'මම ලියන හැටි' : මංජුල සේනාරත්න

    • Author, කෞශල්‍ය කුමාරසිංහ
    • Role, ලේඛක

මංජුල සේනාරත්න යනු මෑත කාලයේ සුවිශේෂී පාඨක අවදානයක් දිනා ගත් ලේඛකයෙකි. ලාංකීය සාහිත්‍ය සංස්කෘතිය තුළ බරපතල ලෙස වර්ධනය නොවූ නවකතා ශානර සමඟ කටයුතු කරමින් ඔහු එකතු කර ඇති 12 12 12 සහ බියුරෝ වැනි සන්ත්‍රාසය මූලික කර ගත් නවකතා අතිශය ජනප්‍රියත්වයක් දිනා ගෙන ඇත.

මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඔහුට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය.

මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය.

හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේ ම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි.

ලියන තැන, ලියන විදිහ, ලියන විට බොන කෝපි කෝප්ප ගනන, ලිවීම තමන්ම විඳින හැටි වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය.

කෞශල්‍ය: සුපුරුදු පරිදි ඔබගෙනුත් අහන්නෙ ලිවීමේ සමාරම්භක මොහොත ගැන. ඔබේ නවකතා වල පළමු වාක්‍ය ලියවුණු ආකාරය ගැන යමක් කියන්න පුළුවන්ද?

මංජුල: ලංකාවේ පාඨක පිරිස ගැන බැලුවහම මට හිතෙන්නෙ අපි විශේෂයෙන් පළමු වාක්‍යය ගැන උනන්දු වෙන්න ඕන කියල. ඔවුන් එක්තරා විදිහකට පොතක පිදුම ලියවිලා තියෙන්නෙ කොහොමද කියන එක ගැන පවා උනන්දුයි. දැන් මම අවුරුදු තිහක් පමණ තිස්සේ ජීවත්වෙන ප්‍රංශයේ පාඨකයෝ ගත්තොත් ඔවුන් පිදුම වැනි දෙයක් පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැහැ. ලංකාවෙ පාඨකයන් මම පහළට දානව නෙමෙයි. ඔවුන් පහසුවෙන් පොත් වලට බැඳෙනවා. ඒ නිසා මං හිතනවා ආරම්භක වාක්‍යය ඒ සම්බන්ධයෙන් හරි වැදගත් කියන එක. ඒ වගේම අපි ලෝක සාහිත්‍යය දිහා බැලුවත් අපි ලේඛකයන් පළමු වාක්‍යය ගැන දක්වන ලද උනන්දුව ගැන තේරුම් ගන්න පුලුවන්. ඉතින් මම සාමාන්‍යයෙන් ලියද්දි කරන්නේ පළමු වාක්‍යයට ඉඩ තියල ලියා ගෙන යන එක. පළමු වාක්‍යය විතරක් නෙමෙයි, පළමු ඡේදයටත් සමහර විට පළමු පරිච්ඡේදයටත් ඉඩ තියල ලිවීම ආරම්භ කරන එක. හැම පොතක් පිටිපස්සෙම තියනවානේ අභිරහසක්. මේ ලිවීමේ ක්‍රියාවලිය බොහෝ වෙලාවට ලේඛකයාටත් පැහැදිලි නැහැ. අර අදහසක් තියෙන්නේ පොත ලියන්නේ ලේඛකයා නෙමෙයි පොත විසින්ම පොත ලියවෙනවා කියල. මං දන්නවා මං ලියද්දි මං ලියන දේවල් වෙනස් වීමට නියමිතයි කියල. මේක හරියට වන්දනා ගමනක් යනව වගේ. මං දන්නව යන්නෙ කොහෙටද කියල. ඒත් මේ යන ගමනේදී මං එකතු කර ගන්න දේවල් මොනවද කියල මං හරියටම දන්නෙ නැහැ. මං පටන් අරන් ලියාගෙන යද්දි මට බොහෝ වෙලාවට හිතෙන දෙයක් තමයි මෙය මේ විදිහට නෙමෙයි සිදුවිය යුතුව තිබුණේ කියල. මේ වෙලාවෙදි තමයි මං ආරම්භය ගැන නැවත හිතන්න ගන්නේ. දැන් 'දෙවෙනි ගැහැනිය' නවකතාව ගත්තොත් පොතේ මැද්දට යද්දි මුළු කතාවම සම්පූර්ණයෙන් වෙනස් වුණා. මම කියන්න ආපු දේ නෙමෙයි අවසානයට කියන්න සිද්ධ වුණේ. එතෙන්දි මට සිද්ධ වුණා ආරම්භයට ගිහිල්ල පොතේ ආරම්භය ගැන ප්‍රශ්න කරන්න. ඒ නිසා ඇත්තෙන්ම මං දන්නෙ නැහැ කොයි මොහොතෙද නවකතාවක ආරම්භය සිද්ධ වෙන්නේ කියන එක. තවත් උදාහරණයක් ගත්තොත් දැන් 12 12 12 නවකතාව ලියන්න පටන් ගනිද්දි මං දැනං හිටිය ඒක පටන් ගන්න විදිහ ඒක අවසන් වෙන විදිහ මේ හැම දෙයක්ම. මං පොත ලියල ඉවර වුණාට පස්සේ මට එක මොහොතක හිතුනා මේ පොතේ කිසිම ට්විස්ට් එකක් නැහැ කියල. ඒ වෙනකොට මං මගෙ ප්‍රකාශකයා, කවීෂට මේකෙ අත්පිටපතත් යවල තිබුණේ. මං කවීෂගෙන් ඇහුවම ඔහුත් කිව්ව අයියෙ මේක පොඩ්ඩක් මදි කියල. එතෙන්දි මට හිතෙනවා මේකෙ අවසානයට පොඩි පන්ච් එකක් ආවොත් හොඳයි කියල. මට මතකයි මේක වෙනස් කරන්න ඕන කොහොමද කියන අදහස එන්නෙ මං වැඩ කරමින් ඉන්නකොට. මං ඒක ඒ වෙලාවෙ ලියා ගත්ත. ඊට පස්සෙ මං කවීෂගෙන් තවත් මාස හයක් ඉල්ලගෙන පොත ආයෙමත් ලිව්වා අලුත් අවසානයත් එක්ක. එතෙන්දි මට සිද්ධ වුණා නැවත මුලට ගිහින් මුල චැප්ටර් එකත් වෙනස් කරන්න. මේක තමයි මං පොතක ආරම්භය එක්ක ගනුදෙනු කරන විදිහ. මගෙ නවකතා හැම එකකම වගේ සස්පෙන්ස් එකක් තියනවනේ. මේ සස්පෙන්ස් එක මගෙ ඇතුළේ නිතර වෙනස් වෙනවා. එතකොට ආඛ්‍යානය සිදුවීම් මේ දේවලුත් වෙනස් වෙනවා.

කෞශල්‍ය: අපි ටිකක් කතා කරමුද ඔබ නවකතාවක් ලියන්න පටන් ගන්න කලින් කරන වැඩ ගැන.

මංජුල: මං අවුරුදු විස්සක් විතර තිස්සේ ලිව්වට මාව පාඨකයෝ අඳුරගන්නෙ 2019 පස්සෙ 12 12 12 නවකතාවත් එක්ක. ඊට පස්සෙ මං පළ කරපු පොත් ගත්තොත් ඒව සම්බන්ධයෙන් මගෙ සූදානම එකනෙකින් වෙනස්. 'දෙවැනි ගැහැනිය' සම්බන්ධයෙන් කිසිම සූදානමක් අවශ්‍ය වුණේ නැහැ. ඒක පවුල ගැන පදනම් වෙච්ච නවකතාවක්. 12 12 12 සම්බන්ධයෙන් සහ 'බියුරෝ' සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම පර්යේෂණයක් අවශ්‍ය වුණා. බියුරෝ කියන්නෙ ස්පයි ත්‍රිලර් එකක්. මං හිතන්නේ ලංකාවේ මේ ශානරයේ නවකතා ලියවිලා නැහැ. මේක තමයි පළවෙනි එක. ඒකෙදි මට සිද්ධ වුණා ඉස්ලාම් අන්තවාදී ක්‍රියාකාරීත්වයන් ගැන, ත්‍රස්තවාදී සංවිධාන ගැන, රහස් ඔත්තු සේවයන් ගැන විශාල වශයෙන් සොයා බැලීමක් කරන්න මාස හයක විතර. මං දැනට ලියමින් ඉන්න පොත සම්බන්ධයෙන් වුණත් මට යම් කාලයක් සොයා බැලීමක් කරන්න සිද්ධ වුණා. මං හිතන්නේ මේ පර්යේෂණයන් වලින් ලේඛකයාගේ ජීවිතයටත් අගයක් එකතු වෙනවා. මොකද අපි මේ සොයන දේවල් වලින් පොතට ඇතුල් වෙන්නේ සීයට විස්සක් විතර තමයි. ඉතුරු දේවල් එකතු වෙන්නේ ලේඛකයාගේ ජීවිතයට. ඉතින් මේ විදිහට සොයා බැලීම් කරන අතරතුර මම නෝට්ස් ගන්නවා අදාළ දේවල් වල. ඊට පස්සේ මං ස්කෙච් එකක් ගහගන්නවා. මගෙ කතාවට අදාළ පුද්ගලයෝ අදාළ සිද්ධි, අදාළ ස්ථාන අඛ්‍යානයට අනුව මතු වෙන්නෙ කොහොමද කියල. උදාහරණයක් විදිහට 'බියුරෝ' කියන පොතට අදාළව පිටු අසූවක අනූවක විතර කටු සටහන් ගහල තිබුණා. අර චිත්‍රපටයක් කරන්න කලින් ස්ටෝරි බෝඩ් අඳිනවා වගේ ක්‍රමයක් මමත් භාවිත කරනවා. සිදුවීම් පෙළ ගැහෙන විදිහ මම ලයිස්තු ගත කරනවා. දැන් 'බියුරෝ' ගත්තොත් ඒකෙ ගොඩක් සිදුවීම් වෙන්නෙ යේමනයේ. මම යේමනයට ගිහින් නැහැ. ඒක යන්න පහසු තැනක් නෙමෙයි. එතකොට මං මේ නවකතාවට අවශ්‍ය පරිසරය ගොඩනගා ගන්න යූ ටියුබ් එකේ තිබුණ ෆිල්ම්ස් විශාල ප්‍රමාණයක් බලන්න සිද්ධ වුණා. එහෙම බලල තමයි මේ නවකතාවට අවශ්‍ය පරිසරය මම නිර්මාණය කර ගන්නේ. මේ විදිහෙ සූදානමක් එක්ක තමයි නවකතාවක් ලිවීම පටන් ගන්නේ. නමුත් මං කලින් කිව්ව වගේ මොන තරම් සැලසුම් හැදුවත් ලිවීමේ ක්‍රියාවලිය ඇතුලෙ දි මේ සැලසුම් වෙනස් වෙනවා.

කෞශල්‍ය: අපි ටිකක් කතා කරමුද ඔබ ලියන විදිහ ගැන?

මංජුල: මං හිතන්නේ පොඩි කාලෙ මගෙ හිතට තදින් වැදිච්ච කතාවක් තියනවා චාල්ස් ඩිකන්ස් කියපු. ලේඛකයා පෑනෙන් ලියද්දි පෑනෙ තීන්ත හැටියට එන්නේ ලේඛකයාගේ ශරීරයෙ තියන රුධිරය කියල. ඒ නිසා මං ලියන්නේ පෑනෙන්. මට හිතෙනවා එතකොට අදහස් හොඳින් ගලාගෙන එනවා කියල. ඒ වගේම මුල් කාලේ මං දැනං හිටපු ලේඛකයෝ හැමෝම වගේ ලිව්වෙ අතින්. අනිත් එක මං කාලයක් තිස්සෙ ජීවත් වෙන්නේ ප්‍රංශයෙ. සිංහල භාෂාවත් එක්ක මගෙ සම්බන්ධය ඒ නිසා දුරස්. මට ඇහෙන්නේ ප්‍රංශ භාෂාව. මං වැඩිපුර කියවන්නේ ප්‍රංශ හෝ ඉංග්‍රීසි. ඉතින් අපේ භාෂාවත් එක්ක සම්බන්ධ වෙන්න මේ පෑනෙන් ලියන එකත් බලපානවා. අපිට ලස්සන අකුරු තියන හෝඩියකුත් තියනවනේ. ඉතින් මගෙ භාෂාවත් එක්ක සම්බන්ධ වෙන්න තියන හොඳම විදිහ මගෙ භාෂාවේ අකුරු අතින් ලියන එක කියල මට හිතෙනවා. මං නවකතාවක් ලියද්දි මුලින් පෑනෙන් ලියල ඊට පස්සේ එක පිටුවක් දිනපතා ටයිප් කරනවා. මේක මම දිනපතා කරන දෙයක්. මම පෑනෙන් මොන තරම් ලිව්වත් මම ටයිප් කරන්නේ එක පිටුවයි. එතෙන්දිත් පෑනෙන් ලියපු ඒව යම් විදිහකට එඩිට් වෙනවා. සමහර වෙලාවට අඩු වෙනවා, සමහර වෙලාවට වැඩි වෙනවා. ඉතින් දවසකට පැය දෙකක් හෝ දෙකහමාරක් විතර තමයි මට ලිවීම වෙනුවෙන් වෙන් කරන්න පුලුවන් වෙන්නේ. ඉතින් දවසකට පිටුවක් ලියන එක තමයි මගෙ රිචුවල් එක. රාත්‍රී කාලයේදි තමයි මම සාමාන්‍යයෙන් ලියන්නේ. හුඟක් විට රෑ නමය සිට එකොළහ වගේ. සති අන්තයේ ලියවෙන්නෙ නැහැ සාමාන්‍යයෙන්. සමහර වෙලාවට වැඩි කාලයක් ගත කරන්නෙ කියවීමට. මම දිනපතා දෙවරක් විනාඩි හතලිස් පහක් පනහක් පොදු ප්‍රවාහනයේ ගමන් කරනවා. එතකොට මං දන්නවා. මට අනිවාර්යෙන් පොතක පිටු හතලිහක් පනහක් කියවන්න පුලුවන් වෙනවා කියල. මේ කියවීම විසින් ලිවීමට විශාල ආලෝකයක් සපයනවා. මීට අමතරව කියන්න ඕන දෙයක් තමයි මං නිතරම පොඩි නෝට් පොතක් මගෙ ළඟ තියාගෙන ඉන්නෙ. ඕනෙම වෙලාවක එන අදහසක් මම කෙටියෙන් සටහන් කර ගන්නව. මොකද ඊළඟ තත්පරයෙදි ඒක හොයා ගන්න බැරිවෙනවා නැත්තං. අනිත් එක තමයි මට හීනෙන් ගොඩක් දේවල් පේනවා මගෙ පොත් වලට අදාළව. උදාහරණයක් කිව්වොත් 12 12 12 ලියල අවසන් කරපු කාලෙ දවසක මං හීනයක් දකිනවා, මං ඉන්නෙ කාන්තාරෙක, මිසයිල්ස් එහෙම ගහනවා, යුධමය පරිසරයක්. මං ගිහින් ඉන්නෙ මගෙ පුතාව හොයාගෙන. මේ කාලෙ මගෙ පුතාගෙ වයස අවුරුදු පහළවයි. ඒ දවස් වල ප්‍රංශෙ තරුණ ලමයි ජිහාඩ් සටනට එකතු වෙන්න ඉස්ලාම් ආගමට හැරිල රටින් පැනල යන සිදුවීම් වාර්තා වුණා. ඒ නිසා මගෙ හිතේ බයක් තිබුණා අපි දන්නෙ නෑ අපේ ළමයි ගෙදරින් එළියෙදි මොනවද කරන්නෙ කියල. මේ හීනෙ දකින්නෙ ඒකත් එක්ක. හැබැයි පස්සේ 'බියුරෝ' නවකතාව ලියවෙන්න මූලික වෙන්නෙ මේ හීනේ. 12 12 12 ලියන කාලේ මං දවසක් දැක්ක හීනෙන් මං ගෙදර එනකොට ගෙදර කවුරුත් නෑ පාළුයි ගෙදර මිනීමැරුම් ගොඩක් වෙලා. මෙවැනිම සිදුවීමක් 12 12 12 තියෙනවා.

කෞශල්‍ය: අපි දැන් ටිකක් කතා කරමුද ඔබේ නවකතා වල සංස්කරණ ක්‍රියාවලිය ගැන

මංජුල: මට 2019 සිට වෙච්ච ලොකුම දේ තමයි මං ලියන දේවල් කියවන්න කෙනෙක් සිටීම. මං හිතන්නෙ හැම ලේඛකයෙකුටම වැදගත් වෙනවා තමන් ලියන දේවල් ප්‍රකාශ කිරීමට පෙර කියවන්න කෙනෙක් ඉන්න එක. මටත් ඉන්නවා එහෙම කෙනෙක්. ඇය මගෙ පාඨිකාවක්. මම ලියන දේවල් කොටස් හැටියට ඇයට යවනවා. ඇයට තියනවා ලොකු හැකියාවක් මේ ලිවීම හැඩ ගැස්වීමේ. මමත් හුඟක් වෙලාවට ඇය කියන දේවල් පිළිගන්නවා. මේක මගේ ලිවීමේ සහ සංස්කරණ ක්‍රියාවලියේ අතිශය වැදගත් දෙයක්. මීට අමතරව ගත්තම මං කරන්නෙ ලියල ඉවර වුනාට පස්සෙ පොතක් මාස කිහිපයක් තියල ඒක සම්පූර්ණයෙන්ම අමතක කරල වෙන වැඩක් කරල නැවත ඒකට එන එක. එහෙම සකස් කරල තමයි මම මගෙ ප්‍රකාශකයට යවන්නේ. ඊට පස්සෙ ඔහු අතිනුත් යම් යම් සංස්කරණයන් සිද්ධ වෙනවා. පොත ප්‍රකාශයට පත් වෙන්නෙ අපි තුන් දෙනාම සතුටු වන මට්ටමට ආවට පස්සේ.

කෞශල්‍ය: ලියන විට ඉන්න ඔබ ගැන යමක් කියන්න පුළුවන්ද?

මංජුල: ජීවිතේ අසීරු තැන් අර්බුද ආව හැම වෙලාවකම මාව බේර ගත්තෙ ලිවීම. ලියන්න තිබුන හැකියාව නිසා අනිත් මිනිස්සු බේරෙන්නේ නැති අර්බුද වලින් මං ගැලවිලා තියනවා කියල මට හිතෙනවා. ලියන්න පුලුවන් වීම ලොකු භාග්‍යයක්. ඒක මට ලැබුණේ තාත්තගෙන්. එයා ගීත රචකයෙක්. මං හිතන්නේ නවකතාකරුවෙකුට විශේෂ අවස්ථාවක් තියනවා චරිතයක් හදන්න, ඒ චරිතයේ හැඟීම් එක්ක කාලයක් ජීවත් වෙන්න, ඒ චරිතයත් එක්ක දිග ගමනක් යන්න, ඒවගේම ඒ චරිතය මරන්න, මේක සුවිශේෂී දෙයක්. මේ හදන චරිත පාඨකයන් ආදරෙන් වැලඳ ගන්නා විට දැනෙන සතුටත් තවත් වැදගත් දෙයක්. ඒ නිසා මං හිතන්නේ ලේඛකයෙක් වීම කියන එක විශාල වාසනාවක්.

මේ ආකාරයට මංජුල සේනාරත්නගේ ලිවීමේ භාවිතය සහ ඒ සමඟ බැඳුණු හැඟීම් අප වෙත නිරාවරණය වීම ඔහුගේ කෘති කියවීමට අලුත් ආලෝකයක් සපයන්නට ඉඩ ඇත.

ඔහු සේම මේ සංවාද මාලාව තුළ තම ලිවීමේ අත්දැකීම් හෙළිදරව් කරන ලේඛක ලේඛිකාවන් නවකතාකරණයට උනන්දු නමුත් තවමත් එය ඇරඹීමට පෙරුම් පුරන අනාගත නවකතාකරුවන්ට අනුප්‍රාණය සපයන්නේ නම් එය අපට සතුටකි.

මේ වෙනුවෙන් ලබන සතියේ අප හා එක් වන්නේ තවත් ජනාදරයට පත් නවකතාකාරියක වන රූපා ශ්‍රියානි ඒකනායක යි.

බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි.

ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ.