මහර ඛේදවාචකය: වින්දිතයාටම වරද පටවන සමාජ මානසිකත්වයේ තවත් දිගුවක්ද?

Police Special Task Force was deployed to control a group of family members of inmates at the Mahara Prison who gathered in front of the prison demanding they be allowed to see their imprisoned relatives. The incident follows after eight inmates were killed in a prison riot which saw guards clash with inmates. Mahara outskirts Colombo November 30, 2020 The inmates had launched protests amid a surge of coronavirus infections in the prisons, demanding early release on bail and better facilities. Over 70 individuals, inmates and guards alike, sustained injuries in the incident.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය ඥාතීන් දැක බලා ගැනීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරය ඉදිරිපිට රැස්ව සිටි රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයන් පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබිණි
    • Author, සුනෙත් පෙරේරා
    • Role, BBC සිංහල

මහර බන්ධනාගාර ඛේදවාචකය, ශ්‍රී ලංකාවේ දක්නට ඇති වින්දිතයාටම වරද පැටවීමේ (Victim blaming) සංස්කෘතියේ තවත් දිගුවක් බව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරියක් වන අචලා සෙනවිරත්න පවසයි.

"ඉතිහාසයේ සිට මේ දක්වාම මේ රටේ වෙලා තිබෙන දේ තමයි වින්දිතයාම සමාජය ඉදිරියේ තවදුරටත් වරදකරු වීම. අපරාධයකට ලක් වෙලා ඒ ගැන පැමිණිලි කරන්න පොලිස් ස්ථානයකට ගිය අවස්ථාවේ සිට අධිකරණය දක්වාම පීඩාවට පත්වෙන එකම පුද්ගලයා තමයි වින්දිතයා."

ඇය ඒ බව කියා සිටියේ මහර බන්ධනාගාරය තුළ හටගත් කලහකාරී වාතාවරණය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් සහ පොලිසිය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග අනුමත කරමින් රැඳවියන් සහ ඔවුන්ගේ ඥාතීන් දෝෂදර්ශනයට ලක් කර පළ වන අදහස් පිළිබඳ ප්‍රතිචාර දක්වමිනි.

නොවැම්බර් 29 වෙනිදා මහර බන්ධනාගාරයේ රැඳවියන් වෙඩි තබා මරා දැමීම සාධාරණීකරණය කරමින් මේ දිනවල සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් අදහස් පළ වේ.

ආණ්ඩුවට පක්ෂ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද සම්පූර්ණ වශයෙන් සිරකරුවන් මත වරද පැටවෙන අයුරින් ඉහත කී සිදුවීම වාර්තා කරන බවට ද චෝදනා එල්ල වේ. සිරකරුවන් එකිනෙකාට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් බදාදා (දෙසැම්බර් 02) මාධ්‍ය වෙත මුදා හැර තිබිණි.

මහර ඛේදවාචකය

ඉහත කී තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් නීතිඥ අචලා සෙනවිරත්න වැඩිදුරටත් කියා සිටියේ, නීතියෙන් පරිබාහිරව අපරාධකරුවන් මරා දැමීම හෝ ඔවුන්ට වෙඩි තැබීම සාධාරණීකරණය කිරීම, "ම්ලේච්ඡ සමාජයක ලක්ෂණයක්" බවය.

"එසේ කරන අතරේම මහා අපරාධවල යෙදුන, දූෂණ වංචා සිදු කරන, මහා පරිමාණයෙන් කුඩු ජාවාරම් කරන ඇතැම් ප්‍රබලයෝ වෙනුවෙන් මේ සමාජය පෙනී ඉන්නවා. ඒ අපරාධකරුවන් මහා අහිංසක චරිත විදිහට හඳුන්වමින් ඔවුන් නිදහස් කර ගන්න විශාල වශයෙන් හඬ නගනවා. ඇයි දේශපාලන බලයක් හෝ ධන බලයක් තිබෙන පුද්ගලයන් අහිංසකයන්ගේ ගොඩට දාලා, සුළු අපරාධ හෝ වැරදි පෙළඹවීමක් නිසා අපරාධකරුවන් බවට පත්වෙන මිනිස්සු මරල දැම්මොත් හොඳයි කියන මානසිකත්වයට සමාජය එන්නේ," යනුවෙන් ඇය ප්‍රශ්න කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ පවසන පරිදි කලහකාරී තත්ත්වය හටගත් අවස්ථාවේ මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් සංඛ්‍යාව 2,782 කි.

ඉන් 582 දෙනෙකු දඬුවම් ලද සිරකරුවන්ය (අච්චු කළ). සෙසු 2,197 දෙනා විවිධ චෝදනා මත රිමාන්ඩ් භාරයේ පසු වූ සැකකරුවන්ය.

අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ අදාළ ගැටුම මතුව ඇත්තේ රිමාන්ඩ් භාරයේ පසු වූ සැකකරුවන් අතර බවය.

මහර ඛේදවාචකය

යම් කිසි චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද පමණින් ඔහු හෝ ඇය අපරාධකරුවෙකු යයි කිව නොහැකි බව නීතිඥ අචලා සෙනවිරත්න මේ අතර පෙන්වා දෙයි.

අධිකරණ නඩු විභාගයකින් පසු අදාළ චෝදනාවලට වරදකරු වේ නම් දඬුවමක් වශයෙන් එම පුද්ගලයා බන්ධනාගාර ගත කෙරෙන බව කී ඇය, "මනුෂ්‍යයෙක් අපරාධකරුවෙකු වූ පලියට ඔහුට මනුෂ්‍යයෙකු නොවන විදිහට සලකන්න බැහැ. ඒ නිසා බන්ධනාගාරයක ඉන්න ඕනෑම පුද්ගලයෙකු දිහා බැලිය යුත්තේ මනුෂ්‍යයෙකු විදිහට. ඒක බන්ධනාගාරයේ ලියලම තිබෙනවා සිරකරුවොත් මනුෂ්‍යයෝය කියලා." යනුවෙන් සඳහන් කරයි.

මාධ්‍යවේදිනී රේඛා නිලුක්ෂි හේරත් ෆේස්බුක් හි තැබූ සටහනක්
ඡායාරූප ශීර්ෂ වැකිය, මාධ්‍යවේදිනී රේඛා නිලුක්ෂි හේරත් ෆේස්බුක් හි තැබූ සටහනක්
නාමල් අමරසිංහගේ කාටූනයක්

ඡායාරූප මූලාශ්‍රය, Cartoon by Namal Amarasinghe

ඡායාරූප ශීර්ෂ වැකිය, නාමල් අමරසිංහගේ කාටූනයක්

මහර බන්ධනාගාරය අසලට රැස්ව සිටි රැඳවියන්ගේ ඥාතීන් අතර වැඩි වශයෙන්ම සිටියේ කාන්තාවන්ය. ඔවුන් හඬා වැළපෙමින් පොලිස් නිලධාරීන් ඉදිරියේ දණින් වැටෙන ආකාරය දැක්වෙන ඡායරූප සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු විය. බන්ධනාගාරය ආසන්නයේ පදිංචිකරුවෙකු වන මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රී බීබීසී සිංහල සේවයට කියා සිටියේ රැඳවුම් භාරයේ සිටින සිය දරුවන් සහ ඥාතීන් "පණ පිටින් දැයි" දැන ගැනීමේ අපේක්ෂාවෙන් ඔවුන් එහි රැස්ව සිටි බවය.

"මිනිස්සු ඇඬුවා, කෑ ගැහුවා. අඩු තරමේ අපේ ළමයි තුවාල වෙලාද, තාම ඇතුලේ ඉන්නවද, ඉස්පිරිතාලෙද, නැතිනම් මැරිලද කියන්න කියලා ඒ අම්මලා අඬ අඬා ඉල්ලුවා. නැතුව රැඳවියන් නිදහස් කරන්න කියල නෙමෙයි ඔවුන් ඉල්ලුවේ."

Achala Senewiratne

මේ අතර නීතියේ සාධාරණත්වය අගයන සමාජයක් තුළ පුද්ගලයන්ට වෙනස් ලෙස සැලකීමට ඉඩක් නොමැති බව නීතිඥ අචලා සෙනවිරත්න පවසයි.

"අම්මලා එතන හඬා වැළපෙන්නේ මව් සෙනෙහස නිසා. තමන්ගේ දරුවා හදා ගන්න බැරුව නොමග ගියාම වෙඩි කාලා මැරෙන එක හොඳයි කියලා සමාජ ජාල තුළ අදහස් පළ වෙනවා. අනෙක් අතින් අපේ රටේ පවතින නීති පද්ධතිය තුළ අපට නිශ්චිතවම කියන්න බැහැ වරදකාරයාම ද බන්ධනාගාර ගත වෙන්නේ කියලා. මේ මිය ගිය පිරිසෙන් බහුතරයක්ම නඩු අහලා ඉවර නැති රැඳවුම් නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පුද්ගලයන්. ඒ කියන්නේ නඩු විභාගයකින් වරදකරුවෙකු හෝ අපරාධකරුවෙකු බව තීන්දු නොවුණු සැකකරුවන්."

"නමුත් අර මම කලින් කියපු ආකාරයේ ප්‍රබලයින් ඇස් පනාපිට නිදහස් වෙලා යනකොට ඒක හොඳයි කියමින් ඔවුන් වන්දනාමාන කරන අර කියන මිනිස්සුම තමා වැනි තවත් පීඩිතයෙක්ව පීඩාවට පත් කරන අතරේ තමන්ව පීඩාවට පත් කරන පාලක පන්තිය හෝ ප්‍රබලයින් ආරක්ෂා කරන්නත් කටයුතු කරනවා."

"ඒක නොදියුණු ගෝත්‍රික ආකල්ප සහ වහල් මානසිකත්වය සහිත සමාජයක ලක්ෂණයක් විදිහටයි මම දකින්නේ."

අවන්ත ආටිගලගේ කාටූනයක්

ඡායාරූප මූලාශ්‍රය, Cartoon by Awantha Artigala

ඡායාරූප ශීර්ෂ වැකිය, අවන්ත ආටිගලගේ කාටූනයක්

දේශපාලනඥයන්, බලධාරීන් සහ මාධ්‍ය ආයතන කී පමණින් යමක් පිළිනොගෙන ඒ පිළිබඳ බුද්ධියෙන් විමසා බලන අතරේ සිය අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් වීම ද පුරවැසියෙකුගේ වගකීම බව නීතිඥ අචලා සෙනවිරත්න වැඩිදුරටත් සඳහන් කළාය.

මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 ක් ඝාතනය වීම සහ තවත් රැඳවියන් 115 දෙනෙකු තුවාල ලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කර තිබේ.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සහ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට එක් වූ සෙසු මානව හිමිකම් ක්‍රියාධරයන් අතර නීතීඥ අචලා සෙනවිරත්න ද වේ.

මේ ගැනත් කියවන්න: