මහර ඛේදවාචකය සහ ජාත්‍යන්තර මානව හිමිකම් දිනය: ඡන්දය ඇති 'අයිඩින්ටිය' නැති මිනිසුන්

- Author, සුනෙත් පෙරේරා
- Role, BBC සිංහල
අද (දෙසැම්බර් 10) ජාත්‍යන්තර මානව හිමිකම් දිනයයි. අනන්‍යතාව මූලික මිනිස් අයිතිවාසිකමකි. සිය අයිතිවාසිකම් භුක්ති විඳීම සඳහා යමෙකුට සිය අනන්‍යතාව දැක්වෙන හැඳුනුම්පත උපකාරී වේ. පහත දැක්වෙන්නේ එකී මූලික අයිතිවාසිකම පවා අහිමි වූවන් පිරිසකගේ දුක්ගැනවිල්ලයි.

මිහිපිට බිම් අඟලක් තබා අඩුම තරමේ හැඳුනුම්පතක් හෝ නොතිබුණු සිංගක්කාර ලියනගේ සම්පත් පුෂ්පකුමාරට මෙලොව ඉඩක් තිබුණේ නම් ඒ හුස්ම ගැනීම සඳහා පමණි. අවසානයේ ඔහුට ඒ හුස්ම පොදත් අහිමි විය.
මහර බන්ධනාගාරයේ සිදු වූ වෙඩි තැබීමෙන් මරණයට පත් 29 හැවිරිදි සම්පත් තිදරු පියෙකි. වැඩිමහල් දියණියගේ වයස අවුරුදු අටකි. පුතුන් දෙදෙනා සිව් වෙනි වියේ සහ තෙවෙනි වියේ පසු වෙති.
ඔවුහු ජාඇල ප්‍රදේශයේ දුම්රිය මාර්ග රක්ෂිතය අසල පදිංචිකරුවන්ය.
සිය පියා මිය ගොස් ඇති බව නොදත් මේ දරුවන් තිදෙනා ඔහු එන තෙක් මග බලා සිටිති. සම්පත්ගේ බිරිඳ ලසන්ති සිය දරුවන්ට පවසා ඇත්තේ "තාත්තා රට ගොස්" ඇති බවකි.
ලසන්ති පවසන පරිදි සිය සැමියාගේ මරණය හුදු වෙඩි තැබීමකින් සිදු වූවක් නොවේ. එය දීර්ඝ කාලීන 'සමාජ අසාධාරණයක' සහ ඒ හා බැඳුනු ගැටලු දාමයක ප්‍රතිඵලයකි.
සම්පත් ද ඇතුළුව දුම්රිය මාර්ගය අසල වෙසෙන බොහෝ පිරිමින්ට ජාතික හැඳුනුම්පත ලබා දීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවට ඇය චෝදනා කරන්නීය.
ඡන්දය ඇත. 'අයිඩින්ටිය' නොමැත


අට වෙනි ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබා ඇති සම්පත්ට ස්ථීර රැකියාවක් සොයා ගැනීමට හැඳුනුම්පත නොමැතිකම විශාල බාධාවක් වූ බව ලසන්ති පවසයි.
"මෙතන ඉන්න ගොඩක් පිරිමින්ට වගේම මගේ මනුස්සයාටත් අයිඩින්ටියක් නැහැ. ඉතින් හරිහමන් රස්සාවක් කරන්න බැහැ. ඒ හින්දා එයා බස්වල සිංදු කියල තමයි අපිව ජීවත් කළේ. එයා රස්සාවක් කියලා වෙන දෙයක් කළේ නෑ. ළමයින්ගේ උප්පැන්න පුරවන්නත් ෆොටෝ සහතික තමයි අරන් ගියේ. ඒකත් කියලා කියලා අමාරුවෙන් ඉල්ල ගත්තේ…" ඇය හඬා වැටෙයි.
ලසන්ති පවසන පරිදි මත් කුඩු ළඟ තබා ගැනීමේ චෝදනා මත සම්පත් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ජුනි 25 වෙනිදාය. අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇත්තේ ජුනි 26 වෙනිදාය. සම්පත් මහර බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටි කාලය මාස හයකට ආසන්නය.
"එදා බන්ධනාගාරේ ළඟට යනකොටත් එතන වෙඩි තියනවා, ගිනි ගන්නවා. අපිට දැන් යන එනමං නෑ මහත්තයෝ, අපි අසරණයි… මගේ මිනිහා නැතුව මම ඉඳල මොකටද? ඒත් ළමයි තුන් දෙනා වෙනුවෙන් ජීවත් වෙන්න වෙලා... මමත් නැති වුණොත් උන්ට කවුරුත් නැති වෙනවා..."


බසයක, කෝච්චියක සිංදු කීම එක්තරා ආකාරයකට අනුන්ට අතපා ජීවත් වීමකි. 'අයිඩින්ටියක්' නැතත් තවකෙකුට අතපෑම මේ තරුණයාට අපහසු කාර්යයක් වන්නට ඇතැයි ලසන්තිගේ කතාවෙන් හැඟෙයි.
ඇය පවසන පරිදි සම්පත් මත් කුඩු භාවිත කර ඇත්තේ එම වෘත්තීය සහ සමාජය හමුවේ ඇතිවන මානසික පීඩාවෙන් අත්මිදීමේ මගක් වශයෙනි.
"මිනිස්සු ඉදිරියේ වෙන ලැජ්ජාවට... අනුන්ට අතපාන්න ලැජ්ජාව ඇරගන්න තමයි මතට හුරු වුණේ,"
නමුත් මත් කුඩු ළඟ තබා ගනිමින්, මත් කුඩු වෙළෙඳාමේ යෙදුනේ යැයි "බොරු චෝදනා දමා" පොලිසිය ඔහු අත්අඩංගුවට ගත් බව ලසන්ති කියා සිටී.
නැති බැරිකම මෙන්ම සමාජයෙන් ගැරහුම්, අවමන් මිස පිහිටක් නොලද බව ඇය ඇඬු කඳුලින් කියා සිටී.
"එයාට අයිඩින්ටිය නැති හින්දා ඒක හදාගන්න මම දවස් ගානක් ග්‍රාම සේවක මහත්තයා ගාවට ගියා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියා. මම ළමයත් උස්සගෙන ගියේ, එතකොට පොඩි එකාට සතියයි."
"පොලිස්සියට ගිහාමත් කියන්නේ උඹලගේ ගෙවල් ගිනි තියනවා, කඩනවා, දැන් කඩන්න අවසර දීලා තියෙන්නේ, උඹලා වැඩිකල් ඉන්න නෙමෙයි ඔතන වගේ දේවල්. අපිට යන්න තැනක් දුන්නා නම් අපි යනවා. කොල වගයකට අස්සන් ගත්තා, හැබැයි කියවන්න දුන්නේ නැහැ. අපි ඇහුවම මොකටද කියලා, ඡන්ද කොලවලට කියලා කිව්වා මිසක් හරියට මොකක්ද කියලා කිව්වේ නැහැ."
"හැමෝම කියන්නේ උඹලා පලයල්ලා, උඹලා පලයල්ලා කියලා. අපි කොහේ කියල යන්නද? දැන් මට මගේ මනුස්සයත් නැහැ...."

"අපි ගැන බලන්න කවුරුත් නැහැ. ඡන්දේ කාලෙට අර මහත්තයා, මේ මහත්තයා කියාගෙන ඡන්දේ ඉල්ලන්න නම් එනවා."
"අඩුම තරමේ හැඳුනුම්පතක් අරන් රස්සාවක් කරලා ජීවත් වෙන්න අපිට මේ රටේ අයිතියක් නැද්ද? අනික් මිනිස්සු වගේ කාලා බීලා පවුලේ අයත් එක්ක එකට ජීවත් වෙන්න තියෙන අයිතියවත් රජයෙන් අපිට දීලා නෑ. ඒ තරමටම අපිව අසරණ කරලා..."
"මේ මහ පොළොවේ මුකුත්ම නැති මිනිහට ඉතුරු වෙලා තිබුණේ හුස්ම පොද විතරයි. අන්තිමට ඒකත් එයාගෙන් උදුර ගත්තා..."
චන්ද්‍රිකා සමන්ලතා සම්පත්ගේ සොහොයුරියකි. ලසන්ති සමග රෝහලට ගොස් සම්පත්ගේ මෘත දේහය හඳුනා ගත් බව ඇය බීබීසිය වෙත පැවසීය.
බන්ධනාගාර වෙඩි තැබීමේ දී පළමුව වෙඩි වැදී ඇත්තේ සම්පත්ට බව එහි සිටි සෙසු රැඳවියන් වෙතින් දැන ගැනීමට ලැබුණු බව ඇය කියා සිටී.
"අද අපේ මල්ලිට අවුරුදු විසි නවයෙන් දරුවෝ තුන්දෙනයි ගෑනිවයි අසරණ කරලා යන්න වුණෙත් අපි ගැන රජයෙන්වත් සොයා බැලීමක් නොකළ නිසයි. හරි හමන් රස්සාවක් තිබ්බා නම් මල්ලිට මෙහෙම දෙයක් වෙන්නේ නෑ..."

1989 වසරේදී විවාහ වීමෙන් පසු ජාඇලට පැමිණ ඇති චන්ද්‍රිකා ද ගත කර ඇත්තේ 'අතන මෙතන' ජීවිතයකි.
"එදා ඉඳන්ම අපි පේමන්ට් එක අයිනේ ගෙවල් හදාගෙන ඉන්නේ. කලින් රේල් පාර අයිනේ ගෙවල් හදාගෙන හිටියා. ඒ පැත්තෙන් අයින් වෙන්න කිව්වම මේ පැත්තට ඇවිත් ගෙවල් හදාගත්තා. අපිට කිසි කෙනෙකුගේ හව්හරණක් නැහැ. අයිඩින්ටිය හදා ගන්න ගිහාම ග්‍රාම සේවක මහත්තයා කියන්නේ, ලියාපදිංචියක් නැහැ, අනවසර ඉඩම් නිසා දෙන්න බැහැ කියලා. මට අයිඩින්ටිය හැදුවා, මගේ පුතාට හැදුවා අනික් අයට හදන්න බැහැ කිව්වා,"


"ඒත් දැන් අපේ කට්ටියගේ ඡන්ද පහළොවක් විතර තියෙනවා. දරුවෙක් ඉස්කෝලේ දාන්න ගියත් ලියාපදිංචි සහතිකයක්, ග්‍රාම සේවක සහතිකයක් ලැබෙන්නේ නැහැ. මේවත් එක්ක රස්සාවල් ලැබෙන්නෙත් නැහැ. ඉතින් බස්වල සිංදු කියනවා, පොත් විකුණනවා, කකුළුවෝ විකුණනවා. එහෙම තමයි ජීවත් වෙන්නේ. ඉතින් මිනිස්සු මතට හුරු වෙනවා..."
"අපේ දරුවෙක් ඉස්කෝලේ ගියත් කොන් වෙනවා. සමහර වෙලාවට කිසිම වැරැද්දක් නැතුව පොලිස්සිය ගෑනුන්ට පවා පයින් ගහලා, කොන්ඩවල්වලින් ඇදලා අනන්තවත් ගහලා තියෙනවා. පන්දාහ ගන්න ගිහාමත් උඹලට දෙන්නේ නැහැ කියලා ගමේ මිනිස්සු අපිට බැන්නා. අපේ අයව පස්සට එළවලා තිබුණා."
"මේ, තමන්ට කියල වහලක් නැති මිනිස්සු...එච්චරක් නෙමෙයි අඩුම ගානේ හැඳුනුම්පතත් නැති මිනිස්සු... අන්තිමට ඉතුරු වෙලා තිබුණු හුස්ම පොදත් උදුරගෙන. සිරකරුවොත් මනුස්සයෝය කියනවා. ඒත් මිනිහෙක්ට හිමි වෙන්න ඕනි කිසිවක් නැති නිසා මේ මිනිස්සු මිනිස්සු නෙමෙයි කියලා හිතෙන්න ඇති..."

පසුගිය නොවැම්බර් 29 වෙනිදා මහර බන්ධනාගාරයේ හටගත් කලහකාරී තත්ත්වය හමුවේ රැඳවියන් 11 දෙනෙකු මරණයට පත් වූ අතර 100 අධික පිරිසක් තුවාල ලැබූහ.
ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි වෙත සඳුදා (දෙසැම්බර් 07) භාර දෙනු ලැබිණි. අදාළ කමිටුව විසින් මසක් තුළ ඒ සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබීමට නියමිතව බව අධිකරණ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
"මේ වගේ සිද්ධි ඉදිරියේදී සිදු නොවීමට අපි කටයුතු කළ යුතුයි. සමස්ත බන්ධනාගාර පද්ධතිය තුළ පවතින ක්‍රමවේදය පිළිබඳව සලකා බැලිය යුතුයි. මත් ද්‍රව්‍ය වලට යොමු වුවන් පුනරුත්ථාපනය කිරීම අපේ අරමුණයි. සමස්ත බන්ධනාගාර පද්ධතියම යහපත් කිරීම සිදු කළ යුතුයි," යනුවෙන් අධිකරණ ඇමතිවරයා එහිදී පවසා තිබිණි.
"සිර කඳවුරු වෙනුවට පුනරුත්ථාපන කඳවුරු ඇති කර විශේෂයෙන් මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වු අය ඒ තුළින් මුදවා ගැනීම සිදු කළ යුතු වෙනවා. ඔවුන් පුනරුත්ථාපනය කර සමාජ ගත කළ යුතුයි,"
මේ ගැනත් කියවන්න:
- මහර සිරගෙදර ගැටුම ගැන බන්ධනාගාර වෛද්‍යවරයාගේ ප්‍රකාශය
- "මරණ පරීක්ෂණ නිමාවන තුරු මහර රැඳවියන්ගේ සිරුරු ආදාහනය කරන්න එපා"
- මහර බන්ධනාගාරයේ ගැටුම තවමත් නිම වී නෑ - සිරකරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුව
- සිරකරුවන් 8 ක් මරුමුවට පත් වූ මහර බන්ධනාගාර ගැටුම කාගේ වරදින්ද?
- බන්ධනාගාර රැඳවියන් පිරිසක් වහල මත විරෝධතාවක





