ජීවිත දහස් ගණනක් මියගිය තුර්කි භූමිකම්පාවේ ප්‍රබලත්වය පිළිබඳව මිලියන 10කට අනතුරු ඇඟවීමට Google අසමත් වෙයි

ඡායාරූප මූලාශ්‍රය, EPA
- Author, ජේම්ස් ක්ලේටන්, ඇනා ෆෝස්ටර් සහ බෙන් ඩෙරිකෝ
- Role, බීබීසී
2023 වසරේදී තුර්කියට බලපෑ මාරාන්තික භූමිකම්පාවේදී ඒ පිළිබඳ ජනතාව නිවැරදිව දැනුවත් කිරීමට සිය භූමිකම්පා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය අසමත් වූ බව ගූගල් සමාගම පිළිගෙන තිබේ.
භූමිකම්පාවේ මධ්‍යයේ සිට සැතපුම් 98ක් ඇතුළත සිටි ජනතාව මිලියන 10කට ගූගල්හි ඉහළ ම අනතුරු ඇඟවීමක් ලැබිය හැකිව තිබූ අතර, ඒ මගින් ඔවුන්ට ආරක්ෂිත ස්ථානයකට යාමට තත්පර 35ක් දක්වා කාලයක් ලබා දීමට හැකියාව තිබිණි.
ඒ වෙනුවට ඒකක 7.8ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාව සඳහා යොමු කර ඇත්තේ, "ක්‍රියාත්මක වෙන්න" යනුවෙන් වූ අනතුරු ඇඟවීම් 469ක් පමණි.
ගූගල් සමාගම බීබීසී පුවත් සේවය වෙත පැවසුවේ, පුද්ගලයින් ලක්ෂ 05කට සාමාන්‍ය මට්ටමේ අනතුරු ඇඟවීමක් යොමු කළ බව ය. එය සුළු චලනයක් පිළිබඳ දැනුම්දීම සඳහා නිර්මාණය කර ඇති අතර පරිශීලකයින්ට එමගින් සැලකිය යුතු අනතුරු ඇඟවීමක් සිදු නොකරයි.
2023 දී කරන ලද පරීක්ෂණයකින් පසු පද්ධතිය "හොඳින් ක්‍රියාත්මක වූ" බව තාක්ෂණික දැවැන්තයා මීට පෙර බීබීසී වෙත පැවසීය.
අනතුරු ඇඟවීමේ පද්ධතිය රටවල් 100කට ආසන්න සංඛ්‍යාවක ක්‍රියාත්මක වන අතර විශේෂයෙන් වෙනත් අනතුරු ඇඟවීමේ පද්ධති නොමැති ස්ථාන සඳහා ගූගල් සමාගම විසින් "ගෝලීය ආරක්ෂක දැලක්" ලෙස හැඳින්වේ.
Android Earthquake Alerts (AEA) ලෙස නම් කර ඇති ගුගල් පද්ධතිය, තනි රටවල් විසින් නොව, සිලිකන් නිම්නයේ පිහිටි සමාගමක් විසින් පවත්වාගෙන යනු ලැබේ.
එම පද්ධතිය ඇන්ඩ්‍රොයිඩ් උපාංග මත ක්‍රියා කරන අතර තුර්කියේ භාවිත වන දුරකතනවලින් 70%කට වැඩි දුරකතන ප්‍රමාණයක එම පද්ධතිය ක්‍රියාත්මක වේ.
පෙබරවාරි 6 වන දින තුර්කියේ ගිනිකොණ දිග ප්‍රදේශයට එම භූමිකම්පා ද්විත්වයෙන් බලපෑම් එල්ල වූ විට පුද්ගලයන් 55,000කට වැඩි පිරිසක් මිය ගිය අතර තවත් 100,000කට අධික පිරිසකට තුවාල සිදුවිය. කම්පනය සිදුවන අවස්ථාවේදී බොහෝ පිරිසක් නිදා සිටි ගොඩනැගිලි කඩාවැටිණි.
භූමිකම්පාව සිදුවූ දිනයේ ගූගල්හි පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය ක්‍රියාත්මක විය - කෙසේ වෙතත් එය එම භූමිකම්පාව කෙතරම් ප්‍රබල ද යන්න සම්බන්ධයෙන් දැනුම් දීමට අපොහොසත් විය.
"සෑම භූමිකම්පාවකදී ම ඉගෙන ගන්නා දේ මත පදනම් වී පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා අප අඛණ්ඩව කටයුතු කරනවා," ගූගල් සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පද්ධතිය ක්‍රියා කරන්නේ කෙසේ ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ගූගල් පද්ධතියට ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය භාවිත කරන අතිවිශාල ජංගම දුරකතන සංඛ්‍යාවකින් චලනයන් හඳුනා ගැනීමේ හැකියාව පවතී.
භූමිකම්පා පෘථිවිය හරහා සාපේක්ෂ ලෙස සෙමින් සිදුවිය හැකි නිසා ඒ පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමේ හැකියාවක් පවතී.
ගූගල් මගින් නිකුත් කළ හැකි බරපතළ ම අනතුරු ඇඟවීම "Take Action" (ක්‍රියාමාර්ග ගන්නා) ලෙස හඳුන්වනු ලබන අතර, එය පරිශීලකයෙකුගේ දුරකතනයෙන් සැලකිය යුතු ශබ්දයක් නිකුත් කරමින් අනතුරු ඇඟවීමක් සිදු කරයි - එහිදී Do Not Disturb සැකසුම සහ තිරය ආවරණය කිරීම අභිබවා ගොස් ක්‍රියා කරයි.
මිනිස් ජීවිතයට තර්ජනයක් විය හැකි ප්‍රබල චලනයක් හඳුනා ගත් අවස්ථාවකදී ජනතාවට යොමු කළ යුතු අනතුරු ඇඟවීම මෙය යි.
Android Earthquake Alerts (ඇන්ඩ්‍රොයිඩ් භූකම්පන ඇඟවුම්) මගින් සැහැල්ලු චලනයක් පිළිබඳ ජංගම දුරකතන පරිශීලකයින්ට දැනුම් දීම සඳහා නිර්මාණය කර ඇති "දැනුවත් වී සිටින්න" ලෙස දැක්වෙන අනතුරු ඇඟවීමක් ද තිබේ. එය ''බාධා නොකරන්න'' යන්න සක්‍රීය කර ඇති උපාංගයක් සඳහා බාධා එල්ල නොකරන අනතුරු ඇඟවීමකි.
පළමු භූ චලනය අලුයම 04:17ට එනම් බොහෝ පරිශීලකයින් නින්දේ පසුවෙද්දී සිදුවූ බැවින් ව්‍යසනකාරී චලනය හමුවේ තුර්කියට Take Action ඇඟවුම විශේෂයෙන් වැදගත් විය. වඩාත් බරපතළ අනතුරු ඇඟවුමෙන් පමණක් ඔවුන් අවදි කිරීමේ අවස්ථාවක් තිබිණි.
හුදෙක් තාක්ෂණයේ පවතින කාර්යක්ෂමතාව පෙන්නුම් කිරීමේ අරමුණ නිසා, භූමිකම්පාව සිදුවී මාස කිහිපයක් ගතවීමෙන් අනතුරුව එම අනතුරු ඇගවීම ලද පරිශීලකයින් සමග අදහස් බෙදා ගැනීමට බීබීසී පුවත් සේවයට අවශ්‍ය විය.
මාස කිහිපයක කාලයක් තුළ භූමිකම්පාවෙන් බලපෑමට ලක්වූ කලාපය තුළ පිහිටි නගරවල ජීවත්වන පුද්ගලයින් සමග කතාබහ කළ නමුත් භූමිකම්පාවේ බලපෑම් එල්ල වීමට පෙර වඩාත් බරපතළ ලෙස අවධානය යොමු කර ක්‍රියාත්මක වීම සඳහා දැනුම් දීමක් ලද කිසිදු පුද්ගලයෙකු අපට සොයාගත නොහැකි විය.
අපි එම වසරේ අගභාගයේදී අපගේ සොයාගැනීම් ප්‍රකාශයට පත් කළෙමු.

"හඳුනාගැනීමේ ඇල්ගොරිදම් සඳහා පවතින සීමා" උපුටා දක්වමින් ගූගල් පර්යේෂකයන් වරද කුමක් ද යන්න ගැන 'ද සයන්ස්' සඟරාවේ විස්තරාත්මකව සඳහන් කර ඇත.
පළමු භූමිකම්පාව සැබෑ වශයෙන් රික්ටර් පරිමාණ ඒකක 7.8ක් වූ විට, පද්ධතිය මගින් එය ඇස්තමේන්තු කර තිබුණේ එම කම්පනය 4.5 සහ 4.9 අතර අගයක් ලෙස ය.
එදින ම බලපෑ දෙවන විශාල භූමිකම්පාව ද එම පද්ධතිය මගින් අවතක්සේරු කර තිබූ අතර එම අවස්ථාවේදී එම පද්ධතිය මගින් දුරකතන 8,158ක් සඳහා ''Take Action'' ඇඟවුම යොමු කර ඇති අතර මිලියන 4කටත් අඩු පරිශීලකයින් පිරිසකට යොමු කර ඇත්තේ ''Be Aware'' ඇඟවුම පමණි.
භූමිකම්පාවෙන් පසු ගූගල්හි පර්යේෂකයන් ඇල්ගොරිදම් වෙනස් කළ අතර පළමු භූමිකම්පාව නැවතත් යොදාගෙන තිබිණි.
මෙම අවස්ථාවේදී පද්ධතිය මගින් වඩාත් අවදානම් ස්ථානවල සිටින පුද්ගලයින් සඳහා ''Take Action''අනතුරු ඇඟවුම් මිලියන 10ක් සහ භූකම්පනයේ අපිකේන්ද්‍රයේ සිට තවදුරටත් ඔබ්බෙන් ජීවත් වන පුද්ගලයින් සඳහා ''Be Aware'' දැනුවත් කිරීමේ ඇඟවුම් මිලියන 67ක් යොමු කර තිබේ.
"සෑම භූමිකම්පන පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ම එක ම ගැටලුවකට මුහුණ දෙනු ලබනවා. ඒ විශාල භූකම්පන සිදුවන අවස්ථා සඳහා ඇල්ගොරිදම් සකස් කිරීම" ගූගල් සමාගම බීබීසී පුවත් සේවය වෙත පවසන ලදී.
නමුත් Colorado School of Mines හි සහකාර මහාචාර්යවරියක වන එලිසබෙත් රෙඩ්ඩි පවසන්නේ මෙම තොරතුරු ලබා ගැනීමට වසර දෙකකට වැඩි කාලයක් ගත වූ බව ය.
"ඒ සඳහා මෙතරම් කාලයක් ගතවීම ගැන ඇත්තට ම මට තිබෙන්නේ කලකිරීමක්," ඇය පැවසුවා ය.
"අපි කතා කරන්නේ පොඩි සිදුවීමක් ගැන නොවෙයි - මිනිසුන් මිය ගියා - අපි අපේක්ෂා කළ ආකාරයට මෙම අනතුරු ඇඟවීමේ කාර්ය සාධනයක් අපිට දකින්න ලැබුණේ නැහැ."
ගූගල් සමාගම පවසන්නේ මෙම පද්ධතිය අතිරේක අනතුරු ඇඟවීමේ පද්ධතියක් ලෙස සැලකිය යුතු බවත් එය ජාතික අනතුරු ඇඟවීමේ පද්ධති සඳහා වන ආදේශකයක් නොවන බවය.
මෙම පද්ධතිය වැඩිදියුණු විය යුතු බවත්, එය ජාතික පද්ධති සඳහා ආදේශකයක් නොවන බවත් ගූගල් සමාගම පවසයි. කෙසේ වෙතත් ඇතැම් රටවල් සම්පූර්ණයෙන් පරීක්‍ෂා කර නොමැති තාක්‍ෂණය කෙරෙහි වඩා වැඩි විශ්වාසයක් තබා කටයුතු කරන ඇතැම් විද්‍යාඥයින් කනස්සල්ලට පත්ව සිටියි.
''මම හිතන විදිහට එය කෙතරම් හොඳින් ක්‍රියා කරයි ද යන්න පිළිබඳව ඉතා විනිවිදභාවයෙන් පසුවීම අතිශයින් ම තීරණාත්මක යි'' යනුවෙන් Pacific Northwest Seismic Network හි අධ්‍යක්ෂ හැරල්ඩ් ටොබින් බීබීසී පුවත් සේවයට පැවසුවේය.
"සමහර ස්ථාන ගණනය කරනවා, ගූගල් ඒක කරනවා කියලා, ඉතින් අපට අවශ්‍ය නැද්ද?
පශ්චාත් සිදුවීම් විශ්ලේෂණය පද්ධතිය වඩාත් හොඳින් වැඩිදියුණු කර ඇති බව සහ Android Earthquake Alerts මගින් රටවල් 98 ක අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතැයි ගූගල් පර්යේෂකයන් පවසයි.
2025 වසරේදී මියන්මාරයට බලපෑ භූමිකම්පාවේදී AEA (Android Earthquake Alerts) ක්‍රියා කළේ කෙසේ දැයි බීබීසී සේවය ගූගල් වෙතින් විමසීමක් කර තිබේ. නමුත් තවමත් ඒ සඳහා ප්‍රතිචාරයක් නොමැත.














