ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට මිනීමැරුම් චෝදනා

ඝාතනයට ලක් වූ ශාන්ත දොඩන්ගොඩගේ අවමගුල් උත්සවය
ඡායාරූප ශීර්ෂ වැකිය, ඝාතනයට ලක් වූ ශාන්ත දොඩන්ගොඩගේ අවමගුල් උත්සවය

පසුගිය ජනාධිපතිවරණ සමයේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට ආධාර පිණිස කහවත්ත නගරයේ පැවති ප්‍රචාරක රැළියක් සරසමින් සිටි ආධාරකරුවන්ට වෙඩිතබා එක් පුද්ගලයකු ඝාතනය කිරීම ඇතුළු චෝදනා යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු පිරිසකට අධි චෝදනා ගොනු කෙරිණ.

ලඝු නොවන නඩු විභාගයේ දී සාක්ෂි දුන් පනස් නව දෙනකුගේ සාක්ෂි සහ නඩු භාණ්ඩ 16ක් මෙම විත්තිකරුවන්ට එරෙහිව පැවැත්වෙන මහාධිකරණ නඩුවට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබේ.

නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, චේතාන්විතව පුද්ගලයකු ඝාතනය කිරීම, තවත් දෙදෙනෙකු ඝාතනයට තැත් කිරීම ඇතුළු අධි චෝදනා නවයක් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා සහ අරුණ නිලන්ත ජයසිංහ සබරගමු පළාත් සභා මන්ත්‍රීවරයා ඇතුලු හත් දෙනෙකුට විරුද්ධව නිතිපතිවරයා විසින් ගොනු කරණු ලැබ තිබුණි.

කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන ද සිල්වාත් නඩුවේ එක් විත්තිකරුවෙක්.

අගමැති රනිල් වික්‍රමසිංහ සිය ආධාරකරුවාගේ ඥාතීන් සමඟ
ඡායාරූප ශීර්ෂ වැකිය, අගමැති රනිල් වික්‍රමසිංහ ඝාතනයට ලක් වූ සිය ආධාරකරුවාගේ ඥාතීන් සමඟ

විත්තිකරුවන්ට අධි චෝදනා භාරදෙනු ලැබුවත් එහි ඇතැම් ඇමුණුම් නොතිබූ බවයි පළමුවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නිතීඥ සමිත් ලියනගේ මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේ.

සිද්ධිය වූ ස්ථානයේ තිබූ වෙළදසැල් තුනක සීසීටීවී කැමරා වල සටහන්ව තිබූ ප්‍රතිඋත්පාදන දර්ශන තැටිද අධිචෝදනා සමඟ විත්තිකරුවන්ට ලබා දෙනු ලැබිණ.

නඩු විභාගය ජූරි සභාවක් ඉදිරියේ විමසනවාද නැද්ද යන්න ඉදිරියේ දී තීරණය කිරීමට නියමිතයි.

විත්තිකරුවන්ගේ අධි චෝදනා පත්‍රවලට ඇමුණුම් ලෙස ලබාදිය යුතු සියලු උද්ධෘත දින 45ක් තුල ලබාදෙන ලෙස පැමිණිලි පාර්ශවයට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා මුදල් සහ ශරීර ඇප මත විත්තිකරුවන් මුදා හැරීමට නියෝග කළේය.