ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇත්ද?

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් නියම කෙරුණු මරණ දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ පමණක් නොව සමාජයේ ද බලවත් විරෝධයක් මතු වී තිබේ.
විශේෂයෙන්ම එම විරෝධය මතුවන්නේ ඔහු එසේ දිවුරුම් දීම හා මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කිරීමත් සමඟ මතුවී ඇති නෛතික හා සමාජීය බලපෑම සම්බන්ධයෙනි.
ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීම මගින් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති අතරම, එය ප්‍රජාතන්ත්‍රවාදයට හා රටේ මූලික නීතියට එල්ල වූ පහරක් බවට විරුද්ධ පක්ෂය තර්ක කරයි.
සිකුරාදා හතරවන දිනයටත් පාර්ලිමේන්තුව ආරම්භයේදී උණුසුම් වූයේ, මරණ දඬුවමට ලක්වී සිරගතව සිටින ප්‍රේමලාල් ජයසේකරට මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට කතානායක වරයා අවස්ථාව සලසා දීම තුලින් ව්‍යවස්ථාවේ 89 හා 91 වගන්ති උල්ලංඝනය වී ඇති බවත් මෙයට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මරණිය දණ්ඩනය නියමවූ සෙල්වරාජා යෝගචන්ද්‍රන් නොහොත් කුට්ටුමනී 1982 දී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ (ටෙලෝ) විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් නම්කළ අවස්ථාවේදී අභියචානයක් ඉදිරිපත් කර තිබුනද එවකට කතානායක බාකීර් මාකර් එයට ඉඩ නොදුන්නේ ව්‍යවස්ථාවේ 89 හා 91 වගන්තිවලට අනුව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සජිත් ප්‍රේමදාස සඳහන් කිරීමත් සමඟය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ පිළිබඳව වැදගත් පූර්වාදර්ශයක් ද ඇති බවත් එම පූර්වාදර්ශය ට පටහැනිව කතානායක තුමා මේ අවස්ථාවේදී කටයුතු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 හා 91 වගන්ති උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවත් විපක්ෂනායකවරයා පැවසීය.
"ප්‍රේමලාල් ජයසේකර යන අය මරණ දණ්ඩනයකට යටත්ව ඇති බැවින් ඔහු පාර්ලිමේන්තුවේ අසුන්ගැනීමට හෝ ජන්දය ලබාදීමට සුදුස්සෙකු නොවන බව," නීතිපතිවරයාගේ මතය වී ඇතැයි ඔහුගේ ප්‍රකාශිකාව අගෝස්තු 31 වෙනිදා සඳහන් කළාය. එම තීරණය, 2020/8/19 වන දින පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දන්වා යවන ලද බව ද ඇය සඳහන් කළාය.
පාර්ලිමේන්තු සැසි වාර සඳහා සහභාගි වීමට අවසර ඉල්ලමින් ප්‍රේමලාල් ජයසේකර අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබිණි. ඒ අනුව බන්ධනාගාරයේ සිට ප්‍රේමලාල් ජයසේකර අඟහරුවාදා (සැප් 08) පාර්ලිමේන්තුව වෙත පැමිණියේ ඒ සඳහා අභියාචනාධිකරණය දී තිබූ තීරණය අනුවය. ප්‍රේමලාල් ජයසේකරට දිවුරුම් දීමට නීතිමය හැකියාවක් නොමැති බව ප්‍රකාශ කරමින් දිවුරුම් දීම සඳහා ඔහු පාර්ලිමේන්තු සභා ගැබට පැමිණෙන අවස්ථාවේදී කළු සාටක පැළඳි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු සිය විරෝධය පළ කළහ. එහෙත් විරෝධය මධ්‍යයේ ප්‍රේමලාල් ජයසේකර දිවුරුම් දීමෙන් අනතුරුව තමන් පැළඳ සිටි කළු සාටක සභා ගැබ මැදට විසි කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඉන් පිටව ගියහ. ඉන් අනතුරුව සෑම පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදී ම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විරෝධය පළ කළහ.
සභානායක දිනේෂ් ගුණවර්ධන දිගින් දිගටම සභාවට පැවසුවේ ප්‍රේමලාල් ජයසේකර නිත්‍යානුකුලව තේරීපත්වීමෙන් අනතුරුව කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන් මන්ත්‍රීවරයෙකු බැවින්, මන්ත්‍රීවරයාගේ අයිතීන් පිළිබඳව මෙසේ දිනපතා ප්‍රශ්න කිරීම වැරදි බවය.

ඡායාරූප මූලාශ්‍රය, Parliament
පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර දිවුරුම් දුන් මොහොතේ සිටම ඔහු අවමානයට, අපහාසයට ලක්කරමින් විපක්ෂය උත්සාහ දරන්නේ ඒ මහතාගේ පාර්ලිමේන්තු ගමන වැළැක්වීම බව ද සභානායක දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේය.
අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව කුමක්ද?
ප්‍රේමලාල් ජයසේකර ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අතුරු නියෝගය නිකුත් කරනු ලැබුවේ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.
අතුරු නියෝගය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නවාස් විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රේමලාල් ජයසේකර තේරී පත්වීම නීති විරෝධී බවට මෙතෙක් අධිකරණ තීරණයක් ප්‍රකාශයට පත්වී නොමැති බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පෙත්සම්කරුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි විය යුතු සියලු හිමිකම් එයාකාරයෙන්ම භුක්ති විඳීමට නීතිමය බාධාවක් නොමැති බවත්ය. ඒ අනුව ඔහුට මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමට නීතිමය බාධාවක් පවතින බව පෙනී යන්නේ නැතැයි අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.
සභාපති විනිසුරුවරයා තවදුරටත් සඳහන් කළේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරුන්ගේ අයිතිය තීරණය කිරීමට අධිකරණයට අධිකරණ බලයක් නොමැති බවය.

ඡායාරූප මූලාශ්‍රය, Court of Appeal
"අසුන් ගැනීම, ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රශ්නය අප ඉදිරියේ මතු නොවන අතර ඒ පිළිබඳව තීරණය ගැනීමට කතානායක වරයාට හෝ බලයලත් වෙනත් ආයතනයකට අයත් කාර්යක් බවත් අප ඉදිරියේ ඇති දෙය පෙත්සම්කරුට පාර්ලිමේන්තුවට පැමිණීම වලක්වන ලිපිය අභියෝගයට ලක් කිරීමක් වන අතර, පාර්ලිමේන්තුවට අදාළව සාමාජිකයින්ගේ සහ වෙනත් අයගේ හැසිරීම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට සභාවට පූර්ණ අයිතියක් ඇත," යනුවෙන් ද අධිකරණ තීන්දුවේ දැක්වේ.
ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමට හැකිවන ආකාරයට තීන්දුවක් ගැනීම පිණිස තමන්වත් අගමැතිවරයාවත් අධිකරණයට බලපෑම් නොකළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය අමාත්‍ය වරුන් සමග පැවති රැස්වීමකදී බ්‍රහස්පතින්දා පැවසූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි.
සමාජයෙන් දැඩි විරෝධයක්
කෙසේවෙතත් මරණ දඬුවමට යටත් කර ඇති පුද්ගලයෙකු පාර්ලිමේන්තුව වෙත පැමිණීම හා මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දීම මේ වනවිට සමාජය තුළ විශාල කතා බහකට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් පමණක් නොව සමාජ ක්‍රියාකාරීන් නීතිවේදීන් ඇතුළු සමාජයේ විවිධ කොටස් මේ පිළිබඳව අවධානය පළ කරන අතර, ජනාධිපති නීතිඥ ටිරන්ත වරලියද්ද පවසන්නේ මෙම ක්‍රියාව මගින් තුනෙන් දෙකක පූර්ණ බලයක් ලබාදුන් ජනතාවට රජය විසින් වැරෙන් කනේ පහරක් එල්ලකර ඇති බවය.
"මිනීමැරීමේ වරදකට වරදකරු වී මරණිය දණ්ඩනයට යටත් වෙච්ච පුද්ගලයෙකුට පුලුවන්ද මන්ත්‍රී ධුරයක් ලබාගන්න ? ජයසේකර වෙනුවෙන් කතාකරන අය මතුකරන ප්‍රධානම තර්කය තමයි එයා නොමිනේෂන් බාරදුන්නේ වරදකරු කරන්න ඉස්සෙල්ල කියල. හැබැයි මතක තියාගන්න එයා වරද කරු කලේ ඡන්දයට ඉස්සල්ල. මහ මැතිවරණය පවත්වන විට ඔහු වැරදි කරුවෙක් වෙලා ඉවරයි," ජනාධිපති නීතිඥ ටිරන්ත වරලියද්ද බීබීසී සිංහල සේවයට පැවසීය.
අභියාචනයක් ඉදිරිපත් කළ විට මහාධිකරණයෙන් ලබාදුන් තීන්දුවේ අධිකරණ කටයුතු පමණක් නතර වන අතර නඩු තීන්දුව හෝ දණ්ඩණය අත්හිට වෙන්නේ හෝ නිෂ්ප්‍රභා නොවන බවත් අභියාචනාධිකරණය එම නඩු තීන්දුව වැරදි බවට ඔප්පුකරන තුරු එම නඩු තීන්දුව වලංගු බවත් ජනාධිපති නීතිඥ ටිරන්ත වරලියද්ද පැවසීය.
ජනාධිපති නීතිඥ ටිරන්ත වරලියද්ද තවදුරටත් පැවසුවේ අභියාචනය අවසන් වනතුරු ඔහු මන්ත්‍රී වරයෙකු වශයෙන් ක්‍රියාකර අභියාචනය නිෂ්ප්‍රභ වුවහොත් ඇතිවන තත්වය ගැටලු සහගත බවයි.
"ජනරජයේ පදනම තමයි පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවට ගෙන එන ව්‍යවස්ථා සංශෝධනය හෝ වෙනයම් පනත් වලට මෙයා ඡන්දය දෙනවා, සහභාගි වෙනවා. එතකොට මේ පත්වීම ව්‍යවස්ථානුකූල නැත්නම්, මේ මන්ත්‍රීධුරය ව්‍යවස්ථානුකූල නැත්නම් ඔහු ප්‍රකාශ කළ ඡන්ද වල වලංගුභාවය මොකක්ද?," යනුවෙන් ඔහු ප්‍රශ්න කරයි.
"මෙතන වඩා වැදගත් තවත් ප්‍රශ්නයක් තියෙනවා පාර්ලිමේන්තුව කියන්නේ එක යුනිට් එකක්, පාර්ලිමේන්තුව කියන්නේ ආණ්ඩුව නෙමෙයි. ආණ්ඩු පක්ෂය, විපක්ෂය කියන ඔක්කොම තියෙන එක යුනිට් එකක් ඇතුලේ එක්කෙනෙක් හරි ඉන්නව නම් ව්‍යවස්ථානුකූල නොවන ආකාරයට පත්වුන මන්ත්‍රී වරයෙක් ඒ මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථානුකූල නැති වෙනවා," ජනාධිපති නීතිඥ ටිරන්ත වරලියද්ද පැවසීය.
ජනාධිපති නීතිඥ චන්දන ලියනපටබැඳි පවසන්නේ ප්‍රේමලාල් ජයසේකර දැනටමත් වැරදිකරුවෙකු වන නිසා නිර්දෝෂීභාවය පිළිබඳ උපකල්පනය ඔහුට අභියාචනයක් ඉදිරිපත් කිරිමේදී බල නොපවත්වන බවයි.
"වැරදිකරුවෙකුට පාර්ලිමේන්තුවේ අසුන් ගෙන ඡන්දය ප්‍රකාශ කිරීමට අයිතියක් නැහැ. එයින් අදහස් කරන්නේ ඔහුට දිවුරුම් දීමට අයිතියක් නැති බවයි, කෙසේ වෙතත් මා සලකන මතය නම් මෙය නරක පූර්වාදර්ශයක් තැබූ බවයි," ජනාධිපති නීතිඥ චන්දන ලියනපටබැඳි බීබීසී සිංහල සේවය සමග පැවසීය.
කියන්න:












