ශ්‍රී ලංකාවේ දේශපාලනය, 'චොකා මල්ලි' සහ මරණ දඬුවම : 'මගේ තාත්තා, තාත්තටම වෙඩි තියා ගත්තද?'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, සුනෙත් පෙරේරා
- Role, BBC සිංහල
"මම තාත්තා ළඟට යනකොට බඩවැල් එළියට ඇවිල්ලා. එතකොටත් තාත්තට සිහිය තිබුණා."
"තාත්තා මගේ අතින් අල්ලන් හිටියේ. මම ඇම්බියුලන්ස් එකට නගින්න හදනකොට තාත්තා කිව්වා, නෑ පුතේ ඔයා ගෙදර යන්න. මම ඉක්මනට එන්නම්. අම්මයි, අක්කලයි බලා ගන්න කියලා "
"තාත්තා ජීවිත කාලෙටම මගෙන් කිසිම ඉල්ලීමක් කරලා නැහැ. ජීවිතේ ඉල්ලපු එකම දේ එච්චරයි..."

ඉහත දැක්වෙන්නේ පියෙකුගේ අවසන් වචන කීපය සිහිපත් කරමින් දුක් සුසුම්ලන පුතෙකුගේ මතකයයි.
2015 ජනවාරි 05 වෙනිදා අලුයම කහවත්ත නගරයේ දී එවක පොදු අපේක්ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් සංවිධානය කෙරුණු ප්‍රචාරක රැළියක් සඳහා සැරසිලි කරමින් සිටි පිරිසකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ශාන්ත දොඩංගොඩ හෙවත් ඩී.ජී සුනිල් පෙරේරා මරණයට පත් විය.
එම ඝාතනයට වරදකරු වී එල්ලුම් ගස නියම වුණු ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී රටේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමත් සමග රටේත්, පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ගේත් අවධානය යොමුව ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය වැනි නෛතික කරුණු කෙරෙහිය. එහෙත් එකී සිදුවීමට අදාළ වින්දිතයන් සම්බන්ධයෙන් වාර්තා නොවන තරම්ය. බීබීසී සිංහල සේවය විසින් ශාන්ත දොඩංගොඩගේ බිරිඳ, දියණියන් දෙදෙනා සහ පුතු සම්බන්ධ කර ගනු ලැබුවේ එවැනි පසුබිමක් තුළදීය.
ශ්‍රී ලාංකිකයන් වෙත ඉල්ලීමක්

ඡායාරූප මූලාශ්‍රය, Pushpa Dodangoda
දේශපාලන උවමනා සහ දේශපාලන කණ්නාඩි පසෙකලා තමන්ට සිදු වූ ඛේදවාචකය දෙස සංවේදීව බලන ලෙස ඔවුහු පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ගෙන් සහ රත්නපුර ජනයා ඇතුළු සමස්ත රටවාසීන්ගෙන් ඉල්ලා සිටිති.
එමෙන්ම "ගුණමකු දේශපාලනඥයන්" වෙනුවෙන් තම ජීවිත අනතුරේ හෙළා නොගන්නා ලෙස ද දොඩංගොඩ පවුල ඉල්ලීමක් කරයි.


කහවත්ත නගරයේ දී ශාන්ත දොඩංගොඩ වෙඩි ප්‍රහාරයට ගොදුරු වන අවස්ථාවේ එහි සිටි ඔහුගේ පුත් සුමංග පස් වසරකට පෙර මතකය අවදි කළේ ඉකි බිඳිමිනි.
"තාත්තා රත්නපුරේ අරන් ගියාට පස්සේ මම ගෙදර ගියා. ගෙදට්ට යනකොට අම්මා ඇහුවා පුතේ... කහවත්තේ වෙඩි තියලා නේද? කෝ තාත්තා? කියලා... තාත්තට වෙඩි වැදුණා. තාත්තා හොස්පිටල් එකට ගෙනිච්චා, තාත්තට කරදරයක් නැහැ, අපි ඉක්මණට යමු කියලා මම අම්මවත් එක්කරගෙන බයිසිකලේ රත්නපුරේ ගියා..." සුමංග කඩින් කඩ කතාව නතර කරමින් අතීතය සිහිපත් කරයි.
"මම ඒ යන ගමන් පැල්මඩුල්ලේ ගනේගම පන්සල ළඟ නැවැත්තුවා. මගේ තාත්තව බේරලා දෙන්න කියල මම බුදුන්ගෙන් ඉල්ලුවා. මට වෙන කියන්න කෙනෙක් හිටියේ නැහැ. මම දැකපු දේවල් අම්මට කියන්නත් බැහැ. මම ඒ වෙලාවේ පුදුම විදිහට අසරණ වුණා,"
"මම ඉක්මණට එන්නම්" කී සුමංගගේ පියා 2015 ජනවාරි 07 වෙනි දින රත්නපුර මහ රෝහලේදී අවසන් හුස්ම හෙලීය.
ඊට පසුදා පසු එනම් 2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවරණය මෛත්‍රිපාල සිරිසේන ජයග්‍රහණය කළේය. අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කර එම ධුරය සඳහා සිය ප්‍රතිවාදියා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2018 ඔක්තෝම්බර් 26 වෙනිදා පියවර ගත්තේය. 2019 ජනාධිපතිවරණය සඳහා දෙවනවර ඉදිරිපත් නොවී එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය ලබා දුන් මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා 2020 මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කොට යළි පාර්ලිමේන්තුවට තේරී පත් විය.


සිය සැමියාගේ ඝාතනයෙන් පස් වසරකට පසු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනත්, පොදු අපේක්ෂකයාව සිටියදී ඔහු වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදුණු ආධාරකරුවන්ට වෙඩි තැබූ ප්‍රේමලාල් ජයසේකරත් පාර්ලිමේන්තුවේ එකම පසෙක අසුන් ගෙන සිටුනු දැකීම තමන්ට පමණක් නොව සෙසු ශ්‍රී ලාංකිකයන්ට ද "හොඳ පාඩමක්" කියා දෙන බව ශාන්ත දොඩංගොඩගේ බිරිඳ පුෂ්පා දොඩංගොඩ පවසයි.
"මම මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගෙන් අහන්නේ, ඔය පුටුවේ වාඩිවෙලා ඒ අය එක්ක කනකොට බොනකොට අපේ මහත්තයා මැරුණ එක මතක් වුණේ නැද්ද කියලා,"
"මහත්තයාගේ මරණේ ඉස්පිරිතාලේ තියෙද්දී තමයි මායි ළමයි තුන් දෙනෙයි ඡන්ද පොළට ගිහින් හංසයාට කතිරේ ගැහුවේ. මේ මරණයත් එක්ක රත්නපුරේ වගේම ලංකාවේ ගොඩක් මිනිස්සු එදා පැවති පාලනේට විරුද්ධව මෛත්‍රීපාල සිරිසේන මහත්තයට ඡන්දේ දුන්නා."
"හැබැයි මේ සැරේ මම ඡන්දේ දාන්න ගියේ නැහැ. මම මීට පස්සේ ආය කවදාවත් ඡන්දයක් දෙන්නෙත් නැහැ. මම විතරක් නෙමෙයි අපේ පවුලේ කවුරුත් ඡන්දේ දැම්මේ නැහැ. තමන් හොඳයි කියල හිතන පක්ෂයකට ඡන්දේ දෙන්න, හැබැයි දේශපාලනඥයෝ කියන මිනිස්සු වෙනුවෙන් නම් පාරට බැහැල වැඩ කරන්න යන්න එපා. අන්තිමට අපිට අපි විතරයි."
"අපි හදාගත්ත ගේ දොර හැමදේම අපට නැති වුණා. මහත්තයා කහවත්ත ප්ලාන්ටේෂන් එකේ ගබඩා පාලකවරයෙක් විදිහට රස්සාව කළේ. මහත්තයගේ පඩියෙන් තමයි අපි ජීවත් වුණේ. ඒත් අපි කාටත් අත පාන්නේ නැතුව බොහොම හොඳින් ජීවත් වුණු පවුලක්."
"ගමෙනුත් යන්න වුණා"

ඡායාරූප මූලාශ්‍රය, Maithripala Sirisena
පුෂ්පා පවසන පරිදී එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය සැමියාගේ අවමංගල්‍යට සහභාගී වූවා හැර ඔහු හෝ ප්‍රදේශයේ එජාප දේශපාලනඥයන් ඔවුන් පිළිබඳ නිසි සොයා බැලීමක් සිදු කර නොමැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එවක තමන් කැඳවා ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් ලබා දුන් බව ඇය සඳහන් කළාය.
සිය සැමියාගේ මරණයෙන් පසු ගමේ ප්‍රතිවාදීන්ගේ අඩන්තේට්ටම්වලට මුහුණ දීමට සිදු වූ බවත් වරෙක ඔවුන් සිය පුතුට පහර දුන් බවත් පුෂ්පා කියා සිටී.
"මම කල්පනා කළා ගමෙන් යන්න ඕනි කියලා. එතකොට ලොකු දුව ගෙයක් කුලියට අරන් හිටියේ. මම කිව්වා පුතේ අපි යන්න යමු කොළඹ අක්කලා ගාවට. මෙහෙ හිටියොත් තාත්තා විතරක් නෙමෙයි මට පුතත් නැති වෙනවා කියලා. ඒ අතරේ අපේ ගේ නාය යාමේ අනතුරකටත් මුහුණ දුන්නා. මේ කරදරත් එක්ක සල්ලි හොයාගෙන පුතාව රට ඇරියා."
තමා පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිත නොකළ ද ගෝඨාභය රාජපක්ෂ යටතේ රටේ වෙනසක් සිදුවනු ඇතැයි සිත තුළ සියුම් බලාපොරොත්තුවක් පැවති බව පුෂ්පා දොඩංගොඩ පවසන්නීය.
"හැමෝටම එක නීතියක් කියලා මම හිතුවා. ඒත් එහෙම දෙයක් නැහැ නේද?" ඇයගෙන් ප්‍රශ්නාර්ථයකි.
"වෛර කරන්න හයියක් නැහැ"

"ඒ මනුස්සයා හිරේ ගියා කියලා මගේ මහත්තයට පණ එන්නේ නැහැ. අනුන්ගේ රැස්වීමකට කරදර කරන්න ගිය නිසානේ මේ දේ වුණේ. වෛරයෙන් වෛරය සංසිදෙන්නේ නැහැ වගේම වෛර කරන්න අපිට හයියකුත් නැහැ. එච්චරටම හිත කඩා වැටිලා... අපිට මෙහෙම වුණේ මේ කුණු දේශපාලනයක් නිසා නේද කියල හිතින් අඬන වාර අනන්තයි. මගේ දරුවන්ට තාත්තා නැති වුණු එක විතරයි වුණේ..." යනුවෙන් පුෂ්පා වැඩිදුරටත් පැවසීය.
දුක් මහන්සියෙන් හරි හම්බ කර තමන් උස්මහත් කළ සිය පියාගේ අකල් වියෝව සිය ජීවිතවලට ඉමහත් බලපෑමක් එක් කළ බව ශාන්ත දොඩංගොඩගේ දියණියන් දෙදෙනා බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ ඇඬු කඳුලෙනි.
සිය පියාගේ අකල් මරණයත් සමග පවුලේ වැඩිමහල් දරුවා වශයෙන් තමන්ට දැඩි වගකීමක් පැවරුණු බව දෙටු දියණිය සුමාලි දොඩංගොඩ සඳහන් කළාය. බොහෝ නඩුවාරවලදී අධිකරණය වෙත ගොස් ඇත්තේ ඇයයි.
"අම්මා, නංගි එතරම් හොඳ තත්ත්වයක නෙමෙයි හිටියේ. මල්ලිත් තීරණයක් ගන්න පුළුවන් තැනක හිටියේ නැහැ. ඒ දේවල් මට බලන්න වුණා. මොකද අපිට මේ වගේ දෙයක් වෙයි කියලා අපි කවදාවත් හිතුවේ නැහැ."
"සාධාරණයක් දකින්නයි උසාවියට ගියේ. ඒ හැර අපිට මිනිස්සු මරන්න බැහැනේ. එහෙම හිත හයිය දරුණු විදිහට තාත්තා අපිව හදල තිබුණේ නැහැ. අපි හැමවෙලාවෙම හිතුවේ නීතියෙන් සාධාරණයක් වෙයි කියලා. ඒත් ලැබුණු සාධාරණයත් වැඩි කල් දරා ගන්න බැරි වුණා. තාත්තා කෙනෙක් නැති වෙන්නම ඕනි මනුස්සයෙකුට තාත්තා නැති එකේ එකේ දුක, අඩුව තේරෙන්න."
මැණික් කර්මාන්තය සහ දේශපාලනඥයෝ
ලාභ ප්‍රයෝජන තකා රත්නපුරයේ ඇතැම් ජනයා ද "නීති කඩන" දේශපාලනඥයන් වෙනුවෙන් පෙනී සිටින බව සුමාලි කියා සිටියේ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවේ දිව්රුම් දීමත් සමග ඔහුගේ අධාරකරුවන් කිරිබත් කා සතුටු වූ බවට පළ වූ වාර්තා පිළිබඳ අදහස් දක්වමිනි.
"රත්නපුරේ මැණික් බිස්නස්වලට යන අය අතර අධ්‍යාපනය මග නැවතුනු අය වැඩියි. අවසරයක් නැතුව මැණික් හාරන්න දෙනවා නම්, පොලිසියට අල්ලන් ගියත් කෝල් කරලා එළියට දාන්න කියනවා නම් ඒ මිනිස්සු, දේශපාලනඥකුගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ."
පියාගේ ඝාතනය සිදුවන විට සුමාලිගේ කනිටු සොහොයුරිය සුනාලි දොඩංගොඩ තෙමස් ගැබිනියකි.
"අපි පස් දෙනා හරිම ළඟින් හිටියේ. එහෙම අපි එකට හිටිය පවුලක්. අපිට ශක්තිය ලැබෙන වෙලාවේ තාත්තට සලකගන්න අපිට බැරි වුණා. අම්මයි තාත්තයි අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. අම්මට දැන් අපි සලකනවා, ඒත් තාත්තා අපි වෙනුවෙන් කළ දේවල්වලට අපිට අද සලකගන්න අවස්ථාවක් නැහැ නේද? අඩුගානේ අතක් පයක් කැඩිලා හරි ජීවත් වෙලා හිටිය නම්..." යනුවෙන් සුනාලි පවසන්නීය.
"අපේ අම්මල අවුරුදු විස්සක විතර ඉඳන් ඔය දේශපාලනේ කරනවා. ඒත් ඕවායින් වැඩක් නැහැ කියලා අපි අම්මලට කියනවා. නෑ ඉතින් කවදාහරි ඕගොල්ලන්ට ආණ්ඩුවේ රස්සාවක් හම්බ වෙයිනෙ කියලා එතකොට අම්මා කියනවා. ඒත් අපි ආණ්ඩුවේ රස්සාවකට ඇප්ලයි කළත්, ඇප්ලයි කරලා ජොබ් එකක් ගන්න පුළුවන් තත්ත්වයක් ලංකාවේ නැහැනේ. මොකක් හරි දේශපාලන තල්ලුවකින් තමයි ඒවා ලැබෙන්නේ. අපි හැමදාම පෞද්ගලික ආයතනවල රස්සාව කළේ. අපි අද මෙහෙම ඉන්නෙත් ප්‍රයිවට් ජොබ් කරලා. අම්මා තාත්තා මහන්සියෙන් හම්බ කරලා අපට දුන්නා ඇරෙන්න වෙන දෙයක් අපිට නැහැ."
සිය පියාගේ ඝාතනයට අදාළ නඩු තීන්දුව මුල් කර ගනිමින් ඇතැම් පුද්ගලයන් සමාජ ජාල ඔස්සේ තමාට ද බැණ වදිමින් පීඩාවට ලක් කරන බව සුනාලි කියා සිටී.
"දේශපාලනඥයන්ගේ ළමයින් අපි වගේ නෙමෙයි. ඔවුන්ගේ තාත්තලා පාර්ලිමේන්තු ඇවිල්ලා හම්බ කරන සල්ලිවලින් තමයි ඔවුන් ජීවත් වෙන්නේ. හැබැයි අපි එහෙම ජීවත්වෙන මිනිස්සු නෙමෙයි. තමන්ගේ තාත්තට දුකක් කරදරයක් වෙනකොට කොයි ළමයටත් දුකයි. නමුත් අපේ තාත්තගේ ජීවිතේ නැති වුණා. මිනිස්සු තමන්ගේ දරුවෝ ගැන හිතන්න ඕනි අවි අතට ගන්න කලින් නේද?"
රත්නපුරේ දේශපාලන ඝාතන

ඡායාරූප මූලාශ්‍රය, ADADERANA.LK
දේශපාලන ප්‍රචණ්ඩත්වය රත්නපුරයට අලුත් දෙයක් නොවේ. 88, 89 වකවානුවේ වෛද්‍ය ශිෂ්‍ය ත්‍රීමාවිතාන ඇතුළු තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන චූදිතයා බවට පත් වූයේ එවක සබරගමුව මහ ඇමති ජී.වී පුංචිනිලමේගේ පුතණුවන් වන සුසන්ත පුංචිනිලමේ ය. රත්නපුරේ ඊළඟ දේශපාලන ඝාතනය වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිට 1994 මහ මැතිවරණයෙන් පරාජයට පත් වූ අතුල ආටිගලය. ඝාතකයන් යයි චෝදනාවට ලක් වූයේ අතුලට එරෙහි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසකි. ඉන් පසු 1997 දී පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල ඝාතනයට ලක් විය. එහි එක් චූදිතයෙකු වූයේ ද ඒ වන විට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ සුසන්ත පුංචිනිලමේය. ඊට අදාළ සෙසු චූදිතයන් අතර එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රත්නතිලක ද විය. නාලන්ද ඝාතනයත් සමග රත්නපුර දිස්ත්‍රීක්කයේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් පමණක් නොව එම පක්ෂයේ හිතවතුන් යයි සැලකුණු පිරිස් ද ප්‍රහාරයන්ට ලක්වුණු අතර එම පාක්ෂිකයන්ගේ ගේ දොර, ව්‍යාපාරික ස්ථාන, යාන වාහන ගිනි තබා හෝ කඩා බිඳ විනාශ කෙරිණි. නාලන්ද ආදාහන දිනය එහි උච්ඡතම අවස්ථාව විය. කෙසේ වෙතත් පසුව සුසන්ත පුංචිනිලමේ හා මහින්ද රත්නතිලක යන දෙදෙනා මහින්ද රාජපක්ෂ පාලනයට එක්ව, නාලන්ද ඝාතනය අවස්ථාවේ එම ස්ථානයේ සිටි එකල 'මල් බෙරි කණ්ඩායමේ' මුල් පෙළ ක්‍රියාකාරිකයෙකු වූ ඩිලාන් පෙරේරා ඇමතිවරයා සමග එකම ආණ්ඩුවක හිඳිමින් දීර්ඝ කාලයක් කටයුතු කළහ. පෙර ඝාතන තරම් ආන්දෝලනයට ලක් නොවුණ ද සබරගමු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වූ රංජිත් නන්දසේන ද 1999 වසරේදී අමානුෂික ලෙස ඝාතනයට ලක් විය. එසේම එජාප පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස පසුව තේරී පත් වූ හසිත මුහන්දිරම්ගේ හෙවත් සර්පයා ද මනුෂ්‍ය ඝාතනයන්ට චෝදනා ලද අයෙකි. කෙසේ නමුත් ඉහත කී ඝාතනයන්ට චෝදනා ලද ඇතැම් දේශපාලනඥයන් අධිකරණය හමුවේ නඩු විභාග වීමෙන් අනතුරුව නිදහස් විය.


මේ අතර සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකරගේ "අතේ ලේ ගෑවී නොමැති නම්" ඊට වගකිවයුතු පුද්ගලයන් කවුරුන්දැයි සුමංග දොඩංගොඩ ප්‍රශ්න කරයි.
"තාත්තා, තාත්තටම වෙඩි තියා ගත්තද?"

වෙඩි ප්‍රහාරය එල්ල කරනු ලැබ ඇත්තේ වෙනත් කිසිවකු විසින් නම් එම අපරාධකරුගේ නම හෙළි කරන ලෙස ඔහු ඉල්ලා සිටී.
"මගේ තාත්තා කරපු වැරැද්ද මොකක්ද? දේශපාලනය කරන්න මිනිහෙකුට අයිතියක් නැද්ද? අපි කාටවත් ගහන්න ගියාද? අපි කරපු වැරැද්ද මොකක්ද? අපි මිනිස්සුන්ගෙන් මොනවද කඩාවඩාගෙන තියෙන්නේ? අපි රටක් වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න ඉදිරිපත් වුණා තමයි, හැබැයි මහ පාරේ වෙඩි තියලා මරලා දාන්න තරම් වැරද්දක්ද ඒක? එච්චර තිරිසන් තීන්දු ගන්න තරම් මිනිස්සු තිරිසන්ද?" සුමංග ඉකි බිඳිමින් ප්‍රශ්න කරයි.
"මම මේ චූදිතයන්ගෙන් අහන්නේ අපේ ජීවිතවලට මෙතරම් බලපෑමක් කරන්න තරම් අපි කරලා තියන වරද මොකක්ද? මගේ තාත්තා කිසිම මනුස්සයෙකුට වරදක් කරන්නේ නැතුව ජීවත් වුණු මනුස්සයෙක්නේ. ඇයි එහෙම වෙඩි තියලා මරලා දැම්මේ?
"දැන් ඒ අය කියන්නේ මගේ තාත්තම, තාත්තට වෙඩි තියාගෙන මැරුණා වගේ කතාවක්. එතකොට මගේ තාත්තට වෙඩි තියපු මනුස්සයෙක් නැද්ද? මේ දේ රටේ මිනිස්සුන්ටවත් තේරුම් ගන්න බැරි ඇයි?" යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලි ඇතුළු දේශපාලනඥයින් තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් ජුලි මස මරණ දඬුවම නියම කරනු ලැබීය.
කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන සිල්වා සහ සබරගමු පළාත් සභා හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි මරණ දඬුවම නියම වූ අනෙක් දෙදෙනාය.
පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රේමලාල් ජයසේකර කියා සිටියේ සිය දෑතේ "ලේ ගෑවී නොමැති" බවය.

මේ ගැනත් කියවන්න:












