2020 ශ්‍රී ලංකා මහ මැතිවරණය: ව්‍යවස්ථා සංශෝධන සහ උල්ලංඝන, අගමැති පුටු මාරු, ගුටිබැට මැද 08 වෙනි පාර්ලිමේන්තුවෙන් වැඩක් වුනාද?

Sri Lankan police escort parliament speaker Karu Jayasuriya (C holding microphone) as aides hold up cushions to protect him and themselves from projectiles thrown by rival legislators in the assembly hall in Colombo on November 16, 2018. - Sri Lanka's parliamentary speaker required police protection as violence returned to the legislature for a second day November 16, with rival factions in the island's constitutional crisis showing no signs of backing down. A group of legislators occupied speaker Karu Jayasuriya's chair for 50 minutes and he was only able to take his seat after he entered the assembly ringed by unarmed officers and parliamentary staff.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2018 නොවැම්බර් 16 ව්‍යවස්ථා අර්බුදය පැවති සමයේ පාර්ලිමේන්තුවේ තත්ත්වය
    • Author, සුනෙත් පෙරේරා
    • Role, BBC සිංහල

පහත දැක්වෙන්නේ 09 වෙනි පාර්ලිමේන්තුව සඳහා නීති සම්පාදකයන් තෝරා පත් කර ගනු ලබන හෙට දිනට (අගෝස්තු 05) පෙර පැවති 08 වෙනි පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් කළ කෙටි පසුවිපරමකි.

2015 අගෝස්තු 17 වෙනිදා පැවති මහමැතිවරණයෙන් තේරී පත් වූ ශ්‍රී ලංකාවේ 08 වෙනි පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ නව ප්‍රවණතා කිහිපයක් සටහන් කළ පාර්ලිමේන්තුවකි.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන බල කඳවුරු දෙක වශයෙන් සැලකුන එක්සත් ජාතික පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පළමු වරට ආණ්ඩු පක්ෂයේ අසුන් ගනු ලැබුවේ 08 වෙනි පාර්ලිමේන්තුවේදීය.

1977 පසු පළමු වතාවට ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාව නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය වෙත පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරය හිමි වීම ද එහි විශේෂත්වයකි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ හිටපු විධායක ජනාධිපතිවරයෙක් පළමු වරට යළි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් අසුන් ගැනීම ද එහිදී සිදු විය.

ශ්‍රී ලංකාවේ 08 වෙනි පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගන්නා ලද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දුබල කෙරුණු පාර්ලිමේන්තුව යළි බල ගැන්වීමකට ලක් විය. අවශ්‍ය ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කර ඒ සඳහා වසර හතර හමාරක සීමාවක් එක් කිරීම, අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ, මහාධිකරණ විනිසුරු පදවි සහ වෙනත් ඉහළ පත්වීම් සඳහා අනුමැතිය දීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ බලය පාර්ලිමේන්තුවට පැවරීම එමගින් සිදු විය. ඒ හරහා පාර්ලිමේන්තුවට ස්වාධීනත්වයක් හිමි වූ අතර අදාළ පත්වීම් සිදු කෙරුනේ අභිනවයෙන් පිහිටුවන ලද ව්‍යවස්ථා සභාව මගිනි. දේශපාලන අතපෙවීම්වලින් තොරව රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් විය.

එමෙන්ම ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර හටගත් දරුණුතම බල අරගලයේ සංග්‍රාම පිටිය බවට පත් වන්නේ ද 08 වෙනි පාර්ලිමේන්තුවයි. ඔක්තෝම්බර් 26 වෙනි දින එවක අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් කර ඒ සඳහා මහින්ද රාජපක්ෂ පත් කිරීමට එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගත් තීන්දුව ඊට හේතු විය. එහිදී පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍ය බලය වෙනුවෙන් එවක කථානායක කරු ජයසූරිය සහ බහුතර මන්ත්‍රීවරු පෙනී සිටි අතර අගමැතිවරයා ඉවත් කිරීම මගින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඉහත කී බල අරගලය පැවති දින 52 ක තුළ අගමැති ධුරයේ කටයුතු කළ මහින්ද රාජපක්ෂ, එම ධුරය සඳහා පත් වූ පළමු හිටපු විධායක ජනාධිපතිවරයා වශයෙන් ද ඉතිහාස ගත වෙයි.

එකී කාලය තුළ 08 වෙනි පාර්ලිමේන්තුවේ සිදු වූ මිරිස් කුඩු ගසා ගැනීම්, කථානායක අසුනට වතුර වැත්කිරීම, පුටුවලින් ගසා ගැනීම, මයික් කැඩීමට ගිය මන්ත්‍රීවරුන්ම අතපය තුවාල කර ගැනීම, ගුටිබැට හුවමාරු, වැනි ක්‍රියා නිසා පෙර කවරදාකටත් වඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම විවේචනයට ලක් විය.

හිටපු ජනාධිපතිවරයෙක් විපක්ෂ නායක ධුරයට පත් වූ පළමු අවස්ථාව සනිටුහන් වන්නේ ද 08 වෙනි පාර්ලිමේන්තුවේදීය.

පහත දැක්වෙන්නේ 08 වෙනි පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කළ කෙටි පසුවිපරමකි. (පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරීත්වය සහ ඔවුන් දක්වන දායකත්වය නිරීක්ෂණය කරනු ලබන Manthri.lk වෙබ් අඩවියේ දත්ත සහ විශ්ලේෂණ ඇසුරෙනි)

08 වෙනි පාර්ලිමේන්තුවේ වයස් ව්‍යාප්තිය

08 වෙනි පාර්ලිමේන්තුවේ වයස් ව්‍යාප්තිය

ඡායාරූප මූලාශ්‍රය, Manthri.lk

08 වෙනි පාර්ලිමේන්තුවේ වයස් ව්‍යාප්තිය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා අතරින් වැඩි ප්‍රතිශතයක් අයත් වන්නේ අවුරුදු 50-60 අතර වයස් ඛාණ්ඩයටයි. ඒ අතරින් 97% ක් අගෝස්තු 05 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරති.

එම පාර්ලිමේන්තුවේ 22% ක් අවුරුදු 60-70 ත් අතර වයස් ඛාණ්ඩයට අයත් වන අතර ඉන් 96% මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් 6% ක් අවුරුදු 30-40 වයස් ඛාණ්ඩයේ පසු වූ අතර ඒ සියලු දෙනාම මෙවර මැතිවරණයට තරග කරති.

පාර්ලිමේන්තු 08 ම නියෝජනය කළ මන්ත්‍රීවරු

පාර්ලිමේන්තු 08ම නියෝජනය කළ මන්ත්‍රීවරු

ඡායාරූප මූලාශ්‍රය, Manthri.lk

Manthri.lk වෙබ් අඩවිය පවසන පරිදි 1978 සිට පාර්ලිමේන්තු 08 ම නියෝජනය කළ මන්ත්‍රීවරු සංඛ්‍යාව 05 කි. රනිල් වික්‍රමසිංහ, ලක්ෂ්මන් සෙනවිරත්න, ජෝන් අමරතුංග, ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ ගාමිණී ලොකුගේ ඒ අතර වෙති.

මන්ත්‍රීවරු 12 දෙනෙක් පාර්ලිමේන්තු 07 ක් නියෝජනය කර තිබේ. පාර්ලිමේන්තු 06ක් නියෝජනය කර ඇති මන්ත්‍රීවරු සංඛ්‍යාව 24 කි.

08 වෙනි පාර්ලිමේන්තුවට පළමු වර තේරී පත් වූ මන්ත්‍රීවරු සංඛ්‍යාව 70 කි.

'පවුල් දේශපාලනය'

'තාත්තගෙන් පුතාට, දුවට' දේශපාලනය

ඡායාරූප මූලාශ්‍රය, Manthri.lk

Manthri.lk වෙබ් අඩවිය පවසන පරිදි 08 වෙනි පාර්ලිමේන්තුව නියෝජනය කළ 32 ක් හිටපු මන්ත්‍රීවරුන්ගේ පුතුන් හෝ දූවරුන්ය. පියා සහ පුතා දෙදෙනාම පාර්ලිමේන්තුව නියෝජනය කළ අවස්ථා දෙකකි.(මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ, රාජිත සෙනවිරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න)

ස්වාමියා සහ බිරිඳ යන දෙපලම ද පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත. (දයා ගමගේ සහ අනෝමා ගමගේ)

සහෝදරයන් යුගල 4 ක් ද තුන් වෙනි පරම්පරාවේ 10 දෙනෙකු ද 08 වෙනි පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත.

නාම යෝජනා නොලැබුණු සහ ජාතික ලැයිස්තුවේ නම නැති හිටපු මන්ත්‍රීවරු

නාම යෝජනා නොලැබුණු සහ ජාතික ලැයිස්තුවේ නම නැති හිටපු මන්ත්‍රීවරු

ඡායාරූප මූලාශ්‍රය, Manthri.lk

08 වෙනි පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගෙන් 208 දෙනෙකු හෙට පැවැත්වෙන මහමැතිවරණයට තරග කරන බව Manthri.lk වෙබ් අඩවිය පවසයි.

නාම යෝජනා නොලද හෝ ජාතික ලැයිස්තුවල නම ඇතුළත් නොවන හිටපු මන්ත්‍රීවරු ඉහත ඡායාරූපයේ දැක්වේ. (පාර්ලිමේන්තුව නියෝජනය කළ කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් පසුගිය මැයි මස අභාවප්‍රාප්ත විය)

ඉහත ලැයිස්තුවේ සිටින හිටපු මන්ත්‍රීවරුන් හැරුණු විට හිටපු අමාත්‍ය මංගල සමරවීර නාම යෝජනා භාරදීමෙන් අනතුරුව තරඟයෙන් ඉවත්විය.

'පාට මාරු කළ' මන්ත්‍රීවරු

'පාට මාරු කළ' මන්ත්‍රීවරු

ඡායාරූප මූලාශ්‍රය, Manthri.lk

Manthri.lk පවසන පරිදි 2015 මහමැතිවරණය සඳහා තරග කළ පක්ෂයෙන් මෙවර තරග නොකරන හිටපු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 172 කි.

එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර 08 වෙනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරු 107 දෙනා අතරින්: 71 දෙනෙක් සමගි ජන බලවේගයෙන් තරග කරති. තවත් 04 දෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරති.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කර 08 වෙනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරු 94 දෙනා අතරින්: 81 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන අතර ඉන් 06 දෙනෙක් සමගි ජන බලවේගයෙන් තරග කරති.

වීඩියෝ ශීර්ෂ වැකිය, නිවැරදි ලෙස ඡන්දය සළකුණු කරන හැටි මැතිවරණ කොමිසමේ සභාපති කියයි