කොරෝනා වෛරසය: බන්ධනාගාර රැඳවියන් පිරිසක් වැලිකඩ හා මිගමුව බන්ධනාගාර වහල මත විරෝධතාවක

ගෝලීය කෝවිඩ් වසංගතය ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළටත් සම්ප්‍රේෂණය වීමත් සමගම බන්ධනාගාර තුළ ද නොසන්සුන්තාවක් ඇති වී තිබෙන අතර එහි නවතම සිදුවීම අද වැලිකඩ සහ මීගමුව බන්ධනාගාරවල වලින් වාර්තා වූයේ රැඳවියන් පිරිසක් උදෑසන සිට බන්ධනාගාර වහලය මත නැග විරෝධතාවයක නිරත වීමත් සමඟය.
විරෝධතාකරුවන් විසින් බන්ධනාගාරවල පවතින දැඩි තදබදය හා පහසුකම් අවම වීම හේතුවෙන් මෙන්ම කොරෝනා වසංගත අවදානම තවත් උත්සන්න වී ඇති නිසා ඇප ලබාදීම කඩිනම් කරන ලෙසත්, නඩු කඩිනම් කරණ ලෙසත් ඉල්ලා මෙසේ බන්ධනාගාර වහලය මත නැගී විරෝධතාවයේ නියැලෙන බව බන්ධනාගාර නිලධාරියෙක් බීබීසී සිංහල සේවය සමග පැවසීය.

මෙම සිරකරුවන් විරෝධතා පුවරු රැගෙන වැලිකඩ හා මීගමුව බන්ධනාගාරයේ වහලය මත නැගී විරෝධතාවයක නිරත වූහ.
ඔවුන් එම විරෝධතා පුවරුවල "බලධාරීන් සවන්දෙන්න. VIP වරුන්ට උසාවි ඇරේ සිරකරුවන්ට උසාවි වැසේ! සියලුම නඩු කඩිනම් කරන්න. දෙන සමාව පොදුවේ ලබාදෙන්න. සිව්වස් සමාලෝචනය ලබා දෙන්න," යනාදී වැකි ලියා තිබුණි.
"රැඳවියන් පනහකට අධික පිරිසක් අද වැලිකඩ බන්ධනාගාරයේ වහලයක් මතට නැගී විරෝධතාවයක් පටන් ගත්තා. ඔවුන් පවසන්නේ ඔවුන්ට හරියට කෑම වත් ලබාදෙන්නේ නෑ," සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුවේ සභාපති නිතීඥ සේනක පෙරේරා බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේය.
අගුණකොල පැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ද දැනට දින 5 ක් තිස්සේ විරෝධතාවයක නිරත වන බවත් ඔහු පැවසීය.

"සිරකරුවොත් මිනිසුන්, ඒ නිසා ඒ අයටත් ජිවත් වීමේ අයිතිය තියෙනවා. රැදවියන්ට කිසිම පහසුකමක් නෑ. ඒක නිසා තමයි ඔවුන් මේ විරෝධතාවය කරන්නේ."
බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරන්නේ ජනපති පොදු සමාව යටතේ බන්ධනාගර ගතව සිටින සිරකරුවන් 600 දෙනෙකුට පමණ නිදහස ලබාදීමට පියවර ගෙන තිබෙන බවයි.
මේ අනුව සුළු වැරදි මත සිර දඬුවම් විඳින සිරකරුවන් පිරිසකට මෙම නිදහස ලබා දීමට කටයුතු කරන බවත් නිලධාරියා පැවසීය.
මේ වන විට බන්ධනාගාර ආශ්‍රිතව 821 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තාවන අතර මෙයින් 772 ක් රැඳවියන් වන අතර 49 දෙනෙක් බන්ධනාගාර නිලධාරීන් වේ. ඔවුන් අතරින් දෙදෙනකු මියගොස් ඇත.
දිවයිනේ විවිධ ප්‍රදේශවල බන්ධනාගාර පහකින් මෙම සිද්ධීන් මේ වන විට අනාවරණය වේ.
ශ්‍රී ලංකා බන්ධනාගාරවල අධික තදබදයක් ඇති අතර රැඳවියන් 26,000 කට වැඩි ප්‍රමාණයක් අඩු පහසුකම් සහිත මෙම බන්ධනාගාරවල පිරී ඇති බව නීතිඥ සේනක පෙරේරා පැවසීය.
පසුගිය මාසයේ සිට ශ්‍රී ලංකාව කොරෝනා රෝගයේ නැවුම් ප්‍රභේදයක් මිණුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හල ආශ්‍රිතව වර්ධනය වූ අතර ඒ මගින් පොකුරු දෙකක්, එකක් ඇඟලුම් කම්හලක් කේන්ද්‍ර කර ගෙනත් අනෙක පෑලියගොඩ මාළු වෙළඳපොළේ ආශ්‍රිතයන්ගෙන් සම්ප්‍රේෂණය වීම ආරම්භ විය.
ඒ සමගම පොලිස් නිලධාරීන් සහ බන්ධනාගාර ආශ්‍රිතව මෙම රෝගය මේ වන විට පැතිරයමින් පවතී.

පොකුරු දෙකෙන් තහවුරු වූ සිද්ධීන් නොවැම්බර් 27 වන සිකුරාදා වන විට 18742 දක්වා වර්ධනය වී තිබිණ. මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 22,279 කි. ශ්‍රී ලංකාව තුළ කෝවිඩ් 19 ආසාදිතයින් 107 දෙනකු මේ වන විට මරණයට පත් වී ඇත.
කියවන්න:










