තුර්කියේ භූ කම්පනය: එය එතරම් මාරාන්තිකවූයේ ඇයි?

Rubble from buildings destroyed by earthquake near Gaziantep

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, පල්ලබ් ඝෝෂ්
    • Role, විද්‍යා වාර්තාකරු

සඳුදා (පෙබ. 6) අලුයම ගිනිකොණදිග තුර්කියේ, සිරියානු දේශසීමාව ආසන්නයේ ඇතිවූ විශාල භූ කම්පනයකින් පුද්ගලයින් 4300 කට වැඩි පිරිසක් මියගොස්, තවත් දහස් ගණනක් තුවාල ලබා සිටියි.

ගාසියාන්ටේප් නගරය ආසන්නයේ ඇතිවූ මේ භූමිකම්පාව අවසන්වී ස්වල්ප වේලාවකට පසු ඒ ආසන්නයේම දෙවැනි භූ කම්පනයක් ද ඇතිවූ අතර, එය පළමුවැන්න තරමටම විශාල විය.

එය මෙතරම් මාරාන්තිකවූයේ ඇයි?

එය විශාල භූ කම්පනයක් විය. ගාසියාන්ටේප් අසල සිදුවූ කම්පනය ඒකක 7.8ක් ලෙස ගණන් බලා ඇති අතර, එය නිල ප්‍රබලත්ව පරිමාණයෙන් "මහා පරිමාණ" කම්පනයක් ලෙස වර්ගකර තිබේ. එහි කේන්ද්‍රය සාපේක්ෂ වශයෙන් නොගැඹුරක පිහිටි අතර (මතුපිට සිට කිලෝමීටර 18ක් යටින්), මතුපිට ගොඩනැගිලිවලට බරපතල හානි සිදුකළේ ය.

Turkey Syria quake

ලන්ඩනයේ යුනිවර්සිටි කොලෙජ්හි අවදානම් සහ ආපදා අවම කිරීමේ ආයතනයේ ප්‍රධානී මහාචාර්ය ජොඈනා ෆෝර් වෝකර් මෙසේ පැවසුවා ය: "ඕනෑම අවුරුද්දක මාරාන්තිකම භූමිකම්පා ගත්තොත්, පහුගිය අවුරුදු 10 තුළ මීට සමාන විශාලත්වයකින් යුතු භූමිකම්පා ඇතිවෙලා තියෙන්නේ දෙකක් විතරයි. ඊට කලින් අවුරුදු 10 ඇතුළෙ හතරක් විතර යි."

නමුත් විනාශය ඇති කරන්නේ කම්පනයේ ප්‍රබලත්වය පමණක්ම නොවේ.

මෙම භූ කම්පනය සිදුවූයේ මිනිසුන් නිවෙස් තුළට වී නිදා සිටින අලුයම් මොහොතකය.

ගොඩනැගිලිවල ශක්තිමත්බව ද මෙහිදී බලපාන තවත් සාධකයකි.

පෝර්ට්ස්මත් විශ්වවිද්‍යාලයයේ යමහල් විද්‍යාව සහ අවදානම් සන්නිවේදනය පිළිබඳ අධ්‍යයනය කරන ආචාර්ය කාමෙන් සොලානා පැවසුවේ : "අවාසනාවකට වගේ, දකුණු තුර්කියේ සහ විශේෂයෙන්ම සිරියාවේ, යටිතල ව්‍යුහයන් අස්ථාවර යි. ඒ නිසා, ජීවිත ගලවාගැනීම දැන් බොහෝදුරට රැඳිලා තියෙන්නේ [හදිසි සේවාවන්ගේ] ප්‍රතිචාරය මත. දිවි ගලවාගත් අය හොයාගන්න ඉදිරි පැය 24 ඉතාම වැදගත්. පැය 48කට පස්සේ, දිවි ගලවාගත්ත සංඛ්‍යාව විශාල ලෙස අඩුවෙනවා." යනුවෙනි.

මෙය වසර 200කට වැඩි කලක් විශාල භූ කම්පනයක් හෝ කිසිදු අනතුරු හැඟවීමේ සංඥාවක් නොපෙන්වූ කලාපයක් වනබැවින්, කම්පනවලට මුහුණදී හුරුපුරුදු කලාපයකට වඩා මෙහි පෙර සූදානම් මට්ටම අඩුවනු ඇත.

Turkey before and after

භූ කම්පනවලට හේතුව කුමක්ද?

පෘථිවියේ කබොල සෑදී ඇත්තේ 'භූ තැටි' ලෙස හැඳින්වෙන වෙන් වෙන් කොටස්වලිනි. මේවා එකිනෙක එකට ගැවී පිහිටා තිබේ.

මේ තැටි නිතර චලනය වීමට තැත්කරනමුත්, ඒවාට ආසන්න තැටිවල ගෑවීමෙන් ඇතිවන ඝර්ෂණය මගින් එය වළකාලයි. නමුත් ඇතැම් විටෙක ඒවා අතර පීඩනයක් ගොඩනැගී අවසානයේ එක් තැටියක් එකවර ගැස්සී චලනයවන අතර, මෙනිසා මතුපිට පොළොව චලනය වෙයි.

මෙම භූ කම්පනය ඇතිව තිබෙන්නේ අරාබි තැටිය උතුරු දෙසට ගමන්කර, ඇනටෝලියානු තැටියේ ගැටීමෙනි.

මෙම භූ තැටි අතර ඝර්ෂණය හේතුවෙන් අතීතයේ දී ද බොහෝ හානිදායක භූ කම්පනයන් ඇතිවී තිබේ.

එමඟින්, 1822 අගෝස්තු 13 වන දා ඒකක 7.4ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් ඇතිකළේ ය. එය සඳුදා සිදුවූ ඒකක 7.8ක භූ කම්පනයට වඩා සැලකිය යුතු තරම් ප්‍රබලත්වයෙන් අඩු ය.

එසේවුව ද, 19 වන සියවසේ භූ කම්පනය විසින් එම ප්‍රදේශයේ නගරයන්ට මහත් සේ හානි සිදුකළ අතර අලෙප්පෝ නගරය තුළ පමණක් වාර්තාවූ මරණ සංඛ්‍යාව 7000කි. අනතුරුව, වසරකට ආසන්න කාලයක් පුරාවට හානිකර පසුකම්පනයන් සිදුව තිබුණි.

සඳුදා භූ කම්පනයෙන් අනතුරුව ද පසුකම්පනයන් කීපයක් සිදුව තිබෙන අතර විද්‍යාඥයන් අපේක්ෂා කරන්නේ, කලාපයේ පෙර ප්‍රබල භූ කම්පනයන්ගෙන් පසුව සිදුවුණාක් මෙන් මෙවර ද දිගටම පසුකම්පනයක් සිදුවෙමින් පවතිනු ඇතිබව යි.

භූ කම්පනයන් මනින්නේ කෙසේ ද?

භූ කම්පනයන් මනිනු ලබන්නේ 'moment magnitude scale' යනුවෙන් හැඳින්වෙන පරිමාණයකිනි.

ඒකක 2.5 හෝ ඊට අඩු ප්‍රබලත්වයක කම්පනයක් මිනිසුන්ට නොදැනෙනු ඇතිමුත් භූ කම්පනමාන උපකරණ හරහා නිරීක්ෂණය වෙයි. ඒකක 5 දක්වා කම්පනයන් මතුපිටට දැනෙන අතර සුළු හානි සිදුකරයි. ඒකක 7.8ක් ලෙස වර්ගකර ඇති තුර්කි භූ කම්පනය ප්‍රබල භූ කම්පනයක් වන අතර, මේ අවස්ථාවේ දී සිදුව තිබෙන්නක් මෙන් දරුණු අලාබහානි සිදුකරයි.

ඒකක 8ට වැඩි ඕනෑම භූ කම්පනයක් විසින් මහා විනාශකාරී අලාභයන් සිදුකරනු ඇති අතර, කම්පන කේන්ද්‍රයේ පිහිටි ජනාවාසයන් සම්පූර්ණයෙන් විනාශකර දැමීමට හැකි ය.

Turkey quake

2011 වසරේ ජපාන වෙරළ තීරය ආසන්නයේ සිදුවූ භූ කම්පනයේ ප්‍රබලත්වය ඒකක 9ක් ලෙස සටහන්වූ අතර, ජපාන ගොඩබිම තුළ ඇතිවූ පුළුල් හානියට අමතරව දැවැන්ත සාගර රැළි මාලාවක් ඇති කළේ ය - වෙරළබඩ පිහිටි න්‍යෂ්ටික බලාගාරයක මහා පරිමාණ අනතුරක් සිදුකිරීමට මින් එක් රැල්ලක් මුල්විය.

මෙතෙක් වාර්තාගත ප්‍රබලතම භූ කම්පනය ඒකක 9.5ක් වන අතර, 1960 දී චිලියේ සිදුව තිබේ.