රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රබල භූ කම්පනයක්: රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම්: මෙතෙක් සිදුවූයේ කුමක් ද?
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ කම්චට්කා අර්ධද්වීපය ආසන්නයේ බදාදා (ජූලි 30) එරට වේලාවෙන් රාත්‍රී 11:25ට පමණ මැග්නිටියුඩ් 8.8ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබේ.
මේ හේතුවෙන් රුසියාව, ජපානය, පේරු, චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ හවායි ඇතුළු ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණු අතර අවදානම් සහගත ප්‍රදේශවල ජීවත් වන පදිංචිකරුවන්ට වහා ම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙසට දැනුම් දී තිබේ.
භූ කම්පනයෙන් පසු රුසියාවේ කම්චට්කා අර්ධද්වීපය වෙත මීටර් 3-4ත් අතර උස සුනාමි රළ පැමිණ ඇති අතර ජපානයේ හොකයිඩෝ ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයට ද සුනාමිය රළ පැමිණ ඇතැයි NHK වාර්තා කළේ ය.
ඇස්තමේන්තුවලට අනුව, එය සෙන්ටිමීටර 30ක් (අඟල් 12) පමණ උසින් යුතු වූ අතර එය හොකයිඩෝහි ඊසාන දිගින් පිහිටි වරාය නගරයක් වන නෙමුරෝ වෙත බලපා තිබේ.
මේ අතර, රුසියාවේ කම්චට්කා ආණ්ඩුකාර ව්ලැඩිමීර් සොලොඩොව්ෆ් ටෙලිග්‍රෑම් ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, "අද ඇති වූ භූමිකම්පාව දශක ගණනාවකින් සිදු වූ බරපතළ සහ දරුණතම එකක්," බව ය.

ජීවිත හානි හෝ බරපතළ තුවාල ලැබීම් සිදු වූ බවට වාර්තා නොවූ නමුත් මූලික තොරතුරුවලට අනුව, ළදරු පාසලකට හානි සිදුවී ඇතැයි හදිසි අවස්ථා පිළිබඳ කලාපීය අමාත්‍ය සර්ගෙයි ලේබිදෙෆ් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
නමුත් භූ කම්පනයෙන් පසු ප්‍රදේශවලින් ඉවත්ව යාමේදී ඇතැම් පිරිස් තුවාල ලබා ඇතැයි කලාපයේ සෞඛ්‍ය අමාත්‍ය ඔලෙග් මෙල්නිකොෆ් සඳහන් කළේ ය.
රුසියානු බලධාරීන් අනතුරු ඇඟවූයේ, "ප්‍රබල පසුකම්පන" ඇති විය හැකි බවට ය.
"මැග්‍නිටියුඩ් 7.5 දක්වා විශාලත්වයකින් යුත් සැලකිය යුතු, කැපී පෙනෙන පසු කම්පන අවම වශයෙන් තවත් මාසයක්වත් පවතින බව අපේක්ෂා කරනවා," රුසියානු විද්‍යා ඇකඩමියේ භූ භෞතික සේවය අනතුරු අඟවා තිබේ.
පසුගිය දින 10 තුළ කම්චට්කා අර්ධද්වීපය භූමිකම්පා මාලාවකට මුහුණ දී ඇත.
භූ කම්පනය හේතුවෙන් ඉක්වදෝරයට ද මීටර් තුනක් උස සුනාමි රළ පැමිණිය හැකි බව එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසීය.
















