. දැන් ගිය අවුරුද්දේ ප්‍රින්ට් කරපු පොත් දෙකෙන් එකක් නවකතාවක් අනෙක් එක සිංහල කුල ක්‍රමය කියල පර්යේෂණ කෘතියක්. ඔය දෙකම මම සමාන්තරව තමා ලියාගෙන ගියේ. මම දැන් නං මගෙ ඩෙස්ක්ටොප් කම්පියුටර් එකේ තමයි ලියන්නෙ. ඒ නිසා පොත් දෙකක වැඩ එකවර කරන එක අපහසුවක් නැහැ.
කෞශල්‍ය: ඔබේ නවකතා වල සංස්කරණය සිද්ධ වෙන්නෙ මොන ආකාරයටද?
සේපාලි: ඇත්තටම මම සංස්කරණය කරන්නේ නැහැ. මම ලියල ඉවර වුණහම ප්‍රකාශකට යවනවා. අද වෙනකන් ඒගොල්ලෝ වුණත් සංස්කරණය කරන්න කියල නැහැ. ඔය 'මහාසාමි' වගේ ලොකු පොතක් වුණත් එහෙමයි. 'සිංහ සෙයියාව' වගේ පොඩි පොතකත් එහෙමයි. මුලින් ලියපු පොත ඒ විදිහම තමා තියෙන්නේ. ලියන අතරතුර වුණත් මම එඩිට් කරන්නේ නැහැ. දැන් පළවෙනි පරිච්ඡේදය ලියල ඉවර වුණාට පස්සේ මම ආපහු ඒකට අත තියන්න යන්නේ නැහැ. ඔබ මගේ පොත් වල කියවන පළමු වාක්‍යය කියන්නේ මම ලිවීම ආරම්භ කරද්දි ලියපු පළවෙනි වාක්‍යයම තමයි. හුඟක් වෙලාවට ලියල ඉවර වුණාට පස්සේ මට සමහර වෙලාවට පුදුමයක් වගෙත් දැනෙනවා මම ද ලිව්වේ කියල.
කෞශල්‍ය: ඔබේ නවකතා ගත්තොත් සමහර විට අපිට පේනවා එක් එක් පොත් වලට අනන්‍ය වූ සුවිශේෂී භාෂා ශෛලීන් තියනවා. ඒක වෙන්නේ අදාළ ඓතිහාසික යුගය, ප්‍රදේශය සහ ජන කණ්ඩායම නිසා. දැන් මෙතෙන්දිවත් සංස්කරණය අවශ්‍ය වෙන්නේ නැද්ද?
සේපාලි: ඇත්තටම නැහැ. දැන් මගෙ 'මහාසාමි' පොත ගත්තොත් ඒක ලොකු පොතක් වුණාට ඒක ලියන්න ඒ තරම් කාලයක් මට ගියේ නැහැ. ඒකෙ තියෙන්නේ මං අර මුලින් කියපු පුස්කොල පොතේ භාෂාව. මං හිතන්නෙ මං අති විශාල වශයෙන් පොත් කියවීම නිසා මට මේ භාෂා ශෛලීන් හැසිරවීම පහසුයි. මං හරිම කුඩා කාලේ ඉඳන් පොත් කියවනවා. මං අකුරු කියවල තියෙන්නේ අවුරුදු දෙකේදි. මං උපාධිය කරන්න කොළඹට එන්න කලින් මං හැදුණේ අනුරාධපුරේ පොඩි ගමක වුණත් ඒ කාලේ ඔය රුසියන් පරිවර්තන එහෙම හරියට තිබුණා ඒ දවස් වල. ඒ නිසා මං ගොඩක් පොඩි කාලේ ඉඳන් වැදගත් පොත් සෑහෙන කියෙව්වා. ඒ කාලේ ඉතින් අපි ගෑනු පිරිමි භේදයක් නැතුව ගස් නැගල ඇලේ දොලේ පැනල සෙල්ලම් කරනවා. ඒත් ටික කාලෙකින් මට තේරෙන්න ගත්ත මට හිතෙන දේවල් කතා කරන්න අය නැති වෙමින් යනවා කියල. එතකොට මං කළේ ගස් වැල් වලට මගේ බෝනික්කන්ට කතන්දර කියන්න පටන් ගත්ත එක. ලියන එක පටන් ගත්තේ එතනින් පුංචි කාලේ ඉඳල. ඊට පස්සේ නිතරම මගෙ කවි කෙටිකතා පත්තර වල ගියා. මගෙ ප්‍රකාශයට පත් වෙච්ච පළවෙනි පොත 'සෙල්ලම් කාලය' කියන යෞවන සාහිත්‍ය කෘතිය පළ වුණේ 1991 වුනාට ඒක මම ලිව්වෙ හැත්තෑ ගණන් වල මං හතේ පන්තියේ විතර ඉන්න කාලේ . මගෙ මුලින්ම ලියපු නවකතාව මං ප්‍රකාශ කලේ නැහැ මොකද කෙනෙක් ඒකෙ නම තව කෙනෙකුට දීල තිබුණ නිසා. මගෙ ප්‍රකාශයට පත් වුණු මුල්ම නවකතාව 'අස්මිමාන' මම ලිව්වෙ 1993. ඒකෙ අන්තිම චැප්ටර් එක ලියන්න යන කොට මාව සීසර් කරන්න හොස්පිට්ල් ඇඩ්මිට් කරන්න තිබුණා. ඉතින් මං ඒක ඉක්මනින් ලියල අත් පිටපත ලේක් හවුස් එකට යවන්න කියල තමයි ගියේ ඩී.ආර් විජේවර්ධන සම්මානයට. ඒක තමයි ඒ අවුරුද්දේ දින්නේ.
කෞශල්‍ය: මේ සංවාදය අවසන් කරන්න මං මෙහෙම අහන්නං. ලියන මොහොත තුළ ඔයා මොනවගේ කෙනෙක්ද?
සේපාලි: ලියද්දි මං පිරිමි කෙනෙක් වෙනවා. ඔය 'සිදුරු පත්තර' කියන පොත ඇරෙන්න අනිත් හැම නවකතාවකම මං පිරිමියෙක්. අපි ඉන්න සමාජයේ අපි කොච්චර කාන්තා අයිතිවාසිකම් ගැන කිව්වත් අපිට තියන නිදහස අඩුයි. රෑ වෙලා ගෙදර එන්න බයයි. රෑට බස් එකක යන්න බයයි. ඉස්සරත් එහෙමයි. පුංචි කාලෙ අපි සෙල්ලං කරද්දි ඔය උස පළු ගස් වීර ගස් වල මුදුන් වලට නැග්ගේ අපේ යාළු පිරිමි ළමයි. ඒ ගොල්ලෝ විඳපු ඒ නිදහස මට ඒ විදිහට ලැබුණේ නැහැ. මං එතකොට හිතින් ඒ ගොල්ලෝ වෙලා හිටියෙ. ඒක පොඩි ඊරිසියාවක් එක්ක වෙන දෙයක්. දැනුත් ලියද්දි ඒක තමයි වෙන්නෙ. පිරිමියෙක් වෙන්න පෙළඹවීමක් තියනවා. ඒ විදිහට ලිව්වොත් තමයි මට ඒ නිදහස දැනෙන්නේ .
කාලාන්තරයක් තිස්සේ ලිවීම සිය ජීවින පැවැත්මේ අත්‍යන්ත අංගයක් බවට පත්ව ඇති නවකතාකාරියකගේ අත්දැකීම් සහ අදහස් අපට ලිවීමට අනුප්‍රාණය සපයනු ඇතුවා සේම ඇයගේ කෘතීන් කියවන විට ඒ වචන පිටුපස සිටින ඇයගේ පැවැත්ම ගැන අවලෝකනය කරන්නට ද බල කරනු ඇත.
ඊලඟ සතියේ අප හා එක් වන්නේ අපට සිටින තවත් වැදගත් නවකතාකරුවෙකු වන අනුරසිරි හෙට්ටිගේ ය.
බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි.
ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ.