සති දෙකක් තුළ භූමිකම්පා 900ක් සිදුවීමෙන් පසු රාත්‍රියෙත් අවදියෙන් සිටින ජපාන දූපත් වැසියන්

Akuseki Island, one of the main islands for tourists visiting Tokara, is seen in the horizon. A small ferry is in the sea, in the foreground ටෝකාරා නැරඹීමට පැමිණෙන සංචාරකයින් සඳහා වන ප්‍රධාන දූපතක් වන අකුසේකි දූපත ඈතින් දිස්වේ. මුහුදේ, ඉදිරිපසින් කුඩා තොටුපළක් ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, කෙලී එන්ග් - සිංගප්පුරුව
    • Role, බීබීසී ප්‍රවෘත්ති

සති දෙකක් තුළ දකුණු ජපානයේ කුඩා, නිහඬ දූපත් සමූහයකට භූමිකම්පා 900 කට අධික සංඛ්‍යාවක් බලපෑ අතර, ඉන් එහි පදිංචිකරුවෝ කලබලයට පත්ව රාත්‍රිය පුරා අවදියෙන් සිටිති.

බදාදා සිදුවූ මැග්නිටියුඩ් 5.5ක භූමිකම්පාවකින් පසු, ජුනි 21 සිට ටෝකාරා දූපත් අවට මුහුදේ භූ කම්පන ක්‍රියාකාරකම් "රාශියක්" සිදුවූ බව බලධාරීන් පවසයි.

කිසිදු හානියක් වාර්තා වී නොමැති අතර සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර නොමැති නමුත් අවශ්‍ය නම් ඉවත් වීමට සූදානම් වන ලෙස නිලධාරීන් පදිංචිකරුවන්ට දැනුම් දී තිබේ.

"පොළොව නිතරම සෙලවෙනවා වගේ දැනෙනවා. නින්දට යන එක පවා ඉතා බියජනකයි," නිවැසියෙක් MBC ගුවන් විදුලිය වෙත පැවසීය.

ටෝකාරා ප්‍රදේශයට මීට පෙර භූමිකම්පා පොකුරු කිහිපයක් ඇති වී ඇත, නමුත් මෑත කාලීන කම්පන සංඛ්‍යාව වෙනදාට වඩා වැඩි බව එරට මාධ්‍ය පවසයි.

ජපානය භූමිකම්පා වලට ගොදුරු වීමේ වැඩිම අවදානමක් ඇති රටවලින් එකකි, මන්ද එය පැසිෆික් ගිනි වළල්ලේ පිහිටා ඇති අතර එහිදී බොහෝ භූ තැටි හමුවෙයි. එහි සෑම වසරකම භූමිකම්පා 1,500 ක් පමණ සිදු වේ.

ටෝකාරා දූපත් 12 න් හතක පුද්ගලයෝ 700 ක් පමණ දිවි ගෙවති. මෙම දුරස්ථ දූපත්වලින් ඇතැම් දූපත් සඳහා රෝහල් නොමැති අතර, ළඟම ඇති දූපත වන කගෝෂිමා වෙත බෝට්ටුවකින් යෑමට පැය හයක පමණ කාලයක් යාත්‍රා කළ යුතුය.

"භූමිකම්පා ඇතිවීමට පෙර සාගරයෙන් අමුතු ඝෝෂාවක් ඔබට ඇසෙනවා, විශේෂයෙන් රාත්‍රියේදී. එය බියජනකයි," අසාහි ෂිම්බන් වෙත අදහස් දැක්වූ අකුසේකිජිමා දූපතේ චිසුකෝ අරිකාවා පැවසුවාය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"අපි හැමෝටම මහන්සියි. අපිට ඕනෙ ඒකෙ අවසානයක් දකින්න," සිය සැමියා සමග මුහුද ආසන්නයේ ගොවිපළක ජීවත් වෙන 54 හැවිරිදි ඇය සඳහන් කළාය.

"බොහෝ භූමිකම්පාවලින් පස්සේ, අපිට දැන් පොළොව සෙලවෙන්නේ නැති වෙලාවටත් ඒ වගේ දැනෙනවා," අකුසෙකිජිමා හි සිවිල් සංවිධාන ප්‍රධානියෙකු වන ඉසාමු සකමොටෝ (60) පැවසීය.

"භූමිකම්පාව හදිසියේම පොළොවට පහළින් ඇති වෙනවා, ඊට පස්සේ ගෙදර සෙල වෙනවා. ඒක ඇත්තටම කලබලකාරීයි," ඔහු පැවසුවේය.

ටොෂිමා ගම්මානයේ ඇතැම් පුද්ගලයින් වෙහෙසට පත්ව සිටින බවත්, සුවදායක නින්දක් නොලබන බවත් නිලධාරීන් පැවසූ අතර, ප්‍රදේශවාසීන්ව ප්‍රශ්න ඇසීමෙන් වෙහෙසට පත් කිරීම නවත්වන ලෙස ඔවුහු මාධ්‍යයෙන් ඉල්ලා සිටියහ.

"කරුණාකර ගෞරවනීය වන්න, එමෙන්ම ඕනෑවට වඩා ප්‍රශ්න හෝ සම්මුඛ සාකච්ඡා වලින් වළකින්න," ගමේ වෙබ් අඩවියේ පළකර ඇති දැන්වීමක සඳහන් විය.

භූමිකම්පා හේතුවෙන් ටෝකාරා දූපත් වල ඇතැම් නිවාඩු නිකේතන සංචාරකයින් පිළිගැනීම නවතා දමා ඇත. ඒවා ප්‍රදේශවාසීන් සඳහා නවාතැන් ලෙස භාවිතා කළ හැකි බව බලධාරීන් පැවසීය.

මෙම භූමිකම්පා රට පුරා භීතිය තවත් වැඩි කර ඇති අතර, ඉක්මනින්ම විශාල, මාරාන්තික භූමිකම්පාවක් ඇති විය හැකි බවට කටකතා පැතිරෙමින් තිබේ.

1999 දී මංගා කලාකරු රියෝ ටැට්සුකි විසින් රචිත ප්‍රහසන කෘතියකට අනුව මේ කටකතා පැතිරෙමින් ඇත. 2021 දී නිකුත් කරන ලද නව සංස්කරණයක දී, ඊළඟ විශාල භූමිකම්පාව මේ වසරේ ජූලි 5 වන දින සිදුවනු ඇති බවට ඇය අනාවැකි පළ කර තිබේ.

මෙම කටකතා සමහර සංචාරකයින් බියට පත් කළ අතර, බොහෝ මාධ්‍ය වාර්තා පවසන්නේ බොහෝ දෙනෙක් තම සංචාර පවා අවලංගු කර ඇති බවයි.

ජපානයේ බොහෝ භූමිකම්පා කුඩා වන නමුත් සමහරක් විශාල හානියක් සිදු කරයි, 2011 දී විශාල සුනාමියක් ඇති කළ භූමිකම්පාවෙන් පුද්ගලයින්. 18,000 කට අධික පිරිසකට ජීවිත අහිමිවිය.

දශක ගණනාවක් පුරා නිලධාරීන් "විශාල එකක්" යනුවෙන් හඳුන්වන වසර 100 කට වරක් සිදුවන දැවැන්ත භූමිකම්පාවක් ගැන බියෙන් පසුවේ. විශේෂඥයින් අනතුරු අඟවන්නේ එමගින් 300,000 කට අධික පිරිසක් මිය යා හැකි බවයි.

මෙම සතිය මුලදී, විශාල භූමිකම්පාවකට ජනතාව සූදානම් කිරීම සඳහා ආරක්‍ෂිත බැමි ඉදිකිරීම සහ ඉවත් කරන ජනතාවට නවාතැන් ගැනීම සඳහා වන ගොඩනැගිලි වැනි නව ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙස රජය උපදෙස් දී තිබිණි. නමුත් ඔවුන් අනතුරු ඇගවූයේ තවත් බොහෝ දේ සිදු කළ යුතු බවයි.