'මම ලියන හැටි': කාංචනා අමිලානි

    • Author, කෞශල්‍ය කුමාරසිංහ
    • Role, ලේඛක

කාංචනා අමිලානි මේ වන විට ලියා ඇත්තේ ‘ගුහා සටන’ නවකතාව පමණක් වුවද අද්විතීය පරිකල්පනයක ඵලයක් වූ එම කෘතිය ඔස්සේ පාඨක විචාරක අවධානය තමන් වෙත යොමු කර ගැනීමට ඇය සමත් වූවාය.

ඇගේ ‘ගම්මිරිස් කුරුල්ලා’ කෙටිකතා සංග්‍රහයත් ‘ප්‍රේමයේ කාර්තු’ සහ ‘බූමරංගය ඔබේ ඇස් දෙක’ කාව්‍ය සංග්‍රහත් ඇය විවිධ තේමාත්මක, භාෂාත්මක හා භාවාත්මක කලාපයන්හි සැරිසරමින් සංකීර්ණ අත්දැකීම් පාඨකයා වෙත නැවුම් විලාසයන්ගෙන් රැගෙන ඒමේ ශක්‍යතාව ප්‍රකට කර ඇත.

මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඇයට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය.

මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවා ය.

හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි.

ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය.

මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමටය.

කෞශල්‍ය: පුරුදු පරිදි මං ඔබගෙනුත් මුලින්ම අහන්නේ නවකතාවක් ලිවීමේ සමාරම්භක මොහොත ගැන.

කාංචනා: මම මේ වන විට පළ කරල තියෙන්නේ එක නවකතාවයි. ඒක ලියන්න පටන් ගන්නෙ කොවිඩ් ලොක් ඩවුන් කාලේ දි. මම ගෙදර ඉන්න කොට ඒ දවස් වල මගෙ ෆෝන් එකට මැක්‍රෝ ලෙන්ස් එකක් ගහගෙන ඔය දිමියන්ගෙ එහෙම ෆොටෝ අරගනිමින් ඉන්න කොට දැකපු සිද්ධියක් නිසා තමයි මට කතාවක් ලියන්න ඕන කියන අදහස ඇති වුණේ . ඒත් ඒක නවකතාවක් ද කියන එක මම දැනගෙන හිටියේ නැහැ. ලියන කතාව මොකද්ද කියන මම දැනගෙන හිටියා. ඒක අවසාන වෙන හැටිත් මම දැනගෙන හිටිය. එතකොට මේ කතාව මේ අවසානය කරා ගොඩනඟන එක තමයි මට කරන්න තිබුණේ. නමුත් මේක පටන් ගන්න ඕන කොහොමද කියන එක ගැන මට ටිකක් කල්පනා කරන්න සිද්ධ වුණා. කියවන්නෙක් හැටියට ගත්තොත් මං හරි ඉක්මනට කියවන දේවල් අතහරින කෙනෙක්. පළවෙනි වාක්‍යය දෙවෙනි වාක්‍යය මට හරි ගියේ නැත්තං මං එතනින් එහාට කියවන්නේ නැහැ. මගෙ ඔළුවෙ නිතරම වැඩ කරන එකක් තමයි මං ආස කරන දෙයක් තමයි වෙන කෙනෙකුට කියවන්න දෙන්න ඕන කියන එක. මං සාමාන්‍යයෙන් කැමතියි මම ලියන දේවල් දෙබසක් වගේ එකකින් පටන් ගන්න, මොකද ඒ විදිහට ආරම්භ වෙන දේවල් කියවන්න මං කැමති නිසා. මේ නවකතාවේ ආරම්භයටත් ඒ නිසා මං යොදා ගත්තේ දෙබසක්. නමුත් මට අවශ්‍ය වුණා ඒ තුළින් කිසියම් රූපමය දෙයක් ගොඩනගන්න. මොකද මේ කෘතිය සම්බන්ධයෙන් මගේ සිතීම රූපමය සිතීමක්. අතින් ලියාගෙන වචන හැටියට ග්‍රහණය කර ගන්නවට වඩා මම මේක සම්බන්ධයෙන් කරපු මූලික වැඩ වලදිත් එක්කො වීඩියෝස් හැටියට නැත්තං ෆොටෝස් හැටියට තමයි දේවල් එකතු කර ගත්තේ. ඉතින් මේ නවකතාවෙ ආරම්භක වාක්‍යය වුනේ ‘අමතන්න අමතන්න ජෙනරාල් යොන් මින් අමතන්න’ කියන එක යුද්ධයක් ඇතුළේ වෝකිටෝකි එකකින් සිද්ධ වෙන දෙබසක්. මට ඕනේ වුණේ පාඨකයා ඉක්මනින් යුද්ධය තුළට ඇද ගන්න. නවකතාවක ආරම්භක මොහොත කියන්නේ හරිම එක්සයිට්මන්ට් එකක්. මම දන්නෙ නැති ලෝකෙකට මං ජනේලෙකින් හරි දොරකින් හරි ඇතුළු වෙනවා වගේ. එහෙම ඇතුළු වුණාට පස්සෙ ආපහු හැරීමක් නෑ. මං තවත් ජනෙල් දොරවල් ඇරගෙන පාර වල් හොයා ගෙන මේකෙන් එළියට එන්නත් ඕනෙ.

කෞශල්‍ය: ඒක හරිම ආකර්ෂණීය උපමාවක් නවකතාවක ආරම්භක මොහොත ගැන. ඉතින් මේ නවකතාව ගැන අදහස ඇවිත් මේ ආරම්භය ගන්න ඔබට මොන තරම් කාලයක් ගත වුණා ද?

කාංචනා: ලියන්න ඕන අදහස ඇවිල්ල සතියක විතර කාලයක් තමයි ගත වෙන්නේ. මොකද මේක ඉක්මනට කරන්න ඕන වගේ අදහසක් මට තිබුණා. මේ සතිය ඇතුළත දළ සටහනක් මේකට ගහගත්තා. ඊට පස්සේ මේකෙ ඉන්න චරිත වල නම් හදා ගත්තා. යුද්ධයක් කියන්නේ එක තැනකට සීමා වෙච්ච දෙයක් නෙමේ නෙ මේක පැතිරුණු පැටලිලි සහගත එකක්. ඒ නිසා මට ඕනෙ වුනා මේ චරිත වලට මිශ්‍ර නම් දාන්න. ප්‍රංශ, ජර්මන්, ඉන්දියානු, අප්‍රිකානු, චීන ඒ වගේම සමහර ග්‍රීක මිථ්‍යා කතා වල එන චරිත වල නම්, මහාවංශයෙ අප්‍රකට සෙනෙවිවරුන්ගේ නම්. මේවා එකට එකතු කරන තර්කයත් ඒ හැම නමකටම ඉස්සරහින් මම ලියල තියා ගත්ත. මම ලියපු මුල් පිටපතේ චරිත 114 ක් තිබුණා. පොතක් හැටියට ප්‍රකාශ කරද්දි මේක හැට ගානකට අඩු කරනවා. මීට අමතරව යුද්ධය ගැන, යුධ අගලක පරිසරය ගැන ගැන තේරුම් ගන්න, මිනිස්සු එකිනෙකා වෙඩි තියා ගනිද්දි මොකද්ද ඇත්තටම කරන්නේ කියන එක ගැන හැඟීමක් ගන්න මං ගොඩක් ටීවී සීරිස් සහ ඩොකියුමන්ට්‍රිස් බැලුවා. පළවෙනි සහ දෙවෙනි ලෝක යුද්ධ ගැන, වියට්නාම් යුද්දේ ගැන වාර්තා චිත්‍රපටි විශේෂයෙන්ම. මේ දේවල් මට ගොඩක් උදව් වුනා මේ කතාව පුරා තියන ක්‍රෑරත්වය නිර්මාණය කරන්න. මීට අමතරව පුලුවන් විදිහට මේ යුද්ධ සම්බන්ධ දේවල් කියෙව්වා. මේ විදිහට මම හරිම වේගයෙන් මේ කතාවට අවශ්‍ය දේවල් එකතු කර ගත්තා. මොකද මට බයක් තිබුණා මං මේක ඉක්මනින් ලිව්වෙ නැත්තං මං මේක ලියන එකක් නැහැ කියල. මං මුලින්ම කොටස් හතරක් ලියල මේක මගෙ මීඩියම් එකවුන්ට් එකේ දිනපතා පළ කරන්න පටන් ගත්ත. කොහොම හරි මාස තුනක් ඇතුළත මං මේ නවකතාව ලියලත් ඉවර කළා. ඇත්තටම මුල් කොටස් ලියද්දි මං දැනං හිටියෙ නැහැ මේක නවකතාවක් ද කියලා. ඒත් ටිකක් ඉදිරියට යද්දි මට තේරුණා මේක ගොඩක් ලියන්න වෙනවා නැතුව මේක ඉවර කරන්න බැහැ කියන එක.

කෞශල්‍ය: දැන් ඔබ යම්කිසි සැලැස්මක් එක්ක තමයි මේ ලිවීම ආරම්භ කරන්නෙ. ලිවීමේ ක්‍රියාවලිය මේ සැලැස්මට අනුවම ද සිද්ධ වුණේ ?

කාංචනා: මූලික අදහස වෙනස් වුනා කියල කියන්න බැහැ. නමුත් චරිත වල හැසිරීම එක්තරා මොහොතකට පස්සේ මට පාලනය කරන්න බැරි වුණා . මුලින් මේ ප්‍රධාන චරිත මගෙන් තවත් අනු චරිත ඉල්ලා හිටින්න පටන් ගත්ත. ඒ ගොල්ලන්ට මේක තනියම කරන්න බැහැ කියල. ඒ නිසා චරිත ප්‍රමාණය විශාල වුණා. ඒ වගේම මේ චරිත මට ඕනෙ දේවල් වෙනුවට ඒ ගොල්ලන්ට ඕනෙ දේවල් කරන්න පටන් ගත්ත. සමහර වෙලාවට මේ චරිත මොනතරං මුරණ්ඩු වුණා ද කිව්වොත් මං ලියන එක පැත්තකින් තියල යනවා. ආපහු නැවත ඇවිත් ලියන කොට සමහර වෙලාවට මුරණ්ඩු කම ටිකක් අඩු වෙලා. මම මීට කලින් කෙටිකතා, කවි ලියල තිබුණට මේ විදිහෙ දේකට මම මුහුණ දුන්නේ පළමු වතාවට. ඒක මට අලුත් අත්දැකීමක් වුණා. ඉතින් මම කතාව ලියමින් තමයි ඉගෙන ගත්තෙ කතාව ලියන්නෙ කොහොමද කියන එක. මම මාස තුනක් තිස්සෙ දිනපතා මේක ලිව්වා. හැමදාම මගෙ මීඩියම් අකවුන්ට් එකේ කොටසක් පළ කලා. මුල් මාසය වගේ මම වැඩ කළේ ගෙදර ඉඳන්. එතකොට මම ගෙදර කොහෙ හරි තැනක ඉඳන් ෆෝන් එකෙන් තමයි ලිව්වෙ. මං කොහොමත් කොළ වල ලියනව අඩුයි. ඊට පස්සේ වැඩට යන්න පටන් ගත්තට පස්සෙ මං ගොඩක් වෙලාවට ලිව්වෙ කෝච්චියෙ යන එන ගමන්.

කෞශල්‍ය:මේ නවකතාවෙ අවසානයට ඔබ කොහොමද මුහුණ දෙන්නේ?

කාංචනා: ආරම්භයේ දී මේක අවසන් කරන්න සැලසුම් කළ තැනින්ම තමයි මේක අවසන් වුනේ. නමුත් මම අවසානයන් තුනක් ලිව්වා. මුලින් තරමක් විස්තරාත්මක අවසානයක් ලිව්වා. පසුව ඒක තරමක් දුරට කෙටි කළා. නමුත් අන්තිමේදි මං හිතුව මේක අනපේක්ෂිත අවසානයක් වන නිසා ඒක හැකිතාක් කෙටියෙන් තැබිය යුතුයි කියල. මේ නිසා පොතේ දැන් තියන අවසානය පිටුවකටත් අඩුයි. නවකතාව ලියල අවසන් වුණා ට පස්සෙ සතුටකට වඩා දැනුණේ දැන් මං මොකද කරන්නෙ වගේ හැඟීමක්. මං මාස තුනක් තිස්සේ මේ වැඩේ එක දිගට කළා. දැන් ඒ වැඩේ නැහැ. මං හිතන්නෙ මං නවකතාව අවසන් කළා ට ඒක අවසන් නැහැ. මට තවත් ලියන්න තිබුණා කියන එක මගෙ හිතේ තිබුණා .

කෞශල්‍ය: ඔබ මුලින් කිව්වා මේ නවකතාවෙ මුල් පිටපතේ තිබුණ චරිත 114 මුද්‍රණය කරන කෘතිය තුළ හැට ගණනකට අඩු කරනවා කියල. මේ සංස්කරණ ක්‍රියාවලිය ගැන යමක් කියන්න පුළුවන්ද?

කාංචනා: ඔව් මේ චරිත 114 මම 63 කට අඩු කළා . මම මුලින්ම කළේ නම් සහිතව හිටපු අවශේෂ චරිත ඉවත් කරන එක. යුද්ධය තුළ කතාවෙ මැද හරියෙදි මියයන සෙබළුන්ගේ ගෙ නම් මම ඉවත් කරල ඒ අය සමූහයන් බවට පත් කළා . සමහර චරිත සිදුවීම් එක්කම සම්පූර්ණයෙන් ඉවත් කළා . තවත් සමහර චරිත මරල දාන්න සිද්ධ වුණා . ඒක හරි වේදනාවක් එක අතකට මොකද මං මහන්සි වෙලා හදපු චරිතනේ. නමුත් මේ විදිහට තමයි චරිත ප්‍රමාණය අඩු කළේ . මීට අමතරව සමහර පරිසර වර්ණනා, යුද්දෙට අත්‍යවශ්‍යම නැහැ කියල හිතෙන සිද්ධි වගේ දේවල් ඉවත් කළා . මුල්ම සංස්කරණයේ දී මේ විදිහෙ ඉවත් කිරීම් හරිම අමාරු දෙයක් වුණා . නමුත් දෙවන තුන්වන සංස්කරණ වලට එනකොට ඒ අසීරුකම ක්‍රමයෙන් මගහැරුණා. මීට අමතරව සංස්කරණය හැටියට භාෂාත්මක වෙනස්කම් සිදුකළා .

කෞශල්‍ය: අවසාන වශයෙන් මේ සංවාදය නිමා කිරීමට පෙර ලිවීම ඔබ විඳින හැටි ගැන යමක් කියන්න පුළුවන්ද?

කාංචනා: ලියන එක මූලිකව මට හිතෙන්නෙ අතිශය වේදනාකාරී දෙයක් කියල. මට නං ලිවීම කියන එක සතුටු අවස්ථාවක් නෙමෙයි. මම නවකතාවක් ලිව්වත් කෙටිකතාවක් ලිව්වත් කවියක් ලිව්වත් මං ලියන එක මොනතරම් හාස්‍යජනක වුණත් ලියන එක වේදනාකාරී දෙයක්. ලියන එක ඇතුළේ තමන් මොනතරම් අකමැති වුණත් තමන්ගෙ කොටස් එළියට දෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි මං හිතන්නේ වේදනාව කියල මං කියන්නේ. ඒ වේදනාවත් එක්කම ගැට ගැහුණු ඊට සමගාමී ප්‍රහර්ෂයකුත් තියනවා ලිවීම ඇතුළේ. ඒක එන්නේ චරිත හැදීම, සිදුවීම් මැවීම වගේ දේවල් නිසා ලැබෙන බලයත් එක්ක. වචන වලින් මට ඕනෙ දේවල් කරන්න පුලුවන් කියන හැඟීමත් එක්ක. මට ඒක මුලින්ම දැනෙන්න ගත්තේ ජනමාධ්‍යවේදියෙක් හැටියට පත්තරේ වැඩ කරන එකත් එක්ක. මම ආර්ටිකල්ස් වලට සූදානම් වෙන හැටි, ඒවත් එක්ක දවස ගත කරන හැටි එක්ක මට ඒක දැනුණා. අනිත් අතට දවස තිස්සෙම මං කරන්නෙ ලියන එක. ඒ නිසා මට ලියන්න මූඩ් එකක් ඕනෙ වගේ දෙයක් නැහැ. මට ඕනෙම වෙලාවක ලියන්න පුලුවන්.

මේ ආකාරයට කාංචනා අමිලානිගේ ලිවීමේ භාවිතය සහ ඒ සමඟ බැඳුණු හැඟීම් අප වෙත නිරාවරණය වීම ඇගේ කෘති කියවීමට අලුත් ආලෝකයක් සපයන්නට ඉඩ ඇත.

ඇය සේම මේ සංවාද මාලාව තුළ තම ලිවීමේ අත්දැකීම් හෙළිදරව් කරන ලේඛක ලේඛිකාවන් නවකතාකරණයට උනන්දු නමුත් තවමත් එය ඇරඹීමට පෙරුම් පුරන අනාගත නවකතාකරුවන්ට අනුප්‍රාණය සපයන්නේ නම් එය අපට සතුටකි.

මේ වෙනුවෙන් ලබන සතියේ අප හා එක් වන්නේ ලියනගේ අමරකීර්ති නවකතාකරුවා ය.

බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි.

ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි.