තුර්කි භූ කම්පනය: මෙක්සිකෝව තුර්කියට යැවූ සිය සුප්‍රසිද්ධ සෙවුම් සහ ගලවාගැනීමේ සුනඛයන් කවුරුන්ද?

ඡායාරූප මූලාශ්‍රය, Twitter/m_ebrard
- Author, වැනේසා බුෂ්ෂ්ලටර්
- Role, ලතින් අමෙරිකාවේ ඔන්ලයින් සංස්කාරක, බීබීසී පුවත්
සඳුදා (පෙබ. 6) ඇතිවූ භූමිකම්පාවෙන් පසු සුන්බුන්වලට යටවී සිටින මිනිසුන් සෙවීමට, මෙක්සිකෝව සිය සුප්‍රසිද්ධ සෙවුම් සහ ගලවාගැනීමේ සුනඛයන් කිහිපදෙනෙකු තුර්කියට යැවීමට පියවර ගෙන තිබේ.
සුනඛයන් 16 දෙනෙකු රැගත් ගුවන් යානයක් පසුගිය අඟහරුවාදා මෙක්සිකෝවෙන් පිටත්විය.
නිතර භූමිකම්පාවලට ගොදුරු වන මෙක්සිකෝව සතුව, ආපදා ඇතිවූ විට උපකාර කිරීමට බොහෝවිට යොදවනු ලබන විශේෂ පුහුණුවක් ලැබූ සිවිල් සහ හමුදා කණ්ඩායම් සිටියි.
2017 වසරේ එරට සිදුවූ භූමිකම්පාවේ දී ජීවිත කිහිපයක් බේරාගැනීමට සමත්වූ සුනඛයෝ මෙක්සිකානුවන්ගේ හදවත් දිනාගත්හ.
ආරක්ෂිත ඇස් කණ්ණාඩි සහ බූට් සපත්තු පැළඳ, මෙක්සිකෝ නගරයේ දිවි ගලවාගත් පුද්ගලයින් සොයමින් සිටි 'ෆ්‍රීඩා' නම් කහ පැහැති ලැබ්‍රඩෝර් රිට්‍රීවර් වර්ගයේ සුනඛයෙක් ජාත්‍යන්තර කීර්තියක් අත්කර ගත්තා ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙක්සිකෝව, හයිටි, ග්වාතමාලා සහ ඉක්වදෝරය පුරා සිදු කළ මෙහෙයුම්වලදී ජීවිත 12ක් බේරාගැනීම සහ මළ සිරුරු 40ක් සොයාගැනීම සම්බන්ධයෙන් ෆ්‍රීඩා නාවික හමුදාවේ ගෞරවයට පාත්‍රවිය.
වයස්ගතභාවය හේතුවෙන් ෆ්‍රීඩා පසුගිය වසරේ මියගියත්, 2017 වසරේ මෙක්සිකෝ භූමිකම්පාවෙන් පසු ගලවාගැනීම් සඳහා සම්බන්ධවුණු ඇගේ සුනඛ සගයන් තුර්කියට ගිය මෙක්සිකානු නාවික හමුදා කණ්ඩායමේ කොටස්කරුවන්ය.
බෙල්ජියම් මැලිනොවා වර්ගයේ සුනඛයෙකු වන 'එකෝ', ඔහුගේ නාවික හමුදා පුහුණුකරු සමග මෙක්සිකෝ නගරයේ ගුවන් තොටුපළේ සිටිනු දක්නට ලැබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Twitter/m_ebrard
සුනඛයින් යෙදවීම හමුදාමය පියවරක් පමණක් නොවේ. ලොස් ටොපොස් ඩි ට්ලැටෙලොල්කෝ (Los Topos de Tlatelolco - ලාභ නොලබන මෙක්සිකානු ගලවා ගැනීමේ කණ්ඩායමක්) සිවිල් සෙවුම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම ද තුර්කිය වෙත ගමන් කළේය.
මනා පළපුරුද්දක් ඇති එම ස්වේච්ඡා සේවක කණ්ඩායම මෙක්සිකෝවේ විදේශ අමාත්‍ය මාර්සෙලෝ එබ්‍රාඩ්ට පණිවිඩයක් යවා, ඔවුන්ගේ උපකාරය ලබාදෙන බව ප්‍රකාශකර ඇත.
පැය කිහිපයක් ඇතුළත එබ්‍රාඩ් ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, මෙක්සිකෝ නගරයේ පිහිටි තුර්කි තානාපති කාර්යාලයේ සහාය ඇතිව ඔවුන් සඳහා ප්‍රවාහන පහසුකම් සලසා ඇති බව ය.
රතු කුරුස සංවිධානයේ සාමාජිකයෙකු තම සිව්පා සගයා සමග ගුවන් යානයේ සිටින වීඩියෝවක් ද විදේශ අමාත්‍යවරයා විසින් පළකරනු ලැබ තිබේ.
එම වීඩියෝවේ සිටින ඒන්ජල් ඩැනියෙල් හර්නෑන්ඩස් පවසන්නේ, වසර පහකට පෙර ජර්මන් ෂෙපර්ඩ් වර්ගයට අයත් සුනඛයෙකු වන රෙක්ස් හදා වඩා ගැනීමට පටන්ගත් දා සිට ඔහු රෙක්ස් පුහුණු කරනබව ය.

ඡායාරූප මූලාශ්‍රය, Twitter/m_ebrard
තුර්කියේ සහ සිරියාවේ ගලවා ගැනීමේ ප්‍රයත්නයන් සඳහා සුනඛයන් යැවූ එක ම රට මෙක්සිකෝව නොවේ.
ක්‍රොඒෂියාව, චෙක් ජනරජය, ජර්මනිය, ග්‍රීසිය, ලිබියාව, පෝලන්තය, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවල් ද පුහුණුකරුවන් සමග සුනඛයන් යොදවා ඇත.
බර යන්ත්‍ර සූත්‍ර භාවිතය නිසා, සිරවී සිටින අයගේ ජීවිත අවදානමට ලක් කරමින් සුන්බුන් තවදුරටත් කඩා වැටීමට ඉඩ ඇති ප්‍රදේශවල දී මෙම සතුන් බොහෝවිට යොදා ගනු ලබයි.
ඉවකර මිනිසුන් සිටින තැන් හඹා යාමටත්, බුරමින් සහ බිම හාරමින් ඔවුන්ගේ පුහුණුකරුවන්ව එම තැන් පිළිබඳව දැනුවත් කිරීමට ත් මෙම සුනඛයින් පුහුණුකර ඇත.
මෙක්සිකානු නිලධාරීන් පවසන්නේ, ඔවුන්ගේ ප්‍රයත්නය "ජීවිත බේරාගැනීම" බවත්, සුනඛයින්ට මළ සිරුරු මෙන් ම සුන්බුන් යට සිරවී සිටින පණ ඇති පුද්ගලයින්ව සොයා ගැනීමට හැකිවුවත්, කඩිනමින් සුනඛයින් යෙදවීම මගින් මළ සිරුරු ගොඩගැනීම නොව මිනිසුන්ගේ දිවි ගලවාගැනීම බලාපොරොත්තුව බවත් ය.










