දහසකට අධික පිරිසකට මරු කැඳවූ ඇෆ්ගනිස්ථාන භූ කම්පනය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ වන විට, ඇෆ්ගනිස්ථානයේ ගලවාගැනීමේ නිලධාරීන්, එරට ඇතැම් ගම්මාන මුළුමනින් ම පොළොවට සමතලා කරමින් 1,000කට වැඩි පිරිසක් මරණයට පත්කළ ප්‍රබල භූ කම්පනයෙන් දිවි ගලවාගත්තවුන් සුන්බුන් අතර හිඳීදැ යි සොයමින් සිටියි.
මැටි ගඩොල් නිවාසවලින් පිරුණු, නිස්සාර භූමියක් ඇති හෙරාට් ප්‍රදේශයේ දී සෙනසුරාදා (ඔක්. 7) උදෑසන, ඒකක 6.3ක භූ කම්පනය හටගත්තේ ය.
ගම්වැසියන් තවමත් සවල් සහ දෑත් යොදාගෙන අතුරුදන් වූ පුද්ගලයන් 500කට වැඩි පිරිසක් සොයමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
මාර්ග අවහිරවීමත්, සන්නිවේදන මාර්ග අක්‍රියවීමත් හේතුවෙන් ප්‍රමාද වූ ආධාර ගලා ඒම ආරම්භ වූයේ සඳුදා (ඔක්. 9) සිට ය.
මරණ සංඛ්‍යාව පවතින ගණන ඉක්මවා යාමට ඉඩ තිබේ.
මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (OCHA) පවසන පරිදි, භූ කම්පනය හෙරාට් නගරයේ සිට කිලෝමීටර් 40ක් පමණ දුරින් පිහිටි, "නිවාස 100%ක් මුළුමනින් ම විනාශ වී ඇති බවට ගණන් බලා ඇති" ග්‍රාමීය දිස්ත්‍රික්කයක් වන සින්ඩජාන් වෙත බලපෑවේ ය.

එවැනි භූ කම්පනයකට ඔරොත්තු දිය නොහැකි තරම් ශක්තිමත් බවින් අඩු නිවාස මුළුමනින් ම සුන්බුන් බවට පත්ව ඇති ආකාරය ගම්මානවල ඡායාරූපවලින් දිස් වේ.
"අපි ගෙදර ආවාට පස්සේ දැකපු දේ තමයි, මුකුත් ඉතුරු වෙලා නෑ කියන එක. හැම දේ ම බිමට පස් වෙලා," නෙක් මොහොමඩ් නමැති එක් ප්‍රදේශ වාසියෙක් ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සිය වෙත පැවසීය. "අපි සවල් අරගෙන හාරන්න පටන්න ගත්තා. අතට අහුවුණු හැම එකක් ම වගේ අර ගත්තේ සුන්බුන් අස්සේ හිර වෙලා ඉන්න කාන්තාවන් සහ දරුවන් බේරගන්න."
තාලිබාන් රජයට සහ සහන ආයතනවලට මුල දී මරණ ගණන හෝ කොපමණ පිරිසක් අතුරුදන් වී ඇතැ යි ද යන්න ඇස්තමේන්තු කිරීම අභියෝගයක් විය. එවැනි දූරස්ථ ගම්මානවල ජනගහණ වාර්තා නිලධාරීන් සතුව තිබුණායැ යි සිතිය නොහැකි ය.
මෙම ප්‍රදේශය යුද්ධයෙන් සහ නියඟයෙන් අවතැන් වූ ප්‍රජාවන්ගේ නිවහනක් ද වන අතර, එය ප්‍රාදේශීය බලධාරීන්ට එහි කොපමණ පිරිසක් ජීවත් වේ ද යන්න නිශ්චිතව දැන ගැනීමට අපහසු කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මේ වන විට 1,600කට වඩා වැඩි තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීමට පහසුකම් නොමැති රෝහල් ඇත්තේ අභියෝගාත්මක තත්ත්වයක ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු හෙරාට් ප්‍රාදේශීය රෝහල වෙත යවා ඇති අතර, වෛද්‍ය පුණ්‍යායතනයක් වන Médecins Sans Frontières (MSF)හි කණ්ඩායම් සෙනසුරාදා සිට එහි සිටියි.
"වාසනාවට, එන ගොඩක් රෝගීන් ඉන්නේ හදිසි තත්ත්වවල නෙවෙයි," ඇෆ්ගනිස්ථානයේ MSFහි වැඩබලන නියෝජිත පෲ කෝක්ලී පවසයි. "ඒ කොහොම වුණත්, ගොඩක් අයට ආපහු යන්න ගෙදරක් නැහැ. ඒකයි ඒ ගොඩක් අය රෝහලට ම වෙලා ඉන්නේ. ඒ අතර බලධාරීන් ඒ අයට ඉන්න විකල්ප ස්ථාන හොයනවා."
ළමා රෝගීන් පිළිබඳ අවධානය යොමු කරන කණ්ඩායමක් හෙරාට්හි රෝහල වෙත යවා ඇති බව ද ඇය පැවසුවා ය. භූ කම්පනයෙන් දිවි ගලවාගෙන ප්‍රතිකාර ලබන අයගෙන් බහුතරයක් කාන්තාවන් සහ දරුවන් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන අතර, වෛද්‍යවරුන් බීබීසීයට පවසන්නේ මියගිය බොහෝ දෙනෙකු කාන්තාවන් සහ දරුවන් වන බව ය.
භූ කම්පනයෙන් දිවි ගලවාගත් පිරිස් වෙත කඩිනමින් ආහාර, පානීය ජලය, ඖෂධ, ඇඳුම් පැළඳුම් සහ නවාතැන් සඳහා කූඩාරම් අවශ්‍ය බව තාලිබාන් රජය ප්‍රකාශ කර තිබේ. ඇෆ්ගන් රතු කුරුස සමාජය, MSF, ලෝක ආහාර වැඩසටහන සහ යුනිසෙෆ් ඇතුළු ආයතන කිහිපයක් ආධාර යවා ඇත. එහෙත් ඔවුන් පවසන්නේ, ආර්ථික අපහසුතාවලින් පෙළෙන ඇෆ්ගනිස්ථානයට තව ත් ආධාර අවශ්‍ය බව ය.
රජයට ඍජු ආධාර ලැබීම නතර වූ, 2021 වසරේ දී තාලිබාන් පාලනය අත්පත් කර ගත් දා සිට ඇෆ්ගනිස්ථානය ආර්ථික අර්බුදයකින් පසු වේ.
සෙනසුරාදා භූ කම්පනයෙන් පසු රටවල් කිහිපයක් මූල්‍යාධාර ලබා දෙන බවට පොරොන්දු වී ඇත. චීනයේ රතු කුරුස සමාජය හදිසි මුදල් ආධාරයක් වශයෙන් ඩොලර් 200,000ක් ලබා දී ඇති බව චීන මාධ්‍ය වාර්තා කළේ ය.
අසල්වැසි පාකිස්ථානය පවසා ඇත්තේ, එය ඇෆ්ගනිස්ථාන නිලධාරීන් සමග සම්බන්ධ වී කටයුතු කරන අතර "යථා තත්ත්වයට පත් කිරීමට ගන්නා ප්‍රයත්නයට හැකි සෑම සහයෝගයක් ම ලබා දෙන" බව ය.
ඇෆ්ගනිස්ථානය නිතර භූ කම්පනවලින් පීඩා විඳියි. විශේෂයෙන් ම, යුරේසියානු සහ ඉන්දියානු භූ තැටි සන්ධියේ පිහිටා තිබීම හේතුවෙන් හින්දු කුෂ් කඳුවැටියේ නිරන්තරයෙන් භූ කම්පා සිදුවෙයි.
පසුගිය වසරේ ජූනි මාසයේ දී පක්ටීකා ප්‍රදේශයට බලපෑ ඒකක 5.9ක භූ කම්පනයෙන් මිනිසුන් 1,000කට වැඩි පිරිසක් මියගොස් දස දහස් ගණනකට නිවාස අහිමි විය.












