තුර්කි භූ කම්පනය: 'ඔයගොල්ලෝ පරක්කු වැඩියි... ඇයි ඔයගොල්ලෝ මීට කලින් නාවේ?'

People search for survivors at the site of a collapsed building following an earthquake in Iskenderun, district of Hatay, Turkey, 07 February 2023.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉස්කෙන්දෙරුන් යනු භූ කම්පනයේ දරුණුතම බලපෑමට ලක්වූ දකුණු තුර්කියේ නගරවලින් එකකි
    • Author, ෆන්ඩනූර් ඔස්ටුර්ක්
    • Role, බීබීසී ලෝක සේවය

"ඔයගොල්ලෝ පරක්කු වැඩියි! පරක්කු වැඩියි!" අර්සු දෙදෝලු කෑගසමින් පවසන්නේ, දකුණුදිග තුර්කියේ වරාය නගරයක් වන ඉස්කෙන්දෙරුන් වෙත ඒ මොහොතේ ළඟාවූ මුදාගැනීමේ කණ්ඩායම් වෙත ය.

හානියට පත් මේ නගරය, සඳුදා ඒකක 7.8ක භූ කම්පනයකින් පීඩාවට පත් දකුණු තුර්කියේ දරුණුතම හානි ලැබූ ප්‍රදේශවලින් එකකි.

දෙදෝලුගේ ඥාති ලේලියන් දෙදෙනෙක් තවමත් සුන්බුන්වලට සිරවී සිටිති. ඇගේ හැඬුම් හඬ නුමුනේ දිස්ත්‍රික්කයේ බියකරු නිහැඬියාව බිඳ දමයි.

මුදාගැනීමේ සේවකයින් මොහොතකට වැඩ නවතයි. නමුත්, වැඩ නොනවත්වන්නැ යි දැරියන්ගේ පවුල් ඔවුනට බැගෑපත් වෙයි.

"අනේ යන්නෙපා - මගෙ දරුවො තාමත් පණපිටින් වෙන්න ඇති," ඔවුන්ගේ මව පවසයි.

මෙහි දැඩි කෝපයකින් පෙලෙන වාතාවරණයක් ඇතිබව හැඟෙයි.

Iskenderun

දෙදෝලු, තුර්කියේ ආපදා සහ හදිසි කළමනාකරණ අධිකාරියේ (AFAD) මන්දගාමී ප්‍රතිචාරය ගැන මැසිවිලි තබයි. ඔවුන් ඔවුන්ගේම මුදල් හා සම්පත් යොදා සුන්බුන් ඉවත්කිරීම සඳහා කැණීම් යන්ත්‍රයක් සූදානම්කර ගත් නමුත්, එය භාවිතා කිරීමට බලධාරීන් ඉඩ නොදුන්බව ඇය පවසයි.

"අපි හැන්දෑ වෙනකල් බලාගෙන හිටියා, කවුරුවත් ආවේ නෑ. අපි අපි එකතුවෙලා කැටපිලර් එකක් ගෙන්නගත්තා, ඒ වුණාට අපි ඒක පාවිච්චි කරනවට ඒගොල්ලෝ [බලධාරීන්] කැමති වුණේ නෑ - අපිව නැවැත්තුවා. අපේ දරුවෝ දෙන්නෙක් සුන්බුන් යට ඉන්නවා: මගේ සහෝදරීගේ කෙල්ලෝ දෙන්නා, අයිෂෙගුල්, ඉලයිදා. ඒගොල්ලෝ දැන් නැතිවෙලා, නැතිවෙලා."

"මේගොල්ලෝ දවල්වෙන්න කලින් ආවා නම් කියලා මට හිතෙනවා. අපි ජෙනරේටරේකුත් ගෙනැත් දුන්නා. අපි සෑහෙන මහන්සි වුණා, ඒ වුණාට පසුකම්පන එක්ක අපට ෆ්ලැට් එකෙන් අයින්වෙන්න වුණා. ඒ වෙලාව වෙනකල්ම මේ දරුවන්ගේ ජීවිත ගැන බලාපොරොත්තුවක් තිබ්බා. ඔයගොල්ලන්ට ඔක්කොම සම්පත් තිබ්බා නම් ඇයි ඔයගොල්ලෝ මීට කලින් නාවේ?"

'ඇයි ඊයේ නාවේ?'

මාර්ගයේ පහළට යද්දී, මේ වන විට සුන්බුන්බවට පත්ව තිබෙන ගුලාර්යුස් තට්ටු නිවාස ගොඩනැගිල්ල අසල රැඳී සිටිනා තවත් ජන කණ්ඩායමක් දක්නට ලැබෙයි.

පැය 24කටත් වඩා ගතවී තිබුණත් AFADහි කිසිවෙකු උපකාර පිණිස නොපැමිණියේ යැයි ඔවුන් පවසයි.

එතැන ජනයාට සහාය දෙමින් සිටින තවත් මුදාගැනීමේ කණ්ඩායමකි. ජනයා අතර හුන් එක් කාන්තාවක්, "ඇයි ඕගොල්ලෝ ඊයේ නාවේ? ඊයෙත් අපට සුන්බුන් අස්සෙන් කටහඬවල් ඇහුණා!" යි මුදාගැනීමේ සේවකයින් වෙත මොරදෙමින් සිටියා ය.

Iskenderun

ඡායාරූප මූලාශ්‍රය, EPA

භූ කම්පනය සිදුවූ දිනයේ ඔවුන් උපකාර ලැබෙනතෙක් බලා සිටිබව වින්දිතයෝ මට කියා සිටියහ. නමුත් පැය 24ක් ගෙවීයෑමෙන් පසු අඳුර වැටීමත් සමග සුන්බුන් අස්සෙන් නැගුණු කටහඬවල කෙමෙන් නිශ්ශබ්ද වූබව ඔවුහු පවසති.

"ඔයගොල්ලෝ ඊයේ ආවා නම් අපට ඒගොල්ලන්ව බේරගන්න තිබ්බා," තවත් කාන්තාවක් කඳුළු අතරින් කෑගැසුවා ය.

'අපිව තනිකරලා දාපු එවුන් අපෙන් ඡන්ද ඉල්ලගෙන නාවට කමක් නෑ'

ගොඩනැගිල්ලට ඉහළින් දුමක් නැගෙයි. භූ කම්පනයෙන් දිවි ගලවාගත්තවුන් සිය ආදරණීයයන් ද ගලවාගන්නා තෙක් එහි රැඳී සිටියි.

"ඊයේ ඉඳන් ගිනි නිවන භටයෝ එක කණ්ඩායමක්වත් ආවේ නෑ. එයාලා භූමිකම්පාවෙන් බේරුණත්, මේ වෙද්දී දුම නිසා මැරිලා ගිහින් ඇති," ඔවුන් පවසයි.

ඒ අවස්ථාව කැමරාවලින් පටිගත කෙරෙනාබව දුටු අලි ඔන්දෑර්, තමාගේ හඬ ද ලෝකයට ඇසෙතැ යි අපේක්ෂාවෙන් කැමරා කාචයට ළංවෙයි: "මගේ ජීවිත අටක් අර බිල්ඩිම ඇතුළේ ඉන්නවා. කවුරුවත් ආවේ නෑ - AFAD එක තවම ඇවිත් නෑ. අපිව තනිකරලා දාපු එවුන් අපෙන් ඡන්ද ඉල්ලගෙන නාවට කමක් නෑ. කවදාවත් ඕනෙ නෑ."

තුර්කිය සිය මහ මැතිවරණය සහ ජනපතිවරණය මැයි 14 දා පැවැත්වීමට නියමිත අතර, එය තුර්කි ජනපති රිසෙප් තයියිප් ඇර්දොවාන්ට මුහුණදීමට සිදුවන පරීක්ෂණයකැ යි පොදුවේ සැලකෙයි.

Iskenderun

ඔන්දෑර් ද සඳුදා (පෙබ. 6) පැය 2.5ක් සුන්බුන් අතර සිරවී සිටි අතර, තමාගේම උත්සාහය හේතුවෙන් කඩාවැටුණු ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණීමට සමත්ව තිබුණි. දිවි ගලවාගැනීමට සිදුකළ සටනේ දී ඔහුගේ අත කැඩීගොස් ය.

"මේ වැටිච්ච බිල්ඩිමේ ෆ්ලැට් 15ක් තිබ්බා. මම බේරිච්ච අනිත් මිනිස්සුත් එක්ක එකතුවෙලා, දහදෙනෙක්ට සුන්බුන් අතරින් එළියට එන්න උදව් කළා."

"රජය නියෝජනය කරන කවුරුවත් මෙතන නෑ. හැමෝම තම තමන්ගේ නෑදෑයින්ව එළියට ගත්තේ තමන්ම යි, තමන්ගේ මහන්සියෙන්ම යි. අපි අපේ අත්වලින් බිම හෑරුවේ."

"එක වෙරළාරක්ෂක කණ්ඩායමක් මෙතෙන්ට ආවා. ඇවිත් අපෙන් අහනවා අපි ළඟ යකඩ කපන මැෂිමක් හරි ඩ්‍රිල් එකක් හරි තියෙනව ද කියලා. අපෙන් බඩු ඉල්ලන්න නම් ඇයි ඕගොල්ලෝ මෙතෙන්ට ආවේ? ඇයි අපෙන් බඩු ඉල්ලන්නේ ? මාව සනසනවා වෙනුවට ඒගොල්ලෝ අපේ තුවාලෙට ලුණු දානවා."

මේ නගරය, අත්හැර දැමූ නුවරක් වැනි ය.

එහි පණ තිබෙන බවට වන එකම සලකුණු නම්, සිරුරු උණුසුම්ව තබාගැනීම සඳහා ගිනිමැල වටා රැස්ව සිටින ජන කණ්ඩායම් පමණි.