මුදල් අඩුවෙන් වියදම් කර වැඩියෙන් ඇවිදින්න ලංකාවේ තැන් 5ක්

Hortan Plains

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අප දැන් කෙමෙන් කෙමෙන් ලං ව සිටින්නේ දීර්ඝ වසරක අවසානයට ය.

වසර පුරා ම විවිධ වැඩකටයුතුවලට සිර වී සිටින බොහෝ දෙනෙක් දෙසැම්බර් මාසයේදී යම් විවේකයක් ගැනීම සිදු කරති.

කෙසේනමුත් 2022 ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාව තුළ භාණ්ඩ හා සේවා මිල ගණන් ඉතා ඉහළ මට්ටමකට ගිය අතර මේ නිසා ශ්‍රී ලංකාව තුළ සංචාරයට පවා අධික මුදලක් වැය වන තත්ත්වයක් තවමත් තිබේ.

විවේකයක් ගත කිරීමට වැය වන මුදල අධික වීම විවේකයක් අවශ්‍ය පුද්ගලයන්ට තවත් පීඩනයක් එක් කර තිබේ.

මෙම සියලු තත්ත්වයන් තිබිය දී අඩු මුදලකට තවමත් සංචාරය කළ හැකි ස්ථාන ශ්‍රී ලංකාවේ තිබේ. මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලංකාව තුළ ඇති එවැනි සංචාරය කළ හැකි ස්ථාන කිහිපයකුයි.

හෝර්ටන් තැන්න

Hortan Plains

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හෝර්ටන් තැන්නේ දී ඔබට ශ්‍රී ලංකාවට ආවේණික විවිධ ශාඛ දැකගත හැකි අතර, ඊට අමතරව සුන්දර බේකර්ගේ ඇල්ල, ලෝකාන්තය, පුංචි ලෝකාන්තය ද දැකගැනීමට අවස්ථාව හිමි වේ

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටා ඇති හෝර්ටන් තැන්නට යාමට පිවිසුම් මාර්ග කිහිපයක් තිබේ.

එයින් පහසු සහ පොදු ප්‍රවාහනය හරහා යාමට හැකි එක් පිවිසුමක් වන්නේ ඔහිය පිවිසුමයි.

කොළඹ සිට ගමන් ආරම්භ කරන ඔබට බදුල්ල දෙසට ධාවනය වන දුම්රියකින් පහසුවෙන් ඔහිය දුම්රිය ස්ථානය වෙත ළඟා වීමට හැකියි.

අප ඔහිය වෙත යාමට කොළඹ කොටුව සුම්රිය ස්ථානයෙන් රාත්‍රී තැපැල් දුම්රියෙන් පිටත් වූ අතර, උදැසන වන විට අපට ඔහිය දුම්රිය ස්ථානයට ළඟා වීමට හැකි විය.

ඔහිය දුම්රිය ස්ථානයේ සිට හෝර්ටන් තැන්න දක්වා කිලෝමීටර කිහිපයක් තිබෙන අතර අවශ්‍ය නම් යම් මුදලක් ගෙවා එම දුර ත්‍රිරෝද රථයකින් යා හැකි නමුත් අප තෝරා ගත්තේ පයින් ගමන් කිරීමටයි.

එතැන් සිට හෝර්ටන් තැන්න පිවිසුම දක්වා විවිධ සුන්දර පරිසර පද්ධති ගණනාවක් පසු කර අපි ගියෙමු.

හෝර්ටන් තැන්නේ දී ඔබට ශ්‍රී ලංකාවට ආවේණික විවිධ ශාඛ දැකගත හැකි අතර, ඊට අමතරව සුන්දර බේකර්ගේ ඇල්ල, ලෝකාන්තය, පුංචි ලෝකාන්තය ද දැකගැනීමට අවස්ථාව හිමි වේ.

ඔබ සංචාරය කරන දිනයේ දී ඇතැම්විට හෝර්ටන් තැන්නේ ජීවත් වන දිවියෙකු හෝ ගෝනෙකු දැකගැනීමට අවස්ථාව තිබේ.

හොර්ටන් තැන්න තුළ සංචාරය කර නැවත ඔහිය වෙත පැමිණීමට හෝ පට්ටිපොළ දුම්රිය ස්ථානය වෙත යාමට හැකියි.

නැවත කොළඹ බලා යාමට එම දුම්රිය ස්ථාන දෙකෙන් එකකින් දුම්රියට ගොඩවීමට අවස්ථාව ඔබට තිබේ. එසේත් නැතිනම් පට්ටිපොළ දුම්රිය ස්ථානයට ගොස් නානුඔය හරහා නුවරඑළිය දක්වා යාමට ද හැකියි.

කළුපහණ දියඇලි

බදුල්ල-කොළඹ මාර්ගයේ කළුපහණ හන්දිය දියඇලි ගණනාවකට යාමට ගමන් මග ආරම්භ වන ස්ථානයකි.

ශ්‍රී ලංකාවේ උසින් වැඩිම දියඇල්ල වන බඹරකන්ද දියඇල්ලට ඇති මාර්ගය එක පසෙකින් ආරම්භ වන්නේ ද කළුපහණ හන්දියෙන් ය.

අවශ්‍ය නම් ඔහිය සිට කළුපහණ දක්වා මාර්ගයේ පාගමනින් හෝ මෝටර් බයිසිකලයකින් ඒ දක්වා ගමන් ගැනීමට හැකියාව පවතියි.

ඒ අතරමග යකාගේ පඩිපෙළ වැනි සුන්දර සංචාරක ආකර්ෂණයක් දින ඇති ස්ථාන ද පසුකර පැමිණිය හැකියි.

කළුපහණ හරහා යන්නේ නම් කොළඹ සිට 99 බස් මාර්ගයේ ගමන් කරන බස් රථයකින් පහසුවෙන් කළුපහණ හන්දිය වෙත ළඟා වීමට අවස්ථාව තිබේ.

එතැන් සිට අවශ්‍ය නම් මුදල් ගෙවා ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට හැකියාව පවතින නමුත් අප එහි ගමන් කළේ පාගමනින් ය.

කිලෝමීටර් 4-5 ක දුරක් ගමන් කළ පසු බඹරකන්ද දියඇල්ල දිස් වීම ආරම්භ වේ.

කුඩා ජලපහරවල්, කුඩා ප්‍රමාණයේ දියඇලි, ඉතා සුන්දර කඳුවැටි දර්ශන රාශියක් අපට අතරමග දී දැක ගැනීමට හැකි විය.

කිලෝමීටර් 4-5 ක දුරක් ගමන් කළ පසු බඹරකන්ද දියඇල්ල දිස් වීම ආරම්භ වේ.

ප්‍රවේශපත්‍ර කවුළුවෙන් සුළු මුදලක් ගෙවා ප්‍රවේශපත්‍රයක් මිලට ගෙන පයිනස් සහ ටර්පන්ටයින් ගස් අතරින් අපි දියඇල්ල වෙත ගියෙමු.

අප එහි ගියේ වර්ෂා කාලයක වූ නිසා දියඇල්ල වඩාත් සුන්දරව දිස් විය.

ටර්පන්ටයින් සහ පයිනස් කැළෑව අතරින් ගොස් තවත් දියඇලි දෙකක් නැරඹීමට හැකි බව දියඇල්ලට එපිටින් කුඩා තේ කඩයක් පවත්වාගෙන යන කාන්තාවක් පැවසුවා ය.

Bambarakanda Waterfall

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රවේශපත්‍ර කවුළුවෙන් සුළු මුදලක් ගෙවා ප්‍රවේශපත්‍රයක් මිලට ගෙන පයිනස් සහ ටර්පන්ටයින් ගස් අතරින් අපි බඹරකන්ද දියඇල්ල වෙත ගියෙමු.

උඩ දියලුම සහ කඳවුරු

උඩ දියලුම මෑතක දී වඩාත් කතාබහට ලක් වූයේ එහි කඳවුරු ලා සිටි යුවලකට වන අලියෙකු කළ පහරදීමකින් තරුණියක් මිය යාමත් සමග ය.

නමුත් උඩ දියලුම සංචාරක කලාපය තුළ රජය විසින් සකස් කර ඇති කඳවුරු භුමියක් තිබේ.

කොළඹ සිට ගමන් කරන්නේ නම් බදුල්ල 99 බස් මාර්ගයේ කළුපහණ හන්දියෙන් ම බස් රථයක් ගැනීමට අවස්ථාව තිබෙන අතර, එසේත් නැතිනම් හපුතලේ දක්වා ගොස් හපුතලේ බස් නැවතුමෙන් දියලුම පිහිටා ඇති මාර්ගයේ ගමන් ගන්නා බස් රථයක් ලබා ගැනීමට හැකියි.

උඩ දියලුම දක්වා එතැන් සිට පයින් යා යුතු අතර එම ප්‍රදේශයේ ජනතාව විවිධ සේවාවන් ද සැපයීම සිදු කරන නිසා ආහාර ඇතුළු අනෙකුත් පහසුකම් ඉතා පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව පවතියි.

දියලුම ඇල්ල පහළට වැටෙන ස්ථානය සහ ඊට පෙර ඇති දියඇල්ල ද එහි දී නැරඹිය හැකි අතර, එම දියඇල්ලේ ඉහළට ගිය විට ස්වභාවික තටාක කිහිපයක් ද තිබේ.

මෙම දියඇල්ල අසල රැය පහන් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් රජය විසින් කඳවුරු බැඳීම සඳහා වෙන් කර ඇති භුමියේ කඳවුරු බැඳීම වඩාත් යෝග්‍ය වේ.

කෝච්චියෙන් යාපනයට

Jaffna port

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, යාපනය පුස්තකාලය, නල්ලූර් කෝවිල, යාපනය කොටුව විශාල සංචාරක ආකර්ෂණයක් හිමි කරගෙන තිබෙන ස්ථාන වේ
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කොළඹ සිට තරමක් දුරින් පිහිට තිබුණ ද වෙනස් සංස්කෘතිකමය අත්දැකීමක් ලබා ගැනීමට පොදු ප්‍රවාහන සේවයෙන් ළඟා විය හැකි ප්‍රදේශයක් ලෙස යාපනය හඳුන්වා දිය හැකියි.

විශාල වශයෙන් රජයේ විශ්‍රාම ශාලා පවතින නිසා අඩු මුදලකට නැවතුම් ස්ථානයක් සොයාගැනීමට ඔබට අවස්ථාව තිබේ.

කොළඹ සිට යාපනය දක්වා දුම්රිය ධාවනය නැවත ආරම්භ කර ඇති බැවින් යාපනය හෝ කන්කසන්තුරේ දක්වා දුම්රියෙන් යාම වියදම් අඩු කරගැනීමට හොඳම ක්‍රමවේදයකි.

යාපනය පුස්තකාලය, නල්ලූර් කෝවිල, යාපනය කොටුව විශාල සංචාරක ආකර්ෂණයක් හිමි කරගෙන තිබෙන ස්ථාන වේ.

එමෙන් ම ශ්‍රී ලංකාවට අයත් දුරස්ථ දුපතක් වන ඩෙල්ෆ් දක්වා යාමට ද, එසේත් නැතිනම් නාගදීපයට යාමට ද බෝට්ටු සේවා පවතියි.

ඒ සඳහා යාපනය බස් නැවතුමෙන් කුරිකට්ටුවාන් ජැටිය වෙත යන බස් රථයකට ගොඩවිය යුතු ය.

කාලසටහනකට ක්‍රියාත්මක වන බෝට්ටු සේවාව පිළිබඳව දැනුවත් ව යාමෙන් එම ගමන වඩාත් පහසු වනු ඇත.

නාගදීප දූපතේ ඇති බෞද්ධ විහාරස්ථානය විශාල සංචාරක ආකර්ෂණයක් ඇති බෞද්ධ සිද්ධස්ථානයකි.

ඩෙල්ෆ් දූපත වෙත යාමට දීර්ඝ බෝට්ටු ගමනක් ඇති අතර එහි දැක ගැනීමට පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන ඇතුළු සුන්දර ස්ථාන රාශියක් තිබේ.

හැටන් සිට සමනල කන්ද දක්වා

Sri Paraya

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කොළඹ සිට හැටන් දක්වා දුම්රියෙන් ගමන් කර එතැන් පටන් බස් රථයකින් නල්ලතන්නිය දක්වා ගමන් කිරීම සමනොළ කන්ද තරණයට පහසුවෙන් ළඟා විය හැකි එක ආකාරයකි

මේ වන විට උඳුවප් පොහොය පසු වී ඇති බැවින් ශ්‍රී පාදය වන්දනා කිරීමේ සමය එළඹ තිබේ.

ශ්‍රී ලංකාවේ උසින් වැඩිම කඳු 10 අතර ඇති ශ්‍රීපාදය තරණය කිරීමට තරමක් පහසු එහි මාර්ග විධිමත්ව සකස් කර ඇති නිසා ය.

කොළඹ සිට හැටන් දක්වා දුම්රියෙන් ගමන් කර එතැන් පටන් බස් රථයකින් නල්ලතන්නිය දක්වා ගමන් කිරීම සමනොළ කන්ද තරණයට පහසුවෙන් ළඟා විය හැකි එක් ආකාරයකි.

නිරන්තරයෙන් වන්දනාකරුවන් එක්රැස් වන තැනක් වන නිසා නල්ලතන්නිය සහ සීත ගඟුල ආශ්‍රිතව පොදු යටිතල පහසුකම් තිබේ.

මේ වන විට වන්දනා සමය ඇරඹී ඇති බැවින් වෙළඳසැල් විවෘතව පවතියි.

ඇතැම් වෙළඳසැල්වලින් භාණ්ඩ භාරගන්නා නිසා ඔබේ බරින් වැඩි ගමන් මලු සුළු මුදලක් ගෙවා ඔවුන් වෙත භාර දී නැවත එන විට ඒවා ලබා ගැනීමට ද හැකියි.

ඔබ රාත්‍රියට නැවතීමට ස්ථාන තෝරා ගැනීමේදී අදාළ ප්‍රදේශය ආරක්‍ෂිත නම් ඔබට පහසුවෙන් කඳවුරු ලා ගැනීමට හැකියි.

වියදම් අඩු කරගැනීමට කළ හැකි දේවල්

විනෝද චාරිකාවක් යාමේදී වියදම් අඩු කරගැනීමට ක්‍රම කිහිපයක් තිබේ.

එයින් එකක් වන්නේ පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමයි.

ශ්‍රී ලංකාවේ බොහෝ සංචාරක ස්ථානවලට පොදු ප්‍රවාහනය මගින් ප්‍රවේශ වීමේ හැකියාව පවතියි.

එමෙන් ම ඇතැම් විට කිලෝමීටර කිහිපයක් දුර පයින් ගමන් කිරීම ද වියදම් අඩු කරන මෙන් ම, අලුත් අත්දැකීමක් එක කරන දෙයක් විය හැකියි.

බොහෝ සංචාරක ගමනාන්තයට යන මාර්ග ද ඉතා සුන්දර පරිසර පද්ධති වලින් සමන්විත නිසා පයින් ගමන් කිරීම ද වෙනස් ආකාරයේ අත්දැකීමකි.

ඔබ රාත්‍රියට නැවතීමට ස්ථාන තෝරා ගැනීමේදී අදාළ ප්‍රදේශය ආරක්‍ෂිත නම් ඔබට පහසුවෙන් කඳවුරු ලා ගැනීමට හැකියි.

නැතිනම් රජයට අයත් හෝ පුණ්‍යායතනවලින් පවත්වාගෙන යන නිවාඩු නිකේතන, විශ්‍රාම ශාලා හෝ තානායම්වල නැවතීමෙන් තවත් වියදම අඩු වේ.

ඇතැම් ප්‍රදේශවල ජනතාව ද ඔවුන්ගේ නිවෙස්වලම අඩු මුදලට නවාතැන් ලබා දීම සිදු කෙරේ.

සෑමවිටම අඩු භාණ්ඩ ප්‍රමාණයක් චාරිකාවේදී රැගෙන යාම ගමන තවත් පහසු කරනු ඇත.