ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රී ධුරයේ දිව්රුමට එරෙහිව විරෝධතා: සමගි ජන බලවේගය පිටව යයි
මරණ දඬුවම නියම වූ පසු ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දීමට එරෙහිව පාර්ලිමේන්තුව තුළ බලවත් විරෝධයක් මතුවිණි.
දිවුරුම් දීම සඳහා ඔහු පාර්ලිමේන්තු සභා ගැබට පැමිණෙන අවස්ථාවේදී කළු පටි පැළඳි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු සිය විරෝධය පළ කළහ.
ප්‍රේමලාල් ජයසේකරට දිවුරුම් දීමට නීතිමය හැකියාවක් නොමැති බව ඔවුන් ප්‍රකාශ කළ අවස්ථාවේදී අධිකරණ නියෝගය උපුටා දක්වමින් කතානායකවරයා කරුණු පැහැදිළි කරන ලදි.
අවසානයේදී තමන් පැළඳ සිටි කළු පටි සභා ගැබ මැදට විසි කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඉන් පිටව ගියහ.
බන්ධනාගාරයේ සිට ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුව වෙත අඟහරුවාදා (සැප් 08) පැමිණියේ ඒ සඳහා අභියාචනාධිකරණය දී තිබූ තීරණය අනුවය.
පාර්ලිමේන්තු සැසි වාර සඳහා සහභාගි වීමට අවසර ඉල්ලමින් ප්‍රේමලාල් ජයසේකර අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබිණි.
කෙසේවෙතත් මරණ දඬුවමට යටත් කර ඇති පුද්ගලයෙකු පාර්ලිමේන්තුව වෙත පැමිණීම හා මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දීම මේ වනවිට සමාජය තුළ විශාල කතා බහකට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත.
"ප්‍රේමලාල් ජයසේකර යන අය මරණ දණ්ඩනයකට යටත්ව ඇති බැවින් ඔහු පාර්ලිමේන්තුවේ අසුන්ගැනීමට හෝ ජන්දය ලබාදීමට සුදුස්සෙකු නොවන බව," නීතිපතිවරයාගේ මතය වී ඇතැයි ඔහුගේ ප්‍රකාශිකාව අගෝස්තු 31 වෙනිදා සඳහන් කළාය.
එම තීරණය, 2020/8/19 වන දින පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දන්වා යවන ලද බව ද ඇය සඳහන් කළාය.
කියවන්න:
