ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු යාමට පහසුකම් සලසන මෙන් කතානායක නියෝග කරයි

ඡායාරූප මූලාශ්‍රය, Premalal Jayasekara
පසුගියදා පැවති මහ මැතිවරණයේ දී රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා පහසුකම් සපයන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
දැනට මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කර මනාප ඡන්ද 142,037 ක් ලබාගෙන රත්නපුර දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයට පත් වූ නමුත් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දිය හැකිද නැද්ද යන්න පිළිබඳව සමාජය තුළ සංවාදයක් මතු වී තිබේ.
2015 ජනාධිපතිවරණයේ දී මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මැතිවරණයට පෙර ඔහුට මරණ දඬුවම නියම කෙරිණ.
තේරී පත්වූ මන්ත්‍රී වරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනයේ ඔහුගේ නම ද ඇතුළත් වීමත් සමගම ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අවසර දෙන මෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට මෙයට පෙර දැනුම් දී ඇතැයි වාර්තා පළවිය. කෙසේ වුවත් පාර්ලිමේන්තුවට පැමිණ දිවුරුම් දීමට ඔහුට මෙතෙක් අවස්ථාව ලැබී නැත.
'පූර්වාදර්ශ නෑ'
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත කථානායකවරයාගේ අවධානයට යොමු කරමින් පැවසුවේ ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු සැසිවලට සහභාය නොහැකි වීම, ඔහුගේ ඡන්ද කොට්ඨාසයේ ජනතාවගේ පාර්ලිමේන්තුවේ නියෝජනය අහිමි කිරීමට සමාන බවය. ප්‍රේමලාල් ජයසේකර තමන්ට එරෙහිව ලැබුණු තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීමට අධිකරණ නියෝගයක් නොමැති බවත් ප්‍රේමනාත් දොලවත්ත මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

"බන්ධනාගාර ප්‍රධානියාට පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියෝගයක් නිකුත් කිරීමට ඔබට බලය තිබේ. ඔහු අභියාචනාධිකරණයේ නඩුව ජය ගනු ඇතැයි සිතමු. නමුත් එතෙක් ඔහුට ඡන්දය දුන් ජනතාව මෙහි නියෝජනය නොවේ. එය විශාල අනතුරකි. පාර්ලිමේන්තු ක්‍රියාවලිය අධිකරණ නියෝගයකට බැඳී නොමැති බවට 2001 ජුනි 20 වන දින හිටපු කථානායක අනුර බණ්ඩාරනායක මහතා විසින් එවැනිම කාරණයක් සම්බන්ධයෙන් දුන් තීන්දුවක් මම සභාපතිවරයාගේ අවධානයට යොමු කරමි."
"මම ඔබෙන් ඉල්ලා සිටින්නේ ප්‍රේමලාල් ජයසේකර පුද්ගලයා වෙනුවෙන් නොව රත්නපුර ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ය. ඔහුව මෙහි ගෙන ඒමට ඔබට බලය ඇති අතර කථානායකවරයා ඒ සඳහා අවශ්‍ය පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු."
පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වීමට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින මන්ත්‍රීවරයෙකුට අයිතියක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක සඳහන් කළේය. "පූර්වාදර්ශයක් තිබුණා. මමත් ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගත්තා. එබැවින් තේරී පත් වූ ජයසේකරට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ දිය යුතුය."
මෙයට පෙර වාර්තා වූයේ ඔහුට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීමට පහසුකම් සැලසීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු වේත්‍රධාරී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දන්වා ඇති බවය.
ප්‍රේමලාල් ජයසේකරගේ අභියාචනය පිළිබඳව තම කාර්යාලයට දැනුම් දී නොමැති නමුත් ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර නොදීම ඔහුට සහ ඔහුට ඡන්දය දුන් ජනතාවට අසාධාරණයක් සිදුවන බව පැවසූ කතානායකවරයා, එබැවින් "ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට ගෙන එන ලෙස මම බන්ධනාගාර පරිපාලනයට නියෝග කරමි," යනුවෙන් ද පැවසීය.
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පැවසුවේ, මාස හැටක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තමන්ට පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගි වීමට එවක සිටි කතානායක චමල් රාජපක්ෂ අවස්ථාව සලසා නොදුන් බවය.
මෙවැනි සිද්ධියක් පිළිබඳ පූර්වාදර්ශයක් නොමැති බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක සඳහන් කර තිබුණි.
කියවන්න:








