භූ කම්පන මාරාන්තික කරන සාධක 7ක්

ඡායාරූප මූලාශ්‍රය, Getty
සැප්තැම්බර් අටවැනි දා මොරොක්කෝවේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය වැසියන් සංඛ්‍යාව මේ වන විට 3000 ඉක්මවා තිබේ.
මේ භූ කම්පනයේ තීව්‍රතාව ඒකක 6.8ක් ලෙස මනිනු ලැබූ අතර, 2019 වසරේ දී එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ සිදුවූ භූ කම්පනය එයට වඩා බලවත්විය.
නමුත්, ඒකක 7.1ක් වූ කැලිෆෝනියානු භූ කම්පනය හේතුවෙන් කිසිවෙකුත් මරණයට පත් නොවූ අතර, දේපොළවලට බරපතල හානි ද සිදු නොවීය.
මරණ සංඛ්‍යාව සහ විනාශය අනුව ගත්කල භූ කම්පනයක් කෙතරම් දරුණු ද යන්නට බලපෑම් කරනා සාධකයන් බොහෝ ය - ඒ අතරින්, මේ සාධක වඩාත් වැදගත් වේ:
විශාලත්වය සහ පැවැතුම් කාලය
භූ කම්පනයන්හි තීව්‍රතාව මනින්නේ 'මෝමන්ට් මැග්නිටියුඩ් ස්කේල්' (Mw) නම් පරිමාණයකිනි. මෙමඟින්, දැන් යල් පැනගොස් ඇති, නිරවද්‍යබව අඩුයැ යි සැලකෙන ප්‍රසිද්ධ රික්ටර් පරිමාණය ප්‍රතිස්ථාපනය කෙරිණි.
මේ පරිමාණය මඟින් භූ කම්පනයකට ලබාදෙන අංකය, භූ කම්පනය ඇති කරමින් විභේද රේඛාව චලනය වූ දුර සහ එය කෙතරම් බලයකින් චලනයවී ද යන්නෙහි එකතුවක් නිරූපණය කරයි.
ඒකක 2.5ක හෝ ඊට අඩු චලනයක් අපට නොදැනෙනමුත් උපකරණ හරහා නිරීක්ෂණය කළ හැකි ය. ඒකක 5ක් දක්වා වන භූ කම්පන අපට දැනෙන අතර සුළු හානි ඇතිකරයි. ඒකක 6.8ක මොරොක්කෝ භූ කම්පනය මධ්‍යම - ප්‍රබල කම්පනයක් ලෙස වර්ග කළ හැකි අතර, මේ වසරේ පෙබරවාරියේ දී දකුණුදිග තුර්කියේ සිදුවූ ඒකක 7.8ක භූ කම්පනය අති ප්‍රබල භූ කම්පනයක් ලෙස වර්ග කෙරෙයි.
ඒකක 8ට වැඩි ඕනෑම භූ කම්පනයක් "උග්‍ර" ලෙස හැඳින්විය හැකි ය. මේවා ප්‍රජාවන් මුළුමනින් විනාශකර දැමිය හැකි තරම් ව්‍යසනකාරී හානියක් සිදුකරයි.

භූ කම්පනයක ප්‍රබලත්වය මෙන්ම භූ කම්පනයෙන් ඇතිකරන සෙලවීම පවතින කාලය ද ඒවායේ විනාශකාරී බලයට බෙහෙවින් බලපෑම් කළ හැකි ය.
"කුඩා භූ කම්පනවල සෙලවීම සාමාන්‍යයෙන් තත්පර කීපයක් පමණක් පැවතුණ ද, 2004 වසරේ සුමාත්‍රා භූ කම්පනය වැනි මධ්‍යම ප්‍රමාණයේ සිට ප්‍රබල භූ කම්පනවලින් ඇති කරන බලවත් සෙලවීම මිනිත්තු කීපයක කාලයක් පැවතිය හැකියැ,"යි වයඹදිග ශාන්තිකර කලාපයේ භූ කම්පන නිරීක්ෂණය කරන 'පැසිෆික් නෝත්වෙස්ට් සයිස්මික් නෙට්වර්ක්' (PNSN) පවසයි.
ගැඹුර
නමුත් මෙහි එකම වැදගත් සාධකය වන්නේ භූ කම්පනයේ ප්‍රබලත්වයම පමණක් නොවේ: භූ කම්පනය ඇරඹෙන්නේ පෘථිවියේ කොතැනින් ද යන්න ද එලෙසම වැදගත් ය.
මොරොක්කෝ භූ කම්පනයේ නාභිය පිහිටියේ පොළොව මතුපිට සිට කිලෝමීටර 18ක් පමණ ගැඹුරේ ය. මෙය එවරස්ට් කන්දේ උස මෙන් දෙගුණයක පමණ අගයක් වන නමුත්, භූ විද්‍යාත්මක ප්‍රමිතීන්ට අනුව එය 'ගැඹුරු' දුරක් ලෙස නොසැලකෙයි.
"මේ භූ කම්පනය සාපේක්ෂව නොගැඹුරු යි. ඒ කියන්නේ, ඒකෙන් ඇති කරන බලය සහ කම්පනය විසුරුවා හරින්න ඒ මත තියෙන පෘථිවි ප්‍රමාණය අඩු යි. [ඉතින්] ඒකෙ කම්පනය සහ සෙලවීම ඉතාම ජවසම්පන්නව සිද්ධවෙන්න ඇති," පෝර්ට්ස්මත් විශ්වවිද්‍යාලයයේ සේවය කරන යමහල් විද්‍යාඥවරියක හා භූ විද්‍යාඥවරියක වන ආචාර්ය කාමෙන් සොලානා බීබීසීයට පැවසුවා ය.
මීට අසමානව, සැප්තැම්බර් 11 වන සඳුදා ඉන්දුනීසියාවේ දුරස්ථ උතුරු මාලුකු පළාතේ සිදුවූ ඒකක 6.2ක භූ කම්පනය පොළව මතුපිට සිට කිලෝමීටර 168ක ගැඹුරකින් සිදුවිය. ඉන් කිසිදු මරණයක් සිදුවූබවට වාර්තා නොවිණි.
දවසේ කාලය
මධ්‍යම මොරොක්කෝවට බලපෑ භූ කම්පනය සිදුවූයේ එරට වේලාවෙන් පැය 23:11ට (රාත්‍රී 11:11ට) ය - මෙය, එම භූ කම්පනය කෙතරම් මාරාන්තික ද යන්න කෙරෙහි සැලකියයුතු බලපෑමක් ඇතිකළ සාධකයකි.
"ගොඩක් ගොඩනැගිලි මිනිස්සු නිදාගෙන ඉඳිද්දි විනාශවෙන්න ඇති," ආචාර්ය සොලානා පවසයි.
භූ කම්පනයක් අතරතුරේ මියයන පුද්ගලයින්ගෙන් බහුතරය මියයන්නේ කඩාවැටෙන ගොඩනැගිලි හේතුවෙනි - මෙනිසා, භූකම්පනවේදීන් අතර "මිනිස්සුන්ව මරන්නේ භූ කම්පනය නෙවෙයි, ගොඩනැගිලියැ"යි කියමනක් ද පවතියි.
එනිසා, දහවලේ දී මිනිසුන් ගොඩනැගිලිවලින් බැහැරව සිටින විට සිදුවන භූ කම්පනවලින් ඇතිකෙරෙන ජීවිත හානි අඩු ය.
ගොඩනැගිලි ඉදිකිරීම
සියලු භූ කම්පනවලට ඔරොත්තු නුදුන්න ද, අති ප්‍රබල භූ කම්පනවලට ඔරොත්තු දෙන නිවෙස් ඉදිකිරීම සිදුකළ නොහැක්කක් නොවේ. මෙය සාර්ථකවීමට නම්, භූ කම්පනයක ශක්තිය හැකිතාක් අවශෝෂණයකර ගැනීමට ගොඩනැගිලිවලට හැකිවිය යුතු ය.

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට (USGS) අනුව, ලොව වැඩිම භූ කම්පන අවදානමක් පවතින රට වන ජපානය ඒවාට ඔරොත්තු දෙන ගොඩනැගිලි ඉදිකිරීමෙහිලා පුරෝගාමීත්වය ගනියි.
"ගොඩනැගිල්ලට පුළුවන් නම් [භූ කම්පනයේ] ශක්තිය අවශෝෂණය කරගන්න, ඒක එතකොට කඩා වැටෙන්නේ නැහැ," ව්‍යුහ ඉංජිනේරුවෙකු ද, තෝකියෝ විශ්වවිද්‍යාලයයේ සහකාර මහාචාර්යවරයෙකු ද වන ජුන් සටෝ පවසයි.
මෙය බොහෝවිට සිදුකෙරෙන්නේ 'භූ කම්පන විසංගමනය' නම් ක්‍රියාවලියක් මඟිනි. මෙහිදී, භූ කම්පනයේ චලනයට ඔරොත්තු දීම සඳහා ගොඩනැගිලි හෝ ව්‍යුහයන් බෙයාරිම හෝ කම්පන අවශෝෂක (ෂොක් ඇබ්සෝබර) ආකාරයක් මත පිහිටුවයි - ඇතැම්විට මේවා සෙන්ටිමීටර 30 - 50 ඝනකම ඇති රබර් කුට්ටි තරම් සරල දෑ ය.
නමුත් මෙයාකාරයේ පදනම් විසංගමනය මිල අධික වන අතර, ලොව වටා ගොඩනැගිලි ඉදිකිරීමේ වියදම් සහ අමුද්‍රව්‍ය වියදම් විශාල වශයෙන් වෙනස් වේ.
මොරොක්කෝවේ වැඩිම හානියක් සිදුවූ දුරස්තර ප්‍රදේශවල බොහෝ ගොඩනැගිලි ඉදිකර තිබුණේ, දැඩි භූ කම්පනයකට ඔරොත්තුදීමට නොහැකි මැටි ගඩොල්වලිනි.
භූ කම්පනයක් අතරතුර දී වැඩි පදිංචිකරුවන් සංඛ්‍යාවක් සහිත උස් ගොඩනැගිලි කඩා වැටුණහොත් විනාශකාරී මරණ සංඛ්‍යාවක් ඇතිවිය හැකි ය.
පෙබරවාරියේ තුර්කියේ සිදුවූ භූ කම්පනය අතරතුරේ ගොඩනැගිලි රැසක් කඩා වැටීමෙන් පසු, බොහෝ තුර්කි ජනයා එරට දුබල ගොඩනැගිලි ප්‍රමිතීන් ද, විශේෂයෙන්ම ගොඩනැගිලි රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වීම ද විවේචනය කළහ.
එම භූ කම්පනයන් ප්‍රබලවුව ද, නිසි ලෙස ඉදිකරන ලද ගොඩනැගිලි ඒවාට ඔරොත්තු දෙන්නට හැකිවන්නට තිබුණේයැ යි විශේෂඥයින් පවසයි.
"මේ භූ කම්පනයේ උපරිම තීව්‍රතාව ප්‍රචණ්ඩ වුණත්, හොඳින් ඉදිකළ ගොඩනැගිලි කඩලා දාන්න තරම් එය ප්‍රමාණවත් වුණේ නැහැ," ලන්ඩනයේ යුනිවර්සිටි කොලෙජ්හි හදිසි සැලසුම් සහ කළමනාකරණය පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය ඩේවිඩ් ඇලෙක්සැන්ඩර් පවසයි.
"ගොඩක් තැන්වල සෙලවිමේ මට්ටම තිබුණේ උපරිමයට වඩා අඩුවෙන්. ඉතින්, කඩා වැටුණු ගොඩනැගිලි දහස් ගාණෙන් සියල්ලම පාහේ සාමාන්‍ය, සාධාරණ භූ කම්පන ඉදිකිරීම් ප්‍රමිතීන්ට අනුකූල නෑ කියලා අපට නිගමනය කරන්න පුළුවන්."
ජනගහණ ඝනත්වය
2021 ජූලි මාසයේ දී ඇලස්කා අර්ධද්වීපයට ආසන්නයෙන් ඒකක 8.2ක දැවැන්ත භූ කම්පනයක් සිදුවිය. නමුත් ඔබට ඒ ගැන කිසිදු මතකයක් නොමැතිවීමට ඉඩ තිබේ.
මේ චිග්නික් භූ කම්පනය එක්සත් ජනපදයේ ඉතිහාසයේ හත්වැනියට විශාලතම භූ කම්පනය ලෙස සැලකෙන නමුදු, එය කිසිවෙකුට තුවාල සිදුකළේ හෝ මරණයට පත්කළේ නැත. ඊට හේතුවූයේ, එය ප්‍රධාන ජනාවාසයන්ගෙන් බැහැරව, පොළව මතුපිට සිට සාපේක්ෂව ගැඹුරෙන් සිදුවූ භූ කම්පනයක් වූ හෙයිනි.
ඊට අසමානව, 2010 ජනවාරියේ හෙයිටියේ සිදුවූ ඒකක 7.0ක භූ කම්පනයෙන් මහා විනාශයක් සිදුවිය - පුද්ගලයින් 250,000කට වැඩි පිරිසක් මරණයට පත්වීයැ යි ඇස්තමේන්තු කෙරුණි. තවත් 300,000ක් පමණ දෙනා තුවාල ලැබූ අතර මිලියන 1.5ක පමණ පිරිසක් අවතැන් විය.
අගනුවර වූ පෝට්-ඕ-ප්‍රින්ස් වෙත භූ කම්පනයේ පූර්ණ බලපෑම දැනුණු අතර, විශාල මරණ සංඛ්‍යාවක් සිදුවීමට එහි අධික ජනගහණය (වර්ග කිලෝමීටරයට මිනිසුන් 27,000ක්) ද හේතුවිය.
පසෙහි ස්වභාවය
භූ කම්පනයකින් ගැලවීම සඳහා අපට ඇති අවස්ථාව වැඩිමනක් රඳාපවතින්නේ, අප සිටගෙන සිටින පොළව කෙතරම් ස්ථිර ද යන්න මත ය
පස, පොළොව මට්ටමේ හෝ පොළොවට ආසන්නයේ ජලය රැඳි අවසාදිත සමග ලිහිල්ව ඇසිරී පිහිටන්නේ නම්, එහි පොළොව මතුපිට ප්‍රදේශය දැඩි භූ චලනයකට ඔරොත්තු දීමේ හැකියාව අතින් පහත්බව ද, එනිසා 'ද්‍රවීකරණය' නම් ආචරණයක් ඇතිකරනබව ද USGS පවසයි.
මින් අදහස් වන්නේ, සාමාන්‍යයෙන් ඝන තත්ත්වයේ පවතින අමුද්‍රව්‍යයක් ද්‍රවයක් ලෙස හැසිරීමට පටන්ගැන්ම යි. මෙමඟින්, භූ කම්පනයෙන් සිදුවිය හැකි හානිය විශාල ලෙස ඉහළ නංවන අතර 1964 වසරේ ජපානයේ නීගාටා භූ කම්පනයේ දී මෙය දැකගත හැකිවිය.
මීට අසමානව, මෑතක දී තුර්කියේ සිදුවූ භූ කම්පනයෙන් මිනිසුන් 50,000කට වැඩි පිරිසක් මියගිය ද, අපිකේන්ද්‍රයෙන් කිලෝමීටර 80ක් පමණක් ඈතින් පිහිටි එර්සින් නගරය 'සිරීමකුදු නොලබා' ගැලවිණි.
ඒ වටා පිහිටි නගර බිමට සමතලාවුව ද එර්සින්හි ගොඩනැගිලි කඩා වැටුණේ හෝ කිසිවෙකු මියගියේ හෝ නැත.
එර්සින් ගැලවුණේ, එය කම්පන තරංග අවශෝෂණයකර ගත හැකි අන්දමට පිහිටි ගලින් සැදි ආරක්ෂක ස්ථරයක් සහ දැඩි බිමක් මත පිහිටීම නිසාබව භූ විද්‍යාඥයින් පවසයි.
හදිසි ප්‍රතිචාර

ඡායාරූප මූලාශ්‍රය, Getty
ස්වභාවික ආපදාවන් සඳහා සූදානම්ව සිටීම, ආපදාවක් අතරතුරේ ජීවිත ගලවාගැනීමෙහිලා ඉතා වැදගත් සාධකයකි.
ජපානයේ පාසැල්වලට, වසරකට දෙවතාවක් භූ කම්පන අභ්‍යාස (භූ කම්පනයක් අතරතුරේ හැසිරිය යුතු අන්දම ගැන පුහුණු කරන ක්‍රියාකාරකම්) පැවැත්වීමට සිදුවන අතර, ළමුන් නිවෙසේ, එළිමහනේ හෝ වාහනයක් තුළ සිටිය ද භූ කම්පනයකට ප්‍රතිචාර දැක්විය යුතු අන්දම ඔවුනට උගන්වයි. තායිවානය, එහි හදිසි ප්‍රතිචාර කණ්ඩායම්හි ප්‍රතිචාර දැක්වීමෙන් හැකියාව පරීක්ෂා කරනු සඳහා දීපව්‍යාප්ත භූ කම්පන හදිසි අභ්‍යාස සිදුකරයි.
නමුත්, බොහෝ රටවල තත්ත්වය මෙය නොවේ. විශේෂයෙන්ම, එවැනි ආපදා කලාතුරකින් පමණක් අත්විඳින රටවල තත්ත්වය මීට වෙනස් ය.
හදිසි ප්‍රතිචාරයේ වේගය සහ පරිමාණය ද තීරණාත්මක ය - තුර්කි භූ කම්පනය සිදුවී දස දිනකට වැඩි කාලයක් ගෙවීමෙන් පසුව ද සුන්බුන් අතරින් සජීවී තැනැත්තන් ගලවා ගැනුණු නමුදු, තුවාල ලත්, සිරවී සිටින බොහෝදෙනා එතරම් කල් දිවි ගලවා නොගනිති.
මෙනිසා, ප්‍රවාහන යටිතල පහසුකම් සහ ඒවා යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව හදිසි ප්‍රතිචාර දැක්වීමේ දී ඉතා වැදගත් වෙයි. පසුගිය දා භූ කම්පනයේ බලපෑමට ලක්වූ මොරොක්කෝවේ දුරස්ථ ප්‍රදේශයන්හි පිහිටි මාර්ග කීපයෙන් බහුතරය ද නායයෑම් සහ සුන්බුන් නිසා අවහිරවී තිබූ අතර, බොහෝ ගම්වලට හදිසි ප්‍රතිචාර ලැබුණේ අවම වශයෙන් හෝ එවැන්නක් ලැබුණේම නැතැ යි චෝදනා එල්ලවිය.
ජාත්‍යන්තරයෙන් ඉදිරිපත්වූ ඇතැම් උපකාර පිළිගැනීමේ දී ප්‍රමාදයක් දැක්වූ මොරොක්කෝ රජයට එරෙහිව ද විවේචන එල්ලවිය.
ද්විතීයික බලපෑම්
භූ කම්පනයකින් මිනිසුන් මියයෑමට එකම හේතුව ගොඩනැගිලි කඩා වැටීමම නොවේ.
මාරාන්තික සුනාමියක් ඇති කරමින් මුහුදු පත්ලේ සිදුවිය හැකි භූ කම්පනයන්ට මුහුදුබඩ ප්‍රජාවන් නිරාවරණයවී සිටියි.
ඉන්දුනීසියාවේ සුමාත්‍රා තුඩුවේ බණ්ඩා අචේ නගරයට ආසන්නයේ ඉන්දියානු සාගරයට යටින් සිදුවූ ඒකක 9.1ක දැවැන්ත භූ කම්පනයෙන්, 2004 වසරේ දී ආසියානු සුනාමිය ඇතිවිය.
භූ කම්පනය හා අනතුරුව පැමිණි දැවැන්ත මුහුදු රළෙන්, රටවල් දුසිමකට අධික සංඛ්‍යාවක 230,000කට අධික වැසියන් පිරිසක් මරණයට පත්විය. මෙම මුහුදු රළ කෙතරම් බලවත්දැ යි කිවහොත්, ඉන් ඉන්දියානු සාගරයේ අනෙක් පස දුරබැහැරින් පිහිටි අප්‍රිකාවේ ද ජීවිත හානි සිදුවිය.
කඳුකර ප්‍රදේශවල දී භූ කම්පන නිසා ඇතිවන නායයෑම් හේතුවෙන් නිවෙස් වැළලීගොස්, ගලවා ගැනීමේ ප්‍රයත්නයන් ද අවහිර වෙයි.
2015 දී නේපාලයේ සිදුවූ බලවත් භූ කම්පනයකින් පුද්ගලයින් 9000ක් පමණ දෙනා මරණයට පත්විය.

ආපදාවට ලක්වූ ප්‍රදේශය තුළ නායයෑම් 3000ක් පමණ සිදුවීමට එම භූ කම්පනය මුල්වී ඇතැ යි භූ විද්‍යාඥයින් පවසයි.
1906 දී එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ භූ කම්පනයෙන් භූමිය ප්‍රචණ්ඩ ලෙස චලනය විය. මෙය පැවැතියේ තත්පර 20 - 25 අතර කාලයක් පමණක්වුව ද, නගරයේ ගෑස් සහ ජල නල පුපුරවා දැමීමට තරම් එම කම්පන තරංග බලවත්විය.
මෙසේ කාන්දුවූ ගෑස් කීප තැනක දීම ගිනි ගැනීමත්, ජලය නොමැතිකම නිසා ගින්න පාලනය කිරීම ඉතා අසීරුවීමත් නිසා, වැසියන් 3000කට අධික පිරිසක් මින් මරණයට පත්විය.












